දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව සීඝ්‍රයෙන් වැඩිකරන ආහාර වර්ග 9 ක්.

රටේ තත්ත්වයත් සමඟ කුඩා දරුවන් සිටින පවුල්වල දෙමාපියන් බොහොම කල්පනාවෙන් සිටිය යුතු කාලයක් මේ. එහෙත් රෝගයක් වැළඳෙන්නට කලින් ම ආරක්ෂා වෙන්නට ඔබට පුලුවන්. ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන ඕනෑම රෝගයකට විසඳුමක් ලෙස ප්‍රතිශක්තිය වඩවන ආහාර වැඩියෙන් ලබා ගැනීම හඳුන්වන්නට පුලුවන්. අපේ දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳ වගකීම අපිටයි. මේ ආහාර ලබා දී දරුවන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරන්නට ඔබට පුලුවන්.

සුදුලූණු

ඉහළ ප්‍රතිශක්තිකාරක හැකියාවක් ඇති ආහාර අතර ඉහළින් ම ඇති ආහාරයක් ලෙස සුදුලූණු හඳුන්වන්නට පුලුවන්. සුදුලූණුවල allicin නැමැති ප්‍රබල ප්‍රතිජීවක රසායනය අඩංගු වෙනවා. එමෙන්ම එමෙන් ම වෛරස්, බැක්ටීරියා වැනි විෂබීජ හරණය කිරීමේ ප්‍රබල ගුණයක් සුදුලූණුවල තිබෙනවා. ඔබේ දරුවාගේ ආහාරවලට නිතර සුදුලූණු එකතු කරන්න. ඉන් සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ යනවා. දරුවා රෝගවලින් ආරක්ෂා වෙනවා.

ඉඟුරු

අනාදිමත් කාලයක සිට ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට ඉඟුරු භාවිතා කරනවා. ඉඟුරු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද යුක්තයි. ආහාරවලට ඉඟුරු එකතු කිරීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට පුලුවන්. ඉඟුරු දෝසි සෑදීම තවත් හොඳ විකල්පයක්. එමෙන්ම උදෑසන හෝ සවස තේ පානයට ඉඟුරු කෑල්ලක් තලා දැමීමෙන් ද ඉඟුරු ලබා දෙන්නට පුලුවන්.

යෝගට්

යෝගට් කියන්නේ කුඩා දරුවන් කැමතිම ආහාරයක්. යෝගට්වල අනූන probiotics දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා. මතක තබාගත යුතු කාරණාව වන්නේ යෝගට් කොතරම් හිතකර වුවත් සීනි නම් හිතරකර නොවන බවයි. ඒ නිසා ඔබ දරුවන්ට ලබා දෙන්නේ මිලදීගත් යෝගට් නම් එහි සීනි මට්ටම ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි.

නිවිති

නිවිතිවල විටමින් C සහ betacarotene මෙන් ම ප්‍රතිඔක්සිකාරක ද බහුලව අඩංගු වෙනවා. ඒ සියලු පෝෂක කොටස් ප්‍රතිශක්තිය වඩවන්නට ඉවහල් වෙනවා. නිවිති අපේ රටේ බොහොම සුලබයි. ඒ නිසා පහසුවෙන් ම ඔබේ දරුවාට ලබා දෙන්නට පුලුවන්. නිවිති සහ පරිප්පු, නිවිති ඔම්ලට් වැනි රසවත් ආහාර ලබා දීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා.

කහ බතල

කහ බතලවලත් betacarotene මෙන්ම විටමින් C ද බහුලව අඩංගුයි. ඒ නිසා හොඳින් ම ප්‍රතිශක්තිය වඩවන්නට කහ බතලවලට පුලුවන්. කහ බතල තරමක් පැණි රසට හුරු නිසා තම්බා දුන්නත් දරුවන් කැමති වේවි. ඒ වගේම අකමැති දරුවන්ට, පෑන්කේක් රෙසිපි එකට පාන්පිටි වෙනුවට කහබතල ආදේශ කිරීමෙන් රසවත් කහබතල පෑන්කේක් සකසා ගන්නට පුලුවන්. නිතර කහබතල ලබාදීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ නැංවෙනවා.

බිත්තර

විටමින් D අඩුවීම සිරුරේ ප්‍රතිශක්තිය අඩුවන්නට හේතුවක් වෙනවා. බිත්තර විටමින් Dවලින් අනූනයි. බිත්තර නිතරම ලබා දීමෙන් දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ හැකියාව ඉහළ යනවා. තැම්බූ හෝ බදින ලද බිත්තර දරුවන්ගේ අමතර ආහාර වේලකට වුවත් ලබා දෙන්නට ඔබට පුලුවන්.

ආමන්ඩ් ඇට

විටමින් E සහ මැංගනීස්වලින් සපිරි ආමන්ඩ් ඇටවලට ප්‍රතිශක්තිය වැඩවීමේ ඉහළ හැකියාවක් තිබෙනවා. ඒ විටමින් E සහ මැංගනීස් ද්විත්වය ඉතා ප්‍රබල ප්‍රතිශක්තිකාරක එකතුවක් වන නිසා. ආමන්ඩ් ඇට අමතර ආහාරවේල්වලදී සකසන්නේ නැතුව වුවත් ලබා දෙන්නට පුලුවන්. එසේ ප්‍රිය නොවන දරුවන්ට ආමන්ඩ් කුඩු කර ආහාරවලට එකතු කිරීමෙන් ප්‍රතිශක්තිය වඩවා ගන්නට පුලුවන්.

කහ

ශ්‍රී ලංකාවේ අපි අපේ ආහාරවේල්වලට නිතරම කහ එකතු කරනවා. ඒ රසය සහ වර්ණය නිසා. කහවල Curcumin අඩංගුයි. එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිජීවකයක්. එයින් සිරුරේ ප්‍රතිශක්තිය වැඩිවෙනවා. දරුවන්ගේ ආහාරවලටත් නොවෙනස් ව කහ එකතු කිරීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරගන්න හැකියාව ලැබෙනවා.

මීපැණි

මීපැණි ප්‍රතිජීවක ඖෂධයක් ලෙස අතීතයේ සිටම ලබාගත් බවට සාධක අපට හමුවෙනවා. එමෙන් ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද මීපැණි බහුලව යොදාගන්නවා. මීපැණිවල ඇති වෛරස්, බැක්ටීරියා ආදී විෂබීජ නැසීමේ හැකියාව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කරනවා. පැණිරසට හුරුවූ දරුවන්ට සීනි වෙනුවට මීපැණි ඉතා හොඳ ආදේශකයක්. එහෙත් වාණිජ අරමුණුවලින් සැකසූ මීපැණි වෙළඳපොළේ බහුල නිසා ඒ පිළිබඳ ව සැලකිලිමත් විය යුතුමයි. එමෙන් ම මීපැණි නිර්දේශ කරන්නේ අවුරුදු 1ට වඩා වැඩි දරුවන්ට පමණයි.

ආහාරවලින් ප්‍රතිශක්තිකරණ පද්ධතියට විශාල බලපෑමක් කරන්නට හැකි බව ඔබ දැන් දන්නවා. මේ ලිපියේ ඇත්තේ ආහාර ඉතා සුලබව ඇති, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන ආහාර. දරුවන්ට වෛරස් රෝගවලට ශක්තිමත් ව මුහුණ දෙන්නට එමගින් හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles