රාත්‍රී ආහාරයට රසවත් පැස්ටා සකස් කරගත හැකි ක්‍රම 3ක්.

පැස්ටා නිවැරදිව සකසා ගත් විට ඉතා රසවත් අහාරයක්. බත් නොකන පොඩිත්තන්ටත් කදිමයි. ඒත් එකම පැස්ටා රෙසිපිය දිගින් දිගටම සැකසීමෙන් ඔබට එපා වෙලා ද? ශ්‍රී ලාංකික රසට සකසන්නට හැකි මේ රෙසිපි තුන ඔබ සඳහාමයි.

සැර රසට ඉස්සන් සහිත පැස්ටා

විශේෂ අවස්ථාවකට මෙන් ම ඒකාකාරී ආහාර රටාවෙන් මිදෙන්නටත් හොඳ රෙසිපි එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තැම්බූ පැස්ටා කෝප්පයක්
  • පිරිසිදු කරගත් ඉස්සන් කෝප්පයක්
  • ඔලිව් තෙල් මේස හැන්දක්
  • තලාගත් සුදුලූණු මේස හැන්දක්
  • තක්කාලි 250g ක්
  • ලොකු බීලූණු ගෙඩියක්
  • වතුර කෝප්ප බාගයක්
  • සීනි තේ හැන්දක්
  • කෑලි මිරිස් මේස හැඳි දෙකක්
  • ගම්මිරිස් තේ හැන්දක්
  • ලුණු

හදන්නේ මෙහෙමයි

තෙල් ටික ලිප තබා රත් කරන්න. එයට සිහින්ව ලියා ගත් ලූණු ගෙඩිය එක් කර රන්වන් පැහැවනතුරු බැදගන්න. සුදුලුණු ද එක් කරන්න. ඒවා හොඳින් බැදෙන විට ඇඹරූ තක්කාලි සහ වතුර කෝප්ප බාගයක් එක් කරන්න. ලුණු, සීනි, කෑලිමිරිස්, ගම්මිරිස් එක් කර හොඳින් පිසගන්න. ඉක්මනින් ඉස්සන් ද එකතු කරන්න. ඉස්සන් තැම්බෙන විට පැස්ටා ද එක් කර හොඳින් කලවම් කර ලිපෙන් බාගන්න.

පැස්ටා සලාද

මේ රෙසිපිය ඔබට වඩාත් සැහැල්ලු රසයක් අවශ්‍ය දිනයක පහසුවෙන් ඉක්මනින් සකසා ගන්නට පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තම්බා ගත් පැස්ටා කෝප්පයක්
  • සිහින්ව කපන ලද පිපිඥ්ඥා කෑල්ලක්
  • ග්‍රේට් කරගත් කැරට් අලයක්
  • කපා ගත් කුඩා තක්කාලි කිහිපයක්
  • කුඩාවට කැපූ ලූණු කොළ ටිකක්
  • සිහින් කොටු කැපූ මාලු මිරිස් කරලක්
  • ග්‍රේට් කරගන්නා ලද පාමසාන් චීස් ටිකක් හෝ කුඩාවට කැපූ චීස් වෙජස් දෙකක්
  • ලුණු සහ ගම්මිරිස්

ඉහත සියල්ල හොඳින් කලවම් කර ආහාරයට ගන්න. අවශ්‍ය නම් ඔලිව් ඔයිල් ටිකක් හෝ මයොනීස් සෝස් ටිකක් ආහාරයට ගන්නා විට එකතු කරගත හැකියි.

චීස් පැස්ටා

චීස් රසටකැමති හැමෝටමත්, විශේෂයෙන් ම කුඩා දරුවන්ටත් පහසුවෙන් සකසා දෙන්නට පුලුවන් රෙසිපි එකක් මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • තැම්බූ පැස්ටා කප් එකක්
  • පාන්පිටි මේස හැන්දක්
  • බටර් මේස හැඳි දෙකක්
  • කිරි 250ml ක්
  • චීස් වෙජස් හතරක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

බටර් උණු වනවිට පාන්පිටි ටික දමා හොඳින් උයාගන්න. එයට කිරි එකතු කරන්න. කැටි ගැසෙන්නට නොදී හොඳින් කලවම් කරන්න. චීස් ටික එකතු කරන්න. චීස් දියවී මිශ්‍රණය උකු වන විට පැස්ටා එක් කර ලිපෙන් බාගන්න.

Related Articles

Don't Miss


Latest Articles