වියෝ ගී ගැයෙනා හදේ – 54

0
4570

“ඒ ප්‍රඩක්ශන් හවුස් එක වලාකුලුගෙ කියල මිනිහා කිව්වට ඒක ඇත්තටම මිනිහගෙ නෙවෙයි. මිනිහා එතන වැඩ කරන කෙනෙක් විතරයි. ප්‍රඩක්ශන් එක අයිති මනුස්සය පිටරට ඉන්න කෙනෙක්. ඒ මනුස්සයා ලංකාවෙ නැති දවස්වලට මෙතන වැඩ ටික බලාගන්න එක සෙට් කරලා තියෙන්නෙ වලාකුලුට. කොහොමහරි ඒ ඕනර් මේ වතාවෙ ලංකාවට ඇවිත් තියෙන්නෙ වලාකුලුට වෙන රටක ප්‍රඩක්ශන් හවුස් එකකට ලොකු ඔෆර් එකකට යන්න චාන්ස් එකක් ඇවිල්ලා තියෙන නිසා. වලාකුලු අබ්‍රෝඩ් ගිහින් තියෙන්නෙ ගිය සතියෙ. මම මේ කිසිම දෙයක් මෙතන ඉන්න අයට කියන්න ගියේ නෑ. ඒ මිනිස්සුන්ට අදාල නෑනෙ ඉතින් අපි මේ පර්සනල් දාගත්ත ප්‍රශ්න. කොහොමහරි මං හිතන්නෙ මිනිහ අරවට මේවට කියල සල්ලි අරගෙන තියෙන්නෙ ඔය කිව්ව වගේ ප්‍රඩක්ශන් හවුස් එකේ වැඩවලට නෙවෙයි මිනිහට රට යන එහෙ සෙට්ල් වෙන ඒවට වෙන්නැති. එහෙම නැත්තම් වෙන දේවල් වලට වෙන්නැති” කියා වලාකුලු කියද්දී මේධා ඇත්තටම උන්නේ කර කියාගන්න දෙයක් නැතිවය. චිරත් ගේ වචන එකින් එක ඇහෙද්දී හිත අස්සේ කෙලවරක තවමත් වලාකුලු වෙනුවෙන් ගොඩ නැගී තිබුණ සිහින මාලිගාව බිඳෙන් බිඳ බිඳවැටෙනු දැනෙද්දි කකුල් පණ නැති වීගෙන එන හන්දා මේධා කාර් සීට් එක මතට ඇඳ වැටුණාය.

ආලෝකා එහා පැත්තෙන් විත් මේධා ගේ උරහිස මතින් අත දමා තුරුලු කරගනිද්දි චිරත් කාරෙකේ ඇරපු දොර ඉදිරියෙන් විත් මේධා දිහා බලාගෙන උන්නෙ ඇයව සනසන්නට වචන හොයන අතරේය. 

“දැන් ඉතින් අඬල වැඩක් නෑනෙ මේධා. සන්තෝස වෙන්න ඕන අපි ඔයිට වඩා දෙයක් නැතිවෙන්නෙ නැතුව සල්ලිවලින් වෙච්ච හානියක් අඩුපාඩුවක් වෙච්ච එක ගැන. ඔයිට වඩා දේවල් මිනිස්සුන්ට නැතිවෙන්නෙ. ජීවිත නැතිවෙන්නෙ. එහෙම එකේ දැන් ඕව ගැන හිත හිත අපි තැවෙන එක තේරුමක් නෑ” කියා ආලෝකා චිරත් දෙස බැලුවේ චිරත් මොනවා හෝ මේධාව සනසන්නට කියාවි යැයි හිතාය.

“ඔයාලා සල්ලි අරගෙන දුන්නෙ එයාගෙන් කිසිම ඩොකියුමන්ට් එකකට සයින් කරගෙන නෙවෙයිනෙ. එහෙම එකේ මම හිතන්නෙ නෑ අපි පොලිසියට වගේ ගියත් බෑන්ක් එකට වගේ ගියත් ඕකට කිසිම ඇක්ශන් එකක් ගන්න පුලුවන් වෙයි කියල. අනික ඉතින් ඇත්තටම ඔයාලා කැමැත්තෙන් දීපු එකක්නෙ. එහෙම එකේ අපි දැන් ආයෙ එක එක මිනිස්සු ලඟට ගිහින් ඕක අහන එකෙන් අන්තිමේ ලැජ්ජ වෙන්න වෙන්නෙ අපිටම තමයි. ඔයාලා කැමති නම් ඉතින් අපිට ඒ වගේ ඇප්‍රෝච් එකක් ගන්න පුලුවන්, ඒඋනාට බොරුවට සල්ලියි කාලයයි නාස්ති වෙන තේරුමක් නැති වැඩක් තමයි ඒක” කියා චිරත් කියද්දි ඇස් වලින් ගලන කඳුලු හන්දා කතාකරගන්න බැරි තැන මේධා අතෙන් චිරත්ව නවත්තන්න හැදුවාය. චිරත් මේධාගේ අත අල්ල ගත්තේ මේ ඉන්නෙ තමන්ව එපා කියා විවාහයෙන් නික්ම ගොස් වෙන තරුණ කොල්ලෙක් එක්ක යාලුවෙච්ච ගැහැණිය බව අමතක කර දමාය. මේ මොහොතේ මෙතන ඉන්නේ මනුස්සයෙකි. තමන්ද මනුස්සයෙකි. තවත් මනුස්සයෙක්ට වැරදිච්ච තැනක ඔහුව තව තවත් රිද්දීම, උදව්වක් නොදීම මනුස්සකම නොවන බව ගමේ පොඩි ගෙදර ඉන්න තාමත් රෙද්ද හැට්ටෙ අඳින, බුලත් හපන අම්මාත් තාත්තත් කියා දුන්න වග චිරත්ට මතකය. 

මනුස්සයෙක්ට කරදරයක් වෙච්ච තැනක කතා කරන්නෙ සල්ලි නොව මනුස්සකම බව චිරත් ට මතකය. 

“දැන් කොච්චර ඇඬුවත් හිත රිද්දගත්තත් තේරුමක් නෑනෙ නේද? මිනිස්සුන්ට තමයි වරදින්නෙ. එක මිනිහෙක්ට වරද්දන්නෙත් තව මිනිහෙක්ම තමයි. අඩුමගානෙ මෙහෙම දේකින් අපි මිනිස්සුන්ව කොච්චර දුරට විශ්වාස කරන්න ඕනද කියන පාඩම හරි ඉගෙන ගත්තනෙ කියල හිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් මට මතක් මතක් වෙන්නෙ නෑ. ඔයාට නීතියෙන්වත් මෙහෙම තැනකදි උදව්වක් ගන්න පුලුවන්ද කියන එක මට ශුවර් නෑ. මම ඕන නම් ඒ ගැන උනත් හොයල බලන්නම්” කියා චිරත් කියද්දි චිරත් තවමත් තමන් වෙනුවෙන් කතා කරන බව මතක් වී උණුවන අලුත්වන කඳුලු රැල් පිසදමාගනිමින් මේධා යමක් කියන්න උත්සහ කරාය.

“මට දුක වලාකුලු මට එහෙම කල එක ගැන නෙවෙයි. මං කොහොමද චිරත් තාත්තට මේ ගැන කියන්නෙ. මමයි වලාකුලුව ගෙදරට එක්කරගෙන ආවෙ. මමයි තාත්තට වලාකුලුව ඉන්ට්‍රඩියුස් කරල දුන්නෙ. තාත්තා උනත් වලාකුලුට සල්ලි දෙන්න ඇත්තෙ ඒ විශ්වාසෙ මත. මම කොහොමද චිරත් තාත්තට ඒක ගැන කියන්නෙ? මොකද්ද මම කියන්නෙ? අපිව රවට්ටල වලාකුලු සල්ලි අරගෙන රට පැනල කියන්නද? මගෙන් ලක්ශ විස්සක් අරගත්ත කියන්නෙ තාත්තගෙන් කොච්චර අරගෙනද කියල මට හිතාගන්න බෑ” කියා මේධා හඬමින් කියද්දි ඇත්තටම ඇගේ හිත සනසන්න ඕන මොකක් කියාද කියා චිරත්ටත් ආලෝකාටවත් හිතාගන්න පුලුවන් උනේ නැත. 

එදා ගෙදර යන්න පෙර චිරත් මේධාවත් ආලෝකාවත් දහවල් ආහාරය සඳහා තමන්ගේ නවාතැනට එක්කරගෙන ගියේ මේධාට මූණ සෝදගෙන ගෙදර යන්න කලියෙන් ෆ්‍රෙශ් වෙන්න හිතාගෙනය. ඇඬුම් බර, කඳුලින් පෙගුණ මුහුණකින් මේධා ගෙදර යන එක තව ප්‍රශ්න ඇතිකරන්නට හේතුවක් වෙන බව දන්න හන්දාය. 

“ඔයා පොඩියි කිව්වට මේ ඇනෙක්ස් එක හරි ශෝක්නේ” කියා ආලෝකා කියද්දිත් මේධා උන්නේ චිරත්ගේ බාතෘම් එකට වී මුහුණ සෝදගන්න ගමන් ඒ කතා බහ අහන ගමන් ය. 

“තනියෙන් ඉන්න ඉතින් ශෝක් මමත් දැන් තමයි ආලෝකා ටිකක් හරි වැඩියෙන් මෙහෙ ඉන්නෙ. රෙස්ටුරන්ට් එකේ වැඩ පටන් ගන්නකම් මම ඇත්තටම එලියෙම වගේ තමයි ඉඳියෙ. දැන් නම් ශේප් එකේ ගේ අස්පස් කරන් ඉන්නව.”

“කොහොමද රෙස්ටුරන්ට් එකේ වැඩ චිරත්? ඇත්තටම මට ඒකවත් අහන්න උනේ නෑ මේ සිද්දි හන්දා”

“ඇත්තටම හොඳයි” කියා චිරත් මදක් සිනාසෙද්දී බාතෘම් එකේ කණ්ණාඩියෙන් තමන්ගේ මූණ දිහා බලාගෙන උන්නු මේධා ඒ මුහුණේ දෙතොල් ඈත් මෑත් වී සිනාවක් ඇඳෙනු බලාගෙන උන්නාය.

“මමත් හිතුවෙ නෑ ඇත්තටම රෙස්ටුරන්ට් එක එච්චර සක්සස් ෆුල් වෙයි කියලා. මිනිස්සු සෑහෙන කැමතියි අපේ රෙස්ටුරන්ට් එකේ වයිබ් එකට. ෆොටෝ ශූට්ස් වලටත් එනවා කට්ටිය දැන්”

“මහන්සි වෙලා කරන ඒවයි ප්‍රතිපල තියෙනවා නේද? පහුගිය කාලෙ රෑ දවල් නැහිල නැහිල වැඩ කල එක ගැන හිතේ දැන් දුකක් නැතුව ඇතිනෙ” කියා ආලෝකා කිව්වාට බාතෘම් එකේ සිට චිරත් සහ ආලෝකා උන්නු තැනට ආ මේධාගේ දෙනෙත්වල පැටලුණ චිරත්ගේ දෙනෙත් කිව්වේ වෙන විදියක කතාවකි.

මහන්සි වී භෞතිකව ලබාගත් කොතෙක් දේ තිබුනද තමන් බොහෝ කාලයක් තිස්සේ මැණිකක් රකින නාගයෙකු මෙන් පරිස්සම් කරන ලද වටිනා මැණිකක් තමන්ගෙන් ඈත් ව ගොස් තිබෙන බව තේරෙද්දි ඒ සතුට සර්ව සම්පූර්ණ නැති බව චිරත් දැනගෙන උන්නේය.

මේධා එදා ආපසු ගෙදර ගියේ චිරත් කිව් ආකාරයට තාත්තා සහ අම්මා සමග වෙලා තියෙන සියලුම දේවල් කතා කරන අදහසිනි. තවත් මේ දේවල් එකිනෙකාගෙන් සඟවා ගෙන සිටින එකෙන් කිසිවෙකුට කිසිමාකාරයක හොඳක් නොවන බව චිරත් පැහැදිලි කර දෙද්දී එයට හිස වනා පිළිගනු විනා වෙන කල යුතු දෙයක් මේධා දැනගෙන උන්නේ නැත.

“හිතල හරි හිතන්නෙ නැතුව හරි අපි ගන්න සමහර තීරණ වලින් වෙන දේවල්වල ප්‍රතිපල හොඳ වේවා නරක් වේවා අපිට ඒව ආයෙ වෙනස් කරන්න බෑනෙ. ඒක ඔයාට වගේම ඔයාලගෙ තාත්තටත් අදාලයි. එහෙම එකේ දැන් වෙච්ච දේවල් උනා කියල හිතා හදාගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් මටත් තේරෙන්නෙ නෑ. ඒත් ඔයා තව දුරටත් ඔයාලගෙ ගෙදර අයගෙන් මේව හංගගෙන ඉන්න එපා.

ප්‍රශ්න කතාකරන තරමට විසඳගන්න ලේසියි. මං හිතනවා ඔයාට දැන්වත් ඒක තේරෙනවා ඇති කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here