මේ දවස්වල ගෙදරට ගෙනෙන එළවළු, මාළු සහ අවශ්‍ය දේවල් නිවැරදිව පිරිසිදු කරගන්නේ මෙහෙමයි.

කොරෝනා අවදානම තවදුරටත්  ලෝකය පුරා පැතිර යමින් තිබෙනවා. අපිත් දැන් ඒ තත්ත්වය දරා ගනිමින් එයට මුහුණ දිය යුතුයි. තව කාලයක් මේ තත්ත්වයට අපේ රටටත් මුහුණ දෙන්න වෙන නිසා අපට හැංගිලා ජීවිතය ගෙවීම සැබෑවටම කළ නොහැක්කක්.

එදිනෙදා ගෙදරට අවශ්‍ය දේවල් ගේන්න සිදු වන්නේ ගෘහණියන් වන අපට.එය මඟ හැර සිටින්න කොහොමටත් හැකියාවක් නැහැ. සුපර්මාකට් යන වෙලාවට අපි අනුගමනය කරන්න ඕන දේවල් මොනවද කියලා අපි මුලින්ම බලමු.

  1. සාමාන්‍යයෙන් සති දෙකකටවත් භාන්ඩ මිලදී ගන්න උත්සාහ කරන්න. භාණ්ඩ මිලදී ගන්න යන්න කලින් ලිස්ට් එකක් අනිවාර්යයෙන් සකසා ගන්න.
  2. ෆේස් මාස්ක් එකක් දාගෙන යන එකත් වෙළඳ සැල තුළ එය දිගටම පැළඳ සිටීමත් අනිවාර්යයි.
  3. වෙළඳ සැලෙන් දෙන ෂොපින් කවර ආදිය ලබා නොගෙන ඔබේ මල්ලක් ගෙන යාමත් වැදගත්. ඔබ රෙදි මල්ලක් භාවිතා කරනවා නම් එය එක් පාවිච්චි කිරීමකින් පස්සේ සෝදා පිරිසිදු කර ගන්න.
  4. වෙළඳසැලේ ඉන්න සම්පූර්ණ කාලය තුළ මීටරයේ දුර පවත්වා ගැනීමත් වැදගත්.
  5. නැවත ගෙදර පැමිණි පසු තත්පර විස්සක් උණුසුම් වතුරින් අත් සෝදා ගැනීම අනිවාර්යයෙන් කරන්න.
  6. ෂොපින් කවර ආදිය නිවස තුළට නොගෙනම ඉවත් කර පුළුස්සා දැමීම සුදුසුයි.
  7. ඔබේ ඇඳුම් සහ සපත්තු සෙරෙප්පු ද නිවසට පැමිණි වහා පිරිසිදු කර ගන්න. අත් සේදීමෙන් නොනැවතී ඔබට උණුසුම් වතුරෙන් හෝ සාමාන්‍ය වතුරෙන් සම්පූර්ණ පිරිසිදු වීමකට ලක් විය හැකි නම් එය වැදගත්.

ඔබ සුපිරි වෙළඳසැලකට ගිය විට හැකි තරම් අත් පිරිසිදුව තබා ගන්න උනන්දු වන්න. ග්ලවුස් පැළඳ ට්‍රොලිය භාවිතා කිරීම හෝ භාණ්ඩ තෝරා අවසන් වූ පසු දෑත් සැනිටයිසර් කර ගැනීමට අමතක කරන්න එපා. ග්ලවුස් හෝ ටිෂූ කඩදාසියකින් අල්ලා හෝ වැලමිටෙන් දොරවල් විවර කරන්න.

ඒ වගේම වෙළඳසැලේ ඇති නෝට් බුක් එකේ ඔබේ සත්‍ය තොරතුරු ලිවීමත් වැදගත්. මේ වන විට staysafe.gov.lk වෙබ් අඩවියට ගොස් එහි බාකෝඩ් අංකයට ඔබේ තොරතුරු ලබා දීමත් ඔබට කරන්න පුලුවන්.

නිවසට ගෙනා භාණ්ඩ නිසිලෙස පිරිසිදු කර ගන්නේ මෙහෙමයි.

  1. කෑමට ගන්න පෙර එළවළු පළතුරු  ගලා යන නැවුම් වතුරෙන් පිරිසිදු කර ගන්න. නැතිනම් භාජනයකට විනාකිරි කෝප්පයක් දමා එයට වතුර කෝප්ප තුනක් පමණ එකතු කර මිනිත්තු දහයක් පමණ ඇඟිලිවලින් අතුල්ලා සෝදා ගැනීමත් වැදගත්.නැවත පිරිසිදු වතුරෙන් සෝදා අසුරා ගන්න.ලුණු වතුර අඩංගු භාජනයක බහා තබා පිරිසිදු වතුරෙන් හොඳින් සෝදා ගන්නත් පුලුවන්.
  2. ටින් කළ ආහාර ආදියත් පියන විවෘත කරන්නට පෙර මතුපිට හොඳින් පිරිසිදු කර ගන්න. එවැනි දේ නම් බ්‍රෂ් එකකින් අතුල්ලා සබන් දියරයකින් සේදීම සුදුසුයි.
  3.  මිලදී ගෙන පැය 2 ක් ඇතුළත මස්, කුකුළු මස්, බිත්තර, මුහුදු ආහාර සහ එළවළු, පළතුරු සහ සලාද කොළ සහ හතු ආදිය පිරිසිදු කරගන්න. ඉන්පසු ශීතකරණයේ අසුරා ගන්න.
  4. මාළු මිලදී ගතහොත් ග්ලවුස් සහ ෆේස්මාස්ක් පැලඳ මාළු කපා සුද්ද කරගන්න. හොඳින් රත්කර පිස ගැනීම වැදගත්.
  5. පිරිසිදුකිරීම් කාරක යොදාගෙන මුළුතැන්ගෙය නිරතුරුව පිරිසිදු කර ගන්න. 
  6. Clean, Separate, Cook, and Chill යන පියවර හතර ඉවීම් කටයුතු සම්බන්ධයෙන් අනිවාර්යයෙන් අනුගමනය කරන්න (ගෙනෙන භාණ්ඩ පිරිසිදු කර වෙනම තබා පිසීම)

වෛරසයට පැය විසි හතරක් කාඩ්බෝඩ් මත ද දින තුනක් ප්ලාස්ටික්, යකඩ සහ වීදුරු මතත් රඳා පැවතිය හැකියි. ඒ බව තරයේ සිහි තබාගන්න. නිරන්තර දෑත් පිරිසිදු කර ගැනීම, සැනිටයිසර් භාවිතා කිරීම, ෆේස් මාස්ක් භාවිතය සහ හැමවිටම මීටරයේ දුර පවත්වා ගැනීම අනිවාර්යයෙන් කළ යුතු දෑ වෙනවා.

හැකිනම් මුදල් වෙනුවට ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් භාවිතයෙන් ගනුදෙනු කර එය පිරිසිදුකාරක ද්‍රව්‍ය ආශ්‍රයෙන් පිරිසිදු කර ගන්න. මුදල් ගනුදෙනු කරනවා නම් ග්ලවුස් පැළඳ සිටීම වැදගත්.

Related Articles

Don't Miss


Latest Articles