මවක් වන සිහිනය සැබෑ වෙන තෙක්..

තරුණ ගැබිණි මවුවරුන්ගේ වැඩසටහනක තමන් ගැබිණියක බව මුලින්ම දැන ගත් දා ඇති වූ හැඟීම් ගැන එකිනෙකා සමඟ බෙදා ගැනීමේ අංගයක් විය. එය හැම මවකටම සුන්දර අත්දැකීමක් විය. අහම්බයකින් දැන ගත් හැටි, රැකියාව කරමින් හිඳිද්දී හදිසියේ අසනීප වී වෛද්‍යවරයෙක් මුණ ගැසෙන්නට ගොස් ඒ බව දැන ගත් හැටි, තමන් ගැබිණියක බව සැක කළ අම්මා ඒ බව පිරික්සා බලන්නැයි තර්ජනය කරද්දී කළ පරීක්ෂාවේදී ඒ බව හෙළි වූ හැටි යනාදී බොහෝ කතා ඒ අතර විය.

රීනා නැගී සිටියේ ඇගේ කතාව කියන්නට ය. ඇය කඳුළු පුරවාගත් දෑසින් ඇගේ කතාව හෙළි කළා ය.

රාජත්ටත් මටත් දෙමාපියන් වීම එක්වරම ලැබුණු සර්ප්‍රයිස් එකක් නෙවෙයි. අපි බලාගෙන හිටියා. බොහෝ කල් බලාගෙන හිටියා. එදාත් එහෙම දවසක්. අවුරුදු ගාණක් තිස්සෙ ප්‍රෙග්නන්සි ස්ට්‍රිප් චෙක් කරමින් බාත් රූම් එකට වෙලා මම අඬන සද්දේ රාජත්ට පුරුදු හඬක්.

“රීනා.. අඬන්න එපා.”

බාත් රූම් එකේ දොරට ගහන ගමන් රාජත් හැමදාම වගේ එහෙම කීවේ ඒ නිසා. බාත් රූම් එකේ දොර ඇරගෙන එළියට ආපු මට රාජත් ට කියන්න කතාවක් තිබුණා.ඒ කතාව එයා මටත් මම එයාටත් වසර ගණනාවක් තිස්සේ කියන කතාවක්.අපිට කටපාඩම් වුණු කතාවක්.

“අපිට ඕනෑ දේකට කාලයක් තිස්සේ බලාගෙන ඉන්න වෙනවා රාජත්..”

මගේ ඒ වචන පේළිය අවසන් වුණේ වෙනදා වගේම හැඬීමකින්.රාජත් සුපුරුදු විදියට මාව වැළඳ ගත්තා.

“ඒ නිසා තමයි අවුරුදු ගාණක් තිස්සේ අපි බලාගෙන ඉන්නේ රීනා..”

ඔහු එතැනින් ගියේ එහෙම කියාගෙන.මම ආපසු හැරී ඔහුව වැලඳ ගත්තේ හිනාවෙවී අඬන ගමන්.

“ඒත් මේ වතාවේ මාස නවයකට විතරයි..අපට බලා ඉන්න වෙන්නේ මාස නවයක් විතරමයි.”

ඔව්!!! අවුරුදු ගාණක් තිස්සේ කරපු වෛද්‍ය පරීක්ෂණ,මඟ බලා හිඳීම්, හැඬීම් සහ දෙවියන්ට කන්නලව් කිරීම් සියල්ල අහවර වෙලා තිබුණා.

රාජත්ටත් මටත් මඟ බලා ඉන්න සිදු වුණේ මාස නවයක් විතරමයි. වාසනාවේ පණිවිඩය අපේ දොරට තට්ටු කළේ අපි නොහිතූ වෙලාවක.

වාසනාවේ පණිවිඩය ඔබ සොයා එන්නේ ඔබට උවමනාම මොහොතක නොවිය හැක. බොහෝ කල් මඟ බලමින්, කැපවෙමින් හඬමින් සිට අනතුරුව ඔබ ඒ සිහිනය අත හැර දමා හිඳිද්දී රතුපැහැ ඉරි දෙකක් වාසනාවේ පණිවිඩය ඔබට දන්වන්නට ඉඩ ඇත.

මධුසමය දා ගැබ් ගැනීම,විවාහයට පෙර ගැබ් ගැනීම,ගර්භනී බව සැලසුම් කළ මුල්ම මාසයේම ගැබ් ගැනීම මෙන් ම බොහෝ කල් ගත වී රීනා මෙන් ගැබ් ගැනීම යන සියලු කාරණා නිසා බිහි වන්නේ මවකි. IVF, IUI, ආදී ක්‍රමවලින් පමණක් නොව දරුවෙක් කුසින් බිහි නොකර හදවතින් වදන මව්වරු හෙවත් දරුවෙකු කුලවද්දා ගන්නා ගැහැනුන් ද මව්වරු ය.

මවක් වීම පහසු නැත. මඟ බලා සිටීම තරමට ම නව මසක් පුරා බොහෝ වේදනා දරා ගත යුතු වේ. දරුවෙකුට උපත දීම ද, බොහෝ කල් ඒ දරුවා ඇති දැඩි කිරීම ද කිසිවක් පහසු නොවේ.

මවක් වීම ඔබේ ආදරණීය තෝරා ගැනීමකි..ඒ පදවියට ඔබව තෝරා ගැනෙන තුරු ආදරයෙන් මඟ බලන්න.බොහෝ කාලයකට පසු හෝ වසන්තය උදාවන්නට පුලුවන්. එතෙක් බලාපොරොත්තු සහිතව සිටින්න.

මවක් වන්නට නොහැකි ව ඒ වේදනාව දරාගෙන සිටින ගැහැනුන් ඔබ ඉදිරියේ ඕනෑ තරම් ඇති. ඒ හිතක් තැලෙන්නට ඔබේ එක් වචනයක් ද ප්‍රමාණවත් බව දහස්වර සිතන්න. ඔබේ වචනයක් පවා එවැනි ගැහැනුන් සනසන්නට යොදවන්න.හැම මසකම හදවතින් වැළපෙමින් සිහිනය පැමිණෙන තුරු මඟ බලන ගැහැනියකට එවැනි වචනයක් ද ප්‍රමාණවත්.

රීනා ඔබට කියන්නේ ඒ වේදනාව තේරුම් ගැනීමේ කතාවයි.

ඉන්දීය වීඩියෝවක් ඇසුරිනි

More Stories

Don't Miss


Latest Articles