ලංකාව තුළ ක්‍රියාත්මක වන දික්කසාද නීතිය ගැන ඔබත් දැනුවත්ද?

විවාහ වන සෑම කෙනෙකුටම එම විවාහය කිසියම් අපහසුවක් හෝ දරාගැනීමට නොහැකි එකක් වන්නේ නම් ඉන් ඉවත් වීමේ එනම් දික්කසාද වීමේ අයිතිය නීතියෙන් ලබාදී තිබෙනවා.

නමුත් එය යම් කිසි විධිමත් නීතිමය රාමුවක් සමඟ බැඳුණු සංකීර්ණ ක්‍රියාවලියක්,

විවාහ සම්බන්ධ නීති ආරම්භය

අතීතයේ මෙන් නොව වර්තමානයේදී විවාහයට නීතිමය පසුබිමක් තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක විවාහ නීතිය ඇතුළු නීති රැසක් ආරම්භ කළේ යටත් යටත් විජිත යුගයේදීයි.1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ ආඥා පනත විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකාව තුල විවාහ වීම මෙන්ම දික්කසාද වීම සඳහා බලාත්මක වන අවස්ථා තුනක් තියෙනවා.
1.සාමාන්‍ය නීතිය
2.උඩරට නීතිය
3.මුස්ලිම් නීතිය

මීට අමතරව උඩරට හා මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සහ දික්කසාද නීතිය 1952 අංක 44 දරණ උඩරට විවාහ හා දික්කසාද ආඥා පනත සහ 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ හා දික්කසාද ආඥා පනත අනුව ක්‍රියාත්මක වෙනවා.

දික්කසාද වීම සඳහා කිනම් කරුණු සපුරා තිබිය යුතු ද ?

සාමාන්‍ය නීතිය යටතේ විවාහක යුවළක් දික්කසාද වීමේ ක්‍රියාවලිය තරමක් දීර්ඝ,සංකීර්ණ ක්‍රියාවලියක ලෙස සලකන්නට පුළුවන් .ඒ සඳහා සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම කළ යුතු වෙනවා.

සාමාන්‍ය නීතිය තුළ දික්කසාද වීම සඳහා චෝදනා තුනක් ඉදිරිපත් කිරීම කළ හැකියි.

  1. අනාචාරය

විවාහක පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු පිටස්තර පුද්ගලයෙකු සමග ලිංගික සේවනයේ යෙදෙන්නේ නම් එය අනාචාරය ලෙස හඳුන්වනවා.එය අධිකරණය හමුවේ ඔප්පු කිරීමත් වැදගත්.

2.ද්වේෂ සහගත ලෙස අතහැරයාම

සාමාන්‍ය ද්වේශ සහගත අතහැර යාම.-
මෙහිදී එක් පාර්ශවයක් තමන්ගේ නිවසින් පිටවී යාම සිදුවී තිබීම වැදගත්.

අනුමිත ද්වේශ සහගත අතහැර යාම –
මෙහිදී සිදුවන්නේ සහකරුගේ හෝ සහකාරියගේ නුසුදුසු ක්‍රියා කලාපයන් නිසා අනිත් පාර්ශවය නිවස අත හැර යාමයි.නමුත් මෙහිදී නිවස අතහැර යන කෙනා වැරදිකරු වෙන්නේ නැහැ.වරදකරු වන්නේ ඇයට හෝ ඔහුට නිවස අතහැර යන තැනට වැඩ කටයුතු සිදු සිදු කළ පුද්ගලයා වෙනවා.

3.සුවකළ නොහැකි ලිංගික බෙලහීනතාවය –

සාමාන්‍ය ලෙස ලිංගික සේවනය කිරීමට ඇති නොහැකියාව මේ ලෙසින් හඳුන්වන්නට පුළුවන්.නමුත් දරුවන් නොමැතිවීම හෝ වඳ බව ලිංගික බෙලහීනත්වය ලෙස හැඳින්වෙන්නේ නැහැ.

උඩරට නීතිය

සාමාන්‍ය නීතියට වඩා මෙම නීතියේ දී දික්කසාදය තරමක් පහසු එකක් ලෙස හඳුන්වන්නට පුළුවන්.එහිදී අදාල පනත ට පනතට දික්කසාද ඉල්ලීමට ඇති හැකියාව මෙලෙස සඳහන් වෙනවා .

1.විවාහයෙන් පසු සැමියාගේ බිරිඳගේ අනාචාරය
2.හිංසාකාරී ලෙස හැසිරීම.
3.සැමියා හෝ බිරිඳ විසින් වසර දෙකක කාලයක් වෙන් වී සිටිම.
4.පවුල් ජීවිතය එක්ව සතුටින් ගත කළ නොහැකි වීම.
5.දෙදෙනාගේ කැමැත්ත පරිදි දික්කසාද වීමේ හැකියාව.

මේ සඳහා අධිකරණයේ නඩුවක් ගොනු කිරීම අවශ්‍ය වන්නේ නැහැ.විවාහ රෙජිස්ට්‍රාර්වරයා වෙත දික්කසාද වීමට හේතු දක්වමින් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්.

මුස්ලිම් නීතිය

මුස්ලිම් ජාතිකයන්ට දික්කසාදය ලබා ගැනීමේදී කිහිප ආකාරයකින් කටයුතු කරන්නට පුළුවන්.

1.තලාක් – මෙම ක්‍රමය අනුගමනය කළ හැකි වන්නේ සැමියාට පමණයි.නමුත් මෙහිදී දික්කසාදයට හේතු දැක්වීමට පුරුෂයා බැඳී නැහැ.මේ තරමක් අමානුෂික අවස්ථාවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.එහිද කොටස් දෙකක් තිබෙනවා.
1.අවලංගු කළ හැකි තලාක්
11.අවලංගු කළ නොහැකි තලාක්

2.මුඛාරත් – දෙපාර්ශවයම කැමැත්ත මත දික්කසාද වීමේ හැකියාව.
3.කුලා – මෙහිදී ප්‍රධාන අයිතිය තිබෙන්නේ බිරිඳටයි.
4.ෆසා – මෙහිදී සැමියාගේ වරදක් පදනම් කරගනිමින් ඔහුගේ කැමැත්ත රහිතව දික්කසාදය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ආදරයෙන් බැඳී විවාහ වන යුවළක් කිසිසේත්ම විවාහ වන මොහොතේ දික්කසාදය ප්‍රාර්ථනා කරන්නේ නැහැ.එකිනෙකා සමඟ ජීවත් වීමේදී ඇතිවන පුද්ගලික මෙන්ම විවිධ සමාජයීය ගැටීම් ඔවුන්ගේ සබඳතාවයේ දුර තීරණය කරනවා.ඒ නිසාවෙන් දික්කසාද වීමට ප්‍රථම පවුල් ගැටුම් ආදීය තිබේනම් උපදේශන සහය ලබා ගැනීමෙන් පසු විසඳුමක් නොලැබෙන තත්ත්වයක් තුළ පමණක් දික්කසාද වීම සඳහා නඩු පැවරීම සිදු කිරීම කළ හැකියි.සමහරවිට දික්කසාදය සඳහා ඔබව යොමු කරන්නේ ඉතාමත් කුඩා ගැටලුවක් වීමට වෙන්නත් පුලුවන් නිසාවෙන්.

නමුත් විවාහය තුල දිගින් දිගටම ඔබ ගෘහස්ථ හිංසනයට ලක්වෙනවා නම්, කායික හෝ මානසික වේදනාවන් වලට ලක්වෙනවා නම් නීතීන්‍යවරයෙක්ගේ සහය ලබා ගනිමින් දික්කසාදය සදහා ඉල්ලුම් කිරීමක් කල හැකියි, අවශ්‍ය නිවැරැදි මගපෙන්වීමක් ලබා ගැනීම තුලින් අවශ්‍ය වෙන්වීම සිදුකර ගන්න ඔබට පුලුවන්.

මේ ලිපියේ අරමුණ නම් දෙන්නා දෙමහල්ලො අමනාප වෙන හැම වෙලාවකම දික්කසාද වෙනවා බව පැවසුවත් එය සංකීර්ණ ක්‍රියාවලියක් බව පැහැදිලි කිරීමයි. අතැගිලි බැඳ ගන්න තරමට පහසුවෙන් දික්කසාද වෙන්න බැරි බව ඔබට දැන් පැහැදිලි ඇති.ඒ නිසා වඩාත් වැදගත් වන්නේ විවාහයට පෙර සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමත්, එකිනෙකා ගැන අවබෝධය වැඩිකර ගනිමින් අන්‍යොන්‍ය අවබෝධය සමග විවාහය රැක ගැනීමට කටයුතු කිරීමත් බව සිහියේ තබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles