හදිසියේ උදව්වට ඉන්න අසල්වැසියන්ගේ හොඳහිත හැමදාම රැක ගන්නේ මෙහෙමයි.

අහළ පහළ අය හරියටම කියනවනම් ලුණු වගේ. ඇතුවත් බැහැ. නැතිවත් බැහැ. ලුණු නැති ගෙදරක් නැහැ වගේ හැම නිවසකටම සමීප වූ අසල්වැසියන් ඉන්නවා.
හැබැයි ඉතිං අසල්වැසියන් එක්ක සතුටින් සමාදානයෙන් ඉන්න එක ඒ තරම්ම ලේසිත් නැහැ. ඇත්තටම කිව්වොත් ඒ තරම්ම අමාරුත් නැහැ. ගම්වල අසල්වැසියන් ඇසුරු කරනවාට වඩා නගරවලදි අසල්වැසියන් ඇසුරු කරන්න වෙන්නෙ වෙනස් විදියට , හේතුව නගරයේ හා ගමේදි අපේ ජීවන රටාවල තියෙන කාර්‍යබහුලත්වය. හැබයි ගමේ හිටියත් නගරෙ හිටියත් අසල්වැසියන් ඇසුරු කිරීමෙන් වැළකී සිටීම ඒ හැටි සුබදායි නැහැ.

අසල්වැසි ආශ්‍රයේ වාසි අවාසි බොහොමයක් තිබෙන නිසාම, ලුණු වගේ පදම දැනගෙන අසල්වැසියන් ඇසුරු කිරීමේ කලාව හඳුනාගැනීම ස්මාර්ට් ගෘහණියකට ඉතාම වැදගත්.

එහිදී මේ කරුණු ගැන අවධානය යොමු කරන්නට පුරුදු වුනොත් හැමදාම හොද හිත රැකගෙන අසල්වැසි ඇසුර පවත්වා ගැනීමට ඔබට පහසු වේවි.

කේලම් සහ ඕපාදූප

ප්

වැඩි වැඩියෙන් අසල්වැසියන් ඇසුරු කරන්නට යන බොහෝ දෙනෙකුට ඇතිවන ගැටලුව තමයි කේලම් වලට හසු වන්නට සිදුවීම. ඇතැම් විට ඔබ දුරදිග නොහිතා තවත් කෙනෙක් ගැන සිදුකරන ප්‍රකාශයක් කේලමක් ලෙස තවත් කෙනෙකුගේ කනට යන්නට පුළුවන්. විවේචනය නවත්තන්න. නැණවත් මිනිසුන් පුද්ගලයන් ගැන, ඔවුන් කන බොන අඳින පළඳින හැසිරෙන හැටි කතා කරන්නේ නැහැ. ඕපාදූප කතා කිරීමෙන් වටිනා කාලය නිකරුනේ නාස්ති වන බව, තවත් කෙනෙකුගෙ වටිනා කාලය කා දමන බව නිරතුරුව සිහිපත් කරගත යුතුයි. අසල්වැසි සබඳතා බිඳ වැටෙන්නේ, බොහෝ අසල්වැසියන් ඔබ නො රුස්සන්නේ කේලම් සහ ඕපාදූප නිසා විය හැකියි.

පිටට වැඩක් නැති ගෙයි ගින්දර

අසල්වැසියන් ඇසුරු කරනවිට මතක තබාගත යුතුම දේ තමයි තමන්ගේ පෞද්ගලික තොරතුරු, බිරිඳගේ සැමියාගේ වැරදි, අඩුපාඩු ගැන ඔවුන් සමඟ බෙදාහදාගන්නට නොයාම. එය ඉතා හානිකරයි. අසල්වැසියන් ඔබ සමඟ වන පුංචි අමනාපයක දී වුවත් ඔබෙන් දැනගත් තොරතුරු තවත් අයෙක් සමඟ විවේචනාත්මකව කියාපාන අවස්ථා කොතෙකුත් තියෙනවා. කිසිම වාසියක් නැතත් ඔවුන් එවැනි විවේචන සිදුකරන්නට ඉඩ තියෙනවා. ඒ නිසා කොතරම් හිතවත් වුවත් පෞද්ගලිකත්වය හෝ ගෙදර අභ්‍යන්තර ගැටළු අසල්වැසියන් එක්ක හුවමාරු කරගත යුතු නැහැ. හොඳ අසල්වැසියෙක් වෙන්නට සියලු පෞද්ගලික තොරතුරු වැදගත් නැහැ.

කෙළවරක් නැති සංසන්දන

අසල්වැසියන්ට තියෙන රෝගයක් හැටියටත් මෙය හඳුන්වන්න පුළුවනි. සංසන්දනය අසල්වැසියන් අතර විතරක් නෙවෙයි, සම්බන්ධතාවක් පවත්වාගෙන යන කාට වුණත් හිතකර නැහැ. ඔවුන්ගේ නිවසට වඩා වටිනා රූපවාහිනී, වටිනා ශීතකරණ, වටිනා වාහන, වැනි භෞතික දේවල්වලින් මේක කෙළවර වෙන්නෙත් නැහැ. එයාගෙ පුතාට වඩා හොඳ පවුලකින් ලස්සන මනාලියක් අපි අපේ පුතාට ගේන්න ඕනේ. නෑදැයින් අතර වගේම අසල්වැසියන් අතරත් ඔවැනි අර්බුද ඇතිවන්නේ අනවශ්‍ය සංසන්දන නිසාමයි.

කුණු කතා

එහා ගෙදර වත්තෙ කුණු ගඳ මෙහෙ වත්තට එන එක, අසල්වැසියන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. පොඩි ඉඩ කඩක ගේ දොර හදාගෙන ඉන්න අසල්වැසියන්ට මේ වගේ තත්ත්වයකදී ලෙඩ රෝග හැදිලා පවා නතර වෙන්නේ නෑ. කසළ බැහැර කිරීම ගැන හරි ක්‍රමවේදයක්, හැම ගෙදරකම ගොඩ නැගුනොත් මේ ගැටලුව ඉබේම විසඳ ගන්න පුළුවන්. කුණු නිසා ඇතිවෙන කතා බස් දුරදිග ගිහින් ආරවුල් ගැටුම් හදාගන්න අසල්වැසියෝ ඕනෑ තරම් ඉන්නවා. මළ අපද්‍රව්‍ය බැහැර කිරීම, වත්තේ කුණු වතුර එහා වත්තට හැරවීම, හුඟක් අසල්වැසි ආරවුල්වලට හේතු වෙනවා.

සත්ව අර්බුද

හුරතලයට සතෙක් හදන්න වත් අපිට අයිතියක් නැද්ද. අපි සත්තු හදන්නෙ අපේ ගෙදර. කාටවත් ඇති අමාරුව මොකක්ද… වගේ කතා කොයි තරම් දුරට සාධාරණද කියලා හිතන්න. කුකුළන්, ගවයින්, පරවියන්, ඌරන්, එලුවන්, වගේ සතුන් ඇති කරන්න ඇත්තටම ඔබේ නිවසේ ද ප්‍රමාණවත් ද කියලා නැවතත් හිතන්න. බල්ලන් , පුසන් වැනි සතුන් පවා නිවෙසේ ඉඩකඩ මදි නම් අසල්වැසි නිවෙස් හොයාගෙන යන්න හදාවි. ඉතින් අනුන්ගේ කරදර බාරගන්න කවුරුවත් කැමති වෙන්නේ නෑ. සතුන් ඇතිකිරීම ක්‍රමවත්ව සිදු කරන්න. අසල්වැසියන්ට එයින් බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා.

වැට මායිම්

මැරෙනකොට කවුරුවත් මහපොළොව අරගෙන යන්නේ නැති බව කවුරු කොහොම කිව්වත්, හැමෝම තමන්ගෙ ඉඩමේ මායිම රැකගන්න උනන්දු වෙනවා. අල්ලපු ගෙදර වැට ගහලා තියෙන්නේ, තාප්පය බැඳලා තියෙන්නේ ඔබේ මායිම වෙනස් කරලා නම් කෝන්තරය පටන් ගන්නේ එතනින්. පුංචි පුංචි බහින්බස්වීම් කඩු කිනිසි අරගෙන කරන මිනීමැරුම් වලින් අවසන් වෙන තරමටම වැට මායිම් ප්‍රශ්න දරුණු වෙනවා. අසල්වැසියෝ හොඳින් තියාගන්න. සුහදශීලීව මේ වගේ අවස්ථා කළමනාකරණය කරගන්න.

ගස් ප්‍රශ්නේ

අල්ලපු වත්තෙ ගස් අපේ වත්තට අනතුරු දායක වීම, ලයිට් කම්බිය උඩට ගස් වල අතු කඩාවැටීම, එහා වත්තෙ කොල මේ වත්තට වැටීම, අසල්වැසි ආරවුල් ඇතිවන තවත් ප්‍රශ්නයක්. ගස් වල කොල වැටෙන එක නවත්තන්න ගස් වලට බෑ. ගහේ අත්ත කපා දැමීම අසල්වැසියන්ට කරන්න පුළුවන් වෙයි. ඒත් ඔබට එයින් ලැබෙන හෙවන පවා එයින් පස්සේ නැති වේවි. පුංචි පුංචි කැපකිරීම් සමහර වෙලාවට හොඳ හිත රැකගන්න ඉටු නොකර බැහැ. ප්‍රශ්න කළමනාකරණය කරගෙන අසල්වැසියන් සමඟ හොඳින් ඉන්නවා නම් සුහදශීලී ව කතා කරලා මේ වගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්.

අසල්වැසියන් එක්ක සතුටින් හදවතින් ඇසුරු කරන්න. ඔවුන් කවර මොහොතක හෝ සතුරන් වෙතියි අවිශ්වාසයෙන් සැකයෙන් කටයුතු කිරීම වහාම නවත්වන්න. එහි තේරුම ඕනෑවටත් වඩා ඔවුන් මත විශ්වාසය තැබීම නොවෙයි. මධ්‍යස්ථ ව කටයුතු කිරීමේ කලාව හොඳින් ප්‍රගුණ කරන්න. නැවතත් මා කියන්නේ අසල්වැසියන් ලුණු වගෙයි. පදම හඳුනාගෙන භාවිත කරන්න.

Related Articles

Don't Miss


Latest Articles