පාට සේදුනු වත්සුණු -37

අම්මා සතු ව ඇති විවාහ සහතිකය ව්‍යාජයක් බව, මම යුගාන්තටත් ගෙදර අයටත් කීවෙමි. මෙහෙම වෙලාවක අම්මා ට එහෙම දෙයක් කියන්නේ කොහොමද? 

“මේ ගොං හරකි ආයෙත් රැවටුණා”

අත්තම්මා සුසුමක් හෙළමින් පුටුවක් මතට වැටුණා ය. නමුත් මා හිතු තරම් කම්පනයක් මට ඇගෙන් දකිත හැකි නො විණ. අත්තම්මා කියන්නේ ජීවිතය දිගේ හුඟක් දුර ගිය කෙනෙකි. එය නිකං ම යන්නං වාලේ ගිය ගමනක් නොව වටපිට බලමින් ගිය ගමනක් විය යුතු ය. අත්තම්මා සේ ම සීයා ද ජීවිතය විසින් තිලිණ කරනු ලැබුවා වූ අත්දැකීම් රැසකින් අත්දුටු හා අත්විඳි පාඩම් වලින් ආත්මය පොහොසත් කර ගත් අයවලුන් වෙති. අසංක වගේ අවස්ථාවාදී මිනිසෙකු වෙතින් අම්මා ඔය විදිහට හෝ මිදීමේ යහපත ඔවුන් දකින්නට ඇත.

“මේ වෙලාවෙ නැතත් ඉක්මනටම එයා දැනගනීනෙ. දැනගන්න ඕනනෙ. මහ ලොකුවට එයා ආදරේ කරපු මිනිහ ආදරේ නාමෙං එයාව රවට්ටපු එකයි කරල තියෙන්නෙ කියල”

“යුගාන්ත පුතා…”

සීයා ගැඹුරු කල්පනාවක හිඳිමින් යුගාන්ත ඇමතුවේ ය. 

“සීයා”

“ඉරණම හැම වෙලාවෙම අපිට තෝරගන්න දේවල් දෙනව පුතා. තෝරගැනීම් කරද්දි අපි හුඟක් බුද්ධිමත් වෙන්න ඕනෙ. මිනිස්සු කියනව හදවතට ඉඩ දෙන්න එපා කියල. ඇයි නැත්තෙ…මමනං කියන්නෙ හදවත කියන දේ අහන්න ඕනෙ. බුද්ධියයි හදවතයි දෙකටම සමාන අවස්ථා දෙන්න ඕනෙ. කෝසලා ආයෙත් වැරදි තෝරගැනීමක් කළා”

“මට සීයා කියන දේ තේරෙනව”

“ඕක කරුමෙයි වෙන්න තිබුණ දේයි කිය කිය මිනිස්සු මොනා කිව්වත්, මමනං හිතන්නෙ අපි හරියට නිවැරදි මොහොතෙ නිවැරදි තීරණ ගන්නැති වරද කියලයි. කෝසලා එයාට වඩා අවුරුදු කීයක් වයසින් බාල පිරිමියෙක්ව බැන්දද කියන ප්‍රශ්නෙ කවදාවත් මං අදාල කර ගත්තෙ නෑ. හැබැයි කෝසලා තමුන්ට නොගැලපෙන කෙනෙක්ව තෝරගත්තයි කියන අදහස හැමදාම මට තිබුණා”

අම්මා ගැන පුදුම වේදනාවක් මගේ සන්තානයෙහි විය. ගැහැනියක වශයෙන් ඇය විවේචනය කළ නො හැකි බව මම දනිමි. මමත් වරක් කුසල් ගේ මායාවෙහි පැටළුණෙමි. බොහෝ විට එය අප සිතා මතා කරන දෙයක් නොවේ. සත්තකින් ම සීයා කීවා සේ තෝරා ගත නො හැකි වීමේ හා තේරුං ගත නො හැකි වීමේ ගැටළුවකි.

කෙසේ වෙතත් ලෝකය පිරී පවත්නේ අත්වැරදීම් වලිනි. වැදගත් වන්නේ වරදින වාර ගණන නොව අප එය නිවැරදි කර ගන්නට දරනා උත්සාහයයි.

“ඔයාගෙ හිතට මේව බර වැඩියි කියල මං දන්නව ගයා”

තනිව කතා කරන්නට ලැබුණ අවස්ථාවේ දී යුගාන්ත මට කීවේ ය. එය ඇත්තකි. ලෝකය ගැන අප සිතාගෙන ඉන්නා ආකාරය වැරදි බව වැටහෙත්දී කිසියම් කම්පනයක් අප තුළ ඇති වේ. 

“ඒත් මේව දිහා බලල ඉගෙන ගන්න හුඟක් දේවල් ඔයාට තියෙනව. ඔයාට කියල මං කියන්නෙ…ඔයාගෙ වයසෙ ගෑනු ළමයෙක්ට. අපි ඉගෙන ගන්න අපිට ම වරදිනකල් ඉන්න ඕන නෑ”

“මං තාම හිතන්නෙ අම්මා දැන් මොකද්ද කරන්න ඕන කියලයි අයියෙ. එයා කොහොමද දැං මේ වයසෙදි ජිවිතෙත් එක්ක මෙහෙම තත්වෙකිං ඔට්ටු වෙන්නෙ…”

“අපි කවදාවත් කිසි දේකට පරක්කු වැඩි නෑ නංගි. දැංම පටං ගත්තොත් අපිට වැඩි දුරක් යන්න පුළුවන්. එච්චරයි වෙනස”

ඔහු ජීවිතය ගැන මේ තරම් දේවල් දන්නේ කෙසේද යන පැනය මා තුළ ඇති විය. බොහෝ අභ්‍යාස කිරීමෙන් හා අත්දැකීම් ලැබීමෙන් වියතුන් හා පැවිද්දන් විසින් ලබා ගන්නා වූ ජීවිතාවබෝධය, ජීවිතයේ පෙර යම හෝ පසු කර නැති යුගාන්ත වැනි තරුණයෙකු ලබා ගත්තේ කෙසේද?

මා ඔහු දෙස ප්‍රශ්නාර්ථයෙන් බලා හිඳිනු දුටු යෞවනයාගේ දෙතොල් සිනහවකින් හැඩ විය.

“මට හිතාගන්න පුළුවන් ඔයා මොනාද හිතන්නෙ කියල”

“මොනාද…”

“මං මේව දන්නෙ කොහොමද කියලනෙ”

මා තුළ ගැස්මක් ඇති විය. ඔහු පර චිත්ත විජානන ඥානය අත්දුටු පුද්ගලයෙක්වත්ද?

“අපි ඕන කෙනෙක්ට කෙනෙක්ව තේරුං ගන්න පුළුවන් නුවණක් තියෙනව නංගි. බුද්ධ ධර්මයෙ හැටියට භාවනා පුහුණු කරල ධ්‍යාන ලබන අයට එක එක දියුණු ඥාණ තල වලට යන්න පුළුවන්. ඒ තරම් නැතත්…සිහි කල්පනාවෙනුයි අවබෝධයෙනුයි ජීවත් වෙන කෙනෙක්ට ළඟින් ඉන්න අයගෙ හිත් තේරුං ගන්න පුළුවන්. හැබැයි ඒකට අපි පුළුවන් තරං අවදියෙන් ඉන්න ඕනෙ”

“ඔයා භාවනා කරනවද…”

“ම්…ටික වෙලාවක් රෑට භාවනා කරනව. ඒකෙං හිත නිරවුල් ව තියාගෙන පැහැදිලිව දේවල් දකින්න පුළුවන් ශක්තියක් ලැබෙනව”

මා හිටියේ කැළඹීගෙන ය. ඔහු වූ කලී ලෞකික ජීවිතයට වඩා අධ්‍යාත්මික ජීවිතය වෙත නැඹුරු වූවෙක්ද යන දෙගිඩියාව මා තුළ උපන්නේ ය. ඒ ගැන ඍජු ව ඔහු ගෙන් ප්‍රශ්න කිරීම සදාචාර සම්පන්න ද කියා සිතුණත්, මම සැකයේ ගිනි දැල් වලින් දැවෙන්නට බිය වීමි.

“අයිය…අයිය එක්ක කතා කරන හැම වෙලාවෙම මට අමුත්තක් දැනුණා. හරියට…ලෝකෙ ගැන හුඟක් දේවල් හොයං ගිය යතිවරයෙක් එක්ක කතා කරනව වගේ”

ඔහු සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව මා තුළ සැනසුමක් දැනවූ බවක් මට දැනිණ.

“හපොයි නෑ. මං ඒ තරං දුරකට හිත දියුණු කරපු මනුස්සයෙක් නෙවෙයි. කොටිංම අනගාරික හරි පැවිදි හරි ජීවිතයක් තෝර ගන්න හිතන කෙනෙකුත් නෙවෙයි”

යුගාන්ත මගේ ඇස් වලට එබී බැලුවේ ය. එ් ඇස් වල දීප්තියක් විය. ප්‍රේමයේ දිස්නය හැඳින ගන්නට මට නො හැකි වූයේ නැත. ඔහු මට පෙම් කරයි.

“සාමාන්‍ය ජීවිතේ ඉඳගෙනම අපේ ආත්ම ප්‍රඥාවෙන් ටිකක් එළිය කර ගන්න බැරි කමක් නෑ ගයාත්මි. කොහොමත් අපි පහු කරල ආපු ආත්ම වලදි ඉගෙන ගත්තු දේවල් අපේ මතකෙ තියෙනව. ජීවිතේ කියන්නෙ මොකද්ද කියල හරියට තේරුං ගත්තහම ආදරේ ජීවිතේට කොච්චර වැදගත් දෙයක්ද කියලත් අවබෝධ වෙනව. අපි අපිව විශ්වාස කරගෙන මේ ගමන යමු”

යුගාන්ත දෑතින් මගේ අත් දෙක අල්ලා ගත්තේ ය. මගේ දෑත් සීතල වී තියෙන්නට ඇත. ඔහු ගේ දෙතොල් මත ආදරය දනවන මන්දස්මිතයක් විය.

නමුත් මා සිටියේ ව්‍යාකූල වී ගෙන ය. මගේ අභ්‍යන්තරය අරගලයක් කරමින් සිටියේ ය. ඒ මට එරෙහිව ම ය. යුගාන්ත සම්බන්ධයෙන් මා ගත් තීරණයත් නිවැරදි එක නො වන්නට බැරි ද? 

“ඔයා හිතන විදිහ මට තේරෙනව. මේ වගේ තත්වෙකදි ඔයාට හිතෙන විදිහත් මට තේරෙනව. මාත් ඔයාගෙ වයසෙම කෙල්ලෙක්නෙ”

යුගාන්ත සම්බන්ධයෙන් මා අත්විඳි දේ ගැන කතා කරන්නට මට සිටියේ තුෂී පමණකි. මුලින් ම ඕ මා කී කතා සාවධාන ව අසා සිටියා ය.

“දැං ඔයාට තියෙන බය යුගාන්ත අධ්‍යාත්මික ජීවිතේට බර කෙනෙක් කියන එකනෙ. දවසක මේ ලෞකික ජීවිතේ ගැන කලකිරිල එයා වෙන මාර්ගයක් තෝරගන්න වුණත් පුළුවන් කියන එකනෙ. එදාට ඔයා මොකද්ද කරන්නෙ කියන එකනෙ…”

තුෂී කෙලින් ම බලා සිටියේ මගේ දෑස් දෙස ය. මගේ බැල්මෙහි තැති ගැන්ම සේ ම විශ්මිත බව ද ලියවී තියෙන්නට ඇත. මගේ මිතුරිය දෙතොල් තෙරපාන සිනහ වූවා ය.

“ඔයා කොහොමද දන්නෙ…”

“දැං ඔය බය වෙලා ඉන්නෙ මටත් අපි අර බුඩිසම් වලට ඉගෙන ගත්ත පරචිත්ත විජාණන ඥාණය, පුබ්බේ නිවාසානුස්සති ඥාණය වගේ විශේෂ ඥාණයක් පහල වෙලා කියල හිතංද…එහෙම නෑ ගයා. යුගාන්ත කිව්ව වගේ අවදියෙං ජීවත් වෙනවනං අපිට අපි අවට සිද්ද වෙන හුඟක් දේවල් තේරුං ගන්න පුළුවන් වෙනව. අපි අවට ඉන්න අයවත්. යුගාන්ත එහෙම කොල්ලෙක්. මුල ඉඳලම මං ඔයාට කිව්වෙ…ඒ වගේ කොල්ලො අඩුයි කියල. ඒක ඔයාගෙ වාසනාවක් මිසක් බය වෙන්න දෙයක් නෙවෙයි. ඔයා ඔය කියන විදිහට…දැනටමත් එයා ජීවිතේ ගැන සැලකිය යුතු තරං අවබෝධයක් ඇතුවයි ඉන්නෙ. ඉතිං අධ්‍යාත්මික ජීවිතයක් තෝරගන්න ඕනයි කියල එයා හිතනවනං මැරි කරන්න හිතයි කියල මං හිතන්නෑ. බැඳීම් අලුතෙං ඇති කර ගන්නෙ නැතුවම එයා ඒ තෝරගැනීම කරයි”

බොහෝ විට මේ ජීවිත අවබෝධය ලැබෙන්නේ සම්පූර්ණයෙන් ජීවත් වීමෙනැයි මේ මොහොතේ මම අවබෝධ කර ගතිමි. තුෂී සිය දුෂ්කරතා පිරි ජීවිතය ඇසුරේ ඒ අවබෝධය ලැබුවා ය. යුගාන්ත සිය අධ්‍යාපනය හා පත පොත කියවීම තුළින් ඒ තත්වය අත්පත් කර ගන්නට ඇත. නමුත් අතිශය සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නට පුරුදු ව උන් අත්දැකීම් වලින් දුප්පත් මා වැන්නියකට මෙතෙක් ඒ අවස්ථාව ලැබී තිබුණේ නැත. ජීවිතය ගැන මා අත්දැකීම් ලබන්නට පටන් ගත්තේ වර්තමානයේදී ය.

“විශාකා සුජාතා වගේ අය කම්සැප විඳිමින්ම යම් යම් මාර්ග ඵල අවබෝධ කරං හිටිය කියල අපි ඉගෙන ගත්ත මතකද…අවබෝධය ඇති කර ගන්න ගිහි ජීවිතේ කොහෙත්ම බාධාවක් නෙවෙයි. සමහර විට ගිහි ජීවිතේ ආශ්චර්ය හරියට අත්විඳින්න ඒක හේතුවක් වෙනවත් ඇති. යුගාන්ත ඔයාට පාර පෙන්නයි. බය නැතුව ඒ පාරෙ යන්න”

තුෂී මගේ උරහිසකට තට්ටු කළේ මා සැහැල්ලුවට පත් කිරීමේ අදහසිනි. සැබැවින් මම කිසියම් සැහැල්ලුවක් අත්පත් කර ගෙන සිටියෙමි. ජීවිතය කියන්නේ තනිකර ම අසිරියකි. ඒ අසිරිය අත්විඳින්නට නම් මුළුමනින් ජීවත් විය යුතු ය යන අවබෝධය මට ලැබී තිබිණ.

අම්මා සිය අලුත් බිළිඳා සමගින් ගෙදර පැමිණියේ අසංක ඔවුන් දකින්නට රෝහලට හෝ පැමිණියේ නැතිව ය. වේදනාව යටපත් කර ගෙන ඕ දරු සුරතල් බලනු දුටු මගේ ළය දැවී ගියේ ය. මට කුවේණි සිහි විය. විජය විශ්වාස කර ගෙන ඕ සිය නෑ සනුහරයත් රජකමත් පාවා දුන්නා ය. අන්තිමට පියා නැති දරු දෙදෙනෙකුත් කැටිව දොට්ට බහින්නට ඇයට සිදු විය. කුවේණි පරපුර අදත් නොනැසී පවතියි.

“සමහර දේවල් තේරුං යනකොට ආපහු හැරෙන්න බැරි විදිහට දේවල් සිද්ධ වෙලා ගයා”

බිළිඳා නහවා අලුත් ඇඳුම් අන්දමින් ද බිළිඳු සුවඳින් පිනා යමින්ද සිටින වෙලාවක අම්මා කීවා ය. මම වහා ඈ දෙස බැලීමි. හඬන්නට බැරි කමට වුව ඇය සිනහවක් නගා ගෙන හැඬුම වැළකීමේ උත්සාහයක් දරමින් කීවා ය. මගේ මුවෙහි වූ පවිත්‍ර සිනහව වියැකී යමින් තිබෙන බව මට දැනිණ.

“හැරෙන්න ඕන නෑ අම්මෙ. අපි ඉස්සරහටම යමු. වෙන්න තියන දෙයක් ඉස්සරහටත් වෙයිනෙ”

මගේ මුවට කොහොම එහෙම අදහසක් ආවාද කියා මා දන්නේ නැත. යටි තොල වෙව්ලන සෙයක් දැනුණෙන් මම එය තද කොට සපා ගතිමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content