“මේ හැමදේම දිහා බලද්දි මට හිතෙනවා පරදිනවා කියන්නේ අනාථ දරුවෙක් වගේ කියලා. කවුරුවත් කැමති නෑනේ පරාද වෙන්න. පරාජෙ භාරගන්න. හැමෝම හැමතිස්සෙම හදන්නෙ පරදින එකෙන් බේරෙන්නනෙ. කවුද කැමති තමන් පරදිනවා කියලා කියන්න තියා පරදින පැත්තෙවත් ඉන්න. මිනිස්සු පරදිනවා කියල තේරිච්ච ගමන් මොකද කරන්නෙ එක්කො පැත්ත මාරු කරන එක එහෙම නැත්තම් ඒ පැරදීමට තමන්ගෙ සම්බන්ධයක් නෑ කියලා පෙන්නන්න. අපේ තාත්තාගේ ජීවිතේ සිද්ධ වුණ දේ දිහා බලන්නකෝ. එයා මුලු ජිවිත කාලයක් තිස්සෙ, තමන්ගෙ හෘද සාක්කිය, පවුලෙ අය හැමදේම අත ඇරලා මුළු ජීවිත කාලෙ පුරාම හදපු දේවල්, එක මොහොතකින් හුළඟට ගහගෙන ගියා වගේනෙ නැති උනේ. ඒක කවුරුවත් භාරගන්නෙ නෑ වගේම තමන් පැරදෙනවා කියන්නෙ තමන්ට හැමෝම හැමදේම නැතිවෙනවා කියල තේරිච්ච හන්දා තමයි එයා අන්තිමේ එයාවම නැතිකරගත්තෙ. මෙච්චර කාලයක් තමන්ව උඩින් තියලා තිබ්බ බලය, තත්ත්වය, කීර්තිය හැමදේම දැන් බිංදුවට වැටිලා කියලා තේරිච්ච හන්දයි එයා එහෙම දෙයක් කරගත්තෙ.
දැන් වෙන කවුරුවත් ඉස්සර වගේ එයාගෙ පැත්තෙ හිටගෙන “අනේ ඔව් මන්ත්‍රී තුමා කියන දෙයක් තමයි කියලා කියනවද?” නෑනෙ. කවුරුවත් නැහැ. ඒත් ජයග්‍රහණය කියන්නේ එහෙම නෙමෙයි, සමුධ්‍යා. ඒකට අයිතිකාරයො ගොඩක් ඉන්නවා. ජයග්‍රහණයක් ලැබුණාම ඒක තමන්ගේ කියලා කියන්න ගොඩක් අය ඉස්සරහට එනවා. අපි මේ නඩුව දිනුවොත්, ඒක අපේ ජයග්‍රහණය විතරක්ම නෙවෙන්නෙ අන්න ඒ හන්දා. ඒක මේ වගේ කේසස් වලදි යුක්තියක් සොයන හැම කෙනාගේම ජයග්‍රහණයක් වෙනවා. ඒ නිසා මම මේ නඩුවෙන් අයින් වුණත්, මේක ඉදිරියට ගෙනියන්න තවත් අය ඉස්සරහට එනවා. මේ සටන දිනවන්න ගොඩක් අය ඉස්සරහට එයි. මොකද මේක යුක්තියේ ජයග්‍රහණයක්. ගොඩක් අය ඒ වගේ දේකට අයිතිකාරයෝ වෙන්න කැමතියි.”
විදුර වීරබද්ධනගේ මරණයත් සමග රට පුරා විශාල කැලඹීමක් ඇති විය. මාධ්‍ය වාර්තා සියල්ලම පාහේ මෙම සිදුවීම වාර්තා කරන්නට වූයේ ලක්ෂිත සහ විදුරට සත්සරා සමග ඇති සම්බන්ධයද කියවන්නන්ට හෙලි කරමිනි. විදුර වීරබද්ධන වැනි ප්‍රබල චරිතයක්, “මම මගේ මිනිස්සු වෙනුවෙන් ඕන වෙලාවක ඉන්නවා” යැයි කියු පාලකයෙක් මෙවන් දූෂිත ක්‍රියාවකට සම්බන්ධා ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ අතර, ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් මෙන්ම මිතුරන් පවා උන්නේ මේ සිදුවීමෙන් නිහඬ විය. අනෙක් අතට මේ වෙද්දිත් විදුර වීරබද්ධන තමන්ගේ දිවි තොර කරගෙන තිබුන නිසාවෙන් ඔහුගේ හිත සුව පිණිස හෝ ඔහුගේ හිත දිනාගනු පිණිස වරද හංගා හොඳක් කීමට නොඑන නිසාවෙන්ම සියලු දෙනාම පාහේ උන්නේ වාසි පිලට හෝයියා කියමිනි. කෙසේ වෙතත්, මෙම සිදුවීම අරුණගේ ජීවිතයට විශාල බලපෑමක් ඇති කරන්නට හේතු වන බව සියල්ලෝම දැන සිටියහ. නීතිඥයෙකු ලෙස අරුණගේ නම දැන් ඔහුගේ පියාගේ අපකීර්තිමත් ක්‍රියාවන් හා බැඳී තිබීමම ලක්ෂිත වීරබද්ධනට එදිරි සත්සරාගේ නඩුවෙන් අරුණට අයින් වීමට සිදුවන බවට බොහෝ දෙනා තුල සැකයක් විය.
සත්සරාගේ නඩුව ද තිබුනේ විශාල වශයෙන් මාධ්‍ය අවධානයට ලක් වෙමිනි. විදුර වීරබද්ධනගේ මරණයෙන් පසු, සත්සරාට යුක්තිය ඉටු කිරීම වඩාත් සංකීර්ණ විය. එහෙත්, අරුණ තමන්ට හැකි සෑම ආකාරයකින්ම සමුධ්‍යාට සහ සත්සරාට සහාය දුන්නේය. ඔහු අලුත් නීතිඥ කණ්ඩායමක් සොයා ගත්තේය. මෙම සිද්ධියට කිසිදු සම්බන්ධයක් නොමැති, පළපුරුදු සහ දක්ෂ නීතිඥ කණ්ඩායමක් වූ ඔවුන් සත්සරාගේ නඩුව භාර ගැනීමට එකඟ වීමම වැසිබර අහසක දකින්නට ලැබුණ රිදී ඉරක් බව අරුණ සිතුවේය. අරුණ එම නීතිඥ කණ්ඩායමට අවශ්‍ය සියලු තොරතුරු ලබා දුන් අතර, සෑම අවස්ථාවකදීම ඔවුන්ට සහාය විය. එහෙත්, ඔහු උසාවියට නොගියේය. නඩුව ඉදිරියට ගෙන යාම තවදුරටත් තමන්ගේ වගකීමක් නොවන බවට ඔහු තීරණය කර තිබුණි.
“සමුධ්‍යා,” අරුණ ඇයට පැවසීය. “මම මේ නඩුවෙන් අයින් වෙනවා”
“ඔයා අයින් වෙන එක මේ නඩුවට ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේද?”
“නෑ මං හිතන්නෙ මම අයින් වෙන එකම තමා මේ නඩුව දිනන්න තියෙන හොඳම හේතුව. ඒකමයි මම මේකෙන් අයින්වෙන්නෙ. මම නඩුවට සම්බන්ධ වෙල ඉද්දි මොන විදියෙ තීරණයක් ආවත් ඒක මිනිස්සු වැරදි විදියට දකින්න ලොකු චාන්ස් එකක් තියෙනවා. මිනිස්සු හිතන්න පුලුවන් මම මගේ තියන ඉඩ ටික යූස් කරලා අපේ තාත්තගෙ නමට එහෙම නැත්තම් මල්ලිගෙ නමට එන්න තියෙන බ්ලැක් මාර්ක් එකක් වහගන්න හදනවා කියලා. මේ වෙලාවෙ අපි ඒ වගේ අන් වෝන්ටඩ් ඩ්‍රාමා වලට අපෙ ජීවිත අස්සෙ ඉඩක් දෙන්න ඕන කියල මම හිතන්නෙ නෑ සමුධ්‍යා. ඔයා බයවෙන්න එපා, දැන් මේ ඉන්න ලෝ ටීම් එක ඇත්තටම හොඳයි. මම උසාවියෙදි ඔයාලා වෙනුවෙන් කතා කරන එකක් නෑ. ඒත් අනික් හැම තැනකදිම ඔයාලා ළඟින්ම ඔයාලා වෙනුවෙන් කතාකරන්න, හිටගන්න මම ඉන්නවා” කියා අරුණ වඩා විශ්වසනීය ලෙස කියද්දී සමුධ්‍යා අරුණ දෙස බලා හිස සැලුවාය. ඔහු පැවසූ දේ ඇය තේරුම් ගත්තාය. මේ ගෙවීයන්නෙ තමන් ඇතුලු සියලු දෙනාටම අඳුරු කාලයක් බව සමුධ්‍යා තේරුම් ගෙන උන් නමුත් ඒ අඳුරු කාලය ඉක්මනීන් ගෙවී ගොස් හිරු යලි වඩින බවත් සමුධ්‍යා විශ්වාස කලාය.
අරුණගේ වචනවල තිබුණේ ඉමහත් වේදනාවකි. රතු වුන අරුණගේ දෑස් ද, වෙව්ලන කටහඬ ද ඔහු මෙපමණ දවසක් හිත අස්සේ සඟවාගෙන උන් වේදනාව සමුධ්‍යා ඉදිරියේ කියා පෑවේය. සමුධ්‍යා ඔහු අසලින් වාඩි වී ඔහුගේ අත මෘදුව අල්ලා ගත්තේ මේ වනාහී තමන්ගේ හිත ඇතුලේ තිබෙන ආදරය වැස්සක කර වස්සවන්නට ඕන මොහොතක් බව තේරුම් ගෙනය. ඇය මොහොතක් නිහඬව සිටියේ ඔහුගේ වේදනාවට ඉඩ දෙමිනි. ඉන්පසු ඇය කතා කරන්නට පටන් ගත්තේ ඔහුගේ සිත සනසනු පිණිසය.
“අරුණ, මම දන්නවා මේක ඔයාට කොච්චර අමාරු ටයිම් පීරියඩ් එකක්ද කියලා. තාත්තා ඔයාට කොච්චර නපුරුකම් කරත්, ඔයා එයාගෙන් වෙන්වෙලා වෙනම ජීවත් උනත් ඔයාගෙ හිත අස්සෙ කොහේ හරි තැනක තාත්තා වෙනුවෙන් ආදරේ එකතුවෙලා තිබිලා තියනවා. මේ දැන් ඔයා එලියට දාන්නෙ ඒ ආදරේ විතරක් නෙවෙයි අරුණ, මෙච්චර කාලයක් දෙපැත්තකට වෙලා උන්නු එකෙන් ඒ ආදරේ බෙදාගන්න බැරිවෙච්ච එකේ වේදනාව අරුණ.
පුංචි කාලේ ඕනම පුතෙක් තමන්ගෙ තාත්තව දකින්නෙ වීරයෙක් විදියටනෙ. ඔයත් එහෙම වෙන්නැති. ඒ මතක ඔයාගේ හිතේ හැමදාම තිබුණා. එයා ඔයාට කොච්චර රිදෙව්වත්, ඒ ආදරේ මුල් සම්පූර්ණයෙන්ම කපලා දාන්න බැරි වුණා. දැන් ඔයාට දැනෙන්නේ ඒ කප්පාදුවේ වේදනාව”
සමුධ්‍යා අරුණගේ උරහිස මත හිස තබා ගත්තාය. ඇගේ කටහඬ මුදු වී තිබුන නමුත්, සෙනෙහසින් පිරී තිබුණි.
“ඔයා කළේ අමාරුම දෙයක් අරුණ. ඔයාව මේ ලෝකෙට ගෙනාපු, ඔයාව හැදුව කෙනා ගැන කොච්චර හිත රිදෙන උනත් ඇත්තක් කියන එක, ඒක ලේසි දෙයක් නෙමෙයි. ඒත් ඔයා ඒක කළා. ඔයා කළේ වැරැද්දක් නෙමෙයි, ඔයා කළේ නිවැරදි දේ. ඔයා හොඳ කෙනෙක් වෙන්න තෝරා ගත්තා. ඔයාගේ හෘද සාක්ෂියට අනුව වැඩ කළා. ඒ ගැන ඔයාට කවදාවත් ලැජ්ජා වෙන්න ඕන නැහැ. ඔයා අද තනි වෙලා නෑ. මම ඉන්නවා ඔයා ළඟින්. අපි දෙන්නාටම මේ සිද්ධියෙන් ඇතිවෙච්ච හිත් වේදනාව සනීප කරගන්න කාලයක් ඕන වෙයි. ඒත් අපි ඒක එකට කරමු. ඔයා මේ නඩුවෙන් අයින් වුණාට කමක් නැහැ. ඔයා මේ වෙනකන් කරපු දේවල් මට වටිනවා. ඔයා මාව බේරගත්තා. මට යුක්තිය වෙනුවෙන් සටන් කරන්න ඕන කරන හයිය දුන්නා. ඔයාගේ තාත්තාගේ වැරදිවලට ඔයා වගකියන්න ඕන නැහැ අරුණ.
ඔයා වීරයෙක්, අරුණ. ඔයා කාට නැතත් මට වීරයෙක්. සත්සරා වගේ අසරණ වෙච්ච දහසක් දරුවන්ට ඔයාව වීරයෙක්”