ඉඳුදුන්න – 12

අමන්දී ගල් ගැසිණ.එපා යැයි වළකන්නට තරම් වෙලාවක් නැත.අදීෂ දුරකථනය තැබුවේ ඉඳුවර අත බව ඈ දැන සිටියා ය.ඇයට ඇමතුම විසන්ධි කරන්නට ඕනෑ විය.නමුත් ඒ ඉඳුවර කෝපයට පත් කිරීමකි.නැතහොත් ඔහුට තමා කියවා ගැනීමට ඉඩ දීමකි.

“ඉඳුවර..කොහොමද ඔයාගේ ඩ්‍රාමා එක අපි හැමදාම බලනවා..”

කටපාඩම් කරගත් අන්දමේ ඒ වචන කිහිපය ඉඳුවරට ගෙනාවේ අපහසුවකි. වෙලාවට ආහාර නොගැනීම,මිතුරු සාද වලදී ඕනෑවට වඩා මත් වීම වැනි කාරණාවලට බැන වැදුණු යෞවනිය අද ඈතක සිට පවසන්නේ ඔහු දකින ඕනෑම කෙනෙකු පවසන වාක්‍යයකි. ඇය ඒ ටෙලි නාට්‍යය නරඹන්නේ නම් එහි ඇති බොළඳ බවට බැන වැදිය යුතු ය.ඉහළ රසාස්වාදයක් අයත් අමන්දී එවැන්නියකි.

“ඔයා මරු..දේවකීලා, චමල්ලා වගේ සීනියර් ඇක්ටර්ස්ලා එක්ක වැඩේ අල්ලන් යනවනෙ.ඇත්තටම නියමයි..ඒත් සින්දුත් කියන්න..”

ඉඳුවර වචන සොයමින් හුන්නේ ය.අමන්දී ඔහු දුටු අවසන් දිනයේ පවා සිටියේ දෑස්වල කතාවක් සිර කරගෙන ය.ආධුනික නිළියක පුහුණු දෙබස් කියන්නාක් මෙන් හැසිරෙන අමන්දී ඔහුට ගෙන ආවේ වේදනාවකි.

“අමා..ඔයාට කොහොමද?

ඔහු යන්තමින් වචන සොයා ගත්තේ ය.

“ඉඳුවර මං ඔයාට කතා කරන්න කීප පාරක්ම හිතුවා..” ඉනික්බිති අමන්දී පැවසුවා ය.ඒ ඇගේ නොකියූ ආදරය හඟවන වචන බව ඔහු සිතී ය.නමුත් ඒ නිගමනයට වැඩි ආයුෂ වූයේ නැත.

“මගේ මහත්තයගෙ නංගි මාර ආසයි ඔයාට.අපි බැච්මේට්ස්ලා නිසා ඔයාව කන්ටැක් කරලා දෙන්න කියල හරියට ඉල්ලුවා.ඔයාට කරදරයිනෙ.මං ඒ නිසා කෝල් කරේ නෑ.අනේ අපේ චූටිට කතා කරනවද? එයා සර්ප්‍රයිස් වෙයි..”

ඇය ඉන් නැවතුණේ නැත.සඳුනිව වහා කැඳවා දුරකථනය ඈ අත තැබුවා ය.

ආදරය පවසන්නට නොහැකි වූ ප්‍රේමවන්තියක හා දොඩමළු වෙන්නට සිටි ඉඳුවරට සිදු වූයේ ඇගේ නෑනා හා කියවන්නට ය.ඔහුට වශී වී හුන් සඳුනි හුස්මක්වත් නොගෙන දාහක් දේ ඇසී ය.අසීරුවෙන් ඇගේ කතාව මෙල්ල කරගත් ඉඳුවර “කෝ අක්කා” යැයි ඇසුවේ ය.

“අක්කා මට ෆෝන් එක දීලා ගිහිං…” පිළිතුරු පැමිණින.

“අක්කා අපේ යාලුවා.එයාව හොඳට බලා ගන්න ඕන හොඳේ..”ඉඳුවරගේ ඉල්ලීම සඳුනි පිළිගත්තේ සතුටිනි.එය ඉල්ලූයේ ඉඳුවර ය.දැන් අක්කා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට ඈ පැකිළෙන්නේ නැත.

සඳුනි උද්දාමයෙන් අමන්දී සොයා දුවන්නට ගත්තා ය.එළිමහනේ වෙහෙසවී නිවස වෙත එමින් හුන් අයියාගේ ඇඟේ හැපෙන තුරුම ඈ සිටියේ තාරකා රස්නයෙන් මන්මත් වී ය.

“මං අර ඉඳුවරට කතා කරා..එයා මට ඉඳුවර අයියා කියලා කියන්නත් කිව්වා.”

හති දමමින් දොඩවන නැගණිය දෙස අවිශ්ක මොහොතක් බලා හුන්නේ ය.සැකයක සේයාව ඔහුගේ සිතේ ඇඳී මැකී ගියේ ය.

“ඔය අක්කාගෙ ෆෝන් එක නේද?ඒක රිං වෙනව දැකලා ඔයා කෝල් එක ගත්තද?”

ඔහු වහා ඇසී ය.නමුත් ඉපිලෙමින් හුන් සඳුනි අක්කාට මිතුරෙකු අමතා ඉඳුවර සම්බන්ධ කළ අන්දම පැවසී ය.මොහොතකට හෝ බිරිඳ අවිශ්වාස කිරීම ගැන අවිශ්කට දැනුණේ වේදනාවකි.ඔහු නැගණිය අතින් දුරකථනය ලබා ගත්තේ ය.
එයට කෙටි පණිවිඩයක් ආවේ ඒ මොහොතේ ය.”අදීෂ” එවූ පණිවිඩය අවිශ්ක කියවූයේ ය.

“උඹට ඉඳුවරට කියන්න දෙයක් ඇති කියලයි හිතුවෙ.ෆෝන් එක උගේ ෆෑන් කෙනෙක්ට දීලා මාරු වෙන්න තරම් ඔයා ඉඳුවර හිතින් අත් ඇරලා නම් සතුටක් අමා..හස්බන්ඩ් එක්ක හොඳින් ඉන්න.”

අවිශ්කට සැනසීමක් දැනිණ.පැරණි ප්‍රේමය නිතරෝම රූපවාහිනී තිරයේ දකිද්දී පවා ඔහු අමතක කරන්නට තැත් දරන බිරිඳ ගැන ඔහු ආදරයෙන් පිරී ගියේ ය.

අමන්දී නම නොදන්නා විසල් ගසක් මුල හිඳ ගත්තා ය.නිස්කාංසුවේ හඬන්නට නම් නිවසට නුදුරු තැනක හිඳිය නොහැකි බැව් ඈ දැන හුන්නා ය.ඉඳුවර ගැන අවිශ්ක සමඟින් පැවසූ බව ඇත්තකි.නමුත් ඔහු ඉදිරිපිට හඬන්නට තරම් ඈ අවිශ්කට සමීප වී නැත.

වචන කරන්නටත් පෙර මියගිය ආදරයක් වෙනුවෙන් අමන්දී කදුළු ඉහිරවමින් හඬන්නට ගත්තා ය.කර්කශ වියළි සුළඟ පවා ඈ කෙරෙහි සසලව ඇගේ හිස මත තුරුපත් ඉහිරවූවා ය.කඳුළු වලට ඔහේ ගලා යන්නට දෙමින් අමන්දී අතීතයේ ඇවිදින්නට පටන් ගත්තා ය.

“මට තේරෙන් නෑ අමන්දී මේ පිරිමහන තරහනම්..”

ඉඳුවර අදීෂට පැවසුවේ පැටලිලි සහගතව ය.අදීෂ හඬනඟා හිනැහිණ.

“උඹලා වචනෙන් ආදරෙයි කියා ගත්තෙ නැතුව විතරනෙ.ආදරේ කරන ජෝඩුව වගේ තිස්සෙම එකටනෙ උඹලා හිටියෙ.වෙනස ඉතිං උන් වගේ තුරුල් වෙලා නොහිටපු එක..එහෙම හිටපු උඹ එකපාරටම මේ තරුවක් වෙන්න නටද්දී ඒකිට තරහ නැද්ද?”

අදීෂ කියද්දී ඉඳුවර කෝපත් දෑසකින් මිතුරා දෙස බැලී ය.

“අනිත් එකාගේ හීන වලට ඉඩ දෙන එක ගැන උඹේ සුපුරුදු බයිලෙ පටන් ගන්න එපා මචං..ඕවා කතා කරල විසඳා ගන්න තිබ්බ දේවල්.උඹ ආදරෙයි කියල කටින් නොකිව්වේ වෙලාවට..එහෙම කියලත් උඹ ඒකිව අතෑරියනම් ඒකි ඔය ගොවි ගෙදරකවත් ජීවත් වෙන් නෑ.අපි එහෙනම් ඒකි මතක් කරලා අවුරුදු පතා ෂෝස් තියනවා..”

අදීෂ යන්නට සැරසුණේ කල්මරා තේරුමක් නැති හින්දා ය.යන්නට පෙර මිතුරාට කියන්නට දෙයක් ඔහුට තිබිණ.

“මචං..අපි කාටත් හරියනම ආදරේ ජීවිතේ එකපාරක් හම්බෙනවා.එකම එක පාරක්..ඒක මුල්ම ආදරේ වෙන්න ඕන නෑ.ඒත් හරියන එකා ඉරණමෙන් හරි මොන උලව්වෙන් හරි මුණ ගැහෙනවා.අන්න ඒක මඟ ඇරගන්නවා කියන්නේ…”.

වාක්‍යය සම්පූර්ණ නොකරම අදීෂ යන්නට ගියේ ය.තරිඳිගේ කාන්තිමත් සිනාව සිහි කරමින් ඉඳුවර දෙනෙත් පියා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles