පිනි සේල – 31

හිමල්ක එනතුරු මට ඉස්පාසුවක් වූයේ නැත.ඔහු පැමිණෙන තුරු කාලය ගෙවා ගන්නට සිතමින් මම ගෙඋයනේ වූ ඔංචිල්ලාවට වී ඔහේ බලාසිටියෙමි. මට තනි වෙන්නට උවමනාවක් ඇති බව දැනී හෝ යම් කරුණක් නිසා ඊෂා මවෙත ආවේ නැත. මලිඳු වරින්වර මොනමොනවා හෝ මැසේන්ජරය හරහා එවන බව දුටු නිසා මගේ දුරකථනය ද ක්‍රියා විරහිත කර දැමූ මම සිටියේ සැබෑවටම නොසන්සුන් ව ය.

“මොකද පිනී පාර බලාගෙන?”

අමෝද අයියා මවෙත ආවේ ඒ මොහොතේ ය. ඔහු මගේ වැඩිමහල් සහෝදරයා බව සිතා සිටි කාලයේ නම් මලිඳු මේ දිනවල හැසිරෙන හැටි ඔහු සමඟ කියවාගෙන යන්නට මට හැකි ය.නමුත් දැන් තත්ත්වය වෙනස් ය. අමෝද අයියා නොදන්නා නමුත් ඔහු මා කෙරේ පසුවන හැඟීම් දැන් මට රහසක් නොවේ.

“කොල්ලෙක් එනකං…”

මට එතරම් සැහැල්ලු වන්නට සිතුණු කාරණාව ගැන මට ම දැනෙන්නේ පුදුමයකි. එහෙත් ඉතා ගැටළුකාරී මොහොතක පවා සැනසුමක් දැනෙන තැනක නැවතීම පහසුවක් බව මට සිතෙමින් තිබිණ.

“හිමල්කයා ද?”

අමෝද අයියා සිමෙන්ති බංකුවකින් හිඳ ගත්තේ එසේ අසමිනි.

“හිමල්ක තාම මාව බලන්න ආවෙත් නෑනෙ.. මං තරහත් වෙලා ඉන්නේ එයා එක්ක..”

හිමල්ක මා බලන්නට රෝහලට නොපැමිණි බව සිහි කරමින් මම පැවසුවෙමි. ඔහු සමඟ රණ්ඩුවක් අල්ලන්නට වෙනදාට නම් මේ අපූරු හේතුවකි. නමුත් අද වඩා තදින් ඔහුගේ අත අල්ලාගෙන මලිඳු පැවසූ බහුබූත කාරණා හිමල්කට හෙළි කළ යුතු ය.

“හිමල්ක පුදුම හොඳ ළමයෙක්. මෙහෙ ඩිග්‍රි එක ඉවර කරලා ඌ වෙන රටකට ගියාම ඔයයි අපේ නංගියි කොහොම ඉඳී ද කියලා මං දවසකුත් හිතුවේ..”

අමෝද අයියා නැවතිල්ලේ පවසයි.

“හිමා එහෙම යනවලුද අයියේ..”

“ඌ නිදහසේ හිතන රටකට යන එක හොඳයි පිනී. අමුතුයි වගේ පේන මිනිස්සුන්ට මේ රටේ ඉඩක් නෑ. අවලං කතා අහගන්නවට වඩා ඒකා යන එක හොඳයි..ගැලපෙන පාට්නර් කෙනෙක් එක්ක සතුටින් ඉඳීනෙ..”

සැබෑවකි. හිමල්ක සමරිසි තරුණයෙකු බව දැන ගත් දා පටන් නූතන ලෙස අන් සියල්ල දෙස බලන අපේ විශ්ව විද්‍යාලයීය මිතුරන් ඔහු දෙස බැලුවේ නුහුරට ය.හිමල්ක හොඳම මිතුරා කර ගැනීම නිසා දිනුක පවා අසෝබන විහිලු දරා ගත් තැන් ඇත. හිමල්ක ඔහුට ගැළපෙන රටක නිදහසේ ජීවත් වීම සිදු විය යුතුම දෙයකි.

“මට එහෙ කැම්පස් එකේදී LGBT යාලුවෝ හිටිය හරියට. වෙනසක් නෑ ඉතිං සාමාන්‍ය මිනිස්සු ඔය ටීම් හතරම. මිනිස්සුන්ට තමන් ආදරේ කරන තැන නවතින්න දෙන එක පවක් නෙවෙයි කියලා අපේ රටේ මිනිස්සු තේරුම් ගන්න දවසකුත් එයි නංගි. එතකන් හිමාලා උන්ගේ සැනසීම හොයා ගෙන ගියාවේ”

අමෝද අයියා එසේ පැවසුවේ ගේට්ටුව විවර කරගෙන නිවස තුළට එන හිමල්ක දෙස බලමිනි. මේ කතාව ගැන අමෝද අයියා සමඟ තව කියවන්නට හිතක් ආවද දැන් හිමල්ක සමඟ විසඳා ගන්නට ඊට වඩා ගැඹුරු ගැටලුවක් මට ඇත.

අමෝද අයියා අපට ඉඩ දී නික්ම ගිය පසු හිමල්ක මගේ කතාව අසා සිටියේ ය.

“මෙතන ඊෂාත් හිටිය නම් හරි පිනී.. මලිඳු ප්ලෑන් කරලා කරන අමන වැඩවලට ඔයාලා අහු වුණා තමා. ඒත් ඔයාලා තරහ නොවී ඉන්නයි මට ඕන..”

උඩුමහලේ සිටින ඊෂාට අප වෙත එන්නැයි විමලා අත පණිවිඩයක් තබන්නට මා ක්‍රියා කළේ හිමල්ක එහෙම කී නිසා ය. ඇය එනතුරු හිමල්ක මට කතාව කියන්නට පටන් ගත්තේ ය.

“ඔයාට තේරුණේ නැද්ද පහුගිය කාලේ ඊෂා අපෙන් ටිකක් ඈතයි වගේ..

“මං හිතුවේ හිමා එයාටයි දිනුකටයි ප්‍රයිවෙට් කතා තියන නිසා අපි එක්ක ඉන්න කාලේ අඩු උනා කියලා..”

හිමල්ක නපුරු  සිනාවක් දෙතොලට ගත්තේ ය.

“මාත් හිතුවේ එහෙම තමා. ඒත් අයියා එක්ක බිස්නස් පටන් ගත්තම දිනුකට එයාව සෑහෙන්න මිස් වෙලා.දිනුක කොහොමත් ස්ටඩීස් මඟෑර ගන්නෙත් නෑනෙ..ඊෂා ඒවට හරියට රණ්ඩු කරලා..”

මට සිහි වූයේ අපේ ගෙදර ගිය දා සිදු වූ රණ්ඩුව ය.

“ඒ හිස්තැනෙන් මලිඳු රිංගලා පිනී.. ඊෂාට ඇත්ත තේරෙනකොට ටිකක් පරක්කුයි. ඒත් ඉතිං දිනුක ඊෂා ගාව ඉන්නේ බිස්නස් වලට ආසාවෙ වගේ කතා කියලා පොඩි හිත් අමාරුකං මාර ප්‍රශ්න කරන්න අර යකාට පුලුවන් වුණා..”

මලිඳු ගැන මට සැබෑවටම දැන ගත යුත්තක් නැත. නමුත් මට වෙනත් ගැටලුවක් විය

“මේවා දිනුක දන්නවද?”

හිමල්ක හිස සැලී ය.

“ඔව්.. අපි මලිඳු මීට් වෙන්න ගියා.ඊෂාගේ වැරදි ඇති.ඒත් ස්වීට් ටොක්ස් කියන ඒවට ඕන කෙල්ලෙක් රැවටෙනවා… ඊෂාට වුණේ ඒක. මලිඳු අපිට හරි ලස්සන කතාවකුත් කිව්වා..!”

හිමල්ක නැවත අර කෝපත් සිනාව නඟා ගත්තේ ය.

“ඌ කියනවා ඔයාගෙ යාලුවා නිසා ඌ ඊෂාට ක්ලෝස් වෙලා හිටියලු. ඊෂා හෝප්ස් තියා ගත්තට ඌට කරන්න දෙයක් නෑලු…”

“මලිඳු මහ සතෙක්නෙ..”

ජීවිතය ඇති තුරා මලිඳු ගැන එහෙම වචන කියන්නට මට බලාපොරොත්තුවක් වූයේ නැත.මා ඔහු ඉතා හොඳ කොල්ලෙකු බව විශ්වාස කරමින් සිටියෙමි.නමුත් මලිඳු හැසිරී ඇත්තේ මොනතරම් නිහීන ලෙස ද?

“දිනුක පැත්තකින් තියමුකෝ.. මේවා මම දැන ගනී කියලා මලිඳුට හිතිලා නැද්ද හිමා?”

හිමල්ක නැගිට මවෙත පැමිණියේ ය.

“ඌ කිව්වෙ ඔයා විශ්වාස කරන්නේ ඌව.ඌගෙන් එහා ලෝකයක් ඔයාට නෑ.අන්න ඒ නිසා ඔයා ඊෂාව අතෑරලම දායි කියලා… ඔයාට ප්‍රපෝසල් එක යවන්න ඇත්තේ ඉන්පස්සේ..ඒත් මගේ ඇස් දෙකෙන් මම දැකලා තියනවා මලිඳු අර නෙත්මි එක්ක කැෆේ ගාණේ යනවා..”

මම වෙවුලන්නේ ශෝකයට නොවේ,කෝපයට ය. ඒකපාර්ශ්වික ප්‍රේමයකින් බැඳී උමතු වෙමින් හුන් මම හිමල්ක වැනි කල්පනාකාරී මිතුරෙකු නොවූවා නම් සියලු වරද ඊෂා පිට පටවා ඇගෙන් සදහටම දුරස් වන්නට පවා ඉඩ ඇති බව මට විශ්වාස ය.

“මම මෙහෙම අහන්නේ ඊෂාට තියන ආදරේට මිස වෙන දේකට නම් නෙවේ හිමා.. ඊෂාව බ්ලැක්මේල් කරන්න මොනාවත් මලිඳු ගාව නැතුව ඇති නේද?”

හිටිහැටියේ සයිබරය කැළඹී යන සමහර දේ සිදු වන්නේ මලිඳු වැනි නිහීන තරුණයන් නිසා ය. බොහෝ විට වැරදි එවැන්නන් ය. ඊෂාට එවැනි අවැඩක් සිදු වන්නට යන්නේ නම් මලිඳුට හොඳ පාඩමක් ඉගැන්වීමට මා දෙවරක් නොසිතන බව මට විශ්වාස ය.

“අපේ එකී එච්චර ගොං නෑ පිනී.. ඔය චැට් කර කර කෝල් කර කර ස්වීට් ටෝක්ස් අහගෙන ඉඳලා.වැඩේ දුර යන්න කලින් දිනුකට අහු වුණා.. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ..”

ඊෂා අප වෙත ආවේ වැරදිකාරියකගේ බැල්මකින් මුහුණ අඳුරු කරගෙන ය. ඈ සිදු වී ඇති දේ දැන සිටිනවා විය හැකි ය.

“ඊෂු,මලිඳු කියන එකාගෙන් මට වැඩක් නෑ. ඒත් ආයේ ඔහොම මෝඩ වැඩ කරන්න එපා හරිද? දිනුක වගේ හොඳ මනුස්සයෙක් මොනම හේතුවක් නිසාවත් මඟ ඇර ගන්න එපා. ඔය වගේ මෝඩ සීනි බෝල කතා නිසා කොහොමවත් එපා. මට හිමා සේරම කිව්වා. ඔයාව මඟෑරුණ එකට මම මටම දොස් කියා ගන්නවා මිස මට ඔයා ගැන චුට්ටක්වත් අහිතක් නෑ…”

මම ඊෂා වැළඳගෙන පැවසුවෙමි. ඇය ඉකි බිඳිමින් නිහඬව හුන්නා ය.

“ඕක අමතක කරලා හිනා වෙලා ඉන්නවා ඊෂා..පිනී, ආයේ ඔයාගේ කොල්ලෙක්ට බැල්මක් දාන්න ගියොත් මෙයාට පාඩමක් උගන්නමු. මලිඳු කොහොමත් අපේ කවුරුත් නෙවෙයිනෙ..”

හිමල්ක කියන්නේ හඬන ඊෂා නළවන්නට ය.

“ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් වෙන කෙනාට ආදරේ නොකර ඉන්න නම් හැබැයි මට බෑ.මං දැන් අවුරුදු විසි දෙකක් තිස්සෙ තාත්තිටත් වඩා ආදරේ එයාටනෙ. ඒ නිසා ඒ ආදරේ නම් නැති වෙන් නෑ..”

මම කිසිත් නොකියා ඊෂා තරයේ වැළඳ ගතිමි. ජීවිතයේ හිඳින අනවශ්‍ය මිනිසුන්ට පිටව යන්නට ඉඩ දුන් විට අපේ ලෝකය සුන්දර වන්නේ වඩා මිහිරි ලෙස ය.දෙවසරකටත් වඩා ආදර මිතුරිය ව නැගණිය කරගන්නා මිහිරි ආශාවක් මගේ හිතේ පිරී යන්නට වූයේ මලිඳුගේ අසෝබන වැඩ අමතක කිරීමේ උවමනාව තදබල ලෙස දැනෙද්දී ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles