පාට සේදුනු වත්සුණු – 39

0
945

සුබ පතන්නන් සේ ම සුබ පැතුම් ගෙන එන්නට අකමැති පුද්ගලයන් ද සුබ මොහොතවල් වල දී අපට හමු වන්නට පුළුවන. මේ සුබ හෝරාවේ කේන්තියෙන් පුපුරමින් එහි පැමිණ සිටියේ ලොකු මාමා හා නැන්දා ය. ඔවුන් දුටු අත්තම්මා කට කොනකට සිනහවක් නගා ගත්තා ය.

“ආයෙ මෙහෙ පස් පාගන්නෑ කියල ගිය ඈයො මේ ඇවිත් තියෙන්නෙ ගයාත්මියො”

කාටවත් නො ඇසෙන සේ ඕ මගේ කනට කර කෙඳිරුවත්, සිනහවක් නගා ගන්නට තරම් හෝ මට දිරියක් වූයේ නැත. ලොකු මාමා මේ සුබ මොහොත විනාශ කරමින් ලොකු කලබලයක් ඇති කරනු ඇති බව සිත මට කොඳුරා කීවේ ය. සමහරු එහෙම ය. තමන්ට ප්‍රයෝජනයක් නැතත් කම් නැත. නමුත් වෙනකෙකු ප්‍රයෝජන ලබනු බලා සිටින්නට ඔවුන්ට නුපුළුවන.

“මටත් නොකියම මේ ඉඩ කඩං බෙදන්න වගේ හදන්නෙ නේද අම්මෙ..”

ලොකු මාමා කෙලින් ම අත්තම්මා ගේ මූණ ඉදිරියට විත් ප්‍රශ්න කළේ ය. අත්තම්මා නො බිය ව ඔහු ගේ මූණ දෙස බලා නො සතුටින් ඉවත බැලුවත්, මගේ නම් හද ගැස්ම හොඳට ම වැඩි වී තිබුණේ ය. පුංචි කාලේ සිට ම මා එහෙම ය. මගේ සම්බන්ධයක් නැතත්, බහින් බස් වීම් සිදු වන තැනක දී මම කම්පිත වෙමි. මගේ බාල වියෙහි දී අම්මා හා තාත්තා ගේ ඇතුළේ ඇති කර ගත් දබර සහ පහර දීම්, මගේ ළමා මනසෙහි ඇති කළ අයහපත් බලපෑම නිසා එසේ වූවා දැයි නො දනිමි.

“නෑ. අපි බෙදල දෙන්න ඕන දේවල් බෙදල දීල ඉවරයිනෙ”

අත්තම්මා උදාර ලීලාවක් ආරූඩ කර ගත්තා ය. 

“එතකොට දැං මේ මොකද්ද වෙන්න යන්නෙ…”

“ලොකු ළමය. නිකං බොරුවට බෙරිහන් දෙන්නෙ නැතුව හිටපං. මෙතන කඩ කාමරයක් හදන්නයි යන්නෙ. කෝසලාට සැලෝන් එකක් කරන්න. එහෙම නැතුව ඉඩකඩං බෙදිල්ලක් මෙතන වෙන්නෙ නෑ”

“එතකොට කෝසලාටයි කෝසලාගෙ දුවටයි ඕන ඕන හැටියට පිනුං ගගහ මේකෙ බිස්නස් කරන්න පුළුවන්. එහෙමද…”

“හරිම අසාධාරණයි අම්මෙ. මේ ඉන්නෙ ඔයාලගෙ පුතෙක් නෙවෙයිද…මේ මනුස්සයට ඔච්චර වෙනස්කං කරන්නෙ මොකද…”

නැන්දා ත් ප්‍රශ්නයට කට දැම්මා ය.

“අනේ මේ චාන්දනී. නොදන්න දේවල් නොකියවා ඉන්නවද..තමුංගෙ මිනිහ ගොං වැඩක් කරන්න යද්දි ගෑනු වුනහම එහෙම කරන්නෙපා කියල නවත්ත ගන්නව නෙවෙයි. තව උල්පන්දං දීගෙන ඉස්සර කරගෙන එනව”

“ගොං වැඩ…හහ්. එතකොට මේව තනියම අරයට දෙන්න ඇරල නිකං ඉන්නැති එකයි මගෙ ගොංකම…”

“ලොකු පුතා. මේක අපි දෙන්න මැරෙනකල් ඉන්න තියෙන තැන. මේක දැම්ම කාටවත් දෙන අදහසක් අපිට නෑ”

සීයා සන්සුන් ව වුණත් මැදිහත් වූයේ මේ මොහොතේ ම මේ ගින්න නිවා දැමිය යුතු ය යන අදහසින් විය යුතු ය. එසේ නැතොත්, දරුවන් ගේ ප්‍රශ්න වලට කෙලින් ම මැදිහත් වන ස්වභාවයක් ඔහු ගේ නැත. සීයා ඕනෑ ම දෙයක් කියන්නේ කරන්නේ අත්තම්මා හරහා ය.

“ඒක වෙන්නැති මේ පැළ තවානුයි සැලෝනුයි අරවයි මේවයි දාල දෙන්නෙ”

“දරුවො. ජීවත් වෙලා ඉන්නකල් මනුස්සයෙක්ගෙ යුතුකම තවත් මනුස්සයෙක්ට උදවු කරන එක. එහෙම නැතුව වැටිච්ච එකාව පාගල චප්පම කරල දාන එක නෙවෙයි. එහෙම දෙයක් අපේම අය අතරෙං පටං ගන්න එක තමයි ලේසිම”

“අනේ මේ බයිල කියන්න එපා අම්මෙ”

“ආ…එහෙනං අපේ වැඩෙත් මෙතන කරන්න පුළුවන් නෙ ජයන්ත”

නැන්දා ගේ ඇස් වල කපටි සිනහවක් විය.

කියවන්න :  පාට සේදුණු වත්සුණු - 12

“ඔව්. මාත් මේ කමියුනිකේෂන් සෙන්ටර් එකක් කරන්න තැනක් හොය හොය හිටියෙ. මාත් මෙතනිංම ඒකට කඩ කෑල්ලක් හදා ගන්නව”

සීයාත් අත්තම්මා ත් උනුන් ගේ මුහුණු දෙස බලා ගත්හ. ඔවුන් ගැන මහත් ශෝකී හැඟීමක් මා තුළ ඇති වූයේ ය. දෙමාපියන් විසින් දරුවන් උස් මහත් කරනු ලබන්නේ මොන විදිහේ හැඟීම් සමූහයක් සමගින් ද?  නමුත් උස් මහත් වී දීග තලා ගිය විට දරුවන් ක්‍රියා කරන්නේ මොන තරම් ආත්මාර්ථකාමී හා අකෘතඥ ආකාරයෙන් ද? 

“හරි. උඹත් හදා ගනිංකො. හදා ගත්තදෙං පුතාලගෙ තාත්තෙ”

සීයා යන්තමින් හිස සැලුවේ ය. මට දැනුණේ සුළඟ පවා ශෝක රාවයක් නංවමින් හමා ගියා සේ ය. 

නත්තසූරිය වැටට මෙපිටින් මෙතෙක් මේ ඉසව්වේ වූ නිදහස් නිසංසල බව තව වැඩි කලක් නො පවතින බව සහතික ය. ඉන්පසු මේ ඉම ව්‍යාපාරික භූමියක් බවට පත් වන්නේ ය. සීයා හෝ අත්තම්මා ඊට නො සතුටු වුණත් දරුවන් වෙනුවෙන් සියල්ල කැප කරන්නට ඔවුන්ට සිදු ව තිබේ.

“මිනිස්සු ඉඩකඩං වලට කොච්චර ආසාවක් තන්හාවක් තියනවද කියල ඔයාට තේරුණාද ගයා…”

ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය කලමනා ඇනවුම් කරන්නට නගරයට යන ගමන් යුගාන්ත නැවතත් ඒ සිද්ධිය සිහිපත් කළේ ය.

“මට හිතෙනව අයියෙ…මං මෙතන ප්ලාන්ට් නර්සරි එක පටං ගත්තු එකත් වැරදියි කියල”

“ඒක සීයලගෙ ගෙදර වත්තෙ පරිසරේට මුහුවෙන එකක් මිසක් ඒ පරිසරේ නිසංසල කම විනාශ කරන එකක් නෙවෙයිනෙ නංගි  ඒත් නෑදෑයො කියන අය ඔහොම තමයි. කෙනෙක් පොඩඩක් හරි ඔළුව උස්සනකොට තව කෙනෙක්ට බලං ඉන්න බෑ. කෙනෙක් ගෙයක් දොරක් හදා ගන්නකොට වාහනයක් ගන්නකොට ඊරිසියාවෙ පුපුරන්න යනව. ඒව පැත්තකිං තියන්නකො. කෙනෙක්ගෙ ළමයෙක් ඉගෙන ගන්නවට තව කෙනෙක් සතුටු වෙනවද…නෑ. මිනිස්සු කවද මේ මනුස්ස ජීවිතේ යතාර්ථය තේරුං ගනීද කියල හිතාගන්න බෑ”

“ඔයා හිතනව ඇති මේ වගේ පවුලකටද සම්බන්ධ වෙන්න යන්නෙ කියල”

“මේව ඕගොල්ලංගෙ පවුලෙ විතරක් තියන ප්‍රශ්න නෙවෙයි ගයාත්මි. කොතනත් එහෙමයි.”

යුගාන්ත සුසුමක් හෙළුවේ ය. මේ වයසට ඔහු ජීවිතය ගැන ඇති කරගෙන තිබෙන අවබෝධය, ඔහු ට වඩා කාලයක් ජීවත් වූ මාමලාට, නැන්දලාට, අම්මලාට නැතුවා නොවේද?

“ජීවිතේ කියන්නෙ මරණෙ ළඟට යන පාර. ඒත් හුඟක් මිනිස්සු ඒක තේරුං ගන්න සූදානම් නෑ. කවදාවත් මැරෙන්නෙ නැති මිනිස්සු වගෙයි ජීවත් වෙන්න හදන්නෙ”

“අම්ම වුණත් ඇත්තටම දේවල් තේරුං අරගෙනද කියල වෙලාවකට මට හිතෙනව අයියෙ. සිද්ද වෙච්ච දේවල් වලිං පාඩං ඉගෙන ගත්තනං අම්මට දැං වුණත් පටං අරං ජීවිතේට ලස්සනට මූණ දෙන්න පුළුවන්”

“හොඳ දෙයක් වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු. වෙන ඉතිං කරන්න දෙයක් නෑ. අපිට අපේ ජීවිතේ මිසක් වෙන කෙනෙක්ගෙ ජීවිතේ පාලනය අපේ අතට ගන්න බෑ. අපිට පුළුවන් දෙයක් කරන එක විතරයි කරන්න තියෙන්නෙ”

අම්මා සිය අලුත් බිළිඳාව තුරුලු කරගෙන සිටියා වුණත් ඇගේ හිත එක තැනක නො නැවතී දුවමින් පවතින බව, ඇතැම් අවස්ථා වල ඇදෙස බලන මම වටහා ගමි. ඒ වෙලාවට අම්මා පිළිබඳව මා තුළ නැගෙන්නේ කණගාටුවකි. ගැහැනියක වශයෙන් ඇයට පිරිමියෙකු ගේ ආදර කරුණාව ලැබුණේ ම නැති තරමි. ඇගේ හදවතේ කොනක ඒ සන්තාපයත්, බලාපොරොත්තු සුන් වීමේ ඉච්ඡාභංගත්වයත් වද දෙමින් තිබෙනවා විය යුතු ය. යකඩ ගැහැනියක සේ කාලයක් තිස්සේ තනිව ජීවිතය හා පොර බැදුවත්, ඇගේ හදවතේත් මෘදු මොළොක් ගැහැනු හැඟීම් වන්නේ ය. ඒවා අත්පත් කර ගන්නට ගොස් මුලා වීම ගැන ආත්ම අසරණ කමක් ද ඇයව පීඩාවට පත් කරනවා යි මම සිතමි.

කියවන්න :  පාට සේදුණු වත්සුණු - 15

“දෙමව්පියො කියන අය කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තියනව ගයා”

හැන්දෑව අඳුරට හැරෙමින් පවතිද්දී මිදුලේ බංකුව මතට වී අහස දෙස බලා උන් අත්තම්මා හෙමිහිට තෙපළා ය. ඒ මොකක්දැයි මා වාචික ව නො විමසුවත්, අත්තම්මා මගේ හිත දකින්නට ඇත.

“ගයා තාම තරුණ ළමයෙක් නිසා මේ දේවල් ගැන අවබෝධයක් ඇතුවම ජීවිතේ පටං ගන්න එක හොඳයි. දෙමවුපියො කවදාවත් තමුංගෙ දරුවන්ට වෙන වෙන හැඳි වලිං බෙදන්න හොඳ නෑ ගයා. හැම දරුවෙක්ටම එකම විදිහට සලකන්න ඕනෙ. තියෙන දෙයක් සමානව බෙදල දෙන්න ඕනෙ”

“ඉතිං අත්තම්මල එහෙම කරලනෙ තියෙන්නෙ”

ඇය යම් පසුතැවීමකට පත් ව ඇත් නම් එය දුරු කරනු වස් මම කීවෙමි. අත්තම්මා සුසුමක් හෙළුවා ය.

“හ්ම්. එහෙම කරල තිබුණත් ළමයි හිතන්නෙ අපි එක්කෙනෙක්ට විශේෂයක් කරයි කියල. ඒකනෙ ඔය ලොක්කා අද දුවගෙන ආවෙ”

“අත්තම්ම මාමටත් කඩයක් හදාගන්න කිව්වෙ ඒකද…”

“අපි දැං කොයි වෙලේ මේ හුස්ම ටික අතෑරල යයිද කියන්න බෑ. ඒත් මේ සහෝදරයො කුලල් කාගන්න ඕන නෑනෙ දරුවො”

“ඒක ඇත්ත අත්තම්ම”

“මේ පිරිමි කසාද බඳින ගෑනුන්ට ලොකු වගකීමක් තියනව ගයාත්මි. ඒ පවුල් වල තිබුණ බැඳීම්…සහෝදරකං විනාස නොකර තිබුණ හැටියටම තියෙන්න අරින්න. ඒත් මේ ගෑනු කරන්නෙ අර පරණ සම්බන්ධකං කැඩිල යන්න උඩගෙඩි දෙන එක. ඒ පවුලෙ හිටිය පුතා, සහෝදරයා අර පවුලෙං කඩලම අරං තමුංගෙ තනි බූදලයක් කර ගන්න එක. ඔය චාන්දනී කළෙත් ඒක. ගයා වුණත් කසාද බැඳල යුගාන්ත පුතාගෙ හරි අපි දන්නෑ වෙන කෙනෙක්ගෙ හරි පවුලකට සම්බන්ධ වෙයිනෙ…අන්න එදාට එහෙම පවකට අත නොගහන්න තදින් හිතට ගන්න. යුගාන්ත ගයාගෙ මහත්තය වෙන්න කලිං ඒ දෙමව්පියන්ගෙ පුතා වුණේ. ඒ සහෝදර සහෝදරියන්ගෙ සහෝදරය වෙලා හිටියෙ. කේලං කියල හිත් බිඳවල තනියම එයාව අයිති කරං තේරුමක් නෑ. මොකද එහෙම කළා කියල ඔයාට කවදාවත් ඒ තැන ගන්න බෑ. ඒ තැන ගන්න මහන්සි නොවුණට ඔයාට ඔයාගෙ තැන, ඒ කියන්නෙ යුගාන්තගෙ නෝනා කියන තැන නැති වෙන්නෙ නෑ. ලොකු පුතාව අපේ පවුලෙං ඈත් ම කළේ ඔය චාන්දනී. ඒ දරුවංව වුණත්”

ඒ කාලයක් තිස්සේ අත්තම්මා ගේ හිතට දුක් දෙමින් පැවති කතාවක් විය යුතු ය. ඇගේ ඇස් මත ශෝකයේ  අඳුර තැවරී තිබිණ. මම ඒ රැලි නැංවුණ වියපත් අතක් හෙමිහිට පිරිමැද්දෙමි. 

“වයසට යනකොට හරි පුදුම තනිකමක් දැනෙන්න ගන්නව දරුවො. වෙලාවකට ඒ හුදකලාව දරා ගන්නත් අමාරුයි. දරු මුණුබුරෝ වට කරගෙන ඉන්න එක තමයි ඒ තනිකමට තියන එකම බෙහෙත”

“අත්තම්මයි සීයයි හැමදාම මං බලා ගන්නව. යුගාන්ත අයියත් ඒක එයාගෙ වගකීමක් කියලයි හිතන්නෙ. අත්තම්මා දැ ඕව ගැන හිතල දුක් නොවී ඉන්න”

මේ ජීවන ගමනේ යම් තැනකදී මටත් ඔය හැඟීම ම දැනෙන්නට පුළුවන. මගේ දරුවන් නිසාත් මගේ හිතේ හිස්තැන් නො පියවෙන්නට පුළුවන. ඒ අවබෝධය, අත්තම්මා සේ ම අම්මාවත් යුගාන්ත ගේ මවු පියන්වත්, මේ බියකරු ජීවිත හුදෙකලාවේ අතරමං නොකරන්නට මට ම පිළින දී ගන්නට මා පොළඹවා ලී ය.

5 1 vote
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments