සාගර තරංගා – 13

0
6087

සාගර ඇවිත් තරංගා අතට වී අඬමින් උන් සනුකිව වඩාගත්තේ හදවත අස්සේ හිඳ එලියට පැන ආ මහත් දයාර්ද හැඟීමකිනි. මෙපමණ වෙලාවක් තිස්සේ තමන් අතට වී කොපමණ නැලවිලි බස් කිව්වද නැලවුනේ හෝ අබමල් රේණුවක තරමින්වත් හැඬිල්ල අඩු කරගත්තේ නැති කෙල්ල සාගරගේ තුරුලට වූ ගමන් හැඬුම ඉකිබිඳුමක් කරගත්තේ කොහොමද කියා කියන්න තරංගා දැන උන්නේ නැත.

තමා සාගරට දුරකතන ඇමතුමක් දී තමන්ගේ කරදර ඔහුගේ හිසට වට්ටපු එක වරදක් බවත්, තමන්‍ට එහෙම නොකර ඉන්න තිබුණ බවකුත් තරංගාට මතක් වුනේ සනුකිගේ බෙරිහන් දීම ඉකිබිඳුමක් වූ අස්වැසිල්ලේය. 

“අයෑම් ඇක්චුවලි සොරි ඩොක්ටර්” තරංගා වචන ඇමිණුවේ හීන් සැරේය. සාගර අන්දකාරය මැද්දේ තරංගාගේ නවාතැන්පොලේ ගේට්ටුව අසල මලින් බරව තිබූ ඇසල ගස අද්දර හිටගෙන උන් තරංගා දෙස හීන් සැරේ බැලුවේ ඒ වචන වල එල්ලීගෙනය. තරංගා තමාගෙන් සමාව ඉල්ලන්නේ කුමක් උදෙසාද කියා ඇත්තටම සාගරට අදහසක් තිබුණේ නැත. 

“ඇයි?” සාගර ඇසුවේ තමන්ගේ සුපුරුදු ගැඹුරු හඬ වඩා මන්ද්‍ර කරය. ඒ තමන්ගේ උරහිසේ එක උරපත්තකට වී හීන් සැරේ හිස තබාගෙන තවමත් ඉකිලන පොඩි කෙල්ල කලබල වේයැයි දුරදිග සිතා බලා මෙන් ය. 

“මං ඇත්තටම ඩොක්ටර් ට කෝල් කරේ මට කියන්න වෙන කෙනෙක් ඇත්තෙම නැති හන්ද ඩොක්ටර්. මගේ අයියයි අක්කයි ඉන්නෙත් ගමේ. මං දැන් කතා කරා කියලා ඒ මිනිස්සු දෙන්නට පුලුවන් මං ෆෝන් එකෙන් කියන දෙයක් අහගෙන ඉන්න විතරයි. මං එන්නම කියල කිව්වත් ඒ මිනිස්සු දෙන්න එද්දි පැය හතර පහක් යනවා. මට වෙන කතා කරන්න කියලා ඉන්නෙ සනුකිගෙ තාත්තා විතරයි. එයා ඉතින් මං කෝල් එකක් දීලා මොනව කිව්වත් එන මනුස්සයෙක් නෙවෙයි. මට කරකියාගන්න දෙයක් නැතිම තැන තමයි ඩොක්ටර් මම ඩොක්ටර් ට කෝල් කරේ. මට එවෙලෙ ඒකෙ එච්චර ක්ලික් වුණේ නෑ. අයෑම් එක්ස්ට්‍රීම්ලි සොරි ඩොක්ටර්. මේ රෑ තිස්සෙ කතා කරලා ඩොක්ටර්ව ගෙන්න ගෙන මෙහෙම කරදරයක් කරාට” තරංගා එක හුස්මට ඒ වචන කියාගෙන කියාගෙන ගියේ සාගර හීන්සැරේ සනුකිව උරහිසේ රඳවගෙන පිටට තට්ටු කරමින් ඇයව සනසන ආකාරය දිහා බලමිනි. ඒ දසුන හිත පත්ලේ කුමක් හෝ තැනක හීනියට තැවරී තිබෙන කුමක් හෝ වේදනාවක් ස්පර්ශ කරන බව තරංගාට දැනුනාය.

“ඔච්චර ලොකු හේතු කාරණා ඉදිරිපත් කරන්න ඕන අන්දමේ වරදක් නම් ඔයා අතින් උනා කියන්න මං හිතන්නෙ නෑ” කියමින් සාගර තමන්ගේ හුරුපුරුදු මද එහෙත් උණුසුම් හිනාවෙන් බිඳක් තරංගාගේ සීතල හදවත මත්තට විසි කරේය. 

“අනේ නෑ ඩොක්ටර්, ඇත්තටම මට දැන් තමයි ඒකෙ වරද තේරෙන්නෙ. මම එහෙම කතා කර එකත් උදව්වක් ඉල්ලපු එකත් වරදක් බව” 

“එහෙම කිසිම දෙයක් නෑ තරංගා. ඇත්තටම ඔයා මට මේ වගේ සිටුවේශන් එකකදි කෝල් කර එක හොඳයි. ඔයා තනියෙන් බබාව කන්ට්‍රෝල් කරන්න ගියා නම් සමහර විට එයා තවත් ස්ට්‍රෙස් වෙන්න තිබුණා. ඒක නිසා ඔයා මට සොරි කියන්න උවමනා නෑ”

“ඒත් ඩොක්ටර් ගෙදර රිලැක්ස් වෙලා උන්නු වෙලාවක මං කරදර කර එක…”

“අපි හැමෝම මිනිස්සුනෙ තරංගා. අපිට මේ ජීවිතේ තව මනුස්සයෙක්ට උදව්වක් කරන්න ඉඩක් ලැබෙන්නෙ එහෙමත් වෙලාවක. ඉතින් එහෙම වෙලාවක් ආවම ඒ චාන්ස් එක ගන්න අපිට පුලුවන් වෙන්න එපාය නේද?” කියමින් සාගර සනුකිව උරහිසේ රඳවගෙනම හීන් සීරුවේ කාර් රියේ රියදුරු අසුන පැත්තේ දොර හැර තරංගා දෙස නෙත් යොමා මොහොතකට බැලුවේය.

“ඔයාට ඩ්‍රයිවින් පුලුවන් ද?” 

සාගර එහෙම අහන්නේ ඇයි කියා පැහැදිලි අදහසක් තිබුනේ නැතත් තරංගා “පුලුවන් ඩොක්ටර්” කියා උත්තර දෙන්න වැඩිවෙලාවක් ගත්තේ නැත. 

“එහෙනං මෙන්න යතුර. ඔයා ඩ්‍රයිව් කරන්න” කියා සාගර ආයෙම වතාවක් කාරෙකේ ඉස්සරහා පැත්තෙන් වටයක් ගසා තරංගා උන් පැත්තට පැමිණ ඇය අතේ යතුර තිබ්බේය. තරංගා උන්නේ තමන් කල යුත්තේ කුමක්දැයි සිතාගන්නට බැරුවය. එහෙත් සාගර සනුකිව පපුවට තුරුලු කරගෙන රියදුරු අසුනට එහා පැත්තේ පැසෙන්ජර් සීට් එකට නැග වාඩි වී ඉද්දී තමන් එලියෙ හිටගෙන ඉන්න එක හරි නැතැයි තේරුණ හන්දාම තරංගා වාහනයේ ඉස්සරහින් ඇවිද ගොස් රියදුරු අසුනේ වාඩි වී සීට් එක ඇඩ්ජස්ට් කරගත්තාය. වාහනය ස්ටාට් කරගත්තත් තරංගා උන්නේ තමන් ඊලඟට යා යුත්තේ කොහේද කියා හිතාගන්න බැරුවය.

“ම්ම්ම්ම් ගෝල් ෆේස් පැත්තට ගිහින් එමුද අවුලක් නැත්තම් ඔයාට?” සාගර අහන්නේ එක මොහොතකටවත් තරංගා දෙස බලා නොවේ. එහෙයින් ඒ දෑස් වල රැඳී ඇත්තේ කුමනාකාරයේ හැඟීමක්ද කියා හොයාගන්න පුලුවන්කමක් තරංගාට තිබුනේ නැත. මොන දේ උනත් මේ පිරිමියෙකි. ඔහු මෙසේ මහත් දයාර්ද හැඟීමකින් සනුකිව තුරුලු කරගෙන හිඳින්නේ තාත්තෙක් නැති දරුවෙක් සමග තනිවෙච්ච සැමියා අහිමි ගැහැණියකගෙන් ලබාගත හැකි යම් ලාබ ප්‍රයෝජනයක් ගැන සිතාද කියා නොසිතා ඉන්න පුලුවන්කමක් තරංගාට නැත. දොස්තර කෙනෙකු වුනත් මේ පිරිමියෙකි. අවුරුදු කිහිපයක් ආදරය කොට විවාපත් වූ පිරිමියාත් තමන් අසරණ කර දැමූ තැනක වෙනත් පිරිමියෙකුගෙන් මෙසේ උදව්වක් ඉල්ලීම ගැන පවා තමන්ට මෙයට වඩා සිතන්නට තිබුන වග තරංගා හිතුවාය. එහෙත් සාගරගේ ස්වරයේ රැඳී තිබෙන්නේ වංචාකාරී ස්වභාවයක් නොවන බවට හිතට කියන්නට තරම් විශ්වාසයක් ඔහු කෙරේ තමන්ගේ හිතේ ඇතිවුනේ කොහොමද කියා නොහිතා තරංගා වාහනය ගාලු මුවදොර පැත්තට පැදවුවාය.

“මං ගෝල් ෆේස් පැත්තට යං කියලා කිව්වෙ ඇත්තටම ඔයාලගෙ ඇනෙක්ස් එක ලඟ සද්දෙ දැන්ම අඩුවෙන පාටක් නැති හන්දා” සාගර මේ ගමනට හේතු වූ නිදහසට කාරණා ගොනු කරේ තරංගා එසේ වාහනය ඉදිරියට ගෙන යද්දීය.

“මම හිතනවා මම වැඩිය දුර දිගනොහිත එහෙම කිව්ව එක තරංගාට ගැටලුවක් වෙන එකක් නෑ කියලා”

“අනේ නෑ ඩොක්ටර්. ඇත්තටම ඩොකටර් ඒක කිව්වම තමයි මටත් ඒක මතක් උනේ. ඒ ඉස්සරහ ගෙදර අරගෙන තියෙන්නෙ තරුණ බෝයිස්ලා වගයක්. මම හිතන්නෙ අද එහේ පාටි එකක් හරි මොකක් හරි එකක්”

“කොල්ලො ඉතින් පාටි දාන්නෙ ලේසියෙන් ඉවර කරන්න බලාගෙන නෙවෙයිනෙ. ගෑණු ළමයි වගේ ඉතින් කර්ෆිව් ප්‍රශ්න නැති හන්දා කොල්ලන්ට නම් ඕනතරම් පාටි දාන්න බැරිය”

“ඩොක්ටර් එහෙම කිව්වම මට හිතුනෙ ඩොක්ටර්ටත් සිමිලර් එක්ස්පීරියන්ස් තියනවා කියලා” කියමින් තරංගා මේ ගෙවුණ විනාඩි කිහිපය අතරවාරයේ හෙලන්නට හැකි වූ පලමු සිනහව සාගර වෙනුවෙන් තිළිණ කලාය. 

“මොන පිරිමියටද ඉතින් තරංගා කොල්ලා කාලෙ ආතල් ගත්ත එක්ස්පීරියන්ස් නැත්තෙ. මටත් තිබුනා ඉතින් යුනිවසිටි යන කාලෙ එහෙම ගත්ත ආතල් ගැන මතක” කියමින් වඩා පුලුල් සිනාවක් නැගුවද එහි හඬ උරහිසේ නිදා හිඳින සනුකිට බාදාවක් නොවන පරිද්දෙන් වඩා මන්ද්‍රව නගන්නට සාගර සිහියේ තබාගත්තේය.

“කොළඹ නම් කොච්චර රෑ වුණත් ට්‍රැෆික් නේද?” 

“ඩොක්ටර් එහේ ඉද්දි මෙහෙම ට්‍රැෆික් තිබුනෙ නැද්ද?” 

“එහෙ කිව්වෙ?”

“ඩොක්ටර් යූකේ ඉඳලා නේද ආවෙ?”

“ආහ් ඔව්ව්ව්. යූකේ තමයි. ට්‍රැෆික් නැතුවම නෙවෙයි තරංගා. හැබැයි මම හිතන්නෙ එහෙ මේ තරම් කලබලයක් තදබදයක් දකින්න ලැබෙන්නෙ ගොඩක්ම බිසී වෙලාවක තමයි. ඒකට එක හේතුවක් මම හිතන්නෙ ලංකාවට වඩා එහෙ පාරවල් එහෙම ඉඩකඩ තියෙන නිසා ට්‍රැෆික් එකක් ඇතිවෙන්න තියන ඉඩකඩ අඩුයි. සද්ද බද්ද නැතුවම නොවෙයි. මේ වගේ කරදර හදිසි වෙලාවක එද්දි මේ ට්‍රැෆික් එක දැක්කම තරහා යන එක සාමාන්‍ය දෙයක් උනාට මම එක පැත්තකින් මේ ට්‍රැෆික් එකට සද්ද බද්ද වලට කැමතියි.

ඒ සද්ද බද්ද, ඒ කලබල ඇතුලෙ අපිට ඇත්තටම හිත අස්සෙ තියෙන කරදර අමතක වෙලා යනවනෙ” කියමින් වචන අවසන් කර සාගර සාගරයක් තරම් විශාල හුස්මක් හෙලුවේ ඇයිද කියා අහන්න බැරිකම හන්දාම තරංගා නිහඬවම වාහනය පදවාගෙන ගොස් ගාලු මුවදොර පිටියේ පාර්කින් ස්ලොට් එකක නතර කරාය. 

මිනිසුන් මතුපිටින් හිනාවෙමින් උන්නද ඒ හිනාවන් පිටුපස එලියට ඇද නොදැමූ බොහෝ වේදනාබර කතන්දර තියෙන බව තරංගා අත්දැකීමෙන් දනී. ඉස්සර මේධංග විසින් හිත රිද්දවනු ලැබූ අනන්ත වාරයකට පස්සේත් තමන් උදෑසන දන්නා හඳුනන මිනිසුන්ට මුහුණ දුන්නේ, ඔවුන් හා කතාබස් කරේ සිනාමුසු මුහුණක් සහිත වෙස් මුහුණක් පැලඳගෙන බව තරංගාට මතකය.

සාගරය තිබුනේ මන්ද්‍ර ස්වරයෙන් හඬමිනි.ඒ හා සමාන්තර හඬකින් සාගරගේත් තරංගාත් හදවත් අතීතයේ මුහුණ දෙන්නට සිදු වූද වර්තමානයේදී පවා හැරනොගියා වූද වේදනාවකින් හඬමින් තිබුණ මුත් සිනාබර වෙස් මුහුණු පැළඳගෙන දෙදෙනාම උන්නේ දෙදෙනාගෙන්ම ඒ හැඬුම සඟවාගනිමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here