සාගර තරංගා – 29

0
6995

“මේධංග එහෙම ඔයා ඉන්න තැනට ඇවිල්ලා ඒ වගේ කතාවක් කිව්ව එකෙන් මිනිහගෙ ඊලඟ ස්‍ටෙප් එක මොකක් වෙන්න පුලුවන්ද කියන එක හිතාගන්න බැරි උනත් මිනිහා ගේම් එක ලේසියෙන් අතාරිවි කියල හිතන්නත් බෑ නේද තරංගා?” කියා සාගර ඇහුවේ එදා රැයේ තරංගාට දුන් දුරකතන ඇමතුමකදිය.

තරංගා එදා දරුවාව යවන්නට ස්පෙශල් කිඩ්ස් ලා වෙනුවෙන්ම ඇති පාසල් කිහිපයකට යන බව කිව්ව නිසාම ඒ ගැන විස්තර අහන්න කතාකරාට මේධංග ගැන අලුත් විස්තරයක් අහන්න ඒ දුරකතන ඇමතුම හේතුවක් වෙනු ඇතැයි ඇත්තටම සාගර හිතා තිබ්බේ නැත. 

“මට බය මේධංග මට කරන කරදරයක් හන්දා දරුවට අන්තිමේ කාත් කවුරුවත් නැති වෙයිද කියලා ඩොක්ටර්. මට ඇත්තටම මං කසාද බැඳලා උන්නු, මං යාලුවෙලා උන්නු, මං ළමේක් හදපු මනුස්සයා වුණත් මට ඇත්තටම දැන් එයාව විශ්වාස නෑ ඩොක්ටර්. මට වෙලාවකට පුදුම හිතෙනවා වගේම බය හිතෙනවා මෙහෙම මනුස්සයෙක්ට එහා පැත්තෙ මං නිදාගෙන උන්නෙ කොහොමද කියලා.

මිනිස්සුන්ට හිතෙනව ඇති මනුස්සයගෙනුත් සෙපරේට් වෙලා මම මෙහෙම ගෙයක් තනියම අරගෙන දරුවව බලාගෙන ඉන්න මාරම හිත හයිය ගෑණියෙක් කියලා. ඒ උනාට තමන් කසාද බැන්ද මනුස්සයගෙන් අපවාද අහන්න උනාමයි, අන්තිමේ නීත්‍යානුකූලව වෙන්වෙන්න හදනකොට මෙහෙම තර්ජන දානකොටයි ගෑණියෙක්ගෙ හිත අස්සෙ කොච්චර අසරණ කමක් එක්කහු වෙනවද කියලා මිනිස්සුන්ට පේන්නෙ නෑනෙ ඩොක්ටර්. ගෑණු ඒ අසරණ කම එලියට පිටකරන්නෙත් නෑ සමාජෙ මිනිස්සු වැරදි දේවල්වලට එයි කියල. අන්තිමේ කිසි වරදක් කරන්නෙ නැතුවත් හැමදාම වැරදි නොකරපු මිනිස්සු තමයි වැරදිකාරයො උනේ”

තරංගා සුසුමක්වත් කඳුලක්වත් හෙලන්නේ නැතුව  ඒ කිව්වත් දුරකතනය ඔස්සේ ඇසුණ හඬ අනුව ඒ වේදනාව, ඇය පෙලන දුක අඳුරගන්න බොහෝ අත් දැකීම් තිබ්බ සාගරට අපහසු උනේ නැත. මේ ලෝකයේ මිනිහෙක්ට දරන්න අපහසුව වේදනාව නම් තමන් දිවිහිමියෙන් ආදරය කල අය තමන්ට රිදවීමය. දෙතැනක, දෙයාකාරයක වේදනාවක තමා මෙන්ම තරංගාද ඒ විඳ ඇත. එහෙම එකේ මේ කියන්නෙ මෙයට කාලයකට කලින් තමන්ට හිතිච්ච වචනය.

තිශාලි තමන්ව රවට්ටනවා දැනගත් වෙලේත් තමන් තිශාලිට කිව්වේත් “මට ඇත්තටම හිතාගන්න බෑ ඊයේ රෑත් ඔයා මට එහා පැත්තෙන් ඇඳේ තුරුල් වෙලා නිදාගත්තා නේද?” කියලය. ඒකට පවා තිශාලි එල්ල කලේ සමච්චල් සිනාවක් බව සාගරට අද වගේ මතකය. ඉතින් මේ දුක තමන් නොහඳුනන දුකක් නොවේ. 

අනෙක් අතට තරංගාගේ ඔලුවට මේ අලුත් හෙණ ගෙඩියක් පාත් වෙන්න තමනුත් හේතුවක් වෙච්ච බව සාගරගේ හිතට ලොකු බරකි. තමන් තරංගා එක්ක මෙවන් මිතුදමකට නොගියානම් ඇයව අවස්තා කිහිපයකදී වාහනයෙන් ගෙන ගොස් ඇගේ නවාතැන අසල බැස්සුවේ නැත්ත, ඇයට මේ ප්‍රශ්නයට මුහුණ නොදී වඩා යහපත් ලෙස, සංසුන් ලෙස මේ දික්කසාදය අවසන් කරගන්න තිබුණා නොවේද කියන හැඟීම සාගරව වඩ වඩාත් පෙලුවේය.

“ඇත්තටම මේ කොහෙවත් නැති ප්‍රශ්නයක් ඔයාට ඔලුවට දාගන්න උනේ මං හන්දා කියන එක ඇත්තටම මට හිතෙන් අමතක කරන්න බෑ” සාගරගේ කටහඬ එහෙම ඇහෙද්දී තරංගාට ඇත්තට අවුල් ගියාය. මොකක් වුණත්  තමන්ට ඇත්තටම දෙයක් අහන්න, සනුකිගේ ප්‍රශ්නයකදි කතාකරන්න හිතවත් යැයි කියන්න හැකි පුද්ගලයෙකුට මේ කොළඹ ඉන්නේ වෛද්‍ය සාගර පමණකි. දරුවෙක් එක්ක තනිවෙච්ච ගැහැණියකට උදව් කරන්න කැමැත්තෙන් ඉන්න අයියලා මල්ලිලා බොහොමයක් අතරේ තමන්ට බයක් සැකක් නැතුව විශ්වාසයෙන් කතා කරන්න පුලුවන් මිනිහෙක්ට කියා මේ කොළඹ ඉන්නේ ද ඔහු පමණකි. එහෙම බලද්දී ලාභ ප්‍රයෝජන තකා ඔහු සමග බැඳී ඇත්තේ තමන් ය. ඇත්තටම ගතහොත් කොහෙවත් උන්නු තමන් හන්දා තේරුමක් නැති ප්‍රශ්නයකට පැටලී හිඳින්නේ ඔහුය.

“මං කියන්න ඕන දෙයක් තමයි ඩොක්ටර් ඔය කිව්වෙ”

“ඒ කියන්නෙ?”

“ඇත්තටම ඩොක්ටර් අර දවසක් ඉස්සරහ ගෙදර ළමයි හයියෙන් සද්ද දාලා තියෙන දවසෙ බබා අඬන්න ගත්තම කරගන්න දෙයක් නැතුව ඩොක්ටර්ට කෝල් කලේ මම. එහෙම එකේ ඇත්තටම මම තමයි ඩොක්ටර්ව මේ ප්‍රශ්න කරදර වලට පටලව ගත්තෙ”

“අනේ එහෙම හිතන්න එපා තරංගා. මං ඇත්තටම සන්තෝසයි ඔයා ඔයාගෙ ප්‍රශ්නයක් කියන්න තරම් මාව විශ්වාස කර එකට. එහෙම එකේ අපි දැන් මේ දෙපැත්තට ඇපොලොජයිස් කරගන්න එකෙන් තේරුමක් නෑ. අපි බලමු දැන් අපි ඉස්සරහට මොකද කරන්නෙ කියලා. මේ වෙලාවෙ අපිට කරන්න තියෙන්නෙ මේධංගගෙ හිතට තව සැකයක් යන්නෙ නැතිවෙන්නෙ අපි කතා බහ නොකර ඉන්න එකනෙ එලියෙදි. අපි ඒක කරමු. මොකද ඊලඟට කරන්න ඕන දේ මොකද්ද කියලා ඇත්තටම අපිට තීරණේකට එන්න පුලුවන් වෙන්නෙ මේධංග ඊලඟට කරන දේ අනුවනෙ තරංගා. අපිව එකට කොහෙවත් දැක්කෙ නැති උනාම මනුස්සයා සමහර විට ඔය හිතේ තියෙන ප්‍රශ්න විසඳගනීවි.

අනිත් පැත්තට ඔයාට හිතෙන්නෙ නැද්ද මේධංග ඔයා මාත් එක්ක කතා කර කර ඉද්දි ඔච්චර කලබල වෙන්න ඇත්තෙ එයාගෙ හිතේ තවම ඔයා ගැන අදහසක් තියෙන හන්දා කියල. මං මේ නිකමට කියන්නෙ තරංගා. මට මේ ප්‍රශ්නෙ පේන්නෙ මතුපිටින් බලලා විතරනෙ. ඔයානෙ ඔයා එක්ක ජීවත්වෙච්ච මනුස්සයා ගැන හොඳටම දන්නෙ. ඔයාට හිතෙන්නෙ නැද්ද කවුන්සලින් වලට වගේ ගියානම් සමහර විට ඩිවෝස් එකකට කලින් වෙන හොඳ උත්තරයක් අරගෙන දරුවටත් හොඳක් වෙන විදියෙ ඔප්ශන් එකකට යන්න ඔයාලා දෙන්නට පුලුවන් වෙයි කියලා”

“ඩොක්ටර් හිතන්නෙ මම ඒ ඔප්ශන් එකට ගියේ නෑ කියලද? සනුකිට ඕටිසම් කියලා දැනගත්ත දවසෙ ඉඳලමයි මේධංග වෙනස් වෙන්න පටන් ගත්තෙ. ඇත්තටම කිව්වොත් ඉස්සර මම යුනි එකේදි එයාට වඩා ලකුණක් දෙකක් වැඩිපුර ගත්තු ඒවට, එයාට වඩා වැඩි ක්ලාස් එකක් ගත්ත එකට එහෙම එයා ඔය විහිලු තහලුවලින් එක එක ඒව කියද්දි මං හිතුවෙ ඒවා ආදරේට කරන විහිලු කියලා. මට ඒව ඒ කාලේ රෙඩ් ෆ්ලෑග්ස් විදියට පෙනුනෙ නෑ ඩොක්ටර්. කැම්පස් එකේ ළමයි එක්ක මොකක් හරි ප්‍රශ්නෙකට තරහා ගිහින් මේධංග ගහගන්න එහෙම ගියාමත් මට කවදාවත් හිතුවෙ නෑ අපෙ මැරේජ් ලයිෆ් එක ඇතුලෙ ප්‍රශ්න වලදිත් එයා එහෙම හැසිරේවි කියලා. මං ඒ කාලෙත් කලේ අනේ නෑ මෙයා වෙනස් වෙයි කියලා හිතුව එක. මොකද අනිත් කවුරු එක්ක එයා තරහා ගත්තත් අපේ අෆෙයාර් එක ඇතුලේ එයා කවදාවත් මාත් එක්ක තරහා ගත්තෙ නෑ. මට දැන් තමයි තේරෙන්නෙ එයාට එහෙම මාත් එක්ක තරහ ගන්න බැරි උනේ ඇත්තටම එයාට එහෙම තරහා යන්න තරම් දෙයක් මම කලේ නැති හන්ද මිසක් එයාට මාත් එක්ක තරහා ගන්න බැරි හන්දා නෙවෙයි කියලා. 

මං සනුකිගෙ ප්‍රශ්නෙට එයා හිත අවුල් කරගෙන ඉන්න මුල් කාලෙමයි මං එයාට කිව්වෙ කවුන්සලින් වලට යමු අපි නැත්තම් මේක අපේ මැරේජ් එකටත් ප්‍රශ්නයක් වෙයි. අනික එහෙම දරුවෙක්ගෙ ප්‍රශ්නයක් හිතට කොච්චර ලොකු ප්‍රශ්නයක් කරදරයක් වුණත් අපි ඒක මත්තෙම නැහෙන්න ඕන නැති හන්දා.

මං එහෙම කිව්වම අම්මයි පුතයි දෙන්නම විරුද්ධ වුණා, එහෙම මේ මානසික ලෙඩ්ඩු කියලද හිතන් ඉන්නෙ අරක මේක කියල. එහෙම එකේ ඩොක්ටර් හිතනවද දැන් ඔය මනුස්සයව කවුන්සලින් එක්කරගෙන ගියා කියල ඔය මෙන්ටලිටි එක වෙනස් වෙයි කියලා. මං නම් හිතන්නෙ නෑ ඩොක්ටර්. අනික ඇත්තටම මට තියෙන බය එයාලා එක්ක ආයෙ සෙට්ල් වෙලා මං ජීවත් වෙන්න ගියාම මට දේවල් අහගන්න වෙයි කියලා නෙවෙයි. තාත්තයි ආච්චියි දිහා බලාගෙන ඒ දේවල් පුරුදුවෙලා මගෙ දරුවා ඒ විදියට හැදේවිද කියන එක. මං ආයෙම වතාවක් මේධංගට චාන්ස් එකක් නොදී දරුවව එයාගෙන් ඈත් කරලා එහෙම ඩිවෝස් එකකට යන්න හදන එක වැරදි ඇති ඩොක්ටර්. මට කවදාහරි සනුකි ලොකු වෙච්ච කාලෙක උනත් එයාගෙන් බැණුම් අහන්න වෙයිද කියන්න මම දන්නෙ නෑ තාත්තව එයාගෙන් ඈත් කරා කියලා. ඒ උනාට මේ වෙලාවෙ මං කරන්නෙ අම්මා කෙනෙක් විදියට මගෙ දරුවට හොඳම දේ මෙන්න මේකයි කියල මට හිතෙන දේ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here