ආදරේ අහඹුවක් – තෙවන කොටස

0
1997

“මේ එම්බ්‍රොයිඩර් වැඩ කරන්නෙ ඔයාද?”

මං පුදුම උනේ එයැයි මක්කටද මා එක්කල එහෙම දොඩන්න ආවෙ කියන කාරණාව ගැන හිතලා. පන්සලේ සල්පිල වෙලාවෙ මං මල් එම්බ්‍රොයිඩර් කොරගෙන ආව රෝස පාට රේන්ද සාරිය විකුණගන්න ඇහැක් උනා අර හාදය එදා හේම අදත් කවි කිව්ව හන්දයින්.

මං දුටුවා කීප වංගියක්ම පොලොසියෙ ඉස්පැට්ටර මහත්තයගෙ දෝණියැන්ද සාරිය දිහාව බල බල එයැයිගෙ අම්මට මක්කද කියනවා. එයැයිල විතරක් නෙවි ඇති හැකි තැන්වල හේම නැති බැරි තැන්වල ගෑණු පරාණ පවා කීප වංගියක්ම ඒ දිහාව බලනව මං දුටුවා. කෝමත් ඉතින් ඔය ලස්සන ලස්සන, සුකුරුත්තං විච්චූර්ණ ගැන ඕනම ඉස්තිරියාවක් මනාපයි නෙව. ගන්න බැරි නං බලල කොරල අල්ලල කොරල හරි හිත සනසගන්න තමා උන්දැල මනාප.

මං කෝමත් ඔය සාරිය මැහැව්වෙ මක්කහරි උත්සවයකට යද්දි, මගුලකට කාරිය යද්දි අඳින්න ඇහැක් තරං අපූරුවට. රේන්දත් අතේම වියල, මලුත් අතේම එම්බ්‍රොයිඩර් කොරාපු සාරිය ඉතින් ගන්නත් ඕන ඒකට ඇති හැකියාව තියෙන මනුස්සයෙක්ම තමා.

සාමාන්‍යයෙන් ඉතින් පන්සලක මේ වෙන්දේසියක්, සල්පිලක් තියන්නෙ පන්සලට ආදාර උපකාර බලාපොරොත්තුවෙන් උනාට මොකෝ බීක්කු පන්සලේ වෙන්දේසිය හැබෑවටම තිබ්බෙ පන්සලට ආදාර එක්කහු කොරගන්නැහේම, ගමේ ඉන්න ඔය එක එක විසිතුරු වැඩ හෙම ඇහැක් මිනිස්සුන්ට එක එක එව්ව හදල කොරල කීයක් හරි හොයා කියාගන්න.මට එහෙම ඔය මුදල් හදල් පුරස්නයක් නොවුනට අපෙ ගමේ කී දෙනෙක්නං ඉන්නවද මේ සල්පිල හන්දා බඩ කට පුරෝගන්න. 

සල්පිලේ වැඩිම මිලකට විකිනෙන්නෙ තල් කොල වට්ටි, පන්වට්ටි, මල් වට්ටි වගේ එව්ව. අතරින් පතර ඔය මල් කපන මනුස්සයෙක් පෙරාපු කිතුල් පැණි බෝතලයක්, හකුරු මුලක් දෙකක් හෙම වගේම කැවිලි පෙවිලි ජාතිත් හෙම විකිණුනා. අවුරුදු කාලෙ ලංවෙලා හෙන තියෙනවනං මේ සල්පිල කැවිලි පෙවිලි අච්චාරු හෙම හදන මිනිස්සුන්ට හරි වාසි.

මං නං ඉතින් එදා ඉඳලම සල්පිලට දැම්මෙ ඔය මැහුං ගෙතුං පැත්තෙ ජාති තමා. ඇඳුම් කැඩුම් නං දාන්නෙම නැති තරං. වැඩිහරිය ඔය ලේන්සු, කොට්ට උර, මේස රෙදි, පිඟන් අතුරණ ජාති නෙව ඉතින් වැඩිහරිය මිනිස්සු ගන්නෙ පංගු පේරුවක් නැතුව. මල් එම්බ්‍රොයිඩර් කොරපු ලේන්සුවලට හෙම වැඩියත්ම ඉල්ලුම තියෙන්නෙ ගෑණු ළමයි වැඩිහරිය එව්ව ගන්න හන්දා. මෙදා පාර මේ දාපු සාරිය නං හරිගස්සගන්න මං පටන් ගත්තෙ මීට මාස හත අටකට කලියෙන්. අතේම මල් එම්බ්‍රොයිඩර් කොරල අතේම රේන්ද ගොතල මෙච්චරවත් ඉක්මනට කොරගන්න ඇහැක් වෙච්ච එක මොනතරං හොඳෙයි.

හැමදාම හැම පන්සලේම හේ වැඩිම ඉල්ලුමට ගියේ මල් වට්ටිය. මානෙල් මල් තිහයි, නෙලුම් පොහොට්ටු තිහයි වටේට තියල ඉද්ද පිච්ච මල් මැද්දෑවෙන් තිබ්බ, හරි මැද්දෑවෙන් තිබ්බ රෝස මල් එක්කහු කොරපු මල් වට්ටිය හැබෑම ලස්සනයි. මල් වට්ටිය වෙන්දේසි කොරයින් ලැබිච්ච මුදල් නං පන්සලට පූජ කොරනවා

අනිත් මිනිස්සුන්ට උනත් ඇහැකි තමං උපයගත්ත එව්වයින් තමං කැමති අගයක් පන්සලේ සුබ සිද්දියට පූජ කොරන්න. එව්ව ඉතින් තමංගෙ හිතුවිලි අනුව තමා.

මං නං ඉතින් කීයක් ලැබුණත් ලැබෙන එකෙන් කීයක්මහරි පිංකැටේට පූජ කොරල එනව පන්සලේ ඔය මක්කහරිල පින් අතේ වැඩකට යොදාගන්නය කියල.මේ ආත්මෙ ඉතින් කොරගන්න එව්ව නෙව අපිට ලබන ආත්මෙක පිහිටක් වෙන්නෙ.

දෙවනිදත් පන්සලේ වකාරෙට සෙනග උන්නා. කොහොමත් පන්සලක වෙන්දේසියක්, සල්පිලක් වෙනවය කියල දැනගත්තම හතර දිබ්බාගෙන්ම මිනිස්සු එනව නෙව. එහෙමකට කියල එලියට පහලියකට බහින්නෙ නැති බවලත් ඇත්තියන්ට තියන ලොකුම විනෝදෙත් මේන් මේ සල්පිල්, වෙන්දේසි තමා.

“මගුලකට, තුලාවට, කොටහලුවකට වුව

ඇස්ටෝං ගෙයක් නං පංකාදු පහමය

රේන්දත් අල්ලලා, මලුත් මහලා ඇත

ගන්න අයෙකුට ඉතින් පාඩුවක් නං නැත”

අර හාදයා කිව්ව හේම ඉතින් සාරිය ගන්න මනුස්සයෙක්ට පාඩුවක් නං නැති තරං බව හැබෑව.

හැන්දෑවෙ හතරහමාර පහ වෙද්දි පටන් ගන්න වෙන්දේසි පොල හැන්දෑවෙ හතාට වෙද්දි අහවර වෙන්නෙ කවුරුවත් කියල කොරල නං නෙවි. ඒ වෙද්දි ඉතින් ඔය ඔක්කොම ගෙනා ජාති අහවර වෙන හන්දා. 

මං එන්නෙ යන්නෙ සුදේ අක්ක එක්කලනෙ. උන්දැ නං දාන්නෙ ඔය කොසු, බුරුසු, ඉදල් හෙම හදෝලා තමා.

“අර හාදයා හන්දා අදත් නංගිගෙ සාරියක් විකුනගන්න ඇහැක් උනා නේද?”

“ඒකනේන්නං අක්කෙ, අපූරුයි නේද ඒ කවි කියවිල්ලත්?”

“ආයෙත් අහලා, පාලුව යන්නත් එක්කල ඒ වගේ දෙයක් ලකලැහැත්ති කොරපු එකනං අපූරුයි”

“කොයිබ ඉඳලද ඒ කාන්ඩෙ ඇවිල්ල තියෙන්නෙ?”

“මයි හිතේ සිදාදිය දිහාවෙ ඉඳන්, පන්සලෙයි ඉස්කෝලෙයිලුනෙ උන්දැල නතරවෙලා ඉන්නෙ”

කතා බස් කොර කොර ඉඳල “මං ඩිංගක් අරහෙට ගොහිල්ල එන්නං නංගියෙ” කියල සුදේ අක්කා වැලිවිටියෙ පොඩි හාමිනේල උන්නු දිහාවට යනව දැක්ක විතරයි මං ඉන්පස්සෙ මට උන්දැව හොයාගන්නවත් පුලුහන් උනේ නෑ නෙව. තව සුනංගු වෙන්න බැරි හන්දමයි මං පන්සලේ ඉඳල ගෙදෙට්ට යන්න පඩි බැස්සෙ.

එතකොට තමා ඕං ඔය ඇත්ත මට දෙඩුවෙ.

“මේ එම්බ්‍රොයිඩර් වැඩ කරන්නෙ ඔයාද?”

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here