චීස් නැතුව චීස් රසට පීසා හදමු

පීසා කියන්නේ අද වෙද්දී ලෝකෙ පුරාම එක විදිහටම ජනප්‍රිය වෙලා තියෙන ඉතාලි කෑමක්නෙ. ලංකාවෙ අපිටත් අපිට ආවේණික රසවල් වලින් වගේම ලෝකෙ පුරාම තියෙන විවිධ රසවල් වල පීසා වර්ග ලංකාවෙදිම රස විඳින්න දැන් අවස්ථාව ලැබෙනවනේ.

කොයි කෑමත් ඔබේ විදිහට ඔබේ මුළුතැන්ගෙයි ඉඳල පිළියෙල කරන්න ආස ඔබ පීසා වර්ග අත්හදා බලන්නෙ නැතුව ඉන්නෙ නෑ කියල අපි දන්නව. 

විවිධ රසවල පීසා අතර නිතරම කියවෙන චීස් පීසා වල රස කොහොමද කියල අපි ඔබට මතක් කරන්න ඕනෙ නෑනෙ.

අද පවතින මිල ගණන් එක්ක චීස් වගේම චීස් පීසා මිලදී ගන්නත් අපහසු ඔබ වෙනුවෙන්ම චීස් නැතුව චීස් රසට පීසා හදාගන්න කොහොමද කියල කියන්නයි මේ ලිපිය අද අපිට ගෙනාවේ.  

එහෙනම් මුලින්ම බලමු අපිට ඕන කරන ද්‍රව්‍ය මොනවද කියල?

අවශ්‍ය ද්‍රව්‍ය

  • පිටි කෝප්ප 01 ක්
  • වියළි ඊස්ට් තේ හැඳි 01 ක් 
  • සීනි තේ හැඳි 01 ක්’
  • ලුණු කුඩු තේ හැඳි ½  ක්
  • තෙල් තේ හැඳි 01 ක්
  • කුකුල් මස් 250 g ක්
  • මිරිස් කුඩු
  • ගම්මිරිස් කුඩු
  • ලුණු කුඩු
  • සීනි
  • මඳ රස්නෙ උණු වතුර
  • තක්කාලි, මිරිස් හෝ පීසා සෝස්
  • ලොකු ලූණු / මාළු මිරිස් / කැප්සිකම් / නයි මිරිස් / කොච්චි / තක්කාලි / සොසේජස් / පෙති කපාගත් ඔලිව් ඇට

සෝස් සඳහා

  • බටර් මේස හැඳි 01 ක්
  • පිටි තේ හැඳි 01 ක්
  • කිරි කෝප්ප 01 ක්

සාදාගන්නා ආකාරය

මුලින්ම භාජනයක් ගෙන එයට මඳ රස්නෙ වතුර කෝප්ප ½ ක්, ඊස්ට් සහ සීනි එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. 

දැන් එයට පිටි කෝප්පය දමා, ලුණු තේ හැඳි ½ ක් සහ තෙල් මේස හැඳි 01 ක් එකතු කරන්න. 

දැන් මේ සියල්ල අතින් අනමින් අතේ නොඇලෙන ගුලියක් සාදාගන්න. 

පැතලි මතුපිටක් මතට පිටි ස්වල්පයක් ඉස සාදාගත් පිටි ගුලිය ඒ මතට දමා අත්ල භාවිතයෙන් අඳිමින් පිටි ගුලිය හොඳින් අනාගන්න. 

විනාඩි 05 කට පමණ පසු පීසා සෑදීමට අපි භාවිතා කරන තැටියේ හැඩයට රවුමට සාදාගන්න.

තැටියේ හොඳින් තෙල් ආලේප කරගන්න.

සාදාගත් පිටි රවුම තැටිය මත අතුරා වටේ දාරය ඇතුළට නමා පීසා හැඩයට සකසා ගන්න.  

ගෑරුප්පුවක් ආධාරයෙන් පිටි මිශ්‍රණයේ තැනින් තැනට සිදුරු තබාගන්න.

දැන් මේ තැටිය වතුර බේරාගත් තෙත තුවායකින් ආවරණය කර විනාඩි 20 ක් පමණ තබාගන්න. 

දැන් කුකුළ් මස් ටික සූදානම් කරගමු.

භාජනයක් ගෙන එයට කුකුල් මස් කැබලි ටික දමා ඔබේ රස අනුව මිරිස් කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් දමා තෙල් රත්වූ විට කුකුල් මස් කැබලි දමා හොඳින් බැඳගන්න.

බැඳගත් කුකුල් මස් ලිපෙන් ඉවතට ගෙන නිමෙන්නට තබන්න.

දැන් අපි චීස් රස සෝස් මිශ්‍රණය පිළියෙල කරගමු.

මඳගින්නේ භාජනයක් ලිප තබා එයට බටර් මේස හැඳි 01 ක් සහ පිටි තේ හැඳි 01 ක් එකතු කර හොඳින් කලවම් කරගන්න. 

එයට ටිකෙන් ටික කිරි කෝප්පය එකතු කරමින් මිශ්‍රකරගන්න.

එයටම ලුණු කුඩු ස්වල්පයක් (තේ හැඳි ¼ ක්) මිරිස් කුඩු, සීනි සහ ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් එක්කර හොඳින් හැඳිගාමින් කලවම් කරගන්න. 

තරමක් උකු මිශ්‍රණයක් ලැබුණු පසු සෝස් මිශ්‍රණය ලිපෙන් ඉවත්කරගන්න. 

දැන් පිපීමට තබාගත් පිටි මිශ්‍රණය අතුරාගත් තැටිය ගෙන පිටි මිශ්‍රණයේ උඩින් තෙල් තවරා ගන්න.

ඊට උඩින් ඔබ කැමති සෝස් වර්ගයක් තවරා ගන්න.

ඊටත් උඩින් අපි සාදාගත් සෝස් මිශ්‍රණයෙන් කොටසක් වත්කර හොඳින් ආලේප කරගන්න.

සෝස් මිශ්‍රණයට උඩින් බැඳගත් කුකුල් මස් කැබලිද ඊට උඩින් ලූණු කැබලි සහ ඔබ කැමති මිරිස් වර්ගයක් පෙති කපා එකතු කරගන්න.

අපි සාදාගත් සෝස් මිශ්‍රණයේ ඉතිරි කොටස ලූණු කැබලි උඩින් දමා ගන්න. 

ඊට උඩින් කෑලි මිරිස් ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ ලුණු කුඩු ස්වල්පයක් ඉසගන්න. 

දැන් සෙන්ටිග්‍රේට් අංශක 200 උෂ්ණත්වයේ විනාඩි 25 ක් 30 ක් පමණ බේක් කරගන්න.

උණුසුම්වම රස විඳින්න.

එහෙනම් චීස් නැතුව චීස් රසට පීසා හදල බලමුද?