කියවන්න පොතක් – අපොයියාව

ඔබ ඉදිරියේ ඇති
ප්‍රහේලිකාව ගැන හිතන්න
ඔබට උදව් කිරීමට
වචන මඟ බලා හිඳී.

මුතුහර පාසල් යන දරුවෙක්.ඔහු ප්‍රහේලිකාවක් පුරවන කතාන්දරය යොවුන් සාහිත්‍ය කෘතියක් බවට පත් කරන්නේ වර්තමානයේ ජනප්‍රියම සාහිත්‍යධරයෙකු වන මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතා.

ජීවිතය කියන්නේ ප්‍රහේලිකාවකට. අපි එය හැකි ලෙස පුරවන්න උත්සාහ දරනවා. නමුත් එය පුරවා ගත යුත්තේ ආයාසයෙන් නොවන බව දරුවන්ට වටහා දෙන්නට මුතුහර සහ කිරි අම්මා සමඟ මස් ඉඹුල මහතාට අපූරුවට හැකි වී තිබෙනවා.

අකුරු නොදන්නා කිරි අම්මා මුතුහරට ඇය ඇසූ දුටු දේවල් සහ ඇය දන්නා දේවල් ඇසුරින් ප්‍රෙහේලිකාව පුරවා ජය ගන්නට උදව් කරනවා. විස්තෘත පවුලෙන් ඈත් වී සිටින වර්තමානයේ දරුවන්ට ජීවිතය ගැන පාඩම් කියා දෙන කිරි අම්මා කෙනෙක් මේ පොත හරහා හමු වීම ම මොනතරම් දෙයක් ද?

“ඔය වචනෙ එයි හරි වෙලාවට. සමහර වචන හදිස්සියට ආවට සමහර වචන එහෙම නෑ. හෙමින් හෙමින්.. අගේ කොර කොර..සමහර මිනිස්සු වගේ තමයි.. කලබල නොවී කල්පනාවෙන් ඉඳිමුකෝ ළමයෝ..” කිරි අම්මා කිව්වා ය.

මුතුහරගේ ප්‍රහේලිකාව වගේම ජීවිතය ද හැඩගස්වා ගන්නට කිරි අම්මා දෙන අවවාද, ඇය දන්නා බොහෝ දේවල් මුතුහරට මෙන්ම පොත කියවන යොවුන් දරුවන්ට ද ඉගෙන ගන්නට ලැබීම ඉතා වටිනා දෙයක්.

“මෙය පිරවීමේදී මට හමුවුණු සෙලවෙන ගස්කොළංවල ශබ්ද, මහ පොළොවේ නෙක හැඩැති කඳු පල්ලම්, තැනිතලා, අඩි පාරවල්, පැරැන්නන්ගේ කවි සීපද, කතන්දර, ලියැදි, කමත්, ඉපනැලි සහ පිදුරු සුවඳ, ශබ්දවල සැඟවුණු දේවල්, මිනිසුන් වැනි වචන, වචන වැනි මිනිසුන් පමණක් නොව මුළුමහත් ලෝකය පිළිබඳව ද ඇතිකරගත යුතු ආසාව පිළිබඳව ද අමතක කරන්නට බැරි ය.”

පාසලේ විශේෂ පන්තියක් ලෙස හැඳින්වූ වැඩිපුර දඟ කරන ළමයින් සහ අකුරු නිවැරදිව ලියන්නට බැරි ළමයින් ඉගෙන ගන්නා පන්තියක ඉගෙන ගන්නා මුතුහර තමන්ගේ විශේෂත්වය හඳුනා ගන්නේ ද ජීවිතය ගැන අලුත් පාඩම් ඉගෙන ගන්නේ ද මේ ප්‍රහේලිකාව හරහා. ඕනෑම දරුවෙකුට තමන්ගේ පාරක් ඇති බව මුතුහර නැවත නැවතත් සිහිපත් කරන්නේ ඒ ආකාරයෙන්.

සෙංකොට්ටං, මාණික්කාවත කියැවූ ඔබට නැවත මස්ඉඹුල මහතාගේ පොතක් කියවන්නට සිදු වන්නේ යොවුන් කෘතියක් වූ අපොයියාව ලෙස. එහෙත් එහි රසයේ කිසිම අඩුවක් නැහැ.

ඔබ මවක් නම්,ගුරුවරියක් නම් ඔබේ දරුවන්ගේ පොත් එකතුවට මේ අපූරු පොත එකතු කරන්න අමතක කරන්න එපා.

“ඔව් අනේ මේ ඒ කතාව තමයි”

අපොයියාව සන්ථව ප්‍රකාශනයක්.

Related Articles

Don't Miss


Latest Articles