“හෙලෝ සමුධ්‍යා නේද?” කියා එහා පසින් ඇහෙද්දී සමුධ්‍යා “රංජනී මිස් නේද? කියන්න” කියා ඇමතුවේ හිත මදක් කලබල වෙද්දිය.
“සමුධ්‍යා බිසී නෑ නේද ටිකක් කතාකරන්න පුලුවන් වෙයිද?” කියා රංජනී ඇසුවාය.
“කියන්න රංජනී, මොකක් ගැනද කතාකරන්න ඕන?”
“ම්ම්ම් සමුධ්‍යා මං කතා කරේ සත්සරා ගැන දෙයක් කියන්න” කියා ඇය කියද්දී සමුධ්‍යා තප්පර ගණනකට නිහඬ විය.
“සත්සරා ගැන? හදිසියේ? ඒ ළමයට කරදරයක්ද?”
“අනේ නෑ සමුධ්‍යා දෙයියන්ගෙ පිහිටෙන් ඔයා වගේ ගුරුවරියක් හම්බෙච්ච හන්දා ඒ ළමයා ඇත්තටම හොඳ තැනකට ආවනෙ. අද මේ කෝල් කරෙත් ඔයාට එයා ගැන හොඳ පණිවිඩයක් දෙන්න. සත්සරාගෙ ඒලෙවල් රිසල්ට්ස් වලින් එයාව සිලෙක්ට් වෙලා කොළඹ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකට.සත්සරාත් මෙතන ඉන්නවා.
සත්සරට ඔයා තමයි ලොකුම හයිය වුණේ. ඔයා එයාට උදව් කරපු නිසා තමයි එයාට මේ තරම් දුර එන්න පුළුවන් වුණේ.”
රංජනී ගුරුතුමියගේ කතාව ඇසූ සමුධ්‍යාගේ සිතට දැනුණේ අසීමිත සැනසීමකි. ඒ බියමුසු හැඟීම ක්ෂණයකින් වියැකී ගොස්, ඒ වෙනුවට මුළු සිතම සතුටින් පිරී ගියේය. ඇගේ දෑස්වලින් කඳුළු ගලා හැලුණි. ඒවා දුක් කඳුළු නොව, අසීමිත සතුටේ කඳුළු විය. සත්සරාගේ ජීවිතය සාර්ථක මාවතකට යොමු වී ඇති බව ඇයට තහවුරු විය. ඇගේ වෙහෙස, කැපවීම නිෂ්ඵල නොවූ බව ඇයට වැටහිණි.
“අනේ රංජනී! ඇත්තද කියන්නේ? මට මේක විශ්වාස කරන්නත් අමාරුයි. මම කොච්චර සතුටුද කියලා කියන්න බැහැ! මේක මගේ ජීවිතේ අහපු හොඳම ආරංචියක්! ලෝ ෆැකල්ටි සිලෙක්ට් උනා කියන්නෙම කොච්චර ලොකු දෙයක්ද නේද? ගමේ ඉස්කෝලෙන් එච්චර දුකරට ආව දරුවෙක් ඇත්තටම උන්නෙ නැතිම තරම් නෙ. ඒ ළමයා හරිම දක්ෂයි. මම එදා ඉඳන්ම දැනන් හිටියා එයාට පුළුවන් කියලා.”
“ඔව් සමුධ්‍යා, මම බොරු කියන්නේ මොකටද? එයා ගොඩක් දක්ෂයි, දන්නවනේ. අර සිද්ධියෙන් පස්සේ එයා හිතට අරන් හොඳටම වැඩ කළා. අරුණ සර් වගේ ලෝයර් කෙනෙක් වෙලා එයා වගේ කරදර වෙච්ච දරුවන්ට පාර කියලා දෙන එකලු එයාගෙ බලාපොරොත්තුව. ඔයාලා දෙන්න කරපු හැමදේම එයාට ලොකු ශක්තියක් වුණා. ඉන්න මම ෆෝන් එක සත්සරාට දෙන්න”
“අනේ ඔව් රංජනී මට එයාට කතා කරන්න දෙන්න! මට ඇත්තටම එයාව අහන්න ඕන.” කියා සමුධ්‍යා කිව්වේ දෙනෙත් වලින් ගැලූ සතුටු කඳුලු කම්මුල් දිගේ ගලාගෙන යද්දීය.
“ඔව්, මම එයාට ෆෝන් එක දෙන්නම්. එයාට ඔයාට ස්තුති කරන්න ගොඩක් දේවල් තියෙනවා කිව්වා.”
දුරකථනය අනෙක් අතට මාරු වන ශබ්දය ඇසුණි. මොහොතක නිශ්ශබ්දතාවයකින් පසුව, එහා කෙළවරින් සතුටින් පිරි හඬක් ඇසුණි.
“ටීචර්! මම සත්සරා!” කියද්දීත් ඇඟේ කටහඬේ තැවරී තිබුන සතුට මුසු කඳුලුබර ගතිය දුරකතනය ඔස්සේ පවා සමුධ්‍යාගේ හදවත සසල කරවන්නට යෙදුනාය.
ඒ සත්සරගේ හඬයි. ඒ හඬින් පිට වූයේ පෙර කිසිදා නොඇසූ තරමේ සතුටක් හා උද්යෝගයකි.
“ටීචර්, මම නීති විද්‍යාලයට තේරිලා! මගේ හීනේ හැබෑ වුණා. මේ හැමදේම වුණේ ටීචර් නිසා. ටීචර් නැත්නම් මට මේ ගමන එන්න කවදාවත් පුලුවන් වෙන්නෙ නෑ ටීචර්.”
ඇගේ කටහඬේ සතුටු කඳුළු ගැබ් වී තිබුණි. සමුධ්‍යාගේ දෑස්වලින් කඳුළු ගලා හැලුණි. ඒවා දුක් කඳුළු නොව, අසීමිත සතුටේ කඳුළු විය.
“ දරුවෝ මට කොච්චර සතුටුද කියලා කියන්න බැහැ. මේක ඔයාගේ කැපවීමේ ප්‍රතිඵලයක්. මට ගොඩක් සතුටුයි ඔයා ගැන.”
“නැහැ ටීචර් නැත්නම් මම අද මෙතැන නෑ. ටීචර් මට දුන්නු හයිය හන්දාතමයි මට මේ හැමදේම මෙච්චර හොඳට කරගන්න පුළුවන් වුණේ. මම අද මෙතන ඉන්නේ ටීචර් නිසා. අපි වගේ අසරණ දරුවො වෙනුවෙන් මෙහෙට ආවට ටීචර්ට ගොඩක් පිං!”
සත්සරගේ කටහඬේ තිබුණේ අවංක කෘතඥතාවකි. ඇය තම ස්තූතිය නැවත නැවතත් සමුධ්‍යාට පුද කළාය. ඔවුන් දෙදෙනා අතර ඇති වූ සම්බන්ධය වසර ගණනාවකට පසුවත් නොවෙනස්ව පැවතුනි. සමුධ්‍යාට දැනුණේ තමන්ගේ ජීවිතයේ මෙතෙක් ලැබූ ලොකුම ජයග්‍රහණය ලැබූවාක් මෙනි. ඇය සත්සරගේ අනාගතයට ආශිර්වාද කළාය.
මෙම දුරකථන ඇමතුමෙන් වසර කිහිපයක් ගත වෙද්දී සත්සරා තම අධ්‍යාපන කටයුතු ඉතා උනන්දුවෙන් හා කැපවීමෙන් සිදු කර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයෙන් විශිෂ්ට ලෙස උපාධිය සම්පූර්ණ කළාය. ඇගේ අතීත අත්දැකීම් ඇයට විශාල පෙළඹවීමක් විය. ඇය නීතිය හැදෑරුවේ අසාධාරණයට ලක් වූ අයට යුක්තිය ලබා දීමේ දැඩි අධිෂ්ඨානයෙනි. නීති විද්‍යාලයෙන් පිටවූ පසු, ඇය නීතිඥ විභාගයෙන්ද පළමු උත්සාහයෙන්ම විශිෂ්ට ලෙස සමත් වූවාය.
අවසානයේ, සත්සරගේ ජීවිත සිහිනය සැබෑ විය.
ඇය නීතිඥවරියක් ලෙස දිවුරුම් දුන්නාය. ඇය නීති ක්ෂේත්‍රයේ, විශේෂයෙන්ම ළමා අයිතිවාසිකම් සහ ලිංගික අපයෝජනයට ලක් වූවන්ගේ නඩු කටයුතුවලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළාය. ඇය සමුධ්‍යාට මෙන්ම, සමාජයේ අසරණ වූ අයටද ශක්තියක් වූ අතර ඇගේ සාර්ථකත්වය සමුධ්‍යාටත්, ඇගේ පවුලටත් මහත් ආඩම්බරයක් විය.
ඇය නිතරම සමුධ්‍යා සමඟ සම්බන්ධතා පැවැත්වූ අතර, ඇගේ ප්‍රගතිය ගැන සමුධ්‍යා ඉත සිතින්ම සතුටු විය.
උපාධි ප්‍රදානෝත්සවය දිනයේ, සත්සරාගේ මුහුණේ වූයේ අසීමිත සතුටකි. ඇය තම දිවියට ආලෝකයක් වූ සමුධ්‍යාටත්, තම උපාධි ප්‍රදානෝත්සවය සඳහා ආරාධනා කර තිබුණි. උපාධි සහතිකය ලබාගත් පසු, සත්සරා අත්තම්මාත්, සමුධ්‍යා වෙත ආවේ දිවගෙනය. ඇගේ දෑස් කඳුලින් පිරී තිබුණද, ඒවා සතුටු කඳුළු විය.
ටීචර්! අද මගේ හීනේ හැබෑ වුණා! මට විශ්වාස කරන්නත් බෑ මම මේ ගමන ආවා කියලා.”
” දරුවෝ! මම කිව්වනේ ඔයාට පුළුවන් කියලා. ඔයාගේ කැපවීම, ධෛර්යය හැමදාම මම දැක්කා. මේක ඔයාගේම ජයග්‍රහණයක් මිස මං කරපු දෙයක් නෑ.”
“නෑ ටීචර්. මේ හැමදේම වුණේ ටීචර් නිසා. එදා ටීචර් දේවතාවියක් වගේ ඇවිල්ලා මාව බේරගත්තේ නැත්නම්, මට ජීවිතේට මේ වගේ තැනකට එන්න ලැබෙන්නේ නෑ. මම අද මෙතන ඉන්නේ ඒ නිසා. ටිච තමයි ඇත්තටම මගේ අම්මා ටීචර්. මට කවදාවත් ඉඳියෙ නැති අම්මා වෙන කවුරුවත් නෙවෙයි ටීචර්”
“සත්සර, මම කළේ මගේ යුතුකම. ඔයා අද මේ තැනට ආවේ ඔයාගේම ශක්තියෙන්. දැන් ඔයාට පුළුවන් ඔයා වගේම අසරණ වුණු දරුවන්ට, කාන්තාවන්ට උදව් කරන්න. ඒක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම දේ.”
“ඔව් ටීචර්, මම ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. මට ඕන ටීචර් වගේ සමාජයට ආලෝකයක් වෙන්න. මට ඕන අසාධාරණයට එරෙහිව සටන් කරන්න. මට ඕන යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්න. අරුණ සර් මට ගොඩක් උදව් කළා නීති අධ්‍යාපනයට. ඒ කිසිම දෙයක් මම කවදාවත් අමතක කරන්නෙ නෑ ටීචර්.”
“ඔව්, අරුණත් ඔයා ගැන ගොඩක් සතුටුයි. අපි හැමෝම ඔයා ගැන ආඩම්බර වෙනවා. මේ ගමන ඔයාට ලේසි වුණේ නෑ. හැබැයි ඔයා කිසිම වෙලාවක අත්හැරියේ නෑ. ඒක තමයි ලොකුම සහ වටිනම දේ.”
” සමහර වෙලාවට මට හිතුණා අත්හරින්න. ඒත් මට ටීච කිව්ව වචන මට මතක් වුණා. ‘සත්සරා, ජීවිතේ හැමදාම අඳුරු වෙන්නේ නෑ. හැම අඳුරකටම පස්සේ එළියක් එනවා.’ කියලා ටීචර් ගමෙන් යන දවස මට කිව්ව ඒ වචන මාව ගොඩක් හයිය කළා.
මට ටීචගෙන් එකම එක ඉල්ලීමක් කරන්න තියෙනවා ටීචර්. මට ඒකට ඉඩ දෙනවද?”
“මොකද්ද?”
“දුවට මවක මිස කියලා කතාවක් තියෙනවා ටීචර්. ඇත්තටම මට ටීචර්ව හැමදාම දැනුනෙ අම්මා කෙනෙක් වගේ. මට එකපාරක් අම්මා කියලා ටීචර්ව බදාගන්න පුලුවන්ද?” කියා සත්සරා අහද්දී දෙනෙත් වල කඳුලු පුරවාගත් සමුධ්‍යා සත්සරගේ නළල සිප ගත්තාය.
—————————————————————————————————————————
ඕනවට වඩා නීති කරුණු එක්ක එහෙම ලියවිච්ච මේ කතාව මං ලිව්ව අනිත් කතා සහ අපේ ස්මාට් ලේඩි පිටුවෙ තියෙන අනික් හැම කතාවකටම වඩා කම්මැලි එකක් බව මම පිළිගන්නවා සහ මේ කතාව ඔයාල කියෙව්වෙ අකමැත්තෙන් නම් මම ඒකට සමාවත් ඉල්ලනවා.
මම එහෙම ලොකු කතාකාරියක් නෙවෙයි. ඒඋනාට ඇත්තටම මේ කතාව අපි ගොඩ නැගුවෙ අහන්න ලැබිච්ච ඇත්ත ප්ලොට් එකක් බේස් කරගෙන. ඒ වගේම මෙතනදි අපිට හයිලයිට් කරන්න ලොකුවටම උවමනා උන කාරණාව තමයි “අපි ගොඩක් වෙලාවට විශේෂයෙන්ම ගෑනු දරුවන්ට කියනවා කරදරයක් වෙන එකෙන් වැලකෙන්නෙ මෙන්න මෙහෙම. අඳුරන්නෙ නැති අය එක්ක කතාවට යන්න එපා, ඇඟ පේන්න අඳින්න එපා, කරදරයක් උනොත් එතනින් එහා ගෑනු ළමයෙක්ට ජීවිතයක් නෑ” කියලා.
ඒ නිසාම ගොඩක් ගෑනු දරුවො තමන්ට වෙච්ච අතවර වලදි නිහඬව ඉන්න හේතුවෙනවා සමාජයෙන් ලැබෙන ප්‍රතිරෝධයෙන් බේරන්න කියලා හිතාගෙන. අපිට සමාජයට දෙන්න උවමනා උන පණිවිඩය තමයි.
“දෙයක් වෙන්න කලින් නතරකරගන්න පුලුවන් එක කොච්චර හොඳ දෙයක් උනත් සමහර දේවල් තියෙනවා අපිට වෙන්න කලින් නතරකරගන්න බැරි.
හැබැයි එහෙම නතරකරගන්න බැරි දෙයක් උනා කියන එකේ අදහස ඔයා වත් ඔයාගෙ ජීවිතේවත් එතනින් නතර විය යුතුයි කියන එක නෙවෙයි, ඒක හේතුවක් කරගෙන, අසාධාරණයට විරුද්ධව සටන් කරලා ඉස්සරහට යා යුතුයි” කියන එක.
ඉතින් ඒ කතාව මේ කතාව ඔස්සේ ඔයාලා ඉස්සරහට අරගෙන එන්න පුලුවන් උනා නම් කාන්තා වෙබ් අඩවියක් විදියට අපි දිනලා කියලා අපි විශ්වාස කරනවා.
අලුත්, ආතල් කතාවක් එක්ක ඉක්මනට හම්බුවෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න!
ස්තුතියි!