පුතු ගේ මූණ දෙස බලා සිටිනා ජාන්වී ගේ කොපුල් තලා දිග කඳුළු දෙපෙළක් ගලා යන්නට විය. පපුව පැලෙන්නට එන රිදුමක් ඇයට දැනේ. ඒ රිදුම්, කාලයක් තිස්සේ ඇය විසින් අමතක කොට, යටපත් කොට, අත්හැර දමනු ලැබූ ඒවා ය. නමුත් සව්මිය සතුටෙන් ලොකු කරගන්නට ඇයට නො හැකි වේවි ද යන බිය, දිය යට ඔබාගෙන සිටිනා රබර් බෝලයක් මෙන් සියල් වේදනා මතුපිටට ගෙන එයි. හුම්මානයක් සේ විටෙක හදවතක පීඩනයන් පිටාර ගලයි. නමුත් හැඟීම් කියන්නේ ක්‍රියාවකට නොවේ. නාම පදයකටයි!
චමුපති එහෙම කළේ කොහොමද කියා ජාන්වී ට සිතා ගත නො හැකි ය. චමුපති කෙසේ වුවත් පාසල් සමයේ පටන් ඇසින් ඉසින් මසින් වෙළී ළඟින් ම උන් යෙහෙළිය එහෙම කළේ කොහොමද කියා අද අදටත් ඇයට සිතාගත නො හැකි ය. චමුපති හා සවිනි අතරේ පෙම් පටලැවිල්ලක් හටගෙන ඇතැයි දැනගත් දා දැනුණු උමතුව, ඒ ගැන සිහි වන මේ මොහොතේත් ජාන්වී ව අඩපණ කරයි. අතීතයේ මේ අවාසනාවන්ත ම සිදුවීම වූ දා පටන් ඇය හුස්ම ගන්නා මළකඳක් පමණකි. මුළු ආත්මය ම පවරා දුන් සැමියාත්, ජීවිතයෙන් අඩක් සේ සැලකූ මිතුරියත් එක්ව සිදු කරනා ලද ඒ ද්‍රෝහී පාවා දීම තවමත් ඇයට සිහිනයකි.
ගේට්ටුවේ විදුලි සීනුව එක් වරක් හැඬවිණි. සව්මිය නිදි තුරුලට වන් ගමන් අවදි වේවි යයි බිය වූ ජාන්වී, දිවගෙන වාගේ පියගැට පෙළ බැස්සේ යළිත් වරක් සීනුව නාද වන්නට පෙර ය. මේ වෙලාවේ කවුරුන් ද යන පැනය, පිවිසුම් දොරටුව තෙක් යන අතරේ ඇගේ හිතේ විය.
ජාන්වී පැති ගේට්ටුවෙහි තීර අවකාශයට දෙනෙතු ලං කොට බැලුවා ය. පිටතින් රැඳී උන් තරුණයාව ඒ ක්ෂණික බැල්මෙන් හැඳිනගන්නට ඕ සමත් වූයේ නැත. නමුත් විසල් සිඳුරංග සිනහවක් නගාගත්තේ ය. ගේට්ටුවේ තීරු අවකාශයෙන් ඔහු මුලින් ම දුටුවේ ඇගේ දෑස් විතර ය. ඒ ඇස් වල වේදනාත්මක කඳුළු පාටක් තැවරී තිබිණ.
“ඇයි…”
ඇය හැඟීම් විරහිත සරකින් විමසුවා ය.
“මැඩම්… මං… විසල්. බබා අඬනව කියල මැඩම් කෝල් කළේ…”
“ඕහ්!”
ජාන්වී පියවි සිහිය එළඹවා ගත්තේ එකල්හි ය. ඇය වහ වහා දොරටුව විවර කොට, විසල් ට ඇතුලුවන්නට පසෙකට වූවා ය. විසල්! ඔහු ගේ නම ඇය දැනගත්තේ මේ මොහොතේයි.
“මට එකපාරටම අඳුරගන්න බැරි වුණා. සොරි විසල්. එන්න ඇතුළට”
ඔහු වැරැන්ඩාව තෙක් පැමිණියේ ය. ජාන්වී ආලින්දයට ගොඩ නොවී ම “වාඩිවෙන්න” කියා කීවේ නාඳුනන පිරිමියෙකු ගෙතුළට කතා කරගන්නට වූ දෙගිඩියාව නිසා ය.
“කොහොම ස්තූති කරන්නද මන්දා ඔයා මෙහෙම ආපු එකට… ඇත්තටම… මං හිතුවෙ නෑ ඔයා එයි කියල”
“පොඩි වැඩක හිටිය නිසා මැඩම් කෝල් කරපු ගමං එන්න බැරි වුණා. බබා කෝ මැඩම්…”
“චුට්ටක් නින්ද ගියා. දවස් ගාණක් තිස්සෙ හරි නින්දක් නෑ. යන්තං නින්ද යාගෙන එනකොට ගැස්සිලා ඇහැරෙනව. ඊලඟට කෑගහල අඬනව. එහෙං උණ බස්සගන්න බෑ. මොකක් කරන්නද කියල මට හිතාගන්න බැරුව හිටියෙ. මං දන්නව ඔයාගෙං මෙහෙම දෙයක් ඉල්ලපු එක වුණත් වැරදියි කියල. බබා වෙනුවෙන් නිසා මිසක්… මං ඒ කෝල් එක කීයටවත් ගන්නෑ”
ඇගේ ඇස් කෙවෙනි වල දැවීමක් සංවේදනය විය. කඳුළු පටලයක් මීදුමක් වාගේ දෑස් ඉම බොඳ කරන ලදී.
“බබාගෙ තාත්ත රට ගිහිංද මැඩම්… වීඩියෝ කෝල් එකකිං වගේ බැරිද සර් එක්ක කතා කරන්න දීල…”
“එයා නෑ විසල්. ඉන්න මං බබාට කතාකරං එන්නං”
ඇය ආපසු හැරුණේ උගුරේ හිරවීමක් සමගිනි. විසල් තුල දැවැන්ත පශ්චත්තාපයක් හටගති. ඔහු ට සිතුණේ ම ජාන්වී ගේ සැමියා හදිසියේ මිය ගොස් ඇත ය කියා ය.
“අ… එපා මැඩම්. බබාව නිදිකරගත්තෙ අමාරුවෙන්නං ඇහැරවන්න එපා. මං අරහෙට වෙලා ඉන්නං ඇහැරෙනකල්”
කියමින් අසුනෙන් නැගිටගත් විසල්, ජාන්වී හැරී බලන විටත් මිදුලට බැස ජැකරැන්ඩ ගස යට බංකුව වෙත යමින් සිටියේ ය. ඔහු අද පෙර දාට වැඩිය කඩවසම් ය. මතක ඇති කාලෙකට පස්සේ එදා ජාන්වී ට බොන්සායි පැළය විකුණා ලද මුදලින් අලුතෙන් මිල දී ගත් ඩෙනිම් කලිසමත් ටී බැනියමත් හැඳි ඔහු ගේ ඇස් වල බලාපොරොත්තුවේ කැල්මක් දිස්න දෙයි. ඒ දීප්තිය තනිකර ම තුරුණු ප්‍රාර්ථනා හා බැඳුණකි.
ජාන්වී ගේ හදට සැනසිල්ලක් දැනෙමින් තිබිණ. විසල් ගේ පිහිටෙන් සව්මිය සන්සුන් කොට සුවපත් කරගත හැකි වේ නම්, ඒ වෙනුවෙන් හිලව්වට ඕනෑ ම මිලක් ගෙවන්නට ඇය සූදානම් ය. විසල් වෙනුවෙන් තේ එකක් තනන්නට වතුර කේතලය පේනුගත කොට ඇය මතු මහලට යන්නට සූදානම් වෙත්දී සව්මිය අත් වැට අල්වාගෙන පහළට එමින් සිටියේ ය.
“ඇහැරුණාද පුතු මැණික…”
ඇය පුතණුවන් වඩා සිපගත්තා ය.
“බබාව බලන්න යාළුවෙක් ඇවිත්. ඔයාට සෙල්ලං කරන්න පුළුවන්”
ඈ ඔහු වඩාගෙන ම බරාඳය තෙක් ආවා ය. මිදුලේ බංකුවේ වාඩි වී සිටි විසල් දුටුවන සව්මිය අම්මාගේ අතින් රූටා බිමට පැනගත්තේ ය. විසල් බංකුවෙන් නැගිටින විටත් ඔහු එතැනට දිව ගොස් අවසාන ය. දෙදෙනා ගේ ම මුහුණු මත එක ම හැඟීමක් සිනහවක් වී පිපෙනා හැටි ජාන්වී බලාගෙන ය. සව්මිය විසල් වෙතට දෑත් පෑවේත් ඔහු සිඟිත්තා වඩාගත්තේත් එක දවසක දැන හැඳිනුම්කමක් ඇති දෙදෙනෙකු ලෙස නොවේ!
සව්මිය විසල් ගේ ගෙල වැලඳ උරහිසේ මුහුණ හොවාගත්තේ ය. සිය දෑත් අතරෙහි වන වස්තුව හදවතෙහි කොටසක් වාගේ විසල් ට දැනෙමින් තිබිණ. ඔවුහු උනුන් වැළඳගෙන, වචන වලින් නොව හැඟීම් වලින් දොඩමළු වෙමින් මඳ වෙලාවක් එලෙස ම සිටියහ.
“අපි තෙල්ලං කළමුද…”
හදිසියේ හිස එසවූ සව්මිය, විසල් ගේ කම්මුල් දෙක සිඟිති දෑතින් අල්වා විචාලේ ය. ඒ ඇස් වල ඉමහත් බලාපොරොත්තුවක් වාං දැමමින් තිබිණි. ඒ බලාපොරොත්තුව කුඩුපට්ටං කොට හීන බිඳ දමන්නට තරම් හදාගත හැකි හයිය හිතක් විසල් ට වූයේ නැත.
“හා. අපි සෙල්ලං කරමු”
විසල් ගේ අතින් බිමට පැනගත් සව්මිය ඔහු ගේ අතැඟිල්ලක් අල්වාගෙන විසල්ව ගේ දෙසට කැටිව ගියේ ය.
“ටෝයිස් ගෙයි. යං…”
විසල් බරාඳයෙහි නතරවන්නට හදත්දී සව්මිය ඔහු ගේ අතින් ඇද්දේ ය. නමුත් විසල් ගෙතුළට අඩියක් තැබුවේ නැත.
“බබා ටෝයිස් අරං එන්නකො. අපි එළියෙ සෙල්ලං කරමු”
එවර සව්මිය ඔහු අතැර ගෙට දිව ගොස් සෙල්ලම් බඩු කූඩ දෙකක් දෑතින් ඇදගෙන ආවේ ය.
දෙන්නා ගේ සිනා කතා හඬවල් බරාඳය දෙසින් ඇසේ. තේ පිළියෙළ කරනා ජාන්වී ගේ මුහුණේ මඳහසක් ඇඳී තිබිණ. පුතා ගේ සුරතල් සතුටු සිනා හඬ බෝ දිනකට පස්සේ ගෙතුළ පිළිරැව් නැගේ!
එදා ඇඳිරි වැටෙන්නට ආසන්න වනතුරු ම විසල් සව්මිය සමගින් සෙල්ලම් කළේ ය. ජාන්වී සිටියේ ඈතකිනි. විසල් පිටත්ව යාමට සූදානම් වන විට සව්මිය නො හඬා දුක්මුසු බැල්මකින් බලා සිටියා පමණකි.
“ආයි හෙට තෙල්ලං කළමූ”
“හරි. මං හෙට එනවනෙ. හැබැයි ඔයා අඬන්නැතුව ඉන්නෝනෙ හොඳේ. බේත් බීල සනීප වෙන්නත් ඕනෙ. බොරුවට අඬල අම්මිට කරදර කරන්න බෑ. ගුඩ් බෝයි කෙනෙක් වගේ හිටියෙ නැත්තං මං ආයි එන්නෑ”
විසල් ගේ ඇස් වල මහා ආදර කරුණාවක් දෝරෙ ගැලුවේ ය. තවමත් විවාහ වී ඇති බවක් නො පෙනෙන යෞවනයෙකුට, දරුවෙකු විෂයේ එහෙම ආදරණීය විය හැක්කේ කෙසේ දැයි ජාන්වී ට සිතුණ තරමි.
“බබා ගුඩ් බෝයි”
සව්මිය දුක්බර හුරතලයකින් කොඳුළේ ය. විසල් තවත් වතාවකට ඔහු වඩා සිපගෙන බිමින් තැබුවේ ය. ගේට්ටුව තෙක් ඔහු ට පෙර ඇවිද ආ ජාන්වී, එය විවර කරන්නට පෙර මුදලක් යෙදූ ලියුම් කවරයක් ඔහු වෙත පෑවා ය.
“මේක කරපු උදව්වට ගෙවීමක් එහෙම නෙවෙයි. ඔයාගෙ වැඩ පාඩු කරගෙන ඇවිත් නාස්ති වුණ වෙලාවට චූටි ගෙවීමක්”
ජාන්වී ගේ දෑස් මත දෙගිඩියාවක් විණි. ඈ මේ දේ කළේ බෝ වර සිතීමෙන් පසු කළ හැකි හොඳ ම දේ නොවන බව දැන ය. නමුත් වෙන කරන්නට දෙයක් ඇයට වූවා ද නොවේ. විසල් කෙළින් ම ඇගේ මුහුණ මත නෙතු නතර කළේ ය. ජාන්වී නො වෙනස් බැල්මෙන් බලා සිටියා ය. විසල් ක්ෂණික කෙටි සිනහවක් පෑවේ “එපා” යන වචනය මුවින් නො කියා ය. නමුත් ඒ මොහොත තුළ ඔහු ගේ සමස්ථ ඉරියව් තුළ ඒ ප්‍රතික්ශේපය විය. එසේ ම, ජාන්වී එකී මොහොතේ දී දුටුවේ සිය ජීවිතය තුළ දුටු අහංකාර ම පිරිමියාව ය!
සව්මිය සන්සුන් වී සිටියේ ය. දින ගණනාවකට පසු ඔහු කෑමක් කෑවේ ය. කැමැත්තෙන් බෙහෙත් ද බීවේ ය. අලුත් දීපතියක් ඔහු ගේ ඇස් වලට කාන්දු වී තිබේ. නමුත් දැන් ජාන්වී ට තවත් බය ය. පුතු ගේ සිහිනය රැක දෙන්නට ඇයට හැකි වනු ඇත්ද? සව්මිය වෙනුවෙන් විසල් වෙතින් දිගින් දිගට ම කාලය හා අවධානය ඉල්ලා සිටිත හැකි ද?
සව්මිය ට නින්ද ගිය පසු ද ජාන්වී කාමරයේ ඒ මේ අත සක්මන් කරමින් කල්පනා කළා ය. ඔහු ගේ හොඳ හිත මුදලින් තක්සේරු කරන්නට උත්සාහ කිරීම ගැන විසල් හිත නරක් කරගන්නට ඇත් ද?
“අනේ වැරදියට හිතන්නෙපා. පුතා වෙනුවෙන් ඔයා දීපු පැය දෙක මට කෝටි ගාණකට වැඩිය වටිනව”
ඇය වට්සැප් පණිවිඩයක් තැබුවා ය. එසැනෙන් නිල් පාටින් ඒ සලකුණු වූවත් විසල් කිසිදු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. කොහේදැයි නො දන්නා ඉසව්වක ඔහු පැටලී සිටියේ ය. සව්මිය – ඒ හුරතල් කොලු පැටියා ගේ බෝල මූණ තුළ ඔහු ට තමන්ව ම හමු වේ. කඳුළු ගුළි දෙකක් එල්ලා වැටෙන්නට ඔන්න මෙන්න ඒ රවුම් ඇස් වල ඔහු ට කුඩා විසල් කෙනෙකු හමු වේ. කුඩා සව්මියටත් කුඩා විසල්ටත් තාත්තලා නොමැත. නැති තාත්තා කෙනෙකු ගැන විසල් කිසි දා අම්මා විමසා නැත. නමුත් කුඩා සව්මිය තාත්තෙකු වෙනුවෙන් අම්මා සමගින් අරගල කරයි. තාත්තෙකු වෙනුවට බාප්පෙකු, ජීවිතයේ අතරමගක දී ඔහු ට හමු විණ. සේනක බාප්පා ගැන වන මුල් ම මතක අතරේ තිබී විසල් ට හමු වෙන්නේ අදත් හිත කීරි ගැසී යන සන්තාපයකි. ඔහු ගෙනැවිත් තිබූ කෙසෙල් ඇවරියෙන් කෙසෙල් ගෙඩියක් කඩාගෙන කෑවා ය කියා සේනක ගේ දෙක වෙන්නට කෑගැසුවේ ය. මේධා ට නො පෙනෙන්නට විසල් ගේ සියුමැළි කන් පෙත්තක් රිදෙන්නට තද කළේ ය. ඊට වැඩියෙන් රිදී තිබුණේ විසල් ගේ පුංචි හිතයි. මේධා, කර කියාගත හැකි යමක් නොමැතිව හා අදහාගත නො හැකි ව ඇස් වල කඳුළු පුරවාගෙන බලා සිටියා ය. ඇය ඒ කෙසෙල් ඇවරියෙන් එක ගෙඩියක් හෝ කෑවේ නැතිව තමුන්ට ම දඬුවම් දී ගත්තා ය. ඉනික්බිති, සේනක විසින් ගෙදරට ගෙනෙනු ලැබූ කිසිවක්, අම්මා අතට දුන්නොත් මිස විසල් කෑවේ නම් නැත. මේධා වුව එවැන්නකින් විසල් සනසන්නට පසුබට වූවා ය. ඒ, ගෙදර කෑකෝ ගසාගැනීමක් වෙනවාට බිය වූ බැවිනි.


