හදේ කොතැනක හෝ හිඳී – 16

0
2340

ඉනික්බිති විසල් වැඩිපුර ගෙදර රැඳුණේ ම නැත. ඔහු උදයෙන් ම නිවසින් පිටත්ව ගිය අතර, රෑ බෝ වන තුරු ම සේවරි සිම්ෆනි හි රැඳී සිටියේ ය. හවසට සේනක එන්නට පෙර ගෙදර විත් මේධා සමගින් ටික වෙලාවක් ගතකොට ඇඳුම් මාරු කරගෙන නැවත ද අවන්හලට යයි. ඒ ජාන්වී ගේ ගෙදරට ද ගොඩ වී ය. උදයට ඔහුව ගෙදර ගෙන්වා ගන්නා එක සව්මිය විසින් ස්ථිර පුරුද්දක් බවට පත් කරගන්නා ලදී.

ගෙදරින් කෑම කන එක අත්හැර දමන්නට විසල් තීරණය කළේ ය. නමුත් අම්මා ගේ හිත රිදෙතැයි සිතා ඔහු මේධා ට ඒ බවක් වාචික ව පැවසුවේ නැත. රෑ කෑම අවන්හලෙන් ගන්නා බව කියා පමා වී ගෙදර විත් ඇඳට වැටීම පුරුද්දක් කරගත්තේ ය.

හවසට ගෙදර පැමිණි විට පුතු ට බත් ටිකක් කවා ගන්නට මේධා පෙරැත්ත කරයි.

‘කන්න බෑ අම්මෙ. මං කාලනෙ ඉන්නෙ’

කියා කීවාට අම්මා ගේ හිත රිදවන්නට බැරි කමට, ඇය විසින් කවනු ලබන බත් කටවල් කිහිපයක් කන්නට ඔහු ට සිදු වේ. බත් කවන අතරේ මේධා විසල් ළඟින් වාඩි වී ආදරයෙන් ඔහු දෙස බලාහිඳී. ඔහු ගේ හිස පිරිමදී. දෑත් පිරිමදී. මේ හදිසියේ විසල් වෙතින් පරිනත පෙනුමක් දිස්වන්නට පටන්ගෙන ඇතැයි ඔහු දෙස බලා හිඳින අතරේ දී ඇය සිතයි. එතකොට හිතට දැනෙනුයේ සතුටක් ද නැත්නම් සංවේගයක් ද කියා වෙන් කොට හැඳිනගන්නට ඇය අපොහොසත් ය. ඇතැම් විට ඒ දෙකෙහි ම මිශ්‍රණයක් වීමට පිළිවන. ඔහු ලොකු වී ලොකු රැකියාවක් කරන ලොකු මහත්මයෙකු වූ එක ගැන ඇය ට සතුටු ය. නමුත් ඔහු මේ තරම් ඉක්මනින් ඇගේ තුරුලෙන් මිදී ගිය එක ගැන ඇයට දුක ය. තවත් ටික කාලයක් අග හිඟකම් මැද හෝ පුතු තුරුලු කරගෙන ඉන්නට තිබුණා නම් යයි පාළු හදවත කොඳුරා කියයි.

‘ඇති අම්මෙ ඇති ‘ යයි විසල් කියත්දීත් මේධා ‘තව එක කටක් කන්න පුතේ’ කියමින් එක් බත් කටක් හෝ වැඩිපුර කවාගන්නට බලයි. විසල් ගෙදර බත ප්‍රතික්ෂේප කිරීම ගැන ඇයට දුක ය. නමුත් අනිත් අතට ඔහු සේනක ගේ බත් නො කෑම ගැන ඇගේ මාතෘ හදවත ආඩම්බරයෙනි.

විසල්ටත් එක්ක කෑම පිළියෙළ කිරීම ජාන්වී ගේ ගෙදර සාමාන්‍ය පුරුද්දක් බවට පත් විය. ඔහුත් ඒ ගෙදර කෙනෙකු සේ දැනෙන්නට ඒ තරම් කාලයක් ගියේ නැත. පිරිමියෙකු නැති ගෙදර මොන දේ වුණත් විසල්‍ගෙන් අහන්නටත් ඔහු ට කියන්නටත් ඔහු ගේ අදහස් විමසන්නටත් ජාන්වී පෙළඹෙමින් සිටියා ය. ඒ ගෙදර විදුලි බල්බයක් මාරු කරගන්නට ඕනෑ වුණත්, ගෙදර අලුත් වැඩියාවක් කරගන්නට ඕනෑ වුණත් විසල් නැතිව බැරි විය.

අවන්හලේ නිරන්තර විවිධ වර්ග වල අහර පිළියෙල වේ. එබැවින් විසල් ට තුන් වේල එයින් සපුරා ගැනීමේ අපහසුවක් නැත. නමුත් ජාන්වී ගේ ගෙදර ඔහු වෙනුවෙන් කෑම මේසය සැකසිණි.

‘විසල් මහත්තය මේව කනවද දන්නෙත් නෑ’

හැමදාම උයන්නට පටන් ගත්දී අමිතා එසේ පවසයි. එතකොට ජාන්වී ගේ මුවග මඳහසක් මැවේ.

‘දැන් අමිතා හිතන්නෙ විසල් මහත්තය කන නොකන ඒව ගැන විතරයි. මායි බබයි අමතකම වෙලා’

එය බොරු නෝක්කාඩුවකි. අමිතා හඬ නගා හිනැහේ.

‘අපෙ අප්පේ අපෙ නෝනා ඉතිං ඕන දෙයක් වදයක් නැතුව කනවනෙ. විසල් මහත්තයත් මොනා උයල තිබුණත් සද්ද නැතුව බිම බලාගෙන කනව තමයි. හැබැයි නෝනෙ මං දැකල තියනව සමහර එළවළු ජාති බෙදාගන්නෑ. හොරා වගේ තියන අනිත් දෙයක් එක්ක කාල නැගිටිනව. කට පුරා මහත්තය කියන්න පුළුවන් සීදේවි මහත්තයෙක් ඒ නං’

ඒ වර්ණනා ගැන ජාන්වී වදනක්වත් නො පවසයි. අමිතා උයන ඇතැම් කෑම වර්ග ඊට වැඩිය රසවත්ව පිසිය හැකි බැව් ජාන්වී දනී. නමුත් අමිතා ගේ හිත රිදවනු වස් එවැන්නක් නො කියයි. ඒ වෙනුවට, ඇයට හැකි වෙලාවට ඈ විසින් ම ව්‍යාංජන ඒදා රස පදමට එක් කොට දෙයි. එසේ කළ නො හැකි වී නම් කටගැස්ම වෙනුවෙන් ඉක්මනින් යමක් සූදානම් කොට ගනී. ඇය බිත්තරයක් පෑන් එකට දමා ලුණු ගම්මිරිස් ටිකක් ඉස ගත්තත් එහි විශේෂ රසයක් වන බව විසල් ද නො දන්නවා නොවේ. අමිතා ගේ ව්‍යාංජනයක් බත් පතෙහි කොනක ඉතිරි වූවත් ජාන්වී පිළියෙළ කළ යමක් ඔහු ඉතිරි නො කරන්නේ ඒ ජාන්වී පිළියෙළ කළ ව්‍යාංජනයක් බව කිසිවෙකු විසින් පවසන ලද හින්දා නොවේ. ඔහු ඒ රසයට රිසි හින්දා ය.

‘මෙහේ කෑම තියන්න එපා. මට රෙස්ටොරන්ට් එකෙන් කන්න පුළුවන්නෙ’

දින කිහිපයකට වතාවක්වත් විසල් එසේ පවසන්නේ ය.

‘අනේ විසල් එතන චෙෆ්ල කටට රස කරන්න ලෝකෙ තියන තරං රසකාරකයි තෙලුයි දානව කියල මං දන්නවනෙ. නිතර නිතර ඕව කන්නෙපා. අන්තිමට කොලෙස්ටෙරෝලුයි ශුගර්යි කිඩ්නි කේසුයි… රටේ නැති ලෙඩ තමයි. ගෙදර තෙල් අඩුවට හදන කරී දෙකක් එක්ක බත් ටිකක් කෑවත් ඇති’

එතකොට ජාන්වී නිස්කාන්සුවේ විස්තර කරයි.

‘මං ඒත් චෙෆ්ලට කීප දවසෙ කියල තියෙනව. ඔය රසකාරක වැඩිය දාන්නෙ නැතුව ඉඟුරු සුදුලූණු පේස්ට් එක හදල ගන්න බැරිද කියල… මොනා වුණත් කන්න එන්නෙ මිනිස්සුනෙ අප්ප. එතකොට ඒගොල්ලො හිනාවෙනව. එහෙනං මැඩම්ට ඇවිත් තමයි උයන්න වෙන්නෙ කියල’

ජාන්වී ගේ දෑස් හි වන සන්සුන් බව, සියල් අවස්ථාවලදී නො වෙනස් බව මේ ටික දවසට විසල් නිරීක්ෂණය කොට තිබේ. එය හරියට ම මේධා ගේ දෑස් කරුණාවට සමාන ය. ඒ අම්මලාගේ ඇස් වල හැටියක් ද?නො එසේ වී නම් ගැහැනුන් ගේ ඇස් වල හැටියක් ද? ඔහු ඒ තරම් ගැඹුරෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු සොයන්නට යන්නේ නැත.

විසල් ගේ මුල් ම වැටුප ඔහු ගේ බැංකු ගිනුමට බැර වූ දා ඔහු ඒටීඑම් යන්ත්‍රයට කාඩ් එක දමා ශේෂය විමසූයේ වැටුප ගැන කිසි දාක ජාන්වී ඔහු සමගින් කතා නො කළ බැවිනි. යන්ත්‍රයේ දත්ත වලට වැරදීමක් වී ද කියාත් ඔහු ට සැකයක් ඇති විය. බැංකුවේ සිට කෙලින් ම ඔහු නාවල සමන් මාවත ට ගියේ ය.

‘අද අකවුන්ට් එකට සැලරි වැටිල කියනව. එච්චර ගාණක්… මං දන්නෑ වැරදිලද කියල’

ජාන්වී වෙනසක් හැඟවූයේ නැත.

‘පුතාගෙ තාත්ත සේවරි සිම්ෆනි බලාගත්ත කාලෙ එයා ගත්ත සැලරි එක තමයි ඔය. ඒ ගානෙ කිසි වෙනසක් කරල නෑ විසල්. ඔයා ඒ සැලරි එකට ඩිසර්ව්’

විසල් මොහොතක් නිරුත්තර ව ජාන්වී දෙස බලා සිටියේ ය. අනපේක්ෂිත මොහොතක ඈ ඔහු අභියස පහළ කරන ලද්දේ ඉරණමෙහි කවර අරමුණ වෙනුවෙන්දැයි ඔහු නො දනී. නමුත් ඈ හමු වූ දා පටන් බොහෝ දේ ඉක්මනින් වෙනස් වෙන්නට පටන් ගත් බව දැන් ඔහු දනී. කාලයක් තිස්සේ ඔහු ගේ ඉල්ලීම් හා බලාපොරොත්තු දෙස නෑසූ කන් ව බලා උන් හෝ අහක බලාගෙන උන් දෙවියන්, ඉෂ්ඨ දේවතාවක ඔහු ඉදිරියෙහි ප්‍රාදූර්භූත කරන්නට තරම් කරුණාවන්ත වූ සේක් ද?

විසල් ගේ ඇස් වල තෙතමනයක් පැතිරෙමින් තිබිණ. ඔහු ජාන්වී වෙතින් ඉවත් කරගත් දෑසින් ඉවත බලාගෙන ඒ කඳුළ එක්ක ටික වෙලාවක් පොරබැදුවේ ය.

‘හැබැයි ඉතිං සැලරි ගත්තට පස්සෙ නිකංම බෑ… අපිට හොඳ ට්‍රීට් එකක් ඕනෙ’

එය විහිළුවකි. ඒ මොහොතේ පැවති කඳුළු වල බර ගතිය තුනී කොට හරිනු වස් ජාන්වී විසින් කරන ලද විහිළුවකි.

‘මට උදව්වක් කරනවද…’

‘කියන්න විසල්. ඕනදෙයක් කරන්නං’

‘මට අම්මට ගිෆ්ට් එකක් ගන්නෝනෙ. අම්මට කරාබු දෙකක් ගන්නෝනෙ. මට එකක් තෝරල දෙන්න’

‘අයියෝ… ඉතිං අපි දැං යං ජුවෙලරි ශොප් එකකට’

‘අම්මගෙ කන් දෙකේ ඉස්සර චූටි තරු කරාබු දෙකක් තිබුණ. මං ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ බෝයිස්කූල් එකට යන වෙලේ ගොඩක් දේවල් අලුතෙන් ගන්න වුණා. යුනිෆෝම්… සපත්තු…පොත්…බෑග්…තව තව වියදම් වගේකුත් තිබුණ. ඒ වෙලාවෙ අංකල්ගෙන් අම්ම සල්ලි කීයක්හරි ඉල්ලුව. ඒත් හයියෙං බැනුමක් මිසක් ලැබුණ සල්ලියක් නෑ. අන්තිමට අම්ම මාව එදා ඉස්කෝලෙට එක්කං ගියේ කනේ තිබුණ කරාබු දෙක උකස් කරල කීයක්ද අරන්. හැබැයි ආපහු ඒක බේරගන්න අම්මට කවදාවත් පුළුවන් වුණෙ නෑ. එදා ඉඳන් අද වෙනකල්ම අම්ම දාං ඉන්නෙ ලාබ බාල ඉමිටේශන් කරාබු දෙකක්…’

‘අනේ ඔයා රත්තරං කොල්ලෙක් විසල්. අම්ම කෙනෙකුට වෙන රත්තරං ඕන නෑ ඔයා වගේ පුතෙක් ඉන්නකොට’

එවර කඳුළක් පිස ගත්තේ ජාන්වී ය. බිම අමදිමින් සිටි අමිතා පහත් වී ගවොම් සායෙන් ඇස තෙත මාත්තු කරගත්තා ය.

‘අනේ මහත්තයො අත් දෙක එකතු කරල වඳින්න හිතෙන පුතෙක් මහත්තයනං. මාත් පුතෙක් හැදුව. අමාරුවෙන් තමයි හැම දේම කළේ. කසාදෙකුත් බන්දල දුන්න. ඊට පස්සෙ ඒ ගෑනි වැඩ කළේ හරියට පුතාව බඩේ තියං ඉඳල ඒකිම වදල ඔය ගාණට හදාගත්ත වගේ. එච්චරකල් හදල වඩල හැම දේම කරපු අම්මෙක් කියල එකියක් නෑ වගේ. අපේ එකාත් බැන්දට පස්සෙ ගෑනිගෙ පදේට එහෑං අඩියක් තිබ්බෙ නෑ. මේ අම්මට වැඩිය ලොකු කරගත්තෙ ගෑනිගෙ අම්මලව. කවදහරි කසාදයක් බැඳපු කාලෙක වුණත් ඔය අම්මව අමතක කරන්නෙපා මහත්තයො. පුතෙක් අහක බලපුවහම අම්ම කෙනෙක්ට දැනෙන ගින්දර… ඒ ගින්දරට කොච්චර පිච්චෙනවද කියල අර ගෑනුන්ට තේරෙන්නෙ උන්ගෙ දරුවොත් එහෙම කරපු දාක’

වයසින් ද සමාජ හා ආර්ථික මට්ටමෙන් ද වෙනස් වූවාට අම්මලා ට තියෙන්නේ එක ම රිද්මයකට ස්ඵන්දනය වෙන හදවත් ය. ඒවා හුස්ම ගෙන ඇත්තේ දාරක ස්නේහයෙන් බව, සැත්කමකින් හදවත පිටතට ගෙන බැලුවොත් ඔප්පු වෙනු ඇති ද? අම්මලා ට කිසි දා බුදු විය නො හැක්කේත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ශයකටත් වැඩි භව සංඛ්‍යාවකින් ඔවුන් ගේ සංසාරය දිගු නිසාවෙන් ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here