එකම එක හාදුවක් – 6

0
4395

“අඩේ අක්කෙ, උට අවුල් ගිය එක සාධාරණයි. මටත් පොඩ්ඩක් අවුල් වගේ මිනිහව දැක්කම ඒකටනම්” කියා නංගි කියද්දිත් ශාර්වරී කිව්වේ “ඒකතමා මාත් කිව්වෙ”

“මාර ලස්සන කොල්ලෙක්නෙ. මෙච්චර ලස්සන අය ඉන්නවද අප්පා මේ ලෝකේ” කියා නංගි අහද්දිත් ශාර්වරී හිතෙනුත් හිතමින් උන්නේ ඒ ගැනමය. 

“සිරාවටම ඇයි අක්කෙ මේ මෙච්චර ලස්සනට මිනිහට අංකල් කිව්වෙ. අඩේ මම මගේ ක්‍රශ් එක වෙනස් කරනවා. හේමාල්ගෙන් මේ මනුස්සයට. පුදුම ලස්සනක් නෙ තියෙන්නෙ. කෝ තව ෆීඩ් එකේ පල්ලෙහට යන්නකො” කියා අතැඟිල්ලගෙන් අක්කාගෙ අතේ තිබිච්ච ෆෝන් එකේ ඕපන් වී තිබුන නෙවින් සේනාරත්නගෙ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එකේ පල්ලෙහට ස්ක්‍රොල් කරන ගමන් අයේශ්වරී කිව්වාය.

“අම්මේ සුද්දා ඇඟක් නෙවෙයි මේක ඇඟවල් හදන ජිම් එකක්. මරුනෙ. මූ හෙන උස පාටයිනේ, අක්කෙ මූ හේමාල්ට වඩා උසද?” 

“හ්ම්ම්ම්”

“මං දැකලා තියෙනවා මේ කොල්ලව අර මතකද පහුගිය කාලෙ හෙනට ට්‍රෙන්ඩ් වෙච්ච වස්සානය මනරම් සිංදුව. මෙයා නේද ඒකෙ ඉන්නෙ?” කියා නංගි ඇහුවාට ඔය කියන වස්සානය මනරම් සිංදුවක මෙහෙම හාදයෙක් උන්නු විත්තිය ශාර්වරීට නම් මතක නැත. ඒ සිංදුව තමන් බලපු එක ඇත්තක් වුණත් තමන්ට මතක විදියට මුලු සිංදුව පුරාවටම තමන් බලාගෙන හිටියේ ඒ දවස්වල ප්‍රසිද්ධ වෙච්ච ටෙලි නාට්‍යක උන්නු කෙල්ල ඒ සිංදුවේ කල රඟපෑම දිහාය. කොහොමහරි මතක් වෙච්ච එකේ ඒ මතකය හරියටම හරිද කියා බලන්නටත් එක්ක අයෙශ්වරී තමන්ගේ ෆෝන් එකෙන් ඒ සිංදුව දමා පෙන්නද්දි නම් ශාර්වරීටත් මේ ඉන්නෙ ඔහුම බව පිළිගන්න වුණාය.

“වස්සානය මනරම් 

ඒ වැස්සේ මැවෙන්නේ ඔබේ රුව නම්

වස්සානය මනරම් 

ඒ වැස්සේ ගුලිවෙන්න ඔබ උන්නා නම්” සිංදුවේ කිව්ව විදියටම උන්නේ මෙච්චර දවසක් තමන්ට දහස් වතාවක් විතර ඇහුව ඒ සිංදුවෙ උන්නෙ නැති ඒ කොල්ලය. එහෙමත් නැත්තම් ඒ ඇවිදින ලයිට් කණුව වෙච්ච නෙවින් සේනාරත්නය. වෙනසකට තිබුනේ අද දැක්ක නීට් එකට රැවුල කැපුව නෙවින් සේනාරත්න කෙනෙක් වෙනුවට ටිකක් විතර රැවුල වවා උන් නෙවින් සේනාරත්න කෙනෙක් ඒ වීඩියෝ එකේ උන්නු එකය.

මෙච්චර දවසක් තමන්ට ඒ ලස්සන රූපය මග ඇරුනේ ඇයිද කියන කතාව ඇත්තටම ශාර්වරීට එවෙලෙත් හිතුනාය.

“මිනිහා තමයි නේ. බලන්නකො මාර ලස්සනක් තියෙන්නෙ. මිනිහා මිස්ට ශ්‍රී ලංකා වෙලා තියෙන්නෙ මීට අවුරුදු දහයකට කලින්. ඒ උනාට ඒකෙ ෆොටෝස් වලට වඩා මට නම් දැන් මිනිහා ලස්සනයි. දැන් අර කොල්ලා ලුක් එකට වඩා මාර මැචුවර්ඩ්, පිරිමිකමක් තියෙන්නෙ

බලන්නකො අක්කෙ ඕකනෙ අර කියන්නෙ ගර්ල්ස් විල් බී ආන්ටිස්, බෝයිස් විල් බී බෝයිස් කියලා. පිරිමි වයසට යන්නෙ ආපස්සට. වයස මං හිතන්නෙ තිස් අටක් නවයක් වගේ ඇති නේද අක්කෙ? උපරිම තිහක් කියන්න ඇහැකි ලුක් එකක් තියෙන්නෙ. ඒකත් අර ඉතින් අපේ වයසත් එක්ක කම්පෙයා කරාමනෙ. එච්චර ලස්සන මිනිහටනෙ අක්කෙ ඔයා අංකල් කියලා තියෙන්නෙ. ඒ තරහෙන් බැලුව එක සාධාරණයි. මං වුනානම් ගහනවා”

“මටත් හෙනට අවුල් ගියා මිනිහාගෙ මූන අවුල් වෙච්ච පාර. එතන උන්නු වෙන කාටහරි ඇහුනද දන්නෙ නෑ නංගි. තව ගොඩක් අය හිටියනෙ. අනික අර මම වැටෙන්න ගිය පාරට හැමෝම බැලුවත් එක්කනෙ. මගෙ හිතටහ් හොඳටම අවුල්”

“මිනිහට අවුල් යන්න ඇත්තෙ මිනිහා හිතන්න ඇති ඇත්තටම දැන් තමන් හෙන වයස පාටයි කියලා. ඒකයි” කියා නංගි කියද්දි ඇත්තටම අපාට්මන්ට් එකට වෙලා ඇඳේ හාන්සි වී උන් නෙවින් උන්නේත් ඒක ගැන කල්පනා කරමින් ය. “මේ කොහෙවත් ඉඳල ආව ඇටිකිච්චියෙක් කියපු දෙයක් ගැන මම එච්චර හිතන්න ඕන ද?” කියන එක නෙවින් දැනගෙන හිටියත් ඒ ඇහිච්ච කතාව හිතෙන් ලේසියෙන් අමතක කරන්න පුලුවන්කමක් නෙවින්ට තිබුනේ නැත. අනෙක් අතට ඒ වචන පේළිය එලියට ඇදලා ගත්තේ තමන් මෙච්චර දවසක් තමන්ගේ හිත අස්සේ කෙලවරම තැනක හංගගෙන උන්නු, සිරකරගෙන උන්නු අනාගතය ගැන බයංකාර කතාවක් නේද කියන එකත් ඒ රාත්‍රියේ නෙවින්ට සිහිපත් වුණේය.

අයියාගෙත් අක්කාගෙත් දරුවන් පවා මාමා හෝ බාප්පා කියා අමතද්දී නොදැනිච්ච හිත් වේදනාවක් මේ ඇටිකිච්චියක් කිව්ව හන්දා හිතේ පැලපදියම් වෙච්ච එක නෙවින්ට ඔක්කොටම වඩා හිතට වේදනාවකි.

අනෙක් අතට “මං දැන් ඇත්තටම ඉන්නෙ අංකල් කියලා කට්ටිය මට කතාකරන වයසක” කියන එකත් “මම කොච්චර හංගන්න හැදුවත් මීට අවුරුදු දහයකට කලින් තිබුන පෙනුමෙයි දැන් පෙනුමෙයි අතරෙ වෙනසක් තියෙනවනෙ” කියන එක අමතක කරන්න නෙවින්ට බැරිය. “ඔයා නම් අනේ කවදාවත් වයසට යන්නෙ නැති මනුස්සයෙක්” කියා කට්ටිය කිව්වත් තමන් මේ තරුණ පෙනුමට ඉන්නේ නිරත්තරයෙන් සුදු කෙස් ගස් වසා දමන්නට කොණ්ඩෙ ඩයි කරමින් සහ ඇඟ මේන්ටේන් කරන්නට උපරිම වෙහෙසක් දරමින් ය. තමන් යාන්තම් ඒවායේ පිහිටෙන් ඇත්ත වයස අවුරුදු කීපයක් පස්සට දමාගෙන උන්නත් තව ටික කාලයක් යද්දී තමන්ට ඒක කරන්න බැරිවෙන බව නෙවින් නොදන්නවා නොවේ.

තරුණ කම කියන්නේ සදාකාලිකවම තමා ලඟ රැඳෙන දෙයක් නොවේ. ඒ වනාහී තමන්ට තාවකාලිකව හමුවන, අවුරුදු කිහිපයක ගැප් එකකට පස්සේ තමන්ගෙන් ඈතට යන වසන්ත කාලයක් බඳු බව නොතේරුම්ගන්න තරම් නෙවින් බුද්ධියෙන් අඩු නැත. සමාජ දැනුමෙන් අඩු නැත. “පිරිමියෙක් ලස්සන වයසට යද්දි, සෝල්ට් පෙපර් ලුක් එක ඔයාට මාර ලස්සනට තියෙයි” කියා තමන් එක්ක උන්නු බොහොමයක් ගැහැණුන් තමන්ව වර්ණනා කරද ඒ සෝල්ට් ඇන්ඩ් පෙපර් ලුක් එක වැලඳගත් දිනෙක මේ දැන් තමා කරන බොහෝ නිරූපණ අංශයේ වැඩවලින් ඉවත්වෙන්න තමන්ට සිදුවෙන බව නෙවින් හොඳාකාරවම දනී.

ඉතින් මේ සියලු වෑයම් දරන්නේ ඒ තරුණ පෙනුම තව අවුරුදු කීපයක් හෝ තමන් ලඟ රඳවගන්නය. සදාතනික බැඳීමකට හිරවෙන්න නෙවින් බයත් ඒකය. 

“මැරේජ් එකකට යනව, ළමයි හදනවා කියන එකේ අදහස මට මාව අමතක කරන්න වෙනවා කියන එක මචං. මට දැන් වගේ මගේ ෆුල් ෆෝකස් එකම මට දෙන්න බෑනෙ තව සම්බන්දෙකට ගියාම. ඊට වඩා මට හොඳයි දැන් මේ ඉන්නව වගේ ඉන්න එක.

අනික ඔය ආදරෙයි කිය කිය එන, ඔයා කැමති දෙයක් කරන්න මම ඔයාට බාධා කරන්නෙ නෑ, ඔයාට බය නැතුව ඔයාගෙ රස්සාව කරගෙන යන්න පුලුවන් කියලා කියන ගෑණු පවා කසාදෙන් පස්සෙ විතරක් නෙවෙයි අෆෙයාර් එකේ ටික කාලයක් යද්දි පවා වෙනස් වෙනවා.

උන්ට ඕන වෙනවා අන්තිමේ අපිව සහමුලින්ම අයිතිකරගන්න. එහෙම අයිතිකරගන්න කතාවක් ඇතුලෙ මං වගේ මිනිහෙක්ට පැවැත්මක් නෑ කියලා උඹ දන්නවනෙ. ඒ නිසා මේ අවුරුදු හතලිහක් පුරාවට කරගෙන ආව තනිකඩකම මට හොඳයි. මිනිහෙක් වයසට යන්න ඕන හිතේ සැනසිල්ලත් එක්ක මචං. ඔය ලොන්ග් ටයිම් රිලේශන්ශිප් වලට යනවා කියන්නෙ ආයෙ මගේ සැනසිල්ල නැතිවෙනවා කියන එක තමයි. ගෑණු ඇවිල්ලා ටීවි වලයි ෆේස්බුක් වලයි මහ ලොකුවට කිව්වට අනේ එයා කියන්නෙ මගෙ හිත නිවන ආදරයක්, මං ආදරෙන් බලාපොරොත්තු වෙන්නෙ මගෙ මානසික නිදහස රැකගන්න එක කියල, පිරිමින්ටත් මානසික නිදහසක් කියන එකක් ඕන කියන එක උන් පිළිගන්නෙ, තේරුම්ගන්නෙ නෑ කවදාවත්” කියා තමන් ලක්ශාන්ට කිව්වත් එතන තියෙන්නෙ වගකීමක් ගන්න තියෙන බය සහ අකමැත්ත වගේම, තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිකම නොවේද කියන එක නෙවින් දනී.

එහෙත් මේ මොහොතේ ඒ සියලුම කාරණා යට යවමින් හදවත අස්සෙන් උඩට මතුව ආ එකම එක ප්‍රශ්නයක් ඒ මුලු රාත්‍රිය පුරාවටම නෙවින්ට වද දුන්නේය.

ඒ “වයසට ගිය දවසක ඇත්තටම මට මගේ කියල කෙනෙක් නෑ නේද?” කියන කතාවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here