කොරෝනා කාලයේ ඔබට ඇඳුමක් Shop එකකින් මිලදී ගන්නම වුණොත් ආරක්ෂාකාරීව මිලදී ගන්නේ මෙහෙමයි .

සාප්පු සවාරි යන එක කාන්තා අපේ විනෝදාංශයක් උනාට කොරෝනා තත්වයත් එක්ක සාප්පු සවාරි යද්දි නම් ගොඩක් දේවල් තියෙනවා සැලකිලිමත් වෙන්න. රට පුරා පැතිරිලා තියෙන කොරෝනා තත්වයත් එක්ක සෞඛ්‍ය අංශ අවවාද කරන්නේ පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න කියලා. ඒත් ගැබිනි ඔබට, විවාහයට සූදානම් වන ඔබට, නොයාම බැරි උත්සවයකට යන්න ලෑස්ති වෙන අයට, දවසින් දවස ලොකු වෙන පුංචි පැටව් ඉන්න ඔබට, පවුලේ කෙනෙක් රෝහල් ගත කරලා හදිසියේ පහසු ඇඳුම් අවශ්‍ය වන ඔබට සාප්පු යන්නම වෙනවනේ. ඉතිං අනිවාර්‍ය අවශ්‍යතාවයටම පමනක් සාප්පු සවාරියේ යන ස්මාර්ට් ලේඩි ඔබ මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න .

අපේ සත්‍ය විස්තර දෙන්න ඕනෑද ?

සාප්පුවට ඇතුල් වෙන තැනදී ඔබේ නම, ගම, ලිපිනය, දුරකතන අංකය ඒ අය සඳහන් කර ගනී. එහෙමත් නැතිනම් රජයෙන් දීපු අංකයට මැසේජ් කරන්න හෝ බාර්කෝඩ් එක ස්කෑන් කරන්න කියයි. ඒ දේවල් කරන්නේ ඔබේ ආරක්ශාවට. ඒ නිසා සත්‍ය තොරතුරු දෙන්න. ඒ ස්තානයෙන් රෝගියෙක් හමුවුවහොත් ඔබට දැනුම් දෙන්නයි ඒ තොරතුරු ගන්නේ.

ඔබ සාප්පු සවාරි යන්නම ඕනෑ ද?

මොකද කොරෝනා අවදානම තාමත් අපේ රටෙන් පහව ගිහිල්ලා නැහැ. ඉතිං සාප්පු සවාරියට කලින් ඒ දේ ගැන කිහිප වරක් සිතා බලන්න. දෙවරක් සිතන්න යන්න කලින් මේ යන්නේ අවශ්‍යම ගමනක්ද කියලා. වසර අවසාන සේල්, නත්තල් කියලානම් ඔබ සාප්පු යන්න හදන්නේ, ඔබ නිතර යන සාප්පුවේ ඔන්ලයින් වෙබ් පිටුව හෝ ෆේස් බුක් පිටුව පොඩ්ඩක් බලන්න අමතක කරන්න එපා. මේ වෙද්දි හැමෝම අන්තර්ජාලය හරහා භාණ්ඩ විකුණනවා. ඒ වගේම විශේෂ දීමනා දීලා ඔබේ ආකර්ෂණය අන්තර්ජාලය තුලින් දිනාගන්න බලන නිසා සාප්පු සවාරි යනවට වඩා අන්තර්ජාලයෙන් ශොපින් කිරීම ඔබට වාසිදායක වෙන්නත් පුළුවන්. නිවසටම ගෙනත් දෙන නිසා ඔබටත් ලේසියි.

කොහේට ද යන්නෙ ?

ඔබට හුරු පුරුදු සාප්පු සංකීර්ණයක් තිබේ නම් ඔබ එහි යාමට පෙර ඔබට දුරකථන ඇමතුමක් දීලා ඒ අය මේ වෙලාවේ අරන් තියෙන ආරක්ශක උපක්‍රම මොනවාද කියා කල් තියාම දැන ගන්න. අත සේදීමේ පහසුකම් ,විෂබීජ නාශක පහසුකම්, ඇඳුම් ඇඳ බැලීමේ පහසුකම නැති කිරීම, මාරු කිරීමේ පහසුකම නැති කිරීම මේ වෙලාවේ වැදගත්. අලුත් සාප්පුවකට යනවාට වඩා ආරක්ශාව උපරිමයෙන් තියෙන ඔබට පුරුදු තැනටම යන්න.

කවුද යන්නේ?

ඔබේ සාප්පු සවාරිය අත්‍යවශ්‍යම ගමනක් නම් මේ ගමනට සහභාගී වන්නේ කවුරුන්ද කියා කලින්ම තීරණය කිරීම ඉතාම වැදගත් .පවුලේ සිටින දරුවන්, වයෝවෘද්ධ පුද්ගලයන්, රෝගීව සිටින අය හැර නිරෝගී වැඩිහිටියන් තමයි සහභාගී විය යුත්තේ. මෙහිදී එය එක් අයෙකු හෝ දෙදෙනකුට සීමා කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. එය තමන්ගේ ආරක්ෂාවට වගේම පවුලේ ආරක්ෂාවටත් වැදගත්. අනවශ්‍ය තදබදයක් ඇති වීම වැළැක්වීමට හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමට සහයෝගය දක්වන්න පුලුවන්. ආයේත් මතක් කරනවා, පවුලේ සාප්පු සවාරියට සුදුසු කාලයක් නෙමෙයි මේක. මගේ රැකියාව නිමි ඇඳුම් වෙළඳාමට සම්බන්දයි. ඊයේ මම වෙළඳසලට යනකොට මම දැක්කා ගැබිනි කාන්තාවක්, සැමියා පුන්චි දරුවෝ දෙන්නෙක් සහ වයසක අම්මෙක් ශොපින් ඇවිත්. ඇත්තටම මේ වගේ වෙලාවක ඔබ සියලු දෙනා මේ ගමන් යන්න අවශ්‍ය නෑ කියලයි මන් හිතන්නේ. මොකද පුන්චි දරුවො එහෙ මෙහේ දුවමින් භාණ්ඩ අතපත ගෑම ඔබට නවත්තන්න අමාරු වැඩක්.

මොනවද ගන්න යන්නේ ?

දැන් තියෙන සුපිරි වෙළෙඳ සංකීර්ණ වල සියලුම භාණ්ඩ එකම වහලක් යටින් ගන්න පුළුවන්. ඒ කියන්නෙ මසා නිම කළ ඇඳුම්, රෙදි පිළි පිළි, විසිතුරු භාණ්ඩ, ගෘහ භාණ්ඩ මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු භාණ්ඩ, රූපලාවන්‍ය උපකරණ හැම දේම තියෙනවා. ඉතිං ඔබට අවශ්‍ය දේවල් මූලික ලෙස ලැයිස්තු ගත කළ හොත් ඉතාම පහසු වෙනවා. ඒ වගේ ම ගොඩනැගිල්ල තුළ එහා මෙහා සක්මන් කිරීමේ අවශ්‍යතාවය නැති වෙන අතර ඔබේ මුදල් පසුම්බියට ද එය වාසිදායක වන්නේ දකින දකින දේ මිලදී ගැනීමට නො යන නිසා ය .

මොනවද දැන ගත යුත්තේ ?

දැන් ඔබේ ලයිස්තුව නැවත කියවන අවස්ථාවයි. කොරෝනා නිසා බොහෝ සාප්පුවල ඇඳුම් ඇඳ බැලීමේ අවස්ථාව හෝ මාරු කිරීමේ පහසුකම නැති කරලා තියෙනවා ඒ හැමදේම කරන්නේ ඔබේ ආරක්ෂාවටමයි. නමුත් අවශ්‍ය දේ හරියට මිල දී ගැනීමේ වගකීම අප සතුය. ඉතින් ඔබේ ලයිස්තුව නැවත කියවන්න. පහත උදාහරණ වල දැක්වෙන පරිදි ඒ ලැයිස්තුවේ ඇති තොරතුරු එක් රැස් කර ගන්න.

  • පිරිමි ෂර්ට් නං කොලර් ප්‍රමාණය,trim fit, slim fit, regular fit, අත් දිග,අත් කොට, බ්‍රෑන්ඩ් එක යනාදිය
  • පිරිමි ටී ෂර්ට් නම් ,slim fit, trim fit,regular fit යනාදිය
  • ළදරු ගවුම් නම් නම් උස, ඉන, උරහිස
  • ළදරු කලිසම් නම් ඉන සහ උස
  • කාන්තා ගවුම් සඳහා small, medium, large යනාදිය ඔබට ඇඳලා බලන්න අවස්ථාව නැති නිසා ඇඳුමේ පපුව, ඉණ, උකුල ප්‍රමානය මැනලා බලන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට සයිස් එකේ පොඩි වෙනස්කම් තියන නිසා මැනලා බලන එක වැදගත් වෙයි.
  • සපත්තු, සෙරෙප්පු සඳහා දිග හෝ වටේට ඇදපු කොලයක්
  • රූපලාවන්‍ය උපකරණ ගන්නවා නම් හරියටම ඔබ ගන්නා වර්ගයේ නම
  • මේස් සඳහා ඔබ භාවිතා කරන ප්‍රමාණය සහ දිග කොට බව
  • යට ඇඳුම් නම් ඔබේ ප්‍රමාණය සහ පැටර්න් එක

සාප්පුවේ තියන ටේප් එක බොහෝ දෙනෙක් පාවිච්චි කරන නිසා ඔබ ටේප් පටියක් රැගෙන යනවා නම් එය ආරක්ෂිතයි.

ගෙනාපු ගමන් ඇඳල බලනවද ?

ස්මාර්ට් අපි ඇඳුමක් අඳින්න කලින් කීපවරක්ම හිතනවනේ. මිලදීගත් ඇඳුම ඔබට ගැළපෙනවා නම් අඳින්න පෙර හේදුවොත් වඩාත් සුදුසුයි. එහෙම උනොත් නොගැලපෙන විට නැවත මාරු කරන්න බෑ. ඔබ ගෙනාපු ඇඳුම ගැන ඔබට ඇත්තටම විශ්වාස නැතිනම් ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි ඒක වරක් හෝ කීපවරක් හොදින් මැදල ඇදලා බලන එක. එවිට ඔබට තේරෙනවා නම් ඒ ගැලපෙන්නේ නැහැ කියා සාප්පුවෙන් කියලා තියෙන කාලය වෙනකන් ඉන්න ඕනේ නැවත මාරු කරගන්න. ඒවගේම ඔබ ඇඳලා බැලුවට පස්සේ ඔබත් හොඳින් පිරිසිදු වෙන්න.

විශේෂයෙන් සැලකිලිමත් විය යුතු දේවල් කිහිපයක් තියෙනවා.

  • මේ වෙද්දී ඔබ මේ අත්දැකීම විඳලා ඇති. ඒකට හුරු වෙලා ඇති. ඒත් නැවත මතක් කරන එක හොඳයිනේ,
  • සාප්පු සවාරියට පසු දෑත් සේදීම හෝ විෂබීජ නාශකයක් භාවිතා කිරීම. ඒ අය සාප්පුව තුල විෂබීජ නාශක බොහෝවිට සපයනව, ඒත් ඔබේ අත්බෑගය තුලත් පොඩි විෂබීජ නාශකයක් අරන් යන්න.
  • සාප්පු සවාරියෙදි වෙනදා වාගේ සියලුම දේ ස්පර්ශයට නොකිරීම
  • මුදල් භාවිතය අවම කර හැකිතාක් දුරට කාඩ් භාවිතා කිරීම
  • සෙනඟ ගැවසෙනවා අඩු දින හෝ වේලාවන් සාප්පු සවාරි සඳහා තෝරා ගැනීම. උදෑසන 8-10 වගේ වෙලාවට බොහෝ විට සෙනඟ අඩුයි.
  • ඒ අය විසින් ලබාදෙන රෝද පුටු,බේබි ස්ට්‍රෝලර්, ෆීඩීන් රූම්, රෙස්ට් රූම්, වොශ් රූම්, කැෆේ එක භාවිතය අවම කිරීම
  • සාප්පු තුළ ගත කරන කාලය අවම කිරීම ආදී කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න

පුංචි රහසක්

බොහෝ වෙළඳ සැල් මේ වන විට නැවත හුවමාරු කිරීමේ පහසුකම අවලංගු කරලයි තියෙන්නේ. නමුත් ඉතින් අපට සමහර වෙලාවට ඇඳුම මාරු කරන්න අවශ්‍ය වෙනවා නේ. ඒ නිසා එයාලගෙන් අහල දැනගන්න නැවත ඒ පහසුකම එයාලා ලබා දෙන්න කොයි කාලේද කියලා. ඔබට අවශ්‍ය නම් ඔබේ දුරකථන අංකය දුන්නොත් ඒ අය ඔබව දැනුවත් කරාවි. ඒ වගේ අවස්ථා වලට අවශ්‍ය වෙන නිසා ඔබේ බිල්පතේ වලංගු කාලය පිලිබඳවත් දැන ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබ ඒ අය සාප්පුව තුල රෙදි දමා ගැනීමට දෙන බෑගය පාවිච්චියට අකමැති නම් ඔබට නිවසින් බෑගයක් රැගෙන යන්න.

Related Articles

Don't Miss


Latest Articles