පුරා නව මසක් කුස දරා උන් බරකින් නිදහස් වුණ මොහොතේ අත්විඳත හැකි සැහැල්ලුව විසල් ට දැනිණ. ඉනික්බිති ඒ බර නැත. තවදුරටත් ඒ බර නැත. එය කවරාකාර විණි ද කියා හෝ මතකයක් නැත. ඒ බරැති හැඟීමට කුමක් විණි ද කියා ඔහු නො දත්තේ ය. එය අතුරුදන් වී තිබේ. හොරු අරගෙන ගියා වාගේ ඇස් පනාපිට ම වාෂ්පීකරණය වී තිබේ!
‘අම්මෝ විසල්ව අල්ලගන්න තියන අමාරුවක්’
ජාන්වී ගේ ඒ හඬ විසල් තුළ ද ඔහු වටා ද පිළිරැව් දෙන්නට විය. දුරකතනය ඔස්සේ ඇසෙත්දී ඇගේ හඬ පොඩි දැරියක ගේ සේ ය. හිත ඇතුළේ සිනහවක් නැගෙනු ඔහු ට දැනිණ. නමුත් ඔහු තව දුරටත් ආඩම්බරකමින් හිස කෙළින් කරගෙන සිටියේ ය.
‘කියන්න මැඩම්’
‘අනේ විසල් ඔයා ඔහොම මට මැඩම් කියල කතාකරන්නෙ ඇයි… ඔයා මගෙ ළඟ වැඩකරන කෙනෙක් නෙවෙයිනෙ. හරිනං මමයි ඔයාගෙ කකුල් දෙක ළඟ වැටිල කතාකරන්න ඕනෙ’
ඒ එක වචනයකවත් මූණිච්චාවක් හෝ මවාපෑමක් වූයේ නැත. ඇගේ මුළු ප්‍රකාශය ම අවංක විය. විසල් ට ඒ බව නො දැනුණා නොවේ.
‘හරි ඉතිං ඇයි කතාකළේ…’
‘ඔයා හරි ළමයෙක්නෙ. දන්නෑ වගේ අහන හැටි… කතා කළේ සව්මිය ඔයාව හොයනව කියන්නනෙ’
‘මට එන්න ඕන්නෑ කිව්වනෙ’
එය තනිකර ම නෝක්කාඩුවකි. චෝදනාවකි. අවනඩුවකි. ජාන්වී මොහොතකට නිරුත්තර වූවා ය. ඒ මොහොතක කාලයේ දී ඇගේ හුස්ම පවා තාවකාලික ව නතර වන්නට ඇත.
‘අනේ දෙයියනේ විසල්… ඔයා ඒක මිස් අන්ඩස්ටෑන්ඩ් කරලද මේ අපිත් එක්ක තරහ වෙලා තියෙන්නෙ…මං එහෙම කිව්වෙ ඔයාට අපිව ඕනවටත් වැඩිය කරදරයක් වෙලා තියන නිසානෙ. මං කිව්වෙ හැමදාම එන්න ඕනනෑ පුළුවන් දවසක විතරක් එන්න කියලනෙ… ඒ ඔයාට ඔයාගෙ වැඩ කරගන්න නිදහස තියෙන්න ඕන නිසානෙ… හැම හැන්දෑවක්ම අපි වෙනුවෙන් දිය කරල දාන්න කියන එක මහ අසාධාරණයක් නිසානෙ. එහෙම නැත්තං… ඔයා එන එක ගැන මං තරං සතුටුවෙන කෙනෙක් මේ ලෝකෙ තව ඉන්න පුළුවන්ද විසල්… මගෙ අහිංසක කොලු පැටිය එච්චර සතුටෙන් ඉන්නෙ ඔයාව දවසකට සැරයක්හරි දකිනකොටයි කියන එක මං දන්නව. ඒත් මගෙ ළමය වෙනුවෙන් වුණත් ඔයාගෙන් එහෙම කැපකිරීමක් බලාපොරොත්තු වෙන්න තරං මට සෙල්ෆිශ් වෙන්න බෑ’
‘මං එන්නෙ කැමැත්තෙන්නෙ’
‘මං ඒක දන්නව ඉතිං…’
‘මං එන්නං’
‘දැං…’
‘ඔව්…’
‘මං කතාකළේ පොඩ්ඩක් පුතා එක්ක ෆෝන් එකෙන් කතාකරන්න කියන්න’
‘මං එන්නං’
ඒ වූ කලී ස්ථිර ප්‍රකාශයකි. මුරංඩු ම පිරිමිකමක් ජාන්වී ට විසල් වෙතින් දැකිය හැකි විය. ඇයට සිදු වූයේ ඔහු කැමති පරිදි එය සිදුවන්නට හැර බලා හිඳීමට පමණකි.
විසල් යළිත් හැරී ඉක්මන් අඩි තබා ගෙදර ගියේ ය.
‘ඇයි පුතේ…’
මේධා ගේ ඇස් වල ප්‍රශ්නයක් සනිටුහන් විය.
‘පොඩි ගමනක් යන්න තියෙනව’
කියමින් ඔහු පිටතට යාමට සැරසුණේ ය. කඩිමුඩියේ ම යළිත් පිට වූයේ ය. නික්ම යන පුතු දෙස අම්මා බලා සිටින්නට වූයේ සුසුමකින් හද මඬල පුරවාගෙනයි. ජීවිතයේ අන්තිම පත්ලේ වැටී සිටිය ද ඇය ට සිය පුතු දැනෙනුයේ සක්විති රජෙකු සේ ය. ගමේ පාසලෙන් ශිෂ්‍යත්වය සමත් වී ඔහු කොළඹ ප්‍රධාන ම පිරිමි පාසලකට ඇතුළත් ව අධ්‍යාපනය ලැබුවේ ය. පොඩි කාලේ සිට ම විසල් ගමේ පිරිමි ළමයින් ඇසුරට ගියේ නැත. ගමේ ළමයින් සිය වැඩිහිටියන් වෙතින් දැනගත් කාරණා නිසා පියා ගැන විමසා ඔහු ට මානසිකව අතවර කිරීම නිසා ඔහු ඔවුන්ගෙන් දුරස් ව සිටියේ ය. නමුත් ගමේ ළමුන් අතරෙ දී විසල් ඔවුන්ගෙන් විශේෂයෙන් කැපී පෙනෙනා දරුවෙකු වූයේ ය. ඔහු ට වූයේ මේධාගේ සුන්දරත්වයත් රාජිත ගේ කඩවසම් බවත් එකට එක් වූ අපූරු පෙනුමකි. ඒ වූ කලී අන්ත දුගී පවුලක ළමයෙකුට නොව වත්කම් ඇති වංශවත් පරපුරක දරුවෙකුට පිහිටන ආකාරයේ දිව්‍යමය රුවකි. ඔහු වැඩිහිටි වූයේත් ඒ විශේෂ පෙනුමත් සමඟමයි. සුළු කම්කරු රැකියා වලට පුතු යනවාට අම්මා එකහෙළා විරුද්ධ වූයේත් එබැවිනි. නමුත් පෙර දා රාත්‍රියේ වාඩියේ පිරිමින් සමග ඔහු මීවිතක් තොල ගා ඇති බව දැනගත් වේලේ මේධා ගේ හදවත නාය ගියේ ය. ඒ රැයේ නිහඬව සිටියත් හැන්දෑවේ පොළේ යන ගමන් ඇය ඒ ගැන සිය වේදනාව විසල් ට දැනෙන්නට හැරියා ය.
‘ඔයා මේ බත් තම්බන වැඩේ දිගටම කරනවට මගෙ කිසි කැමැත්තක් නෑ පුතා. ඔයා ආශ්‍රය කරන්න ඕනෙ වැදගත් මිනිස්සුංව. ඔයා ඉන්න ඕනෙ වැදගත් සමාජෙක. නැතුව මේ කුළී වැඩ කරන මිනිස්සු ඉන්න වාඩියක නෙවෙයි. මං කියන දේ ඔයාට තේරෙනව ඇති. මේ වැඩෙන් කීයක්හරි අතට ඇවිත් අර මනුස්සයගෙ ආඩම්බර බලන්නැතුව කන්නහරි පුළුවන් තමයි. ඒත් ඔයා ඉන්න ඕනෙ මෙතන නෙවෙයි පැටියො. ඔයා නාස්ති වෙයි කියල මට බයයි. අම්මගෙ හිත හරියට වද දෙනව මේ ගැන…’
අම්මා අදහස් කරන්නේ කුමක්දැයි විසල් ඉඳුරා දනී. කතා නොකර ම කාමරයට ගියත් අම්මා ඔහු ගේ බීර හොරය අල්ලාගත් එක ගැන ඔහු තුළ පසුතැවීමක් උපන.
‘අඳුරට සාප කරනවට වැඩිය එක පහනක්හරි පත්තු කරගන්න එක වටිනව කියනවනෙ අම්මෙ. මං ජොබ් එකක් හොයනව තමයි’
ඔහු ඒ පවසාගත්තේ අසීරුවෙනි. ගෙදර හැරී ගොස් ඇඳුම් මාරු කරගෙන නැවත පිටත් වීම ගැන ද අම්මා කෙසේ සිතන්නට ඇති ද යන ප්‍රශ්නය දැන් හිතට වද නො දෙනවා නොවේ. නමුත් කවර හේතුවක් නිසාවත් මේ ගමන නොයා ඉන්නට ඔහු ට නුපුළුවන.
විසල් ට ගේට්ටුව විවර කරන්නට ජාන්වී පැමිණියේ සව්මිය වඩාගෙන ම යි. ටික වෙලාවක පටන් ඔහු වඩාගෙන ඉන්නයි ඇයට කරදර කළේ ය. නමුත් විසල් දුටු ගමන් මැලවී ගොස් තිබි මොළකැටි මුව මලක් සේ පිපුණි. සිනහවෙන් පිරීගෙන ඔහු විසල් දෙසට දෑත් පෑවේ ය. විසල් ජාන්වී අතින් පුංචි සව්මිය ඔහු වෙතට ගත්තේ ඇගේ දෑස් මගහරිමිනි.
‘දැං අම්මි ඕන්නෑ. හ්ම්…’
ජාන්වී පුතුට ආදරණීය නෝක්කාඩුවක් පෑවා ය. සිඟිත්තා හඬ නගා සිනහ වෙන ගමන් අම්මා ගේ ගෙල වටා අතක් යවා ඇගේ හිස ඔහු වෙතට ඇදගත්තේ ය. ඒ අහම්බයේ දී විසල් ට ඇගේ හිස කේ වල සුවඳ පවා ළඟින් ම දැනිණි.
‘අම්මියි තාත්තියි දෙන්නම ඕනෙ බබාට’
ජාන්වි වහා විසල් දෙස බැලුවා ය. නමුත් ඔහු ඇගේ ඇස් හමු වන්නට පෙර සව්මිය ගේ සිනිඳු කොපුලක් සිපගත්තේ ය.
‘මොනාද බොන්නෙ විසල්…තේ ද කූල් ඩ්‍රිංක් එකක්ද…’
වෙනසක් නො හඟවා ජාන්වි ඒ ප්‍රශ්නය නැගූයේ ඔවුන් දෙදෙනා වෙතින් ඉවත් වී යන්නට බලාගෙනයි. නමුත් විසල් ඉක්මන් පිළිතුරකට නොයා සව්මිය ගේ උදරය සිපගත්තේ ය. ඔහු හඬ නැගෙන සේ සුරතල් සිනහ පෑවේ ය. පිළිතුරක් වෙනුවෙන් ජාන්වී පමා වෙමින් සිටියා ය.
‘බඩගිනියි’
ඔහු එහෙම කීවේ ජාන්වී ට ද නැත්නම් සව්මියට ද ඒත් නැත්නම් තමන්ට ම ද කියා වෙන් කොට හැඳිනගත නො හැකි වූ තරමි. ජාන්වී දෑස් විදා ඔහු දෙස බලා සිටියා ය.
‘ඔයා කාල නෙවෙයිද ඉන්නෙ විසල්…’
ඔහු ගේ මුවග ඇඳුණේ සිනහවකි. පෙර දා රාත්‍රියේ ඇඳට වැටුණේ හිස් බඩින් බව ඔහු ට මතක ය. උදේ ආහාරය කියන්නේ විසල් කවදටත් තැනක් නොදුන්නකි. තිබුණොත් යමක් කෑවේ ය. නැතහොත් හිස් බඩ සිටියේ ය. එය පුරුද්දට ගිය විට, යමක් තිබී මේධා සිහිපත් කළ ද කන්නට කම්මැළිකමක් ඔහු ට විය. වාඩියට ගෙන යාමට දවල් කෑම වේල සරුවට පිසුව ද ඇයිදෝ මන්දා කෑම රුචියක් ඔහු ට නොවිණි. බෙදා ගත් බත් ස්වල්පය පවා අත පත ගෑවා පමණකි.
‘මොකද කන්න බැරි…’
මේධා ගේ ඇස් මත රහස් පරීක්ෂක සැකයක් විය. පසුගිය දින කිහිපයේ සේ විසල් හොඳින් හැඳ පැළඳ හවස ගෙදරින් පිටතට නො යාමත්, රැයේ වාඩියේ සිට එන විට දැනුණ බීර පුසුඹත් එකට ගලපාගන්නට ඕ උත්සාහ දරමින් සිටියා විය යුතු ය. ඔය හැම තැනක ම කෙල්ලක සිටිය නො හැකි ද යන පැනය ඇගේ හිතෙන් නැගී සිටින්නට පටන්ගෙන තිබේ.
මෙතෙක් නො දැනී තිබි කුසගින්න මේ හදිසියේ දැනුණේ ඇයි?
‘ඉන්නකො ටක්ගාල මොනාහරි හදල ගන්න’
කියමින් ජාන්වී ගෙතුළට ගියා ය. කෑම කන්නට සිටින්නේ ඇය හා අමිතා පමණක් වන නිසාවෙන් ජාන්වී ගේ ගෙදර බත පිසෙන්නේ උදයට හා දවල්ට එකටයි. ඉතිරි වූ කෑම සීතල වී ඇති නිසා විසල් ට ඒවා කන්න දෙන්න ජාන්වී ට සිතුණේ නැත. එබැවින් ඕ ඉක්මන් කොට සැමන් පිරවුමක් යොදා සැන්ඩ්විචස් කිහිපයක් පිළියෙළ කළා ය. පෙර දා සාදන ලද කට්ලට් ටිකක් ශීතකරණයෙහි ඉතිරි වී තිබුණෙන්, ඒවා බැද ගත්තා ය. විසල් ට වූ බඩගින්න කෙතරම් ද යත් ඔහු ඒවා කෑවේ දිව්‍ය භෝජනයක් මෙනි. කිරි කහට එකක් ද බී නැගිටින විට කුස සේ ම හිත ද පිරී තිබිණි.
‘කොහොමද විසල් බිස්නස් එහෙම…’
ජාන්වී ගේ ඒ පැනය, කතා කරන්නට යමක් අවැසි නිසා නිකමට ඇසුවකි. මීට පෙර විසල් විසින් ඔහු ගේ වෘත්තිය ලෙස ඇයට පවසා තිබුණේ ‘බිස්නස් එකක් පොඩියට කරනව මැඩම්’ යනුවෙනි. අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් කළ බොන්සායි බෝ පැළය ඒ වෙලාවේ ඇය ට සිහි විය.
‘කරං යනව’
ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නේ ය.
‘මන් දන්නෑ ඔයාට ටයිම් තියේද කියලනං. මට ඩව්රි එකට අපේ තාත්තගෙන් ලැබුණ රෙස්ටොරන්ට් එකක් තියනව. බබාගෙ තාත්ත තමයි ඒක කරගෙන හිටියෙ. එයා ගියාට පස්සෙ… පුතා එක්ක මටත් වැඩිය බලන්න බැරිවෙන නිසා… මං දන්නව ගොඩක් එතන වංචා සිද්ධවෙනව. මන්දන්නෑ විසල් මේ අවුල් කොහොම ලිහාගන්නද කියල. අලුත් මැනේජර් කෙනෙක් ගත්තත්… ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද කියල හිතෙනව. ඔයාට පුළුවන්කමක් තියෙයිද එතන වැඩටික බලාගන්න… නැත්තං ඔයා දන්න විශ්වාසවන්ත කවුරුහරි ඉන්නවද… අනේ එහෙම කවුරුහරි හොයල දෙන්න පුළුවන්නං ලොකු උදව්වක් විසල්’
සිද්ධ වෙන්නට යන කිසිවක් ගැන නිශ්චිත අදහසක් විසල් වෙත වූයේ නැත. සමහර දේවල් සිදු වනුයේ කල් ඇතිව විශ්වයෙහි ලියැවී ඇති සැලසුමකට අනුව ද?


