පාට සේදුනු වත්සුණු – 35

ඇඳුම් කිහිපයක් බෑගයක ඔබා ගත් අසංක ගෙදරින් එළියට බැස ගියේ ‘මං මේක ලේසියෙන් අතාරින්නෑ’ යි අප වෙතට තර්ජනාංගුලිය දිගු කරමිනි. අම්මා වැලහින්නක සේ වැලපෙමින් සිටියා ය. මම ඇගේ හිස පිරිමදිමින් ඇය සනසන්නට වූයෙමි.

“දරුවෙක් බඩේ තියං ඔහොම වැළපෙන්න හොඳ නෑ කෝසලා. දෙමව්පියො මුලිංම හිතන්න ඕනෙ දරුවො ගැනයි. බඩේ ඉන්දැද්දි වුණත්…”

අත්තම්මා අම්මා ට සැර වූවා ය. වෙනදා සේ එකට එක නො කියා අම්මා සන්සුන් වූවා ය. නමුත් ඇය හිඳින්නේ ගැහැනියකට සිය ජීවිතයේදී විඳිත හැකි ලොකු ම වේදනාව විඳිමින් බව මට සිතා ගත හැකි විය.

අම්මා අසංක ට අන්ධ ලෙස ආදරය කළා ය. ගැහැනුන් එහෙම කරන්නට පුළුවන. ඒ විශ්වාසය බිඳී තිබුණත් එලෙස ම තිබුණත්, තමන් පෙම් කරනා පුරුෂයා සිය මවු පියාදීන්ට එරෙහි ව නැගී සිටිත්දී ගැහැනියකට එය දරා ගත නො හැකි දෙයක් වන්නේ ය. මේ මොහොතේ අම්මා පත් වූයේත් ඒ තත්වයටයි.

යුගාන්ත පැමිණියෙන්, බරාඳයේ පුටුවකට වී ශෝක වූ අම්මා කැගිට කාමරයට ගියා ය.

“වැරදි වෙලාවකද මන්දා මං ආවෙ…”

යුගාන්ත අසුන් ගත වූයේ දෙගිඩියාවෙන් සේ එසේ අසමිනි. අප කාගේත් මූණු වල වූ සන්තාප ස්වරූපය නිසා එසේ සිතන්නට ඔහු පෙළඹෙන්නට ඇත.

“පුතා ඉතින් දැන් පිට කෙනෙක් නෙවෙයිනෙ. අපේ පවුලටම සම්බන්ධ වෙන්න ඉන්න ළමයෙක්නෙ. ඉතිං මේවයෙ හංගන්න දෙයක් නෑ”

අත්තම්මා දුක්බර හඬකින් කතා කළා ය. සීයා සිය ජීවන සහකාරිය ගේ අදහස හිස සලා අනුමත කළේ ය. සීයා මේ විදිහේ සොවකින් හිඳිනු මා මේ දුටුවා ම ය.

“අර මිනිහ ආවනෙ පුතා සීයට අත උස්සගෙන…අපේ මී හරකි ඉන්න තත්වෙ නිසා ඉවසුව මම”

“සීයට ගැහුවද…”

“ගැහුව තමයි පාරක්”

“මහ තිරිසනෙක්නෙ”

“තිරිසනෙක්ටත් එහා පුතා. එහෙම එකෙක් ගැන කියන්න මං දන්නෑ. මදැයි මේ සැනසීමෙන් ජීවත් වෙච්ච අපිට වෙච්ච දෙයක්”

“මාව මේ ගෙදරට එක්ක ආව නිසා තමයි අත්තම්මලට මේ ඔක්කොම ප්‍රශ්න”

ඒ මා නිකං මූණිච්චාවට කී කතාවක් නොවේ. ටික වෙලාවක් තිස්සේ මගේ හදවත ට දැනෙමින් තිබුණා වූ සත්‍යයි. යුගාන්ත මවෙත හෙළු බැල්මට මම මැදි වුණෙමි. ඒ බැල්මේ වූ කතාව විග්‍රහ කර ගැනීමේ හැකියාවක් කොහෙත් ම ඒ වෙලාවේ මවෙත වූයේ නැත. කෙසේ වෙතත් එතැන මම ලොකු සුරක්ෂාවක් අත් වින්දෙමි. එය හරියට තාත්තා කෙනෙක් ගේ ඇඟිල්ලක් තදින් අල්ලා ගත් වෙලාවක දුවකට දැනෙනාකාරයේ හව්හරණයකි.

“හැම වෙලාවෙම සිද්ද වෙන දේවල් වල වරද තමං පිට පටෝගන්න එපා නංගි”

අන්තිමට ඔහු කීවේ එහෙම ය. පපුව පැලී යන්නට එන හැඟීමක් මා තුළ තෙරපෙන්නට වූයේ ය.

“මොනා වුණත් අපේ මිණිපිරීට ලැබුණෙ අපේ දුවට ලැබුණා වගේ පිරිමියෙක් නෙවෙයි කියන සැනසීම දුන්නටනං පුතාට පිං”

අත්තම්මා කීවේ ඒ වෙලාවට කොහෙත් ම අදාල නැති කතාවකැයි මට සිතිණ. නමුත් ඇගේ හැඟීම් පිට කර ගන්නට අත්තම්මා ට අවැසි වෙන්නට ඇත. ඒ මොහොතේ යුගාන්ත ගේ ඇස් වල වූ බැල්මේ කතාව, අත්තම්මා ට එහෙම කියන්නට අනුබල දෙන්නටත් ඇත.

අප දෙදෙනා ට තනිව කතා කිරීමේ අවස්ථාව උදා කර දෙන්නටදෝ මුලින් සීයාත්, ඉන්පසු අත්තම්මා ත් බරාඳයෙන් නික්ම ඇතුල් ගෙට ගියහ. මම ලොකු සුසුමක් හෙළුවෙමි.

“මඳ සුළං වගේම කුණාටුත් මේ විශ්වයෙ එහෙ මෙහෙ පා වෙවී තියෙනව ගයා. සමහර සමහර වෙලා වලදී අපිට ඒවා මුණගැහෙනව. බුදු හාමුදුවොත් දේශනා කරල තියෙනවනෙ…අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා වෙන්න එපා කියල. අපි හෙමිහිට හරි ඒ තැනට එන්න අපේ හිත් පුරුදු කර ගන්න ඕනෙ”

“ඉරණම සැලසුම් කරන තරු පවා කඩං වැටෙන්න තීරණේ කරන මොහොතක් එනව අයියෙ”

මා ඒ වචන ටික කීවේත් මගේ සුසුම විශ්වය හා මුහු වෙන්නට හරිමිනි. සත්තකට ඒ කතා කළේ මා ද? එවන් ගැඹුරු වූ දහමක් ගැන කතා කරන්නට තරම් අදහසක් හෝ මා තුළ වූවා යි නො සිතමි. එසේ නම් ඒ කතා කළේ කවුරුන් ද? මා ලවා ඒ වචන කියවූයේ අදෘෂ්‍යමාන වූ බලවේගයක්වත්ද? මම නො දනිමි.

“දරාගෙන ඉන්න එකත් තවත් දරං ඉන්න බැරි වෙලාවක් උදා වෙන්න පුළුවන්. මගෙ අම්ම ඉන්නෙත් ඒ වගේ තීරණාත්මක තැනක කියල මට හිතෙනව”

යුගාන්ත අඩ සිනහවක් හෙළුවේ ය. ඒ සිනහවේ අර්ථය, ඔහු අම්මා ගැන විශ්වාසයක් නො තැබීම බව වටහා ගන්නට මට බැරි නැත.

“කෙනෙක්ට වැඩියෙන්ම රිදෙන්නෙ එයාලගෙ ජීවිතේට වැඩියෙන්ම ලං වුණ අය එයාලගෙම දෙමව්පියන්ට රිද්දන වෙලාවටයි කියන එක අද මං ඉගෙන ගත්තා”

“මං හිනා වුණේ ඔයාගෙ අම්මටවත් ඔයාටවත් රිද්දන්න නෙවෙයි. ආයෙත් අසංක ඇවිත් චාටු කතාවක් කිව්වොත් ආන්ටි ආයෙත් එයාව විශ්වාස කරනව කියල මට හිතෙන නිසා”

“ඔයා හරි වෙන්න පුළුවන්. ඒත් එයා දැං විඳවනව”
“අපි ගේ පැත්තට ගිහිං එමුද…”

යුගාන්ත හදිසි යෝජනාවක් කළේ ය. සාමාන්‍යයෙන් ඔහු එහෙම කතා කරන කෙනෙක් නොවේ. මා ඔහු ගේ නව නිවහනට ගොඩ වැදී තිබෙන්නේත් දෙවතාවක් පමණ ය.

“ඔයාවයි ඔයාගෙ පවුලෙ අයවයි බලාගන්න මට පුළුවන් නංගි. ඒ ගැන සැකයක් තියාගන්න එපා”

නත්තසූරිය වැට පනිත්දී ඔහු කීවේ ය. මගේ වයසේ කෙල්ලක් සිය පෙම්වතා වෙතින් අසන්නට වඩාත් ම රිසි වන කතාව එයයි කියා මම සිතමි. මම ඔහු ගේ මූණ කෙලින් බැලුවෙමි. විශ්වාසවන්ත බවක් මට එහි දකිත හැකි විය.

“මං දන්නව තාම ඔයාට මගෙ ආදරේ ගැන විශ්වාසයක් ලොකුවට නෑ කියල”

ඔහු මුදු සිනහවක් ඇති ව කීවේ ය.

“අනේ එහෙම නෑ අයියෙ”

වචන වලින් වහා එහෙම කීවත් සත්තකින් ම එය එසේ දැයි මා මගෙන් ම ප්‍රශ්න කළ යුතු ව තිබිණ. අවංක ව ආදරය කළ හැක්කේ එක වතාවක් පමණකැයි මම බොහෝ තැන් වල කියවා හා අසා ඇත්තෙමි. කුළුඳුල් ප්‍රේමයට මිනිස් සමාජයෙහි දැවැන්ත වටිනාකමක් ඇත්තේ ය. කුසල් සමග පැවති සම්බන්ධතාවය එහි දුර්වල ම තත්වයේ පවතිද්දීත් මා යුගාන්ත ගේ ප්‍රේමාරාධනය ගැන උනන්දු නොවූයේ එබැවිනි.

“අපේ ගෙදරට කර්ට්න්ස් මහන්න මං කෙනෙක්ව ගෙන්නුව. එයා සාම්පල්ස් ගෙනත් තියනව. ඔයා කැමති විදිහට තෝරගන්න. ඉන්ටීරියර් ඩිසයිනිං කරන නිසා මට වඩා ඔයාට ඒ ගැන අයිඩියාස් ඇතිනෙ”

තිර රෙදි මසන ආයතනයෙන් පැමිණි නියෝජිතයා ව හඳුන්වා දෙමින් යුගාන්ත කීවේ ය. නියෝජිතයා සිනහවක් නගා ගත්තේ ය.

“ඉන්ටීරියර් ඩිසයිනිං ගැන මෙලෝ දෙයක් නොදන්න තැනක වුණත්…ගෙදර නෝනට ඕන විදිහටනෙ සර් ඒවා වෙන්නෙ”

“නැත්තං ඉතිං ඒ මිනිහ කනක් ඇහිල ඒ ගෙදර ඉන්නයැ…නේද…”

ඔවුහු උස් හඬින් හිනැහෙන්නට වූහ. මම මඳ සිනහවක් දෙතොලෙහි තවරා ගතිමි. හදවත උණුසුම් හැඟීම් පොදියකින් පණ ගැහෙනවා මට දැනිණ. මේ දැනෙන්නේ ආදරය බව ද මම වටහා ගනිමින් සිටියෙමි. එක් අවස්ථාවක දී ආදරය කියන්නේ කැප කිරීම ය. අනෙකා ගේ කැමැත්ත හා ආශාව වෙනුවෙන් සිය ආශා හකුලා ගන්නා තැන ආදරය හුස්ම ගන්නේ උපරිම නිදහසින් කියා මට සිතිණි.

එතැන දී මීට කලින් සම්බන්ධතා කීයක් තිබුණේ ද යන්න අදාල ම නොවන කාරණයකි. ඒ සම්බන්ධතා මානසික සීමා මෙන් ම ශාරීරික සමීප වීම් පවා අතික්‍රමණය කර තිබුණේ වී ද, ආදරය දැනෙන්නට පටන් ගත් විට ඒ කිසි දෙයක් අදාල වෙන්නේ නැත. ආදරයට කුළුඳුල් ද නැද්ද යන්න අදාල වන්නේ ම නැත.

ගෙබිම ඇතිරූ මාබල් පැහැය සේ ම බිත්ති වල සුදු පැහැය ද මත පිහිටා මම තිර රෙදි සඳහා වර්ණය හා මෝස්තරය තේරුවෙමි. ඒ එක්ක ම ගෘහ භාණ්ඩ තැබිය යුතු තැන් හා අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ ගැන මගේ වූ අදහස ද ඉබේට ම මා යුගාන්ත හා පවසා තිබිණ. ඔහු වටහා ගන්නා සුළු සන්සුන් බැල්මකින් මදෙස බලා සිටියේ ය. මා කතා කළා වැඩි ද කියාත්, ඒ බැල්ම දුටු මට සිතිණි.
අප රුචි ආකාරයේ පරිසරයක් සහිත නිවසක අපේ සමීපතමයන් සමග සැනසිල්ලේ ජීවත් වීම යනු අවසාන වශයෙන් ඕනෑම මනුෂ්‍යයෙකු ගේ සිහිනය වන්නේ ය. මා දොඩමළු වන්නට ඇත්තේ ඒ මිනිස් ගතිය මත පිහිටා විය යුතු ය.

“ගයා…ගයිත්මියා…අනේ ළමයිනේ ඉක්මනට එන්න”

ගේ පැත්තෙන් අත්තම්මා කළබලයෙන් කෑ ගසන හඬ ඇසිණි. ඒ සඳහා වන කිසිදු හේතුවක් මට සිතා ගත හැකි වූයේ නැත. නමුත් අත්තම්මා නිකම්ම එහෙම කෑ ගසන්නට විදිහක් ද නැත. මා නත්තසූරිය වැට පැන දිව්වේ කවර සිහියකින් ද කියා හෝ මට නිරවුල් නැත.

“අසංක ඇවිත්වත්ද…”

දුවන ගමන් ම යුගාන්ත ගේ හඬ මට ඇසිණ. එහෙම වන්නට බැරි කමක් නැත.

“ඒත් අත්තම්මා මෙහෙම කෑ ගහන්නෙ…”

“අදනං මං ඔය අසංකයට පාඩමක් උගන්නනව ගයා”

“අනේ ඔයා මේවට මැදිහත් වෙන්න එපා අයියෙ”

අපි පියගැට පෙළ නැග ඉස්තෝප්පුවට ගොඩ වූවත් අත්තම්මා පේන්නට හිටියේ නැත. සීයා ඉස්තෝප්පුවේ නො සන්සුන් කල්පනාවක සක්මන් කරමින් සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content