ආදරේ අහඹුවක් – පස්වන කොටස

0
2534

“ඔයාට ඉතින් ඉරිසියයිද කට්ටිය මම රාජ් කපූර් වගේ කියල කියනවට?”

“අර මක්කටෙයි මං ඉරීසියා කොරන්නෙ?”

“නෑ ඉතින් ගෑණියෙක් ආස නෑ නෙව තව ගෑණීයෙක් තමං කැමති පුරුසයට එහෙම ඇඟෑලුං කම් පාන දේවල් කියනවට”

එයැයි එහෙම කිව්වමනං හැබෑටම මට පුදුමාකාර සන්තෝසයක් තමා දැනුනෙ. ඒ කියන්නෙ එයැයිතුත් දන්නව නෙව මගෙ හිතේ එයැයි ගැන යං මනාපයක් තියෙන විත්තිය. 

“අනේ මක්කටෙයි මං ඉරිසියා කොරන්නෙ”

හැබෑවටම මගෙ හිතේ එයැයි ගැන එහෙම ඉරිසියාවක් නං තිබ්බෙම නැති තරං. අනික එහෙම හිතේ සැක සංකා, ඉරිසියාව හෙම තියන් ඇහැකිද අප්පේ එක හිතෙන් කාට හරි ආදරේ වෙන්න. මට එයැයිට එක හිතින් ආදරේ කොරන්න, බැඳෙන්න නං මගෙ හිතේ එයැයි ගැන එහෙම සැකයක් තිවිල හරියන්නෙ නෑ නෙව.

අපි දෙන්නට කතා කොරන්න ඉඩක් කඩක් හම්බුනේ වෙන්දේසියෙ වෙලාවට, කට්ටිය ඒ වටේ රැස් කකා ඉද්දි තමා. අනෙ මන්දන්නෙ නෑ පෙර කොරාපු පිනක් හන්දද කියල පෝය ලංවෙලා හඳ හොඳහැටි පායල තිබ්බට මොකෝ පන්සල පිටිපස්සෙ අරලිය ගස් තුන හතර පැත්තෙ නං එහෙමකට කියල ලොකු එලියක් පලියක් නොතිබ්බ ගානයි.

අර මක්කවත් හන්දා නෙවි ඒ දිහාවෙ ඉඳන් අපි කතා බස් කොරේ, දන්නෙ නැද්ද ගංවල උන්දැලගෙ හැටි. කතාවක් හැදුණෝතින් ආයම මට පන්සල දිහාටව එන්න විදිහක් නැතිවේය කියල හිතල තමා මං වැඩිමනත්ම එයැයි ඒ දිහාට යමුය කිව්වම හාය කිව්වෙ.

අරලිය ගස් අස්සෙන් ලාවට පෙරිච්ච හඳ එළියෙ මං වාඩිගෙන උන්නු අත්තට ඉහල අත්තක වාඩිවෙලා උන්නු එයැයිව මං දැක්කෙ පුදුමාකාර ලස්සනට. කෝමත් මට වඩා එයැයි පාටින් වැඩි හන්දා වැක්කිරිච්ච හඳ එලිය මැද්දෑවෙ එයැයි දිලිහුනේ හරියට රත්තරනින් අඹාපු රූපයක් හේ.

එයැයිගෙ නම අරවින්ද බවත්, ගෙවල් මීගමුවෙ විත්තියත්, සිදාදියෙ දිහාවෙ ඉගෙන ගන්න බවත්, පන්සලේ වෙන්දේසි පොලේ කවි කියන කාන්ඩෙ අයිති එයැයිගෙ මිත්තරයෙකුට හන්දා ආ බවත් ම්ං දැනගත්තෙ අරලිය ගස් අද්දරදි කෙරෙච්ච මුණු මුණුවෙන්.

“ඇයි ලලී ඔයා මෙච්චර කාලයක් වෙනකං කා ගැනවත් හිතුවෙ නැත්තෙ?”

“හිච්චි සන්දියෙ ඉඳල ඉතින් මිනිස්සු වපරෙට නෙව මං දිහාව බැලුවෙ, ඒ හන්ද මමත් මයි හිතේ එහෙම කා ගැනවත් විසේසෙන් හිතුවෙ නෑ”

“අනේ මන්දා ඔයායි ඔය කියන විදිහට ගමේ මිනිස්සුයි හිතන තරංනං මට ඔය ලපේ කැතක් නෑ”

“ඒ උනාට කවුරු උනත් මනාප නෙව හරිහමනැක්කෙ ගමනක් බිමනක් එක්කන් යන්න ඇහැක් ඉස්තිරියාවක් කාර බන්දෝගන්න”

“ඔයාට ඒ ගැන කවරමදාකවත් දුකක් හෙම දැනුනෙ නැද්ද?”

“හිච්චි සන්දියෙ කොල්ලො කුරුට්ටො ලපී ලපී කියද්දි නං දුක හිතුනා, ඒත් පස්සෙන් පහු වෙද්දි නං ඉතින් මං ඒතරං එව්ව ගැන හිතන්න ගියේ නෑ”

“ඔයා ඇත්තටම ලස්සනයි ලලී”

එහෙම කිව්වම අනිත් අතට මට කියන්න දෙයක් තිබ්බෙ නැති තරං. මං කියන්න ඕන මක්කද කියල දැන උන්නෙත් නෑ අනිත් අතට. මින් ඉස්සරවෙලා කවුරුවත් මට එහෙම ලස්සනයි කියලත් නෑ නෙව. මට ඉතින් මහ අමුතුවට, පුදුමෙට වගේ තමා ඒ කතාව ඇහුනෙ.

“ඔයැයිලගෙ ගෙදර උදවිය මක්කද කොරන්නෙ?”

“මීගමුව කිව්වම ඉතින් මාලු නෙව ලලී. අපෙ තාත්තත් මාලු බිස්නොස් තමයි කරන්නෙ. අපිට බෝට්ටු දෙකක් තියෙනව” 

“එතකොට මේ කවි කියන කාන්ඩෙ එක්කල පූට්ටු උනේ කොහොමද?”

“ඔය හිටිවන කවි කණ්ඩායම අයිති සුගතේරිස් කියන්නෙ මා එක්කල ඔරුගොඩවත්තෙ ගැරෑජියෙ වැඩ ඉගෙනගන්න සේකරගෙ තාත්තා. ඒ මනුස්සයට දැන් ඩිංගක් අබල දුබල හන්දා කවි කණ්ඩායම අරං රට වටේ යන්නෙ සේකර. මෙදා පාර මාත් ආව”

“කොහොමද ඔයැයි කවි කියන්නෙ පුරුදු උනේ?”

“තාත්තල මාලු අල්ලගෙන බෝට්ටුවලින් ආය ආපු දවසට මුලු වෙරලම උස්සවේකට වගේ සැරසෙන්නෙ. රෑ එලි වෙනකං අපි ඉතින් සිංදු කියනව නටනව කනව බොනවා. රැල්ල එහෙ මෙහෙ යන මූදෙ පැද්දෙන බෝට්ටුවක මාලු අල්ලන්න යනවය කියන කාරණාව මේ පැත්තෙ මිනිස්සු අතුරෙ යනව තරම්ම බයංකාරයි ලාලනී. තාත්තල මූදු ගියාම අම්ම, මම, නංගිල දෙන්න එහෙම හරිම බයෙන් ඉන්නෙ. මොකද තාත්තල යන්නෙ ආයෙම එන්න පුලුවන් ගමනක්ද කියල අපි දන්නෙ නැති හන්දා. මාලු බෝට්ටු රස්සාවත් පරංපරාවෙන් පරංපරාවට ගියාට මං ඒ රාජකාරිය කරන්නෙ නැතුව ගැරෑජියෙ වැඩට ගියෙත් ආන්න ඒ හන්දා. අපෙ අම්මා ඉන්න හිතේ ගින්දර මට තව ගෑණියෙක්ට දෙන්න බැරි හන්දා. ඉතින් ඒ වගේ බයංකාර ගමනක් ගොහිල්ල යහතින් ගොඩ ආවයින් පස්සෙ අපෙ හිත්වලට දැනෙන සැනසීම අපි එලියට දාන්නෙ රෑ එලි වෙනකං නටල කරල කාලා බීල. මං හිතන්නෙ එහෙම ඉඳල තමයි මට ඔය කවි සින්දු කියන්නත් පුලුවන් වුනේ”

නෑ ගමනක හරි වන්දනාගමනක හරි යන්න ගෙයින් පිටත් උනා මිසක්කා ගමින් එහාට ගොහිල්ල නැති මට එයැයි ඔය කියන ජීවිතේ ගැන මෙලෝ තේරුමක් තිබ්බෙ නැති ගානයි. ඉස්කෝලෙක මුල් ගුරුවරයෙක් වෙච්ච තාත්තා, ගෙදරම උන්නු අම්මා, ගමේ අනිත් මිනිස්සු ගත්ත උනත් අපි කොරේ ඒ වගේ රස්සාවල් නෙව. මූදට කිට්ටු උනාට ගාල්ල පැත්තෙ කෙලෝරටම වෙන්න තියෙන, හැංගිච්ච ගමක ජීවත්වෙච්ච මට මූද ගැන එයැයි කියන කතා මහ අරුමයක් හේ දැනුනෙ.

එක පැත්තකින් ඇලයි, අනිත් පැත්තෙන් කඳුයි, ඉතුරු පැත්තෙන් හේන් කුඹුරු තිබිච්ච පුබුදුපුරේ ඉපදිච්ච ලාලනී, පිලී ගඳ ගහන, එක පැත්තක් මූදට ඇරිච්ච මීගමුවෙ ඉඳන් ආව අරවින්ද කියන එව්ව ගැන නොදන්න එක ඉතින් අහන්න දෙයක්ද?

“ලලී…”

වාඩිගෙන උන්නු අරලිය අත්තෙන් බැහැල මං අද්දරට ඇවිල්ල, හොරෙන් මං දිහාවයි ඈත පේන කඳු දිහාවයි මාරුවෙන් මාරුවට බලන ගමන් එයැයි පටන්ගන්න තැනුවෙ මහ අමුතු කතාවක් විත්තිය මං නොදැන උන්න නෙවි

-උදතාරි-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here