හදේ කොතැනක හෝ හිඳී – 02

0
444

ඒ පිරිමි ළමයා අහිංසක පාට යයි ඔහු දෙස බැලූ එක ම බැල්ම ජාන්වි ට කීවේ ය. ඇගේ හදවත සුළි සුළඟක් වන් සුසුමකින් පිරී ගියේ මන්දැයි ඇයට වැටහුණේ නැත. ඇතැම් විට යෞවනයා ගේ විලාශය ඈ තුළ අනුකම්පා සහගත හැඟීමක් ඇති කරවන්නට ඇත.

“කවදහරි දියුණු වෙන උත්සාහවන්ත කොල්ලෙක්. එහෙම නැත්තං ඔය බෝ පැළේ බෑග් එකක දාගෙන උදේ පාන්දරම උස්සං එන්නෑ”

ගෙතුළට යන ගමන් ඇය සිතුවා ය.

“දවසක හරියන්නෝනෙ එහෙම කොල්ලෙක්ට”

හදවත පත්ලෙන් එවන් මිමිණුමක් නැගුණේ ඇයි කියානම් ඇය දන්නේ නැත. මුදල් ගෙන ආපසු එන විට සව්මිය ආගන්තුක තරුණයා සමගින් සෙල්ලමට වැටී සිටියේ ය. ජාන්වී දුටු ගමන් විසල්, බරාඳ පුටුවෙන් නැගිට ගත්තේ පිටත්  වී යන සූදානමිනි. නමුත් ඈ දුන් මුදල ඔහු ගේ ගාණට වඩා වැඩි බව දැනුණ ගමන් ඔහු  එහෙම ම නතර වී වැඩි නෝට්ටු වෙන් කොට ගත්තේ ය.

“මේ ටික වැඩියි මැඩම්”

“ඉට්ස් ඕකේ. ඔයාගෙ ගාණට වැඩිය මට මේක වටිනව”

ජාන්වී බොන්සායි පැළය සහිත පාත්තරය දෝතින් ගත්තා ය. ඈ ඔහු ගේ තක්සේරුවට වැඩි මුදලක් තරුණයා ට පිරිනැමුවේ ඔහු ගැන උපන් අනුකම්පා හැඟීම ප්‍රබල වූ නිසා විය යුතු ය. ජීවිතය කොතැනකින් හෝ අරඹන්නට වෙර දරනා මිනිසුන් ගැන දැන් දැන් ඇගේ හදවත වෙනදාටත් වැඩියෙන් සංවේදී ය. ඇය ද මේ මොහොත වන විට ජීවිතය මැද්දේ හතර ගාතයෙන් වැටුණු ගැහැනියකි. වැටීමේ ස්වභාවය වෙනස් වී ද ඉන් ඇති වන රිදුම් එක හා සමාන විය හැක.

“තෑන්ක් යූ වෙරි මච් මැඩම්. එහෙනං මං යන්නං”

කියමින් විසල් අඩියක් පෙරට තැබුවේ කැළඹීමෙනි. සිය ප්‍රථම අලෙවිය ඒ තරම් සාර්ථක එකක්     වෙතැයි ඔහු සිහිනයෙන් හෝ සිතුවේ නැත.

“අම්මෙ… මොනාද ගේන්න ඕනෙ…”

කියා මේධා ට දුරකතන ඇමතුමක් දී අසනා සතුටු මොහොත ගැන ඔහු  නො ඉවසිලිමත් ව සිටියේ ය.

“නන්න අපා”

කියා ඔහු  ගේ අතින් ඇල්ලුණේ ඒ වෙලාවේ ය. යනවා කියා කියන්නටත් ඔහු ට අමතක වූ සිඟිත්තා, සව්මිය, බෝල දෑස් ඉහළට ඔසවාගෙන සුමුදු අතකින් විසල් ගේ සුළැඟිල්ලෙන් අල්වාගෙන සිටියේ ය. සිනහවකින් මුව සරසාගෙන තරුණයා ඒ පුංචි කුමාරයා අස පහත් වූයේ ය.                    

“ගිහිං එන්නං බබා. බායි…”

“නන්න අපා… අනේ නන්න අපා. තෙල්ලං කලන්න ඕනෙ”

කියමින් සව්මිය කලබලයක් ඇති කරන්නට හැදුවේ ය. ජාන්වී වහා විත් ඔහු ගේ අනිත් අතින් අල්වා දරුවා ව ඇය වෙතට ගන්නට උත්සාහ කළා ය.

“අපි වෙන දවසක සෙල්ලං කරමු හොඳේ”

කියමින් විසල් ගේට්ටුව දෙසට අඩියක් දෙකක් තැබුවේ සිනහ වෙමිනි.

“නන්න අපා… තාත්තී…”

විසල් ගේ දෙපා ගල් වූවා සේ එක තැන නතර විය. එක මොහොතකට මුළු ලෝකය ම නතර වෙන්නට ඇත. ඔහු ආපසු හැරී බැලුවේ ය.

“තාත්ති නෙවෙයි බබා ඒ”

කියූ ජාන්වී ඊළඟට විසල් වෙතට දෑස් පා කොට,

“අනේ වෙරි සොරි”    

යයි කීවා ය.

“තාත්ති තමයි… තාත්…තී… නන්න අපා… බබා දාල නන්න අපා”

ඇගේ අතේ සිටි දරුවා ඇයට පාලනය කරගත නො හැකි ලෙස කලබල කරමින් විසල් වෙතට දෑත පෑවේ ය. පපුව ඇතුළේ අතීතයේ හටගත් සුළි කුණාටුවක් අලුතෙන් හමා යන බවක් විසල් ට දැනිණ. ඔහු ආපසු අඩියක් සව්මිය වෙතට තැබුවේ ය. බිලිඳු ඇස් වලින් ඔහු දුටුවේ  කුඩා විසල් කෙනෙකි. ඒ වෙනකෙකු නොවේ. ඔහු ය. ඔහු ම ය.  

****

විසල් සිඳුරංග සිය කුඩා අඳුරු කාමරයෙහි වන කබල් ඇඳ මත වැතිර කල්පනා සාගරයෙහි කිමිද සිටියේ ය. හිත තුළ විවිධාකාර සිතිවිලි හා චිත්ත රූප ඇති වෙමින් නැති වෙමින් යන අතරේ ඔහු ට දුඹුළු බැඳුණු ඇස්බැස්ටෝස් වහලයෙහි එල්ලෙන මකුළු දැල් පෙනේ. මකුළුවෙක් දැලක් හරහා දිගු අඩි තබමින් ඉක්මන් ගමනක නිරත වෙයි. මේ මොහොතේ ඔහු ගේ සිත මෙන් ම මකුළුවා ද නො සන්සුන් ය.

බොන්සායි බෝ පැළය විකිණූ මුදලින් ඔහු අලුත් කලිසමක් හා ටී බැනියමක් මිල දී ගත්තේ ය. හිතට අමුතු සතුටක් ද හයියක් ද දැනිණ. මෝල්ටඩ් මිල්ක් පැකට්ටුවක් සමග මිදවූ කිරි හට්ටියක් ද නංගී වෙනුවෙන් බිස්කට් පැකට්ටුවක් ද අම්මාට ගවුමක් මසා ගන්නට කහ පසුබිමේ සුදු මල් වැටුණු ගවුම් රෙදි කැබැල්ලක් ද ගෙන විසල් ගෙදර ආවේ රටක් රාජ්ජයක් දිනුවා වන් ජයග්‍රාහී හැඟීමකිනි. අත ඉතිරි වූයේ තව සුළු මුදලක් වී ද ඔහු මේ කෙටි මොහොතට තෘප්තිමත් මිනිසෙකු වී හිඳී. අඳුරු වහළය දෙස බලා සිටිය ද ඔහු ගේ දෙඅදර අතරෙහි මන්දස්මිතයකි.   

යන්නට එපා කියමින් ඔහු ගේ අතේ එල්ලී හැඬූ සිඟිත්තා ගේ හඬ මේ මොහොතේත් ඔහු තුළින් නැගී සිටියේ ය. ඒ නිමේශයෙහි හදවත හරහා හමා ගිය දැවුම් සංවේදනයෙන් මේ දැනුත් ඔහු ක්ෂණිකව දැවිණි.                                                                                                                                                                                                                                                                                                                         

“බබාට සෙල්ලං කරන්නද ඕනෙ… ම්…”

කියා අසමින් හෙතෙම වැළපෙන සිඟිත්තා ළඟ පහත් වූයේ ය. බිලිඳු ඇස් වල ලොකු කඳුළු ගුලි දෙකකි. ඔහු හිස ඉහළ පහළ සැලුවේ බලාපොරොත්තු සහගතව යි. 

“හරි හරි චුට්ටක් සෙල්ලං කරමුකො එහෙනං”

කිරිකැටි දෙතොල් පෙති ළිහී කිරි සිනහ කැකුළක් පිපිණ. ඒ සිනහව කාන්දමක් වාගේ විසල් ගේ පපුවේ ඇමිනිණි. සව්මිය දිව ගොස් ඔහු ගේ සෙල්ලම් කාර් එකක් ද රිමෝට් එකක් ද ගෙනැවිත් විසල් ට දුන්නේ ය. ඔහු සිනහ වෙවී එය ගත්තේ තවමත් දොරකඩ සිට අවිනිශ්චිත දෑසින් ඔවුන් දෙස බලා ඉන්නා ජාන්වී වෙතට එක බැල්මක් හෙළමිණි.

“අනේ ඔයාට ලේට් වෙනවත් ඇති”

ඒ බැල්ම පතිත වෙත්දී ම ඇය කීවා ය.

“කමක් නෑ මැඩම්. මං විනාඩි පහක් විතර ඉඳල යන්නං. බබා අඬනවනෙ…”

ඔහු ගේ සිනහව අහිංසක ය. නාඳුනන තරුණයා ගැන කිසිදු සැක සංකාවක් ජාන්වී තුළ ඇති වූයේ නැත. එබැවින් ඇය බයක් නැතිව සව්මිය ඔහු අස තබා මුළුතැන්ගෙට ගොස් තේ එකක් පිළියෙළ කළා ය. බොන්සායි පැළයක් විකුණන්නට පැමිණි තරුණයාට සෙල්ලම් කරන්නට සිදුව තිබේ. ඇයට ඔහු වෙනුවෙන් තේ හදන්නටත් සිදුව තිබේ. සව්මිය කළ දෙයක්!

“අනේ මැඩම් තේත් හැදුවද…”

කියමින් විසල් ජාන්වී ගෙනා බන්දේසිය මතින් පීරිසි කෝප්පය දෑතින් ගත්තේ ගෞරවයක් පාමිනි. සැබවින් ඒ ටික කියත්දී ඔහු මඳ ලැජ්ජාවක් අත්වින්දේ ය. විසල් යනු අම්මා හැරෙන්නට මුළු ලෝකයෙන් ම දුරස් වී හැදුණ දරුවෙකි. කුඩා කාලයේ පටන් ඔහු තනි වෙන්නට බැලුවේ ය. මිතුරු සමාගම් වලින් ඈත් වී සිටියේ ය. මිනිස් ඇසුර ප්‍රතික්ශේප කොට හුදෙකලාවට පෙම් බැන්දේ ය. ඒ ලෝකයා ඔහුගෙන් තාත්තා ගැන විමසූ බැවිනි. බාප්පා ගැන ද විමසූ බැවිනි. විවාහ දෙකක් කරගත් අසරණ හා අහිංසක අම්මා ගැන කට කැඩුණු කතා කී බැවිනි. වැඩිහිටි සමාජයට අවතීර්ණ වූවාට පස්සේත් ඔහු ට ඒ මුළුගැන්වුණ පුරුද්ද තිබේ. වැඩිය කවුරුන් සමගවත් ඔහු සමාගමයකට යන්නේ නැත. අසනා දෙයකට වුව ලැබෙනුයේ ලැජ්ජාශීලී කෙටි පිළිතුරකි. බොහෝ විට ඔහු ගේ සන්නිවේදණය සිනහවකට සීමා වේ. ඒ නිසා ම බොහෝ දෙනෙක් ඔහු ව ආඩම්බරකාරයෙකු සේ හඳුන්වාදෙති. නමුත් ආඩම්බර වෙන්නට හේතුවක් තමන් සතුව නැති බව දන්නේ විසල් ම පමණකි.

මෝල්ටඩ් මිල්ක් දැමූ ඒ තේ එක රස නහර පිනවා ගියේ ය. මෝල්ටඩ් මිල්ක් දැමූ තේ බොන්නට අම්මා ද රිසි වග විසල් ට සිහි වූයේ ඒ වෙලාවේ ය. ගෙදර යන ගමන් පැකට්ටුවක් ගෙන ගොස් අම්මාට දෙන්නට ඔහු උදක් ම සිතාගත්තේ ය.

කොයිතරම් සෙල්ලම් කළ ද සව්මිය ට ඇතිවීමක් නම් නො විණ. අවසානයේ ජාන්වී ට සිදු වූයේ ඔහු ව වඩාගෙන විසල් ට යන්නට හරින්නටයි. යන්නට එපා කියමින් සව්මිය හඬා වැටුණේ ය.

“කමක් නෑ ඔයා යන්න. ටික වෙලාවක් අඬල එයා  නැලවෙයි”

ජාන්වී ස්ථිර ලෙස කීවා ය. පුංචි කොලු පැටියා කෙතරම් හැඬුව ද එයින් පස්සේ විසල් ට නැවතිය හැකි වූයේ ද නැත. ඔහු පාරට වන් කල ජාන්වී ගේට්ටුව අගුළු ලූවා ය.

සව්මිය මූණ රතු කරගෙන හඬයි. හිත තද කරගෙන ගේට්ටුව වසා පැමිණි ජාන්වී හදවතට ඉඩ දුන්නේ ඉනික්බිති ය. ඇගේ නාසය ජම්බු ගෙඩියක් සේ රතු විය. ඇස් දෙකෙන් මොර ගෙඩි තරම් ලොකු කඳුළු කැට කඩා හැලුණේ ය. සව්මිය පපුවට තුරුලු කරගත් ඕ ඇස් වලට ඕනෑ තරම් හඬන්නට හැරියා ය. ලෝකයට පෙන්විය නො හැකි කඳුළු!

“තාත්‍…ති…”

සව්මිය ඉකිළමින් කීවේ ය.

“අනේ ඒ තාත්ති නෙවෙයි මගෙ මැණික. මං කොහොමද ඔයාට තාත්තිව ගෙනත් දෙන්නෙ… වෙන ඕනම දෙයක් ඉල්ලන්න පැටියො… තාත්ති ඇර වෙන ඕනම දෙයක් ගෙනත් දෙන්නං. මුළු ලෝකෙත් එක්කම සටන් කරල හරි මගෙ පුතාට ඕන දේ ගෙනත් දෙන්නං. ඒත් තාත්තිව ඉල්ලල මං කොහොමද මැණික ෆයිට් කරන්නෙ… කාත් එක්කද ෆයිට් කරන්නෙ… ඔයා ලොකු වුණ දවසක තේරෙයි”

පපුව රිදෙනවා වාගේ ඇයට දැනිණ. සව්මිය ද වරින් වර නැලවෙමින් නැවත ද හැඬුවේ ය. ඉකිළුවේ ය. හීල්ලුවේ ය. දවස ඇරඹුමෙහි ම කඳුලක කැළැල් ඇති විය. හදවත් වල රිදුම් අලුත් විය.

“පුතා…”

මේධා ගේ හඬ ද මුලින් පැමිණියේ මෝල්ටඩ් මිල්ක් සුවඳ ද කියා වෙන් කරගත නො හැකි ය. විසල් යහන මතින් හිඳ අම්මා අතින් කෝප්පය ගත්තේ ය.

“කීයක් හරි හොයාගත්ත වෙලාවට අපිට අනං මනං උස්සං එන්න එපා. ඔයාගෙ අඩුපාඩුවක් සම්පූර්ණ කරන්න මටත් බැරි එකේ ඔයාට ඕන දෙයක් අරගන්න පුතේ. ඔයාටයි කියල යට ඇඳුමක් තරං දෙයක් අරං දෙන්න මට පුළුවන්කමක් නෑනෙ රත්තරනේ”

“අම්මෙ”

මේධා ඇතුළාන්තයෙන් ගැස්සී ගියා ය. විසල් ඒ අම්මේ කියූ ආකාරයේ මහා අමුත්තක් ඇයට දැනිණ. ඔහු ගේ ඇස් වල වූ බැල්මෙහි පවා වෙනසක් වූයේ ය.

“රස්සාවල් හොයල මට දැන් ඇති වෙලා අම්මෙ. කාලෙ ගත වෙලා යනව විතරයි. මේක මහ කරුමයක් කියල වෙලාවකට දැනෙනව. අනුංගෙ රස්සාවල් ලැබෙනකල් බලං ඉන්නවට වැඩිය කරන්න දෙයක් අපිට නැද්ද අම්මෙ… තාප්පෙකින් ගලෝල හිටෝපු බෝ පැළයකට වුණත් මේ ලෝකෙ ඉල්ලුමක් තියනව. එන ගමං මං කල්පනා කර කර ආවෙ… අපිට බැරිද එහෙම මුකුත් විකුණන්න… මං කියන්නෙ… අපිට බැරිද පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න… මටයි අම්මටයි එකතු වෙලා…”

මේධා ගේ දෙතොල් අතරෙහි ඇඳී ගිය සිනහවේ ලියැවී තිබුණේ අසරණකමක් විතර ය. විසල් ඇස් පිය නො සලා අම්මා දෙස බලා සිටියේ ය. ඈ වූ කලී ලස්සන ගැහැනියකි. හිත් කරදර හා ඔටිසම් දැරියක වන අනගි සමගින් ඔට්ටු වීම නිසා ඇගේ සිරුර දැන් කෘෂ වී යමින් තිබිණි ද මීට වසර කිහිපයකට පෙර ඔහු ගේ ළමා වියෙහි දී අම්මා වෙතින් දුටු ලස්සන තරුණ ගැහැනිය තවමත් විසල් ගේ හදවතේ ජීවත් වෙයි.

“බිස්නස්… අපි…”

“අම්මට පුළුවන්ද මට කෑම ටිකක් උයල දෙන්න…”

“කෑම…”

මේධා ගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here