පිනි සේල – 35

“හතරදෙනා ලොකු ප්ලෑන් එකක් වගේ..”

ඔහු පැමිණියේ එහෙම කියාගෙන ය.නයනා ආන්ටි අමෝද අයියාට පුළුල් සිනාවක් හෙළුවා ය.

“ප්ලෑන්ස් මොකුත් නෑ කියලා හිතාගෙන හිටිය කාලේ ඉවරයි.මට දැන් හරියට ප්ලෑන්ස් තියනවා. කෙල්ලො දෙන්නෙකුයි කොල්ලො දෙන්නෙකුයි බලාගන්නවා කියන්නේ අම්මා කෙනෙක්ට ලේසි වැඩක් නෙවෙයිනෙ..”

ඇය එසේ කියන්නේ ඊෂාගේ කෙස් වැටිය පිරිමදින අතර ය.මම ඇය දෙස නොබලා ඉන්නට ප්‍රවේසම් වූයෙමි.

“මොන දේවල් තිබ්බත් මම පහුගිය කාලේ හරියට දුක් වින්දා.දැන් ඉතිං හිනා වෙලා ඉන්නයි මට ඕන.”

ඊෂා වහා ඈ වැළඳ ගත්තා ය.

“අම්මට දැන් දුක් විඳින්න හේතුවක් නෑනේ..”

අමෝද අයියා නිවස තුළට යන්නට පෙර කීවේ ය.ඒ හඬේ පසුතැවිල්ලක් විය. තිවංකි නිසා මඟ හැරුණු කාලය ගැන ඔහු ලතැවිල්ලෙනි.මා දෑස් ඔහු වෙතට ගත්තේ ඒ හඬේ ශෝකී ස්වරය නිසාම ය.ඒ දෑස් රැඳී මවෙත රැඳී තිබිණ.නිවසේ හැම කෙනෙකුම ඔහු මවෙත ප්‍රේමයෙන් පසු වන බවට ඉඟි සැපයූව ද ඔහු කිසිවක් ම නොපවසන්නේ ඇයිදැයි මට වූයේ කුහුලකි.ඊෂාගේ තාත්තා ඇතැම්විට එවැනි විවාහයකට අනුබල නොදෙන්නේ විය හැකි බව මට සිතුණේ හදිසියේ ය.මා මධ්‍යමපාන්තික දැරියක බවත් අමෝද අයියා නව ව්‍යාපාරික අවස්ථා සොයා දුන් දියුණුවන ගොවිපොළක් පමණක් මට හිමි බවත් අමතක නොකළ යුතු ය.බොහෝවිට ඔහු මට කිසිවක් නොපවසන්නේ තාත්තාගේ කැමැත්ත ලබා ගන්නා තුරු විය යුතුයැයි මට සිතිණි.

නමුත් අමෝද අයියා අහිමි වේයැයි බියක් මට වූයේ නැත.යුවතියක විරහ වේදනා විඳින්නේ ප්‍රේමයක් හිමි වූ පසු ය.මම කිසිදා හිමි නොවූ ප්‍රේමයක් නිසා විරහව විඳවමින් හිඳින්නියක් මි.මලිඳු අමතකව යන තරමේ ආදරයකින් මා නහවන්නට අමෝද අයියාට දිනෙක හැකි වුව ද මලිඳු මගේ හදවත කොණක සදාකාලික රිදුමක් දෙමින් ජීවත් වන බව මට විශ්වාස ය.වචනයෙන් ප්‍රේමය පළ නොකර බොහෝ කල් හිඳ හදිසියේ ආදරය ප්‍රකාශ කරමින් මලිඳු මා රැවටූ අන්දම ඇදහිය නොහැකිව මා තවමත් හිඳින්නේ ගල් ගැසී ය.එනිසාම අමෝද අයියා හිමි නොවී මේ නිවස හැරදා යන්නට වුවද අමෝද අයියා මතකය මරණීය වේදනාවක් නොවන බව දනිමි.යුවතියක ආදරය නිසා විඳවන්නේ එක් වතාවකි.ඒ මුල්ම රිදුම තරම් අන් කිසිම වේදනාවක ප්‍රබල වන්නේ නැත.ප්‍රතික්ෂේප වීමේ වේදනාව මලිඳු නිසා විඳගත් මට අහිමිවීමේ පාඩම අමෝද අයියාගෙන් උගනින්නට සිදු වුවහොත් එය දරා ගත යුතුම බව මම සිතුවෙමි.

නමුත් මගේ ජීවිතය සියල්ල සැලසුම් කරන්නේ අමුතු ආකාරය ට ය.හදිසියේ ය. අමෝද අයියා ජීවිතය බෙදා ගන්නේ මා සමඟ බව ඔහුගෙන් අසන්නට බලා සිටි මට එය දැන ගන්නට ලැබුණේ සිහිනයෙනුදු සිතූ ලෙස නොවේ.

හවස් යාමයක ඊෂාත් මමත් උඩුමහලේ ආලින්දයට වූ පාඩම් කරමින් සිටියෙමු. ඊෂාගේ අම්මාත් තාත්තාත් අප වෙත ආවේ ඒ මොහොතේ ය.ඉතා කාර්යබහුල ඊෂාගේ තාත්තාට සමඟ අපට ගැටෙන්නට ඇති වෙලාව ඉතා අල්ප ය.”දූගේ කොලේජ් ෆීස් මම ගෙව්වා.. ” කියන්නට ඉඳහිටක මා සමඟ කතාවට වැටෙන ඔහු මට සමීප චරිතයක් නොවී ය.පාඩමක ගිලී හුන් මට ඔහු දකිද්දී එක් දෙයක් කල්පනා විණි.ඔහු එන්නට ඇත්තේ අමෝද අයියාගේ සිහින ඉටු නොවන බව කියන්නට ය. දිනුක ද අප වෙත ආවේ ඒ මොහොතේ ය.ඊෂාගේ ප්‍රේමය වීම සහ අමෝද අයියාගේ උදව්කරු වීම නිසා දිනුක ඕනෑම මොහොතක මේ නිවසේ ගැවසීම සාමාන්‍ය දෙයකි. නමුත් මේ මොහොතේ අසාමාන්‍ය බවක් මට දැනෙමින් තිබිණ.

කියවන්න :  පිනි සේල - 14

“පිනිදි.. අපිට ඔයා එක්ක කතා කරන්න ඕනෑ පුතේ..”

නයනා ආන්ටි එසේ කියද්දී ඊෂා නැගී සිටියා ය.

“චූටිත් ඉන්න.දිනුකත් ඉන්න.අපිට කතා කරන්න ඕන තුන්දෙනාටම..”

අංකල් එහෙම කියද්දී මට මෙතැනින් නැගිට දුවන්නට ඕනෑ විණි.

“දූ.. අමෝදගෙ හිතේ ඔයා ගැන බලාපොරොත්තුවක් තියනවා. එයා ඒක මටයි තාත්තටයි කියලා ටික දවසක්.. පිනිදි ඒ ගැන හිතන දේ දැන ගන්න අපිට ඕනෑ..”

නයනා ආන්ටි කතා කරන්නේ නැවතිල්ලේ ය.මට දැනුණේ මා ගල්ගැසී ඇති බවකි.ඕනෑම මොහොතක මට පිහිටවන්නිය වූ මගේ ළබැඳි මිතුරිය මගේ පිහිටට ආවේ ඒ මොහොතේ ය.

“පිනීගේ අකමැත්තක් නෑ අම්මා…”

නයනා ආන්ටි මදෙස බලන්නේ මඳ සිනාවකිනි. අනතුරුව ඈ පැමිණ මා ළඟින් හිඳ ගත්තා ය.

“පිනී මේ ගෙදරට ආවේ ඔයාගේ ජීවිතේ අමාරුම වෙලාවක. ඔයා ඒ වෙලාවේ තනි කරන්න හොඳ නෑ කියලා මට හිතුණා. එහෙම ආපු පිනීට අමෝද ආදරේ කරපු එක තාත්තටවත් මටවත් ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් දූ ඉන්නේ අපි ළඟ.අමෝදත් ඔයාලට වඩා අවුරුදු කීපයක් වැඩිමල් ලොකු ළමයෙක්නෙ. ඒ නිසා මේ දේවල් වගකීමකින් වෙනවට අපි කැමතියි. ඒ නිසා තමයි අපි ඇවිත් දුවට කතා කරන්නේ..”

පරාජය පිළිගෙන හෙට උදෑසනම නිවසින් පිට වන්නට වේයැයි සසැලෙන්නට වූ මා නයනා ආන්ටිට වචනයකින්වත් පිළිතුරු දෙන්නට නොහැකිව ඔහේ බලා සිටියෙමි.ඊෂාගේ තාත්තා හඬ අවදි කළේ ඒ මොහොතේ ය.

“මම පිනිදිට ආදරේ ඔයා අමෝදගේ චොයිස් එක නිසාම නෙවෙයි දූ. ඊෂා ඉස්සර හරි හිතුවක්කාර ළමයෙක්.එයා උනන්දුවෙන් ස්ටඩීස් කරන්නේ,දිනුක වගේ ගැලපෙන කොල්ලෙක් තෝරා ගන්න තරම් මොලේ කල්පනා කරේ සේරම ඔයා නිසා.කොච්චර බිසී වුණත් මං ඔයාලා ගැන ඇහැ ගහගෙන හිටියේ. මට තේරුම් ගියා ඔයයි දිනුකයි මේ ගෙදරට ඕන විදියේ දරුවෝ දෙන්නෙක් කියලා..”

මම දෙනෙත් උස්සා දිනුක දෙස බැලීමි.ඔහු ටී ෂර්ට් කොලරය උස්සා සිනාවක් නැගී ය.ඊෂාගේ දෑසින් කඳුළු ගලා යන්නේ සීමාවකින් තොරව ය.ඒවා මට ද බෝ වන්නට තත්පරයක් වත් ගියේ නැත.රාත්‍රී කාලවල තාත්තාගේ පුටු ඇන්දට වී ඔහුගෙන් ජීවිතය අහුලා ගත් දවස් මට සිහි විණි.මේ කතා කරන්නේ ද තාත්තා කෙනෙකි.

“මගේ බිස්නස් ෂෙයාස් වැඩි කර ගන්න ෂෙයාස් අරන් එන ගෙදරක කොල්ලෙකුයි කෙල්ලෙකුයි මට ඕන වුණේ නෑ.අම්මට ඕන වුණෙත් නෑ. මම ඇති වෙන්න හම්බ කරලා තියෙන්නේ. දිනුක, ඔයයි පිනිදියි ඒ දේවල් හරියට බලා ගන්න. අයියයි නංගිවයි එක්කම..අමාරු කාලවලත් අපි මේ ගේ ඇතුළේ හිටියේ සමඟියෙන්. පිනිදිගෙනුයි දිනුකගෙනුයි අපට ඕනෑ ඒ දේ තේරුම් ගන්න එක විතරයි.”

ඊෂාගේ තාත්තා මගේ හිස පිරි මැදී ය.

“පිනිදිට හුඟක් මිස් වෙන වචනයක් තියනවා කියලා මට දැනෙනවා.දුවට පුලුවන් මට ඒ වචනෙන් කතා කරන්න..”

අම්මාත් තාත්තාත් නික්ම ගියේ ඊෂා මා වැළඳ ගනිද්දී ය.ඇය මා සමඟ හඬමින් හුන්නා ය.අප එසේ අප වැළඳ බොහෝ වෙලා ඉන්නට ඇත.

“තාත්ති කිව්වා හරි.මාව හොඳ කෙල්ලක් කරේ ඔයා.නැත්තං මාත් අර මලීෂලා එක්ක නාඩගං නට නට ඉන්න තිබ්බා.දැන් උඹ මගේ අක්කානෙ.මාව හැමදාම බලා ගන්න ඕන.”

දිනුක අපට එසේ හිඳින්නට ඉඩ දී මඳ වෙලාවක් හුන්නේ ය. අනතුරුව වඩා ළතෙත් හඬකින් මා ඇමතී ය.දැන් ඒ මගේ සහෝදරයා ය. සහෝදරයෙකු අහිමිව සිටි කාලයට වඩා අනාගතය වඩා සුන්දර වනු ඇතැයි මට සිතිණි.

කියවන්න :  පිනි සේල - 9

“පිනී.. ඔයා අමෝද අයියගේ වෙන්න ඕන සම්පූර්ණයෙන් අමතක කරපු අතීතයක් එක්ක.අමෝද අයියා තිවංකි නිසා ඕනෑවටත් වඩා රිද්දාගෙන ඉන්නේ.ඔයා මලිඳු නිසා ඊටත් නරක විදියට බිඳුණු කෙනෙක්.මලිඳුට කියන්න තියන සේරම කියලා ඉවරයක් කරලා අපි ඒ කතාව වහලම දාමු..”

දිනුක එසේ කියන්නේ හේතුවක් ඇතිව ය.ඔහුට ඊෂා සමඟ ඉන්නට ඉඩ හැර බැල්කනිය දෙසට ගිය මම විනාඩි කිහිපයක් ඒ මේ අත ඇවිදිමින් දිරිය ගත්තෙමි.අනතුරුව මලිඳුට ඇමතුවෙමි. ඔහු වෙනදා මෙන් බොහෝ වෙලා ගත නොකර ඇමතුමට පිළිතුරු දුන්නේ ය. මට අසන්නට තිබුණේ සරල දෙයකි.

“ඇයි ඔයා එහෙම කළේ?”

“මං ඔයාගේ විශේෂත්වයක් දැක්කා පිනී. ඔයා මට ඉන්ටරෙස්ටින් කියලා මට හිතුණා.දැනුණා. මං ආදරේ කරන කෙල්ලක් කට්ට කාලා ලබා ගන්නවා මිසක් මට පිස්සුවෙන් ආදරේ කරන කෙල්ලෙක් ළඟ නවතින එකේ රහක් මට පෙනුණෙ නෑ.තවම පේන්නේ නෑ. මට තාම ඔයා මං ගැන හීන දකින මෝඩ පිනී…”

මම බැල්කනියෙන් පහළ බැලීමි.උද්‍යානයේ පැද්දෙන ඔංචිල්ලාවට වී අමෝද අයියා මදෙස බලා හිඳින අයුරු මා දුටුවේ හදිසියේ ය.ඔහු හිඳින්නේ මා වෙනුවෙනි.මට මලිඳුගේ වචන වලින් ඇති කරන තුවාලය රිදුම් දුන්නේ නැත.

“අම්මලාට ඔයාව ඕන උනා.පොඩි කාලෙ ඉඳන් අපි එකට ඉන්න නිසා වෙන්න ඇති. මට තාම ආදරේ හිතෙන කෙල්ලෙක් හම්බුණේ නෑ පිනී. මං එක්ක ගොඩක් කෙල්ලො කතා කරනව.මට ක්ලෝස් වෙනවා.එයාලා එක්ක මම ඉඳියි හිතනව. මට ගැලපෙන කෙල්ල එතනින් කවුරු වෙයිද මං දන් නෑ..”

ඔහු කියවාගෙන යයි.තමන් විශ්වාස කරන සහ ආදරය කරන අය ගැන නන් දොඩවන මලිඳු ගැන මට ඇති වූයේ අප්‍රසාදයකි.කෙල්ලන් තමන්ට ආසක්ත වන බව සිතමින් ඔහු තමන් ගැන අධි තක්සේරුවක ය.නමුත් අපේ අවසන් ඇමතුම අපුලකින් අවසන් කරන්නට මට උවමනා වූයේ නැත.

“මලිඳු,ඔයා දන්නවද? ඊෂා මීට් වෙන්න කලින් මගේ හොඳම යාලුවා ඔයා. මං ඔයාව දැක්කේ හොඳ මනුස්සයෙක් විදියට.මට ආදරේ හිතුණේ ඒ හොඳ මනුස්සයට. ඔයාගේ අභ්‍යන්තරේ මම දන් නෑනෙ.. ඒත් ඔයා හිතනවා වගේ මං ලේසියෙන් ලබා ගන්න පුලුවන් කෙල්ලක් නෙවෙයි. මගේ ආදරේ මං ගාවට ඇවිත් තියෙන්නේ. අමෝද අයියා එක්ක මට සැනසීමෙන් ඉන්න පුලුවන්.ඕනෑ කෙල්ලක් අවුරුදු පහලොවේ දාසයේදී ගන්න තීරණ හරි නෑ මලිඳු. මගෙ අන්න ඒ වැරදි තීරණේ ඔයා. මම මගේ හොඳම යාලුවා එක්ක තරහ වෙන් නෑ.ඒත් අනුන් ගැන හරි සිල්ලරට හිතන,හැඟීම් විහිලුවට ගන්න ඒ යාලුවා මම අමතක කරනවා මලිඳු. අදින් පස්සෙ අපි යාලුවො තියා අඳුනන මිනිස්සුවත් නෙවෙයි..”

ඔහු කිසිවක් පැවසුවේ නැත.මට සුසුමක හඬක් ඇසිණි.

“ඔයා ඔයාට මහ ගොඩක් ආදරේ කරපු පිනී අත් ඇරගත්තා මලිඳු. මං මට පුදුම විදියට ආදරේ කරන අමෝද අයියගේ ආදරේ පිළි ගත්තා..”

මම මලිඳුට අවසන් වරට පැවසීමි. අප්‍රකාශිත ආදරයක පරිච්ඡේදය අමතක කර දමන්නට කාලය පැමිණ ඇත.මම උද්‍යානය දෙස බැලීමි.අමෝද අයියා එහි වූයේ නැත.මම බැල්කනියෙන් මෙපිටට ආවේ ඊෂා සොයාගෙන ය. කලබලයෙන් පැමිණ මගේ ඇඟේ හැපුණු ඊෂා මට ජංගම දුරකථනය පෑවා ය.

“ඒයි.. මේ බලනවකො.. අර තිවංකි..

අවසන් කොටස සෙනසුරාදාට

3.5 6 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments