පිනි සේල – අවසාන කොටස

ඊෂා පෙන්වන්නේ කුමක්දැයි බලන්නට මට ඇති වූයේ බියකි.සියල්ල සුන්දරව සහ සන්සුන් ව සිදු වීම ඇරඹූ මොහොතේම තිවංකි යළි සියල්ල අවුල් කරන්නට සැරසෙනවාවත් දැයි සසැලුණු මා හදවතේ ඇති සියලුම ධෛර්යය යොදවා එදෙස බැලීමි.

එය වීඩියෝවකි.ටෙලි නාට්‍යයක් රූගත කරන තැනක සිදුවූවක් ලයිව් ෆේස්බුක් වීඩියෝවක් ලෙස මුදා හැර ඇත. ඉමහත් ජනප්‍රියත්වයක් අත් කරගනිමින් හුන් තරුණ නලුවෙකු වූ නිසල් තිවංකිට “සර්ප්‍රයිස් ප්‍රපෝසල් එකක්” ගෙන එන වීඩියෝව දෙස ඊෂා අපහාසයෙන් බලා සිටිය ද මට එතරම් සැනසීමක් දුන් වීඩියෝවක් මින් පෙර දුටු බවක් මතක නැත.

“මේ කරත්තේ අන්තිමට මගෙ ලොකුම ක්‍රෂ් එක අල්ලා ගත්තා..”

ඊෂාගේ බෙරි වූ මුහුණ මට ඇති කළේ සිනාවකි.මම සිනාවතින් ම ඈ අල්ලා ගතිමි.

“ක්‍රෂ් එක පූජා කරලා හරි අයියව බේරා ගත්තනෙ සුදූ..”

ඊෂා හිනැහෙන්නට පටන් ගත්තා ය.

“බේරුනෙත් නෑ ඉතිං.. ඒ මෝඩයා දැන් ඉතිං හැමදාම අඬන බබෙක්ව නළවන්න එපැයි..”

“ඒ මෝඩයා” පියගැටපෙළ නගිමින් උඩු මහලට පැමිණෙමින් සිටියේ ඒ මොහොතේ ය.ඔහු දෙස බලන්නට කෝල හැඟීමක් ආ නිසා මම ඉවත බලා ගතිමි.ඊෂා ලැප්ටොප් තිරය දිග හැරගෙන එතුළට නෙත් අලවාගෙන හිඳින දිනුක වෙත ගියේ සුපුරුදු කිචිබිචියෙනි.

“අපි ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා. ඔයාලා අපිට ෆිල්ම් පෙන්නන්නේ නැතුව බැල්කනියටවත් යනවලා…”

ඊෂාගේ කතාවට දිනුක උස් හඬින් හිනැහෙද්දී නංගිගේ අවවාදය පිළි ගත්තේ අයියා ය.මම කාන්දමක් මෙන් ඔහු පසුපස ඇදුණෙමි. සඳ එළිය වැටුණු බැල්කනියේ නතර වී අමෝද අයියා මදෙස බැලුවේ ආදරය පුරවා ගත් දෑසකිනි.

“පිනී..මං ඔයාට තෑග්ගක් ගෙනාවා…”

ඔහු අත තිබූ දේ මා දුටුවේ ඒ මොහොතේ ය.ඔහු නැවත මා සිතුවමට නඟා තිබුණි.මගේ උපන් දිනය දා තෑගි ලැබූ සිතුවමේ කඳුකරයට නෙත් අලවා හුන් පිනිදි මේ සිතුවමේ හිඳින්නේ මේ බැල්කනිය මතට වී හිනැහෙමිනි.ඒ ඇය සදහටම සිනා වෙන්නට උරුම තැන නොවේදැයි මම සිතුවෙමි.

“මේක මට රූම් එකෙන් එල්ලලා දෙනවද අයියේ..”

අමෝද අයියා හිනැහෙමින් මඳ වෙලාවක් සිටියේ ය.ඒ ඔහු වෙනදා නගන සිනාව නොවේ.වඩා කාන්තිමත් සිනාවකි.

“මං හිතුවේ බර්ත්ඩේ ගිෆ්ට් එකත් රූම් එකෙන් ගලවා ගන්න.පිනීට පහළ රූම් එකට ට්‍රාන්සර් එකක් හම්බෙනවනෙ ළඟදී.. අපි චිත්‍ර ඔක්කොම ඒ රූම් එකේම එල්ලමු.එක අතකට චිත්‍ර ඕනෑත් නෑ.පිනීත් ඉතින් චිත්‍රයක්නෙ.”

මගේ දෙකොපුල් රත් පැහැ වන්නට ඇත.මම ඈත අහස වෙත දෑස් යොමු කළේ අමෝද අයියාව මඟ හරින්නට ය.සඳ දීප්තිමත් ව බැබළෙමිනි.එහෙත් මගේ දෑස යොමු වූයේ තරුවකට ය.වඩා දීප්තිමත් තරුවක ට ය.ඒ තරුව ගැන මා පමණක් විශ්වාස කරන රහසක් ඔහු සමඟ බෙදා ගන්නට මට ඕනෑ විය.

“අර තරුව..ඒ මගේ තාත්තා..”

ඔහු කිසිත් පැවසුවේ නැත.මගේ සිහින් අතැඟිලි ඔහුගේ අත්ලට සිර වූවා පමණි.අප බොහෝ වෙලා එසේ හිඳින්නට ඇත.කිසිදු වචනයක් අප’තර හුවමාරු වූයේ නැත.නමුත් මහා ආරක්ෂාවක් හිත වෙළා ගනිද්දී මට ඉතා නුහුරු හැඟීමක් දැනෙමින් තිබිණ.මලිඳුට උමතුවෙන් බැඳී සිටි මට ආදරය සහ ආකර්ෂණයේ වෙනස වටහා ගන්නට තවදුරටත් අසීරු වූයේ නැත.

“තාත්තා ඒ ඉන්නේ පිනී දිහා බලාගෙන.ඒ නිසා ඔයා අම්මයි තරිඳියි දෙන්නම බලා ගන්න හයිය ගන්න ඕන.”

අම්මාත් නංගීත් දැකීමේ තදබල උවමනාවක් මට දැනෙන්නට විය. මුළුතැන්ගෙයි උයමින් හිඳින අම්මාත් ජර්සියක් පටලාගෙන ඈ අසලට වී කියවන නංගිත් මගේ දෑසට පෙනෙන්නාක් මෙනි.අම්මාගේ තුරුලට වැදී අමෝද අයියා මට ආදරය කරන තරම කියන්නට මට ඕනෑ විය.

“අපි ඉක්මනින් පිනීලගෙ ගෙදර යමු.ඊට කලින් මට පිනීගෙන් දැන ගන්න දෙයක් තියෙනවා..”

මම එය අසන්නට බලා සිටියෙමි.

“පිනිදි තාම ඉන්නේ හිස් හැඟීමක බව මං දන්නවා. තිවංකි නිසා අවුරුදු ගාණක් හිස් වෙලා හිටිය මම එදා ආපහු ආව දවසේ ඔයාව දැක්කම මේ පොඩි කෙල්ල මට හයියක් වෙයි කියලා හිතුවා.පිනී,මේ ගෙදර හැමදාම නවතින තීරණේකට ඇවිත් මට ඒ හයිය දෙන්න ඔයාට පුලුවන් නේද?

කියවන්න :  පිනි සේල - 11

මට හැඬුම් ආවේ ය.සඳ වතුර ඉහිරුණු උද්‍යානය වෙත නෙත් අලවාගෙන මම කිසිත් නොකියා බොහෝ වෙලාවක් බලා සිටියෙමි.

“මං ඔයාට ආදරේ බව ඔයා දන්නවා කියලා මං දන්නවා නංගි.ඔයාට ඕන කාලයක් අරන් මට ඒකට උත්තරයක් දෙන්න.මට බලන් ඉන්න බැරිකමක් නෑ. හිත හැදුණු දවසක ඒ උත්තරේ දෙන්න.ඒ ඇති.”

කාලය බොහෝ වේගයෙන් දුවන බව මම දනිමි.එහි නැවතීමක් නැත.කාලය අපතේ නොදැමීමේ හදිසි ආශාවක් මට හට ගත්තේ ය.මම අමෝද අයියා දෙස බලා නැවත අහස් තලය දෙස බැලීමි. දීප්තිමත් තරුව මට මඟ කියමින් හිඳියි.

“මට ඒකට උත්තර දෙන්න ලොකු කාලයක් ඕනෑ නෑ අයියේ..”

ප්‍රේමය උතුරා යන සිනාවක් මවෙත හෙළූ අමෝද අයියා මගේ දෝතින් අල්ලා ගත්තේ ය.ඔහුට කියන්නට දෙයක් මට තිබිණි.ඒ කතාව ඔහුට පවසා අමතක කර දමන්නට උවමනා කතාන්දරයකි.මලිඳුට ඇමතූ හැටිත් ඔහු දුන් පිළිතුරුත් හුස්ම නොගෙන කියවාගෙන යද්දී මගේ හඬ බිඳී ගිය තැන් අපමණ ය.අමෝද අයියා මගේ හිස සෙමින් පිරිමදිමින් සියල්ල අසා සිටියේ ය.බාධා කරන්නට වචනයක්වත් ඔහුගෙන් පිට වූයේ නැත. මම මට පීඩා දුන් හැඟීම නිදහස් කළේ අවසානයේ දී ය.

“ඔහොම කිව්වා ඇරෙන්න මට මලිඳුට බැන ගන්න හයියක් තිබ්බේ නෑ අයියේ.මට එයාට බනින්න බෑ. එයා මගේ වන්සයිඩ් ලව් එක වෙලා හිටිය හැටි අමතක කළත් අපි අවුරුදු දාසයක් විතර හොඳම යාළුවෝ වෙලා හිටියා කියන එක මට අමතක කරන්න බෑ.. ඉතිං මං එයාට බැන්නේ නෑ.බැනලා මොකටද හිතුණා.මලිඳු කිව්ව දේවල් වලින් මට හිතුණේ එයා කවදාවත් හැදෙන එකක් නෑ.කෙල්ලො තෝර තෝරා හිතෙන අයට චැට් කර කර ඔහේ ඉඳී. දුක අහන්න ළං වෙලා සමහර ගර්ල්ස්ලා හිටියටත් වඩා දුකට ඇදලා දායි. මගේ ලෝකෙට එහෙම හොඳ යාලුවෙක් ඕන නෑ.එහෙම යාලුවෙක් ඉන්න එක මම හිමල්කටයි දිනුකටයි කරන අසාධාරණයක්..”

අමෝද අයියා කිසිත් නොකියා මඳ වෙලාවක් සිටියේ ය.

“පිනී,අපි මලිඳුටවත් තිවංකිටවත් වෛර කරන්න ඕන නෑ.ආදරේ කියන්නේ රවට්ටන එකවත් වෛර කරන එකවත් නෙවෙයි කියලා අපිට ඉගැන්නුවේ ඒ දෙන්නා.අපි එයාලව අමතක කරාම ඇති. හැබැයි එයාලා දීපු දුක අමතක නොකර.තිවංකි වගේ කෙල්ලෙක් නිසා පිනීට ආදරේ කරන එකේ සැනසීම පහුගිය කාලෙම ඔයාගෙන් ආදරයක් ආපහු බලාපොරොත්තු නොවී ඔයාට ආදරේ කර කර මම ඉගෙන ගත්තා. උදේම ඔයාගේ හිනාව දැකලා පටන් ගන්න දවසේ ලස්සන අත් වින්දා.ඒ දවස්වලට වඩා ඉස්සරහට එන දවස් ලස්සන වෙයි.ආදරෙන් ජීවත් වෙමු.ජීවත් වෙන ගමන් මතක් වුණොත් විතරක් ආදරෙ කරන්න නොයා ආදරෙන්ම ජීවත් වෙමු.”

වැහි පොදයක් ඇද හැලෙමින් තිබුණේ හදිසියේ ය.හිරිපොදයකින් අප නැහැවී යමින් තිබිණ.මම අමෝද අයියා කියන හැම වචනයක් ම ප්‍රවේසමෙන් අහුලා ගනිමින් සිටියෙමි. ජීවිතය ඉදිරියේ දී ද මට සමහර අසීරු දවස් තිළිණ කරනු ඇත.එවැනි මොහොතක මේ රාත්‍රියේ මා අසා හුන් හැම වචනයක් ම මෙතැනට පැමිණ සිහි කරන්නට මම ඉටා ගතිමි.ආදරය ගැන මා උගත්තේ මෙතැන දී ය.
ජීවිතය මොනතරම් සුන්දරදැයි සිහි කරගන්නට මට ඇති හොඳම තැන මෙතැන වන්නේ එනිසා ය.අප දෑත් පටලා වැහි පොද විඳගනිමින් සිටියෙමු.කතා කරන්නට බොහෝ දේ අපට තිබිණි.

ජීවිතය අනෝරා වැස්සක් ව ඇද හැලුණ ද කම් නැත. වඩා සුවපහසු සෙවණක් මා දරා ගන්නා බව මට සහතික ය.මා අමෝද අයියා දෙස බැලුවේ ඒ විශ්වාසයෙනි.මීට මාස කිහිපයකට එහා දවසක ඊෂාත් මමත් නිවසට එද්දී අප දෙස ගණනකට නොගන්නා බැල්මකින් බලා හුන් යෞවනයාව මම සිහි කළෙමි. ඔහු අද ඉතා ප්‍රේමණීය දෑසකින් මදෙස බලා සිටියි.වෙනස් වූයේ ඔහු එදා මා සහෝදරියක් කර ගන්නට දුන් පොරොන්දුව ය.එදා සිහිනයකිනුදු නොසිතූ චරිතය වී අමෝදගේ ජීවිතයේ නවතින්නට දෛවය මට ඉඩ දී ඇත.මම අතීත වේදනා අමතක කර දමා ඔහු සමඟ හිනැහුණෙමි.අනාගතය ගැන විසල් ප්‍රාර්ථනා රැගෙන ඔහු පිනිදි ප්‍රාර්ථනා දෙස බලා හුන්නේ ආදරයෙනි; විශ්වාසයෙනි.

කියවන්න :  පිනි සේල - 30

ප්‍රේමය මල් වැස්සක් ව ඇද හැලෙමින් තිබිණ.

පස් වසරක ඇවෑමෙන් ලියා තබමි.

සරසවියේ අවසන් වසර සිසුවියක හිඳියදී ම මම විවාපත් වූයෙමි. මගේ කාල රේඛාව මගේ මිතුරියන්ට වඩා ඉක්මන් වූ නිසා ම අවසන් වසර විභාගයට පෙනී හිඳිද්දී කුඩා සුර බිළිඳෙකු මගේ කුසට අනිමින් පාඩම් කරන්නට මතක් කරමින් සිටියේ ය.

ඊෂා මගේ ආදරණීය නෑනන්ඩිය සොඳුරු මනාලියක වූයේ අපේ කුඩා පුතුට වසරක් ද ඉක්ම ගිය තැන ය. ඈ අපේ ගෙදර හැර යන දා ඇයත් මාත් වැළපි තරමට දිනුකත් අමෝදත් තවම සරදම් කරති. ඉතින් ගැටලුවක් නැත. ඔවුන් දෙදෙනාට පෙම් කරනවාටත් වඩා අප අපේ මිතුදමට පෙම් බඳින බව අපට විස්වාස ය.මගේ මේ දවස් ගතව යන්නේ ඈට උවටැන් කරන්නට ය. තාත්තෙකු වන දවස් අත ළඟ බැවින් දිනුක මහත් සොම්නසකිනි. ඊෂා (අපේ) අම්මාටත් මටත් අමෝදටත් සුරතල් වෙමින් මවක් වන්නට සැරසේ.

හිමල්ක ඇමරිකාවේ සිට අප අමතයි. ඔහු ඊළඟ උපාධියට සැරසෙන අතරම ඔහුගේ සහකරු ඩැනියෙල් සමඟ කුඩා පුතෙකු හදා වඩා ගනියි.අප අපේ කැදලිවල සතුටින් හිඳින තරමට ම ඔහු ඔහුගේ කැදැල්ල ප්‍රීතියෙන් පුරවමින් හිඳියි. දිනුකත් අමෝදත් නිසා හිත් රිදවා ගන්නා ඕනෑම මොහොතක “බලන්නකෝ හිමා” කියමින් වීඩියෝ ඇමතුමක් ගෙන හැඬීම ඊෂාගේත් මගේත් නොවරදින රාජකාරියකි.

අම්මා දැන් බොහෝ සතුටිනි.ඇගේ වෙළඳසැල බලා හදා ගන්නට වේලු මාමාගේ ලොකු පුතුට පවරා ඇත. නංගි ඈ සිහින දුටු ලෙසම කඳුකර දුෂ්කර රෝහලක වෛද්‍යවරියකව එන දවස් වෙනුවෙන් වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන්නී ය. ඉතින් ජීවිත කාලයේම දරා ගත් බර බිම තැබූ අම්මා නංගිගේ අනාගතය සැලසුම් කරන්නී; අපේ පුතුගේ සුරතල් කතා අසන්නී; සතුටින් ජීවත් වන්නී ය. ඉතා දීප්තිමත් තාරකාවක් ඈත අහසේ දිදුලයි.දවස පුරා ඉගෙන ගත් ගී ගයමින් සහ කතන්දර කියමින් ඒ තරුවේ හිඳින සීයාතාත්තා සමඟ කතා කිරීම මගේ කුඩා පුතු නින්දට පෙර ඉටු කරන අනිවාර්යය රාජකාරියකි.

ලියා තැබිය යුතුම සොඳුරු මිනිසා අමෝද,බොහෝ කාර්යබහුල මිනිසෙකි. අපේ ව්‍යාපාර සියල්ල පාලනය වන්නේ ඔහු අතිනි.තාත්තා ඒ සියල්ල ඔහුට ද දිනුකට ද පවරා විශ්‍රාම සුවයෙනි.දිනුකගේ නොමඳ සහය ලැබුණ ද ඒවා මෙතරම් ක්‍රමවත් අමෝදගේ කැපවීම නිසා බව දනිමි.ව්‍යාපාර කළමනාකරණය උපාධියක් හිමි බිරිඳ පොතේ දැනුම පමණක් භාවිතා කරන්නට ගොස් ව්‍යාපාරයක සමහර තැන් අනා ගනිද්දී පවා ඔහු කරන්නේ හිනැහීම ය.අත අත නෑර ජීවිතය දිග යන්නට පොරොන්දු වූ වැසි වැටුණු රාත්‍රියේ කම්මුලේ තැවරුණු තෙත හාදුව දැන් වඩා බරැතිව මගේ කම්මුලක තැවරේ.කඳුලු අමතකව ගිය මම ඔහුගේ දෑස් වල දිස්නය රැගෙන වඩා ප්‍රීතිමත්ව සිනා වෙමින් හිඳිමි.රූපවාහිනිය නරඹමින් හිඳින වෙලාවක තවමත් ඔහු තිගැස්සෙන තැන් ඇත. වහා චැනලය මාරු වන අතර සමාව අයදින සුළු සිනාවක් මවෙත ලැබේ.අනතුරුව ඉතා ප්‍රේමණීය හඬක් මතු වේ. “නංගි බබෙක් ගෙනාවොත් නරකද?” මම රූපවාහිනියේ දුටු රුව අමතක කර වඩා තදින් ඔහු වැළඳ ගනිමි.

ඉතින් අපේ කතාව එහෙම ය.

නැත!

අමතක වූයේ නැත.
මලිඳු, ඔහු විවාහ වී නැත.

“ඔයාව අහන් ඉන්න මං ලෑස්ති” එවැනි මැසේන්ජර් පණිවිඩයක් ඔහුගෙන් ඔබට ද ලැබෙන්නට ඉඩ ඇත.ඔහු තවමත් ඉතා සතුටින් දුග්ගන්නාරාළ චරිතය රඟ දක්වමින් හිඳියි.තමාගේ ප්‍රේමය අයදින කෙල්ලන් ගැන නන් දොඩවමින් ඔහුගේ දවස් සතුටින් ගෙවා දමයි. අමෝද, දිනුක වැනි තරුණයන් හිඟ ලෝකයක මලිඳුලා ඕනෑ තරම් ය.දවස් ගණනක් පුරා මගේ කතාව ඇසූ ඔබට මට කියන්නට ඇත්තේ මෙපමණකි.

අප්‍රකාශිත ප්‍රේමය වුව ද පිදිය යුත්තේ ආදරය දන්නා මිනිසෙකුට ය.

ආදරයෙනි.

සමාප්තයි!

4.2 9 votes
Article Rating
Subscribe
Notify of
guest
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Kumari
Kumari
1 month ago

හරිම ලස්සනයි. තවත් මෙවැනි කතා බලාගෙන ඉන්නවා

Nelum
Nelum
18 days ago

හරිම ලස්සනයි. තවත් ලියන්න ඔයාට ශක්තිය ලැබේවා .