පාට සේදුනු වත්සුණු – අවසාන කොටස

5
1110

මගේ හිතෙහි ගැස්මක් ඇති විය. එය අනියත ගැස්මක් ද නොවේ. යුගාන්ත ගේ මව ගැන මම දනිමි. පසුව ඉවසා ගත්තත් ඈ මගේ සත්කාර සංග්‍රහ ඉවසූයේ කැමැත්තකින් නො වන බව මම දනිමි. මේ ගෙදරට කැටිව එත්දී ට වඩා තරමක් දැන් ඇය ට සුව ය. ඒ ලැබූ සුවයත් එක්ක, මතුවට මා ප්‍රතික්ෂේප කිරීමේ අදහස ඈ තුළ වනවා ඇත. යුගාන්ත ගේ පියා හා මා අතර වූ කතා බහ ඇසුණා නම් අනිවාර්යයෙන් ම මේ වෙලාවේ ඇය අදහසක් පළ කරනු ඇත. ඇගේ මූණේ වූයේත් එබඳු බැල්මකි. මා තුළ ඇති වූ හදිසි තිගැස්මට හේතුව ඒ බැල්මෙහි වූ අදහස ශ්‍රවණය කරන්නට ඇති බියයි.

“මං…එහෙනං යන්නං තාත්තෙ. අම්මට කෑම ලෑස්ති කරන වෙලාවට මං ආයෙ එන්නංකො”

ඉක්මනින් එතැනින් පළා යාමේ අවශ්‍යතාව මට තදින් දැනිණ.

“ගයාත්මි ඔහොම ඉන්න”

ඉදිරියට තැබූ මගේ පය ගල් ගැසී ගෙන වාගේ එහෙම ම නතර විය. ඒ විධානයකි. අම්මා ගේ ස්වරයේ දැඩි විධානාත්මක බවක් විය. මගේ හදවත ගැස්ම තවත් තීව්‍ර වන්නට ඇත.

“මං මේ කියන්නමයි හිටියෙ මහත්තය”

ඊළඟට ඇය මුළු අවධානය තාත්තා වෙතට යොමු කළා ය.

“ගයාත්මි මේ විදිහට මෙහෙ යන එන එක හරි නෑ නේද…”

උගුර කට වියළී යනවා මට දැනිණ. මහත් ලජ්ජාවක් ද ආත්ම අසරණ කමක් ද මා වසා ගන්නට වූයේ ය. බිම බලාගෙන ගෙවුණු තත්පර පහ හය මට දැනුණේ හෝරා ගණනක් මෙනි. නමුත් මගේ ආත්ම  අභිමානය වෙනුවෙන් කතා කළ යුතු යයි යටි හිත කෑ ගසා කියන්නට වූයේ ය. මම අමාරුවෙන් කටට පණ ගත්තෙමි.

“නෑ අම්ම…අම්මට තව ටිකක් සනීප වෙනකල් විතරයි…මං එන්නෙ”

“මේ දරුව අපිට අමාරුම වෙලාවෙ කියන්න බැරි තරං ලොකු උදව්වක් කළා මැණිකෙ. අපේම දුව වුණත් ඔයා වෙනුවෙං ලංකාවට එන්න උනන්දු වුණෙ නෑනෙ”

“ඒක හරි මහත්තය. ඒත් මං කියන්නෙ…ගෑනු ළමයෙක් මේ විදිහට පිට ගේකට යන එන එක හොඳ නෑනෙ. විශේෂයෙන්ම තරුණ පිරිමි ළමයෙක් ඉන්න තැනකට. මේ ළමය මෙහෙට උදේ දවල් රෑ කියල නැතුව එනව යනවනෙ”

මම යටි තොල සපා ගතිමි. හඬන්නට කඳුළු ඇස් ළඟ පොර බදමින් තිබුණේ ය. නමුත් මට ඕනෑ වූයේ නො හඬා ඉන්නටයි.

“හරි හරි. දැං මේ දුව යන්නකො”

මා පත් අපහසුතාවය වටහා ගත්තෙන්, යුගාන්ත ගේ පියා මා වෙනුවෙන් පෙනී සිටියේ ය.

“නෑ නෑ තව පොඩ්ඩක් ඉන්නකො. මං කතා කරල ඉවර නෑ”

අම්මා තවමත් සුව ලබා නැත. ඇයට තව ම දෙපයින් ඇවිදිය නො හැකි ය. ඒ සඳහා වාරුවක් අවැසි ම ය. වෛද්‍ය උපදෙස් මත මම දිනකට ටික වෙලාවක් ඇගේ දෙපා වලට ව්‍යායාම ලබා දෙන්නට කටයුතු කරමි. ඇගේ කතා බහේත් පැටළුම් ගතියක් තව ම වේ. නමුත් පටල පටලා අමාරුවෙන් මුත් ඇය මේ වෙලාවේ කතා කළා ය.

“ඔයා දැං ටිකක් විවේක ගත්තොත් හොඳයි මැණිකෙ. මේ ළමයටත් වැඩ ඇතිනෙ”

මේ වෙලාවේ මගේ නාස් පුඬු දැවිල්ල ගත්තේ ඒ තාත්තා ගේ උණුහුම් ස්නේහය පිළිබඳ ලෝබ කමකිනි.

“ගයාත්මි. ගෑනු ළමයෙක් ට මොනා නැතත් ආත්ම ගෞරවයක් කියල දෙයක් තියෙන්න ඕනනෙ. නේද…ඔයා මෙහෙම මෙහෙට යන එන එක ගැන අහල පහල අය වුණත් කතන්දර කියන්න පුළුවන්. මිනිස්සු එහෙමනෙ. පිටිං බලල ඕන දෙයක් ගැන තීන්දු තීරණ ගන්න විදිහ මිනිස්සු දන්නවනෙ. ඒක ඔය දරුවට හොඳ නෑ”

කියවන්න :  පාට සේදුනු වත්සුණු - 4

“දැං ඔයා මොකද්ද කියන්නෙ..මේ ළමයට මෙහෙ එන්න එපා කියලද…මැණිකේ ටිකක් ඔළුව කල්පනා කරල කතා කරන්න. ඔයා මේ තරමට කතා බහ කරන්නෙ…මේ විදිහට හරි අඩියක් බිම තියන්නෙ මේ කෙල්ලගෙ මහන්සිය නිසා. ඉතිං ඔයාට ඒ ගැන කිසිම ස්තූතිවන්ත හැඟීමක් නැත්තං අපි ආයෙ ගෙදර යං. මෙහෙ ඉන්න ඕන කමක් නෑනෙ. පුතා එයාගෙ ජීවිතේ පටං ගන්න හදපු ගෙදරට හාහා පුරා කියල මේ නාකි ලෙඩ අපිව ගෙනත් දාගත්තෙත් අපේ යහපත ගැන හිතලනෙ. එහෙමනං ඉතිං ගෙදර යං. මට පුළුවන් විදිහට ඔයාගෙ වැඩ ටික කරන්නං. හැබැයි ඉතිං මේ දරුව වගේ කැපවෙලා ඒක කරන්න මට පුළුවන් වෙයිද කියල මං දන්නෑ”

තාත්තා දැඩි ආවේගයකින් කියාගෙන ගියේ ය. 

“කෝ ඉතිං මට කතා කරල ඉවර කරන්න දෙන්නෑනෙ”

අම්මා තරමක් නො රිස්සුම් වූවා ය.

“මං කියන්න ගියේ ඉක්මනට කසාදෙ කරල දුව මේ ගෙදරම පදිංචියට එන්න කියලයි. එතකොට කාටවත් මුකුත් කියන්න හේතුවක් නෑනෙ. අනික ගයාත්මි දුවගෙ ආච්චිට සීයට අම්මට වුණත් ඒක සැනසිල්ලක් වේවිනෙ”

මගේ ඇස් වලින් කඳුළු කඩා හැළෙන්නට ගත්තේ ඇයි කියා මා දන්නේ නැත. දුකටත් සතුටටත් හඬන්නට ඕනෑම ගැහැනියකට පුළුවන් යයි කතාවක් තියේ. නමුත් ගයාත්මි වූ කලී අපමණ ජීවිත පිරිපත හමුවේත් දිය වන්නට නොදී හිත දැඩි කර ගත් කෙල්ලකි. මා හැඬුවා නම් හඬා ඇත්තේ මතක් කොට ගණං කර ගත හැකි තරම් වාර ගණනකි. ඒ සියලු අවස්ථා වලදී හැඬූ කඳුළු වලට වැඩියෙන් මේ මොහොතේ මගේ දෑසින් කඳුළු ඉහිරුණේ ය.

මා ගෙදර දිව ගියේත් හඬාගෙන ය.

“ගයාත්මි. ඇයි දරුවො…මොකද වුණේ…”

ඉස්තෝප්පුවේ හිඳ උන් අත්තම්මා, මා හඬා දිව එනු දැක වහා හාන්සි පුටුවෙන් පිබිදුණා ය.

“ඇයි මෙහෙම අඬන්නෙ…යුගාන්ත පුතා ගෙ අම්මා හිත රිදෙන මොකක් හරි දෙයක් කිව්වද…”

මම අත්තම්මා වැළඳ ඇගේ උර මඬලේ හිස හොවා ගතිමි. නැහැයි කියන්නට මා හිස සැලුවා ට අත්තම්මා එය නො දකින්නට ඇත.

“මං කිව්වෙ. ගයාගෙං සත්කාර කරගෙන කරගෙන අන්තිමට පොල් කුඩු වගේ විසි කරල දායි කියල. කොහෙද ඉතිං. මෙයත් තමුංගෙ අම්මව නෙවෙයිනෙ විශ්වාස කළේ”

අම්මා ගේ හඬ ඇසුණේ ය. ඔවුන් සිතාගෙන ඉන්නා විදිහ වැරදියි කියා පවසා ගන්නට වුව නො හැකි තරමට, මම හැඟීම් නිසා ගොළු ගැහී සිටියෙමි. සත්තකට යුගාන්ත කෙතරම් යහපත් පුද්ගලයෙකු වුවත් ඔහු ගේ මව මා පිළිබඳව ප්‍රසාදයක් නො මැති නම් අපේ විවාහය සිදු වන්නේ කෙසේ දැයි මම කොතෙකුත් සිතා ඇත්තෙමි. අම්මා කෙනෙකු ගේ අකමැත්ත මත ඇය දුක් විඳ හැදූ පුතෙකු උදුරා ගැනීම වනාහි ආනන්තරීය පාප කර්මයක් බඳු අපරාධයකැයි හිත මට නිරතුරු කීවේ ය.

“බලමුකො මොකද වෙන්නෙ කියල. අන්තිම මොහොත වෙනකල් ෆයිට් කරමු”

මා ඒ ගැන විමසන බොහෝ අවස්ථා වල යුගාන්ත කීවේ එබඳු කතාවකි.

“අන්තිම මොහොතෙත් වෙනසක් නො වුණොත්…”

“අපිට ඕන දේ වෙනුවෙන් අපි වෙනස් වෙන්නෙම නැතුව ඉමු. සොබා දහම අපිත් එක්ක ඉන්නව කියන බලාපොරොත්තුවෙන් ඉමු”

ඔහු ගේ ජීවන දර්ශනය කෙතරම් සාධාරණ එකක් ද කියා දැන් මා ඉදිරියේ ප්‍රත්‍යක්ෂ වී තිබේ.

කියවන්න :  පාට සේදුනු වත්සුණු - 29

“මහ කපටි අම්මණ්ඩියෙක්. ගන්න ඕන සේරම වැඩ ටික මේ කෙල්ලගෙං අරගෙන”

මට අම්මා ගැන දුක සිතිණ. මොනවා වුණත් මා ඇගේ දුවයි. ඇගේ හිතේ මා ගැන මහත් බරක් තියෙනවා ඇත. විටෙක ඕ වගකීම් විරහිත ව ක්‍රියා කළත්, ඉන් අදහස් වන්නේ ඈ මට ආදරේ නැතිවා කියන එක නොවේ.

මම අත්තම්මා ගේ උරහිසින් මගේ හිස ගෙන, විස්මිත දෑසින් මදෙස බලා හිඳින අම්මා,අත්තම්මා හා සීයා දෙස බලා සිනහවක් පෑවෙමි. එසේ සිනහ වෙත්දීත් මගේ කොපුල් කඳුළින් පෙඟී තිබිණ.

“යුගාන්තගෙ අම්ම කැමැත්ත දුන්නද”

අත්තම්මා කලබලකාරී තිගැස්මකින් ප්‍රශ්න කළා ය. මගේ අර එක ම එක සිනහවෙන් ඇය මුළුමහත් මා කියවා ගෙන තිබිණි.

“අත්තම්ම”

නැවතත් මම ඇය වැළඳ ගතිමි. මටත් වඩා ඇය මා විශ්වාස කළා ය. මට මග පෙන්වූවා ය.

“අනේ කෙල්ලෙ මට හරි සතුටුයි. මං දැනං හිටිය ගයාට වරදින්නෑ කියල”

“අම්මට වඩා මට සතුටුයි ඉතිං. මමනෙ ගයාගෙ අම්ම”

සිනහ සී ගොස් මම අම්මා වත් වැළඳ ගතිමි.

“හැබැයි මම තමයි ඔය මංගල්ලෙට කපුකං කළේ. බොරුනං යුගාන්ත පුතාගෙං අහල බලන්න. ඒක නිසා මේක මගෙ ජයග්‍රහණයක්”

සීයා! ඔහු ගේ උස් සිනහ හඬ මහත් වූ අව්‍යාජ ස්වරයකින් ගේ පුරා දෝංකාර දුන්නේ ය. ඒ වයස්ගත පපුව ආදරයේ නාමයෙන් ගැහෙන හඬ, සීයා ගේ පපුවේ හිස හොවා හිඳි වේලේ මට අසත හැකි විය.

රාත්‍රියේ ශාන්ති ලවා අත්තම්මා හොඳ කෑම වේලක් පිළියෙල කරවූවා ය. යුගාන්ත ගේ ගෙදර අයටත් එදා රෑ කෑම අපේ ගෙදරිනි. තැන තැන විසිරී පවතින සිත් කිහිපයක් එක අරමුණක් වෙනුවෙන් එක තැනකට කේන්ද්‍ර ගත වත්දී කෙතරම් ශක්ති ප්‍රවාහයක් එතැන උත්පාද වනවාද යන්න මගේ ඇඟට දැනෙන්නට වූයේ ය.

“මං කිව්වෙ බොරුද…”

කෑමෙන් පස්සේ අනිත් අය සාලයේ සල්ලාපයේ යෙදෙත්දී යුගාන්ත මා ඉස්තෝප්පුවේ තනි කර ගත්තේ ය. ඔහු ගේ ඇස් වල මා කවදත් දකින ආදරයේ දිස්නය වඩාත් කාන්තිමත් ව මේ මොහොතේ මම දුටිමි.

“අම්ම අසනීප වුණ එක ගැන මං සතුටු වෙන්නෑ. නමුත් එහෙම වෙලා හරි එයාගෙ හිත වෙනස් වෙන්න සොබා දහම ඉඩ හදල දුන්න”

“අපිට යන්න ලොකු ගමනක් තියෙනව අයියෙ”

“ඔව්. හැබැයි ඒක ගාල කඩාගෙන යන්න ඕන ගමනක් නෙවෙයි. සොබා දහමත් එක්ක මුහු වෙලා හෙමිහිට යමු”

“මල්ලිටත් යන්න පාර හදල දෙන්න ඕනෙ. ඒක මගෙ වගකීමක් කියලයි මට දැනෙන්නෙ. මට නොලැබුණු හැම දෙයක්ම ඒ පොඩි එකාට ලැබෙන්න ඕනෙ”

“ඔයා හැමෝටම හදවතිංම ආදරේ කරන නිසා ඒ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න අමාරු වෙන එකක් නෑ ගයා. හදවත තේරුං අරං…හදවත කියන දේ තේරුං අරං ජීවත් වෙන එක හරි පහසු දෙයක්”

යුගාන්ත හෙමිහිට පහත් වී මගේ හිස් මුදුන සිප ගත්තේ ය.

“මේ නැන්දම්මගෙ හිත ගන්න පුළුවන් වෙච්ච එකේ…ඔයාට බැරි දෙයක් නැතුව ඇති”

මට සිනහ නැගිණ. මේ සිනහවන්, මේ සතුට හැමදාමත් අප ළඟ රැඳිය යුතු ය. ඒවා අපෙන් පළා නො යන සේ රඳවා ගන්නට අප වග බලා ගත යුතු ය. ජීවත් වීමේ දැවැන්ත ම අභියෝගය එයයි. ජීවිතයේ වටිනා ම සම්පත ආදරයයි!

සමාප්තයි!

4.5 6 votes
Article Rating
Subscribe
Notify of
guest
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Shani
Shani
1 month ago

Love it❤️❤️

Eranga
Eranga
1 month ago

ජීවිතයේ වටිනාම සම්පත ආදරය යි…..

Thilina
Thilina
1 month ago

හරිම ලස්සනයි

Chinthanie
Chinthanie
1 month ago

ලස්සනයි අවසානය

Sayuranga dissanayake
Sayuranga dissanayake
1 month ago

ඔයාගේ කතාවල මා දකින සුවිශේෂීත්වය තමා සොබාදහම හා මුසුවීම.ඒක ඇත්තටම ඇත්ත ..අත්දැකීම් ඇත ලස්සනයි තෙරුවන් සරණයි