තළෙලු සම ආභරණයක් කර ගනිමින් ලොව දිනූ ජනප්‍රිය කාන්තාවන්.

සුන්දරත්වය ඉතා ම සාපේක්ෂ දෙයක්. එය ඇත්තේ දකින්නාගේ දෑස් තුළයි. බොහෝ දෙනා සුන්දරත්වය ලෙස දකින්නේ සුදුවන් සමයි. සමෙහි මෙලනින් නිපදවීම සහ ජාන ඔබේ සමයේ පැහැය කෙරේ බලපානවා. සැබැවින්ම සුන්දරත්වයට සමේ පැහැය බලපානවාද? අඳුරු සමක් සහිතව ඉපිද, රූපයේ සුන්දරත්වය නිසා ම ජනප්‍රිය වූ රුවැත්තියන් කීපදෙනෙක් ඔස්සේ අපි ඒ ගැන කතා කරමු.

ජෙනිෆර් හොස්ටන්

ජෙනිෆර් කුඩා ග්‍රෙනඩා දූපත නියෝජනය කරමින් ලෝක රූ රැජින තරඟයට සහභාගී වන්නේ 1970දී. අදට හරියට ම වසර පනහකට පෙර. ඇය එදා තරඟයට ඉදිරිපත් වන්නේ දැඩි අධිෂ්ඨානයෙන්. තම රටේ නම මුළු ලොවක රන්දන්ටත් ලොව පුරා සංචාරය කරන්නටත් ඇයට අවශ්‍ය වූ බව ඇය එදා පවසනවා. ඇගේ සුන්දරත්වයත් – අතිශය බුද්ධිමත් ව විනිසුරුවරුන්ට පිළිතුරු දුන් ආකාරයත් නිසා අඳුරු සම පසෙකලා ලෝක රූ රැජින කිරුළ දරන්නට ඇයට හැකිවෙනවා. මේ වන විට 73 හැවිරිදි වියේ පසුවන ඇය සායනික මනෝ චිකිත්සකවරියක් ලෙස සේවයෙහි නිරත වනවා. අඳුරු සම සුන්දරත්වයට බාධාවක් නොවන බව ලොවට ම පෙන්වමින් ඇය ඉතිහාසගත වන්නේ ඒ අයුරිනුයි.

වාරිස් ඩයිරි

ඔබ කාන්තාරයේ කුසුම කෘතිය කියවා ඇති බවට සැකයක් නැහැ. ඒ වාරිස් ඩයිරිගේ ජීවිත කතාවයි. ඇගේ කුඩා කාලය අතිශයින් දුක්බර වූවක් බව ඔබ දන්නවා. එහෙත් ඇයගේ ජීවිතය වෙනස් වන්නේ ඇයගේ රූපය නිසා. සමාජයේ ලස්සන යැයි සම්මත සුදුවන් සමක් ඇයට අහිමියි. නමුත් ඇය නිරූපිකාවක් ලෙස ඉහළින් ම වැජඹෙන්නට හැකියාව ලබනවා. එහිදී ඇගේ සමෙහි වර්ණය ඇයට කිසි අයුරකින් බාධා කරන්නේ නෑ. ඇය නිරූපණ වෘත්තියෙන් හොඳින් උපයනවා. මේ වන විට ලේඛිකාවක් මෙන් ම සමාජ ක්‍රියාකාරිනියක් ද වන ඇය 54 හැවිරිදි වුවත් සුන්දරත්වයේ නම් අඩුවක් නැහැ.

න්‍යාකිම් ගැට්වෙච්

ඇයව හඳුන්වන්නේ අඳුරේ රැජින ලෙසයි. ඇගේ සම කෙතරම් අඳුරු ද යත් එය වඩාත් කිට්ටු වන්නේ තද නිල් පැහැයටයි. 1993 දී න්‍යාකිම් ඉපදෙන්නේ ඉතියෝපියාවේ. ඇය ඇගේ සමෙහි පැහැය නිසා බොහොම කණස්සල්ලෙන් සිටි යුගයක් තිබුණු බව ඇය පවසනවා. එහෙත් ඒ පැහැය නිසා ම අද ඇය ඩොලර් මිලියන 4කට අධික වත්කමක් සහිත නිරූපිකාවක්.

“අඳුරු සමට බිය වන්න එපා. අඳුරු සම ලැජ්ජා විය යුතු දෙයක් නොවෙයි. ඔබේ බුද්ධිය, ඔබේ සුන්දරත්වය ඔබේ සමෙහි පැහැයෙන් තීරණය වන්නේ නෑ” මේ ඇගේ හඬයි.

ගැබ්‍රියෙලා යුනියන්

තද අඳුරු සමක් සහිත ගැබ්‍රියෙලා යුනියන් ඉතා ජනප්‍රිය ඇමෙරිකානු රංගන ශිල්පිනියක් සහ ගායිකාවක්. ඇය මාලා නාටක සහ චිත්‍රපට විශාල ගණනකට සිය දායකත්වය ලබා දෙමින් පවතිනවා. ඒ කිසිදු අවස්ථාවක ඇගේ සමේ පැහැය ඇයට බාධාවක් වන බව දකින්නට නැහැ. ඇගේ ආකර්ෂණීය සිනහව සමේ පැහැය කුමක්ද යන්න පවා අමතක කරවන බවයි ඇගේ රසිකයින් පවසන්නේ.

බියොන්සේ

බියොන්සේ 90 දශකයේදී කරළියට එන්නේ ගායිකාවක ලෙසයි. මේ වන විට රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ඇය ප්‍රේක්ෂකයන්ගේ උමතු ආදරය දිනා ගත්තා කිවහොත් නිවැරදියි. ඇය ඇගේ ක්ෂේත්‍රයේ icon එකක් වී අවසන්. 21 වන ශතවර්ශයේ සරාගී ම කාන්තාව ඇය බවට රසිකයින් ඡන්දය පළ කර ඇති බවට GQ සඟරාව පවසනවා. මේ කිසිම ජයග්‍රහණයකට ඇගේ අඳුරු සම බාධාවක් හෝ හේතුවක් වන්නේ නැහැ.

සුන්දරත්වයට සමෙහි පැහැය බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඔබට සමේ පැහැය වෙනස් කරගන්නට අවශ්‍ය නම් එය කර ගත යුත්තේ සම්පූර්ණයෙන් ඔබේ අවශ්‍යතාවය මත මිස ලෝකයේ අවශ්‍යතාවය මත නොවෙයි. බුද්ධිමත්කම මෙන් ම ආකල්පත් සමේ පැහැය පරයමින් ඔබේ සුන්දරත්වය කෙරෙහි බලපානවා. අඳුරු සමැති රුවැත්තියනි, ආත්ම විශ්වාසයෙන් පිය නගන්නට කාලයයි මේ.

Related Articles

Don't Miss


Latest Articles