හදේ කොතැනක හෝ හිඳී – 11

0
3687

මේධා අළුයම පිබිද කිරිබතක් පිළියෙළ කළා ය. පෙර දා ඇය කෝලිකුට්ටු කෙසෙල් ඇවරියක් ගෙනවිත් තිබූ අතර, උම්බලකඩ ටිකක් යොදා කට්ට සම්බලයක් ද පිළියෙළ කළා ය. සේනක ට අතපාන්නේ නැතිව විසල් වෙනුවෙන් ඒ වගේ පුංචි දෙයක් හෝ කරගත හැකි වීම ගැන ඇයට වූයේ ඉසිහින් සැනසුමකි.

විසල් කඩවසම් මහත්මයෙකු සේ සැරසී සිටියේ ය. ඔහු ඇන්දේ අම්මා තෝරා දුන් ලා දම් පාට කමිසයක් හා ජාන්වී තිළිණ කළ කළු පාට කලිසමකි. මේ තෝරාගැනීමේ තීන්දුව ගන්නට ඔහු බෝ වෙහෙස වූයේ ය. අම්මා තෝරා දුන් ඇඳුමක් මුල් ම දිනයේ අඳිනවා ද නැත්නම් ජාන්වී විසින් තිළිණ කරනු ලැබූ ඇඳුම් කට්ටළයක් අඳිනවා ද යන්න බරපතල තීරණයක් විය. ඔවුන් දෙදෙනා දෙ ආකාරයකින් ඔහු ගේ ජීවිතයට ආලෝකය රැගෙන ආ දෙදෙනායි. ඔවුන් දෙදෙනා ට ම සාධාරණයක් කරනු වස් ඔහු අවසන මේ තීරණය ගත්තේ ය.

 කෑම මේසයට හිඳගත්දී, කෙසෙල් ඇවරිය දැක විසල් ගේ මුව මත සිනහවක් නැගුණේ අතීත සිද්ධියක් මතක් වීමෙනි. එදා සේනක ගේ දෙදරන්නට කෑ ගසා පුංචි විසල් ගේ කන් පෙත්තක් රිදෙන්නට මිරිකුවේ ඔහු ගෙනා ඇඹුල් කෙසෙල් ගෙඩියක් කෑවා කියා ය! ඒ පොඩි කොල්ලා උස් මහත් වූ දිනෙක ඒ බව මතක තිබෙනු ඇතැයි ඔහු ට නිකමට හෝ  සිතුණේ නැති ද?

මේධා නෙතු පිරෙන්නට පුතු දෙස බලා සිටියා ය. අද නම් ඔහු හැඩකාර නළුවෙකු තරම් කඩවසම් ය. රාජ කුමාරයෙකු වාගේ නෙතු වශීකරගන්නා සුළු ය.  ‘ඇස්වහක් කටවහක්නං වදින්නෙපා’ යි ඕ සිතින් සිතුවා ය.

‘කෝ මගෙ ශර්ට් එක…’

සේනක කාමරයේ සිට ගුගුළේ ය. ඔහු ගේ හඬෙහි වූයේ නො රිස්සුමකි. වෙනදා වාගේ මේධා ට බිය මුසු කලබලයක් දැනුණේ නැත.

‘ඔතන ඇති අනේ’

ඇය විසල් අසල සිට ම කීවා ය.

‘ඔතන ඇති කියන්නෙ කොතනද ඕයි… ඇයි ඇවිත් ඒක හොයල දෙන්න බැරිද අද… තමුසෙට රාජ ඌෂ්ණෙ ගහලද…’

විසල් ගේ සිත්හි කෝපයක් නැඟිණි. අම්මා නිහඬ ව ඉන්නට ඉන්නට සේනක ඇගේ හිසට අත සෝදන බව ඔහු කුඩා කල සිට ම බලාගෙන සිටියේ ය. අම්මා මේ තරම් දේවල් ඉවසා දරා හිඳිනුයේ තමන් නිසා බව ද ඔහු ඉඳුරා දැන සිටියේ ය. නමුත් මෙතුවක් කල් යන්තමින් කන්නට හා ඉන්නට තැනක් දුන් මිනිසාට වචනයක් කියන්නට බැරි කමට ඔහු තවත් ඉවසා හිඳී.

‘ඔක්කොම අතට වඩම්මන්නෝනෙ’

මේධා කුටු කුටු ගෑවා ය.

‘අම්ම යන්න’

විසල් පහළ මුත් ඍජු සරකින් මිමිණුවේ ය. මේධා තවත් මොනවාද කුටු කුටු ගාමින් කාමරය දෙසට ගියා ය. සේනක ගේ හඬ ඇසුණත් විසල් ඒ ගැන අවධානය යොමු නො කළෙන් ඔහු ට ඒවා පැහැදිලි වූයේ නැත.

මේධා යළි පැමිණෙන විට විසල් කෑම මේසයෙන් නැගිට අවසාන ය.

‘අනේ ඉතිං ඔය කාල ඉවරද පුතා…’

‘ඇති අම්ම. බඩ පිරෙන්න කිරිබත් කාල ගිහිං පළවෙනි දවසෙම පැත්තක් අල්ලං නිදාගන්න වෙයිද දන්නෑ’

ගෙදරින් පිටත් වීමට පෙර විසල් ලවා මේධා බුදු පහන දැල්වූවා ය. ඔහු අම්මා ගේ දෙපා නමැදුවේ ය.

‘මගෙ රත්තරංට තුණුරුවන් සරණයි. හැම දෙවියෙක් ම රැකගන්න ඕනෙ මගෙ පුතාව’

විසල් සිය නැඟණිය අනගි වෙත ගොස් ඇගේ හිස සිපගත්තේ ය.

‘තොකලට් ගේන්න’

ඇය නො දැරියක සේ කීවා ය. කාමරය අසලට ගිය විසල්, තිර රෙද්ද මෑත් නො කර ම ‘මං යනව අංකල්’ කියා කීවේ ය. වෙනස්කම් කරමින් වුව මෙතෙක් ඔහුගෙන් ලැබුණු ස්වල්ප හෝ යමක් වෙනුවෙන් ඒ කෘතගුණ සැලකීම නො කළේ වී නම් එය ඔහු ගේ හිතට පහසුවක් නො දනවනු ඇත.

‘ආ හරි හරි’ යනුවෙන් මූණිච්චාවට කීවා විනා සේනක කාමරයෙන් පිටතට පැමිණියේ නැත.

අවන්හල වෙත යා යුත්තේ ජාන්වී සමගිනි. එබැවින් ඔහු මුලින් ම නාවල සමන් මාවතට යා යුතුව තිබිණි. කදිමට හැඳ පැළඳි විසල් වෙතින් ජාන්වී පෞරුෂයෙන් අනූන කළමණාකරුවෙකු දුටුවා ය.

‘බලන්නකො අද විසල් අංකල්ගෙ ලස්සන… නේ බබා…’

සව්මිය ඇගේ කම්මුල් දෙකෙන් ම අල්වා අම්මා ගේ මූණට එබීගෙන ‘මගෙ තාත්ති’ යයි අවධාරණය කළේ ය. ජාන්වී ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. විසල් ගේ මුව මත නම් අඩ සිනහවක් පිපී තිබිණි.

ජාන්වී ගේ ගෙදර කෑම මේසය අවුරුදු මේසයක් සේ වූයේ ය. සව්මිය විසල්ව ඒ වෙත ඇදගෙන ගියේ ය.

‘අම්මත් කිරිබත් ඉව්ව’

ඔහු ට එහෙම කියවිණ.

‘මං හිතුව ඔයාගෙ අම්ම කිරිබත් උයන්න ඇති කියල. ඒත් අපිත් හැදුව ඉතිං… අපිටත් අද සුබ දවසක්නෙ’

උදයෙන් ම විසල් හමුවීම නිසා සව්මිය ප්‍රීතිමත් ව සිටියේ ය. පෙර පාසල් යාමට සූදානම් වී සිටි ඔහු, විසල් නිසා ඒ ගමන නතර කොට සෙල්ලම් කරන්නට සැලසුමක් හැදුවේ ය.

‘නර්තලි යන්න බෑ අද… බබාගෙ බඩ සිදෙනව’

මේධා සිනහව සිර කරගත්තා ය. විසල් හඬ නගා හිනැහෙමින් සිඟිත්තා තුරුලු කරගත්තේ ය.

‘අද නර්සරි යන්න මාත් එනවනෙ. යං හොඳේ. හවසට මං එනවනෙ ඉතිං සෙල්ලං කරන්න’

‘මාව නර්තලි දාන්නෙ ඔයාද…’

‘ඔව්නෙ. යමුද…’

‘යං. බබා තාත්ති එක්ක නර්තලි යනවා’

ඔහු ප්‍රීතිමත් උද්දාමක් විදහා පෑවේ ය. කිසිවෙකු ට නො දැනෙන සේ ජාන්වී සුසුමකින් පපුව පුරවාගත්තා ය.

ඊයේ අමතක වීමක් නිසා විසල් ට දෙන්නට බැරි වූ තිළිණයක් තිබිණි. ඒ බෑග් එකෙහි වූයේ විවිධ වර්ණ වල ටයි පටි කිහිපයකි. ජාන්වී ඉන් තද දම් පාට පසුබිමේ කළු පාටින් ඉසිහින් මෝස්තරයක් වැටුණ ටයි පටිය ගෙන විසල් ගේ ගෙලෙහි පැළඳුවා ය.

‘සේවරි සිම්ෆනි එකේ මැනේජර් වුණාම ලස්සනට ඉන්නෝනෙ. එතකොට තමයි ගෑනු ළමයි හැමදාම කෑම කන්න එන්නෙ’

ටයි පටිය ගෙල පළඳමින් ඇය සැහැල්ලුවෙන් එසේ පැවසී ද ඒ අතරේ විසල් නම් හිටියේ හුස්මක් පවා නො ගනිමිනි.

ජාන්වී සියල්ල පිළිවෙලට සූදානම් කළා ය. මුලින් ම පෙර පාසල අසලට ගොස් සව්මිය එහි දමා සේවරි සිම්ෆනි වෙත යාම ඇගේ සැලසුම විය. වෙනදා වාගේ පෙර පාසල් යැවීමට සව්මියගෙන් කරදරයක් නොවීම නිසා ඇගේ හිත සැහැල්ලුවේ පැවතිණ. රියදුරු අසුනට යාබද අසුනේ සව්මිය හිඳගත්තේත් විසල් ගේ උකුළේ ය.

‘ඔයා එන්නෙපා. මං අද තාත්ති එක්ක යන්නෙ’

පෙර පාසල ළඟදී රිය නවතා ජාන්වී ආසන පටිය ගලවත්දී ම සව්මිය කීවේ ය. ඔහු රියෙන් බැස්සේ ද විසල් සමඟමයි.

‘අනේ බබා විසල් අංකල් දන්නෑනෙ…’

‘තාත්ති හොඳයි. ඔයා එන්න එපා…’

ඔහු බෑගය පිටේ එල්ලාගෙන විසල් ගේ අතින් අල්වාන ගේට්ටුව වෙත ගියේ ප්‍රීතිමත් ආඩම්බරයෙනි.

‘මේ මගෙ තාත්ති’

ගේට්ටුව ළඟදී ඔහු සිය කුඩා මිතුරෙකුට සතුටෙන් කීවේ ය. ගේට්ටුවෙන් ඇතුළට ගොස් ‘බායි තාත්තී’ කියා හඬගෑවේ ය. හුරු පුරුදු රිදුමක් විසල් ගේ මතක පුරාණයෙන් නැගී ආවේ ය. පාසලට දරුවන් කැටිව එන තාත්තලා දෙස බලමින්, තමන්ට නැති පියෙකු ගැන සංකා හැඟීමකින් ගත කළ ළමා වියක් ඔහු ට තිබේ. එදා ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන්නට තාත්තෙකු සිටියේ නැත. නමුත් අද ඔහු ට තාත්තෙකු ලෙස පෙනී සිටීමේ අවස්ථාව ලැබී තිබේ.

‘අනේ ඔයාට අන්කම්ෆටබල් ඇති සව්මිය තාත්ති කියනකොට. අපි තව චූටි දවසක් බලමු විසල්. සමහර විට තව ටිකක් ලොකු වෙනකොට ඒව මගෑරෙයි කියල ඩොක්ට කිව්ව’

ජාන්වී අසරණ සරකින් මිමිණුවා ය. විසල් ලොකු හුස්මකින් පෙනහලු පුරවාගත්තා මිස වාචික ප්‍රකාශයක් නො කරන්නට වගබලා ගත්තේ ය.

සේවරි සිම්ෆනි වූ කලී සුඛෝපභෝගී අවන්හලකි. නගර මධ්‍යයෙහි සෞන්දර්යාත්මක පරිසරයක් නිර්මාණය කොට ගොඩනගා තිබි එහි, ඉහළ පැළැන්තිය වෙනුවෙන් දෙස් විදෙස් භෝජන සැකසෙන විශාල මුළුතැන්ගෙයක් ද, ආපනාශාලාවක් හා පෞද්ගලික වශයෙන් ආහාර රසවිඳිත හැකි ලෙස වෙන් කළ විවිධ අසුන් ප්‍රමාණ පැනවූ කොටස් ගණනාවක් ද විය. කුඩා කාර්යාල කාමරයක් හා ඊට යාබද ගිනුම් අංශය තුන්වෙනි මහළෙහි පිහිටා තිබිණ. ආදායම් හා වියදම් සම්බන්ධයෙන් සියලු කාරණා සිදු වූයේ ගිනුම් අංශය මූලික කරගෙනයි. අවන්හල් සේවකයන්ගේ වැටුප් සැකසීමේ වගකීම් ද පැවරී තිබුණේ ගිනුම් අංශය වෙතටයි.

ජාන්වී සියලු සේවකයන් වෙත ක්ෂණික කැඳවීමක් කළා ය.

‘මේ විසල් සර් තමයි මීට පස්සෙ සේවරි සිම්ෆනි එකේ මැනේජර්. මට මේක ගැන බලන්න ටයිම් එකක් නැති නිසයි විසල්ට මං මේක බාරදුන්නෙ. එයා අපේ පවුලෙ ඥාතියෙක්. මං බලාපොරොත්තු වෙනව ඕගොල්ලො විසල් සර්ට මේක හොඳට කරං යන්න උපරිම සහයෝගය දෙයි කියල. එහෙම නොවුණොත් අපිට සිද්දවෙයි දවසක මේක වහල දාන්න. අන්න එදාට ඕගොල්ලො හැමෝටම මේ ජොබ්ස් නැති වෙලා යාවි. ඒක නිසා… සේවරි සිම්ෆනි රැකගන්න ඕනනං… විසල් සර්ට උපරිම සහයෝගය දෙන්න. එයාට මේක අලුතෙන් ගොඩනගන්න ඕනකරන ශක්තියයි හැකියාවයි දෙකම තියනව කියල මං විශ්වාස කරනව. ඉතිං… මෙතන මං වෙනුවෙන් තමයි විසල් සර් ඉන්නෙ. මාව තමයි එයා නියෝජනය කරන්නෙ. ඒ නිසා… ඕගොල්ලො එයාට අවශ්‍ය විදිහට මෙතන වෙනස්කම් කරල අලුතෙන් ඩිවෙලොප් කරන්න සහයෝගය දෙන්න ඕනෙ. ඒක ඕගොල්ලො මට දෙන සහයෝගයක්ම තමයි…’

කතා කළ මුළු කාලය පුරා ම ජාන්වී ගේ මුහුණ මත සිනහවක් විය. එසේ ම අනාගතය ගැන බලාපොරොත්තුවක් හා විශ්වාසයක් විය. විසල් ඇගේ මුහුණ දෙස ම බලා සිටියේ කියාගන්නට නො තේරෙන බරක් හදවත මත පටවාගෙනයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here