මගේ සිහින පාට කරන්නට ඇගේ සිහින දිය කරගත් ගැහැනිය “අම්මා.”

අම්මේ.. තාත්තා ඉන්නේ කොහෙද?”

හැම රාත්‍රියකම නින්දට පෙර අම්මාගෙන් එහෙම අසන පුරුද්දක් මට තිබිණි. තාරකා පිරුණු රාත්‍රියේ අහස දෙස බලා හිඳින මගේ හිස අත ගාමින් ඈ කතාන්දර කීවා ය.

“අර දිලිසෙන තරුවේ ඉන්නේ තාත්තා..”

අම්මා කියන්නේ තරුවක් පෙන්වමිනි.ඉතා දීප්තිමත්ව දැල්වෙන තාරකාව දෙස බලා සිටින මට ඉන්පසු අලුත් ආසාවක් ඇති වේ.

“අම්මේ.. මට අහසට යන්න ඕන.. තාත්තා බලන්න..”

“මගේ දුවට දවසක පුලුවන්.. ” අම්මා සුසුමක් හෙළමින් පවසන්නී ය.ඒ සුසුමේ බර එදවස මට වැටහුණේ නැත. ඇය බොහෝ දුක් ඉහිලූ බව මට වැටහුණේ නැත.

අහසට යෑමේ ආසාවෙන් පසු වූ මට උගන්වන්නට අම්මා මොනතරම් වෙහෙසක් දැරුවාදැයි කුඩාවියේ සිටි මට වැටහුණේ නැත.නමුත් තාත්තා නොමැති අපේ නිවසේ ඇය උපයන්නිය බවට පත් වූවා ය. ඇගේ රත්තරන් භාණ්ඩ එකිනෙක අතුරුදහන් විය. ඇය ඒවා උකස් කළ බවත් විකිණූ බවත් එකල මට වැටහීමක් වූයේ නැත.

මා නව දිල්ලියේ පාසලකට ශිෂ්‍යත්වයක් දිනා ගත් දා මට ඉගෙනීමට අවශ්‍ය සියලුම පහසුකම් පාසලෙන් සැපයෙන බවට දැනුම් දී තිබිණ. නමුත් නිවසේ සිට දිල්ලියට බොහෝ දුර ගමනකි. ඒ ගමන මා රැගෙන යන්නට අම්මාට මුදල් ඇත්දැයි මට වැටහීමක් තිබුණේ නැත.

එදා මා මගේ ප්‍රාථමික පාසලෙන් නිවසට එද්දී අපේ රූපවාහිනිය නිවසේ තිබුණේ නැත.

“අම්මේ.. ටීවී එක කෝ..”

අම්මා නිහඬව මඳ වෙලාවක් හුන්නා ය.

“ඒක රෙපෙයාර් එකකට යැව්වා. හෙට ගෙනෙයි දූ..”

එය අම්මා දිල්ලි ගමනට මුදල් සොයා ගන්නට විකුණා ඇතැයි දැන ගන්නට මට බොහෝ කල් ගත විය. ඒ වෙද්දී කාලය ගෙවී ගොස් ය.මා වැඩුණු තරුණියක් බවට පත්ව අහවර ය.

අහසට ගොස් දීප්තිමත් තරුවක හිඳින තාත්තා මුණ ගැසෙන සිහිනය මගෙන් තුරන් වූයේ නැත. සරසවියේ උගන්නා කාලයේදී ISRO හෙවත් ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයට අයදුම්පතක් යොමු කරන්නට මට සිතුණේ එනිසා ය.සිහිනය සිහිනයක් වූයේ නැත. මා එයට තෝරාගෙන තිබූ අතර එහි හිඳින සාමාජිකයන් අතරට එක්වන්නට මට හැකි විණි.

අම්මා සිටියේ සතුටිනි. මා කෙදිනක හෝ තාරකා අතර සැරිසරමින් තාත්තා හමුවන සිහිනය සැබෑ කර ගැනීම ගැන සතුටිනි. ISRO හි රැකියාව වෙනුවෙන් බැංගලෝරයට යන්නට පෙර මට ඉටු කළ යුතුම දෙයක් විය. ඒ රාජකාරිය ඉටු කළ මා මගේ ගමන් මළු සකසමින් හුන්නේ අප්‍රමාණ සැනසීමකිනි.සතුටකිනි.

“දූ.. කුරියර් සර්විස් එකකින් ගෙදරට ටීවී එකක් ගෙනත්. මං එහෙම එකක් ඕඩර් කරේ නෑනෙ.. ඇහුවම කියනවා ඔයාගෙන් අහන්නලු..”

මා බලාපොරොත්තු වූ ඇමතුම අම්මාගේ කුතුහලය පිරුණු කටහඬ සහිතව පැමිණියේ ය.

“අම්මා.. මම හයිස්කූල් එනකොට රෙපෙයාර් කරන්න යවපු ටීවී එක මතකද? ඔය ඒ ටීවී එක..”

අම්මාගේ සිහින් ඉකිබිඳීම මට ඇසේ.

ඇය මා වෙනුවෙන් කැප කළ සියල්ල ලබා දීම මගේ අරමුණ ය.තාත්තා ඈත අහසේ තරුවක් ව මට මඟ කියන බව මම දනිමි.අම්මා මගේ සිහින පාටකරන්නට ඇගේ ජීවිතය දිය කරගත් ගැහැනියයි.

මා අහසේ ඉගිලිය යුතු ය. ඒ ඇගේ සිහින වර්ණවත් කරන්නට ය.

ඉන්දීය වීඩියෝවක් ඇසුරිනි

More Stories

Don't Miss


Latest Articles