කවුරුත් කන්න කැමති තිබ්බටු ව්‍යාංජනය පිළියෙළ කරන ක්‍රම 3 ක්

තිබ්බටු ඒ කියන්නේ ග්‍රාමීය ජනතාව අතර හරිම ජනප්‍රිය රසවත් ආහාරයක්.එදිනෙදා පරිසරයෙන් ම ඔවුන් ට අවශ්‍ය ආහාර සපයා ගැනීම අරුමයක් වුණේ නැහැ.අපේ ගැමියන් විවිධ ක්‍රම රැසකට තිබ්බටු ව්‍යංජනය පිළියෙල කළා.නගරයේත් බොහෝ විට තිබ්බටු සොයාගැනීම අපහසු වන්නේ නැහැ. ඉතින් ඉහළ පෝෂණ පදාර්ථ වලින් පිරිපුන් තිබ්බටු මෙන්න මේ ආකාරයට පිළියෙල කර ඔබේ පවුලේ අයට පිළිගන්වන්නට පුළුවන්.

තිබ්බටු අර්තාපල් සමඟ ව්‍යාංජනය

අවශ්‍ය දේවල්

  • තිබ්බටු ග්‍රෑම් 150 ක්
  • සාමාන්‍ය ප්‍රමාණයේ තක්කාලි ගෙඩියක්
  • තරමක අල ගෙඩියක්
  • ලොකු ලූනු ගෙඩි 1 ක්
  • පලා ගත් අමු මිරිස් කරල් දෙකක් තුනක්
  • තුනපහ තේ හැඳි බාගයක්
  • කහ ටිකක්
  • මිරිස් කුඩු තේ හැඳි එකක්
  • උම්බලකඩ මේස හැඳි එකක්

සාදන ක්‍රමය.

තිබ්බටු තළා එහි යුෂ ඉවත් කරන්න.එයට ලුණු දමා සෝදා තෙත බේරෙන්න තබන්න.අල කුඩාවට කපා ගන්න.ඇතිලියක් ගෙන එයට තිත්බටු,අල,කහ,ලුණු,දමා තම්බා ගන්න.එයට උම්බලකඩ,ලූණු,අමු මිරිස්,රම්පා,කරපිංචා,තුන පහ,කහ,මිරිස් කුඩු,සියල්ල දමා ,දිය කිරි කෝප්ප එකක් දමා තැම්බුනාට පසු මිටිකිරි කෝප්පයක් එකතු කර පිස ගන්න. ළිපෙන් බෑමට ආසන්න ව තක්කාලි ගෙඩිය කපා එකතු කරන්න.

කොස් ඇට සමග තිබ්බටු වෑංජනය

අවශ්‍ය දේවල්

  • තිබ්බටු ග්‍රෑම් සීයක්
  • තලාගත් කොස් ඇට පහක් හයක්
  • ලොකු ලූනු ගෙඩි එකක්
  • රම්පා කැබැල්ලක්
  • කරපිංචා ඉත්තක්
  • අමු මිරිස් කරල් තුනක්
  • තුන පහ තේහැඳි බාගයක්
  • මිරිස් තේ හැදි දෙකක්
  • පොල් කිරි කෝප්ප එක හමාරක්
  • කුරුදු පොතු කැබැල්ලක්
  • සියඹලා ඉස්ම ටිකක්
  • උළු හාල් ටිකක්
  • උම්බලකඩ ග්‍රෑම් විස්සක්
  • ලුණු රස අනුව
  • වතුර කෝප්පයක්

සාදන ක්‍රමය

තිබ්බටු වලට කහ ,ලූනු ,කුඩාවට කපාගත් කොස් ඇට ,වතුර දමා තැම්බෙන්නට තබන්න.
වතුර සිඳී තරමක් තෙත ගතිය ඇති විට රම්පා ,කරපිංචා, ලුණු ,බීළූණු අමුමිරිස්, උම්බලකඩ,කුරුඳු ,මිරිස් ,තුනපහ,සියඹලා සහ රසයට ලුණු දමා පොල්කිරි දමා මඳගින්නේ පිසගන්න.

තිබ්බටු සහ හාල්මැස්සන් තෙලට

අවශ්‍ය දේවල්

  • තිබ්බටු ග්‍රෑම් සීයක්
  • හාල්මැස්සන් ග්‍රෑම් 50 ක්
  • ලොකු ළූණු තරමක ගෙඩියක්
  • අමු මිරිස් කරල් 5 ක්
  • රම්පා අඟලක පමණ කැබැල්ලක්
  • කරපිංචා ඉත්තක්
  • කුරුදු පොතු අඟලක පමණ කැබැල්ලක්
  • කහ ටිකක්
  • තෙල් මේස හැඳි තුනක්

සාදන ආකාරය

පළමුව තිබ්බටු තලා ලුණු එකතු කර වතුර දමා සෝදන්න.මෙ සේ හොඳින් සෝදා කහ ටිකක් අත ගා තබන්න.හාල්මැස්සන් හොඳින් සෝදා පසෙකින් තබන්න.
තෙල් දැමූ බඳුනක් ලිප තබා එය හොඳින් රත් වී එන විට එයට රම්පා, කරපිංචා,කුරුඳු ,ලූනු ,අමු මිරිස් සහ හාල්මැස්සන් දමා ඉන්පසුව තිබ්බටු එකතු කරන්න.අවශ්‍ය පමණට ලුනු දමන්න.හොඳින් මිශ්‍ර කර තෙල් වලින්ම මද ගින්නේ තම්බා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles