මීදුම් මාරුත -10

හදිසියේ විවාහය ගැන භාවනාගේ අම්මා උනන්දු වීම සම්බන්ධයෙන් සකුණට වූයේ කුකුසකි;තිගැස්මකි.විවාහය කියන්නේ ලෙහෙසි පහසු බැඳීමකට නොවන බව ඔහු දනියි.වඩාත්ම පුදුමය වන්නේ එවගක් දැන දැනම භාවනා විවාහයට එකඟ වීම ය.

“ජීවිතයේ සුන්දරතම සිහිනයට සැරසෙමි.”

භාවනා ඇගේත් සකුණගේත් සෙල්ෆි ඡායාරූපයක් ෆේස්බුක් අවකාශයට මුදාහැර තිබුණේ එවැනි සටහනක් සහිතව ය.සුබ පැතුම් වැසි වසිමින් තිබිණ.

“වෙඩින් එක ගැන අපිවත් කතා නොකර ඔහොම රටේ මිනිස්සුන්ට ඒවා ගැන කියන්න එපා බී..”

භාවනාට වඩා ආදරණීයව කතා කරන්නට සිතූ සකුණ ඔහු පමණක් අමතන කෙටි නමින් ඈ ඇමතුවේ ය.නමුත් භාවනා ඔහු දෙස බැලුවේ සිහින් කරගත් දෙනෙතකිනි.ඒ ඈ වඩා කෝපයෙන් පසුවන බවට සලකුණකි.නමුත් ඇගේ කෝපයට ඉඩ දිය යුතු නැතැයි සකුණ සිතුවේ ය.

“ඔයා රටේ ලෝකේ දේවල් ගැන ලියන එක හොඳයි තමා.ඔයාට ඒවා ගැන කතා කරන්න හයියක් තියෙන එක ගැනත් මට සතුටුයි.ඒත් අපිවත් හරියට තීරණය කරේ නැති පෞද්ගලික දේවල් ගැන ලියන්න එපා.ඕවා ඔහොම පුරුදු වුණාම ඉස්සරහට දරුවො පවා නොදන්න මිනිස්සු ඉස්සරහ සේල් වෙනවා.මං ඒකට ආසම නෑ..”

සකුණ ඔහුට ඇති සැබෑ බිය ගැන පැවසී ය.එය නොපැවසීමෙන් තේරුමක් නොවේයැයි ඔහු සිතුවේ ය.නමුත් දෙඅත් බැඳගෙන කෝපී ස්වරයකින් ඔහු ඇමතුවා ය.

“මං නිසා ඔයත් ජනප්‍රියයි.ඔයාට සිද්ධ වෙනව ඒක දරා ගන්න..”

යම් කාරණාවක් හන්දා ජනප්‍රිය වීම සහ මේ අන්දමට ජනප්‍රිය වීම අතර අහස පොළොව තරමේ වෙනසක් ඇතැයි සකුණ සිතුවේ ය.එවග භාවනාට පැවසුවේ ය.

“මිනිස් සම්බන්ධතා ඕන වෙලාවක කැඩිලා බිඳිලා යන්න පුලුවන් භාවනා.නොදන්න මිනිස්සු ඉස්සරහ ඒවා උත්කර්ෂයට නගලා අපිටම තමයි ඒක පාඩුවක් වෙන්නෙ.දැන් බලන්න,සෙනුර නැති වුණා කියලා අපි අපි විතරයි දන්නේ.කාව්‍යාගේ ආදරෙත් සෝෂල් මීඩියා වල ජනප්‍රිය නම්, ඔය කෙල්ලට ආයෙ කසාදයක්වත් කරගන්න බෑ.මිනිස්සු එක එක ඒවා කියයි.අපහාස කරයි..”

සකුණ එසේ කියද්දී භාවනා ඔහු දෙස බැලුවේ නොරිස්සුමෙනි.

“අපේ අක්කා ආයේ බඳින් නෑ කොහොමටත්..”

ඇය කියන්නේ හිරු නගින දිශාව කියනා තරමට විශ්වාසයෙනි.

“එහෙම කියන්නෙ කොහොමද? ඒ ළමයට තාම තිහක්වත් නෑ..”

සකුණ පැවසුවේ කලකිරීමකිනි.දිගු කාලීන ආදර කතාවක් තිබුණාට ඒ ආදර කතාව විවාහයක් වූ පසු ඇය ඉක්මනින් වැන්දඹුවක් වූවාට කාව්‍යා කියන්නේ තරුණ ගැහැනියකි.ඈ තනිකමෙන් පීඩා විඳිය යුතු නොවේ.

“මට මේ ලෝකේ පේන්නම බැරි නාහෙන් අඬන තොදොල් ගෑනු.අපෙ අක්කා කියන්නෙ එතනිනුත් අංක එක..”

කාන්තා අයිතීන් ගැන ද කාන්තාවන්ගේ අසරණකම් ගැන ද දිගු සටහන් ලියමින් අරගල කරන භාවනාගේ කතාව ගැන සකුණට කේන්තියක් පහළ විය.නමුත් ඔහු ඇයට සවන් දුන්නේ ය.

“දැන් සෙනුර අයියා නැති වුණා.ඒක අක්කා පිළිගන්න ඕන.බලන්න ඉන්න හැටි.ලස්සනකට අඳින් නෑ.කොණ්ඩයක් පීරන් නෑ.කටහඬ පවා මහ අසරණයි.පරාජිතයි.ඔහොම ඉන්න බෑ හැමදාම..”

භාවනා කියන්නේ ආවේගයෙනි.සකුණ ඇයට ඉතා කාරුණික ස්වරයකින් ඇමතුවේ ය.

“ඔයා කියන එක හරි බී..ඔහොම ඉන්න බෑ හැමදාම..ඒ වුණාට..”

සකුණ එසේ කියා කතාව තත්පරයකට නැවතී ය.නමුත් එතැනින් එහා ගැන සිතන්නට භාවනාට ඕනෑ වූයේ නැත.

“එයාට රිකවර් වෙන්න කාලයක් ඕන.ඔයා ඔහොම කතා එයාගෙ මූණටමත් කියනව කියල මං දන්නව.මානසිකව බිංදුවටම වැටුණු මනුස්සයෙක්ට ඔයා ශක්තිමත් නෑ කියද්දී ඒක තවත් වේදනාවක්.ඔයා පුදුමාකාර ශක්තිමත් කෙල්ලෙක් වෙන්න ඇති.ඒත් ඔයාගෙ අක්කට මේ වෙලාවෙ බණ කියන්න එපා.එයාට සෙනුරව අන්තිමට බලන්න හග් කරන්නවත් ලැබුණේ නෑ..”

සකුණ එසේ කියවා යද්දී භාවනා ඔහු වෙතින් ඉවත් වූයේ නොරිස්සුම්සහගත මුහුණකිනි.

“ඔයාට ඉතින් අක්කා හැම වෙලේම හරි..”

ඒ වචන වලට සකුණ තිගැස්සිණ.කාව්‍යා කියන්නේ ඔහුට කොහොමටත් විශේෂ අයෙකු බව සැබෑවකි.නමුත් මේ චෝදනාව ඔහුගේ අනාගත බිරිඳගෙන් මතු වීම ඔහු තිගැස්මට ලක් කළේ ය.අනෙක් කාරණාව මේ ඇගේ අක්කා ය.

“ඕව වැඩක් නෑ.අපි හොටෙල්ස් එහෙම බලන්න වෙයි.අම්මා ලොකු වෙඩින් එකක් නොගෙන ඉමුලු.මං ඒකටනම් කැමති.බොරු වියදම් අපරාදයක්..”

භාවනා එසේ කියද්දි සකුණ ඇගේ ඒ තීරණය ගැන තුටු වූයේ ය.විශාල වියදම් සහිත උත්සව වලට ඔහුගේ මනාපයක් නැත.අනෙක් කාරණාව සෙනුරගේ වියෝවට වසරක් ගෙවෙද්දීම මහා පරිමාණ උත්සව පැවැත්වීම තරම් නොවේ. වසංගතය සැඟවී යන ලකුණු පෙන්වූව ද වඩාත් බියකරු මුහුණක් ඇතිව නැවත පැමිණ සටන් කරන්නට ද ඉඩ නැතුවා නොවේ.එනිසා ම කුඩා විවාහ මංගලෝත්සවයක් මේ මොහොතේ ප්‍රමාණවත්‍ ය.

“ඔයත් ඔය ඉන්නෙ කසාදෙට බයේ.නිකං වගකීම් වලට බය වෙන්න එපා සකුණ අයියෙ.අපි බැඳල බලමු.හරියන් නෑ නම් ඩිවෝස් වෙමු..”

භාවනා නික්ම ගිය පසු ඇය කී ඒ වදන් ගැන සකුණ ආයෙ ආයේම සිතා බැලුවේ ය.ඇය දික්කසාදය ගැන කතා කළේ එපමණ සැහැල්ලුවකිනි.නිදහස් ජීවිතය අගයන ඇය එවැනි තීරණයක් වුව ගන්නට නොපසුබට තැනැත්තියක නොවන බව සකුණ දනියි.

“උඹ ඉන්නයි තිබ්බෙ සෙනුර.”

ජීවිතය තුළ විසඳුම් නැති ප්‍රශ්න පැන නගින ඕනෑම මොහොතක ළඟ හුන් ළබැඳි මිතුරා සිහි කරමින් සකුණ තනිව මිමිණි ය.පිළිතුර කිසිසේත්ම සොයා ගන්නට අසීරු ගණිත ගැටලුවක පටන් වඩා අමිහිරි ප්‍රේම සම්බන්ධයක කටුක මතක දක්වාම සෙනුර ඔහුට ශක්තියක් වූ අන්දම සකුණ සිහි කළේ වේදනාවෙනි.

“ඔය තීරණේ ගැන හොඳටම විශ්වාසද උඹට?”

භාවනා සමඟ ප්‍රේමයක් ඇරඹු කාලයේ සෙනුර එසේ ඇසූ අන්දම සකුණට සිහි වේ.භාවනා සහ සකුණ අහසට පොළොව වාගේ බව දැන සිටි හන්දා සෙනුර එසේ කියන්නට ඇතැයි සකුණට හැඟේ.නමුත් දැන් අහසටත් පොළොවටත් එක්වන්නට සිදු වී ඇත.

අනාගතය කෙසේ වේදැයි සිතමින් සකුණ දිගු කල්පනාවක ගිලෙන්නට ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles