හදේ කොතැනක හෝ හිඳී – 18

0
4340

විසල් ජාන්වී ගේ ආලින්දයෙහි වන කවිච්චියෙහි වැතිර අතැඟිලි වලින් දෑස් තද කොට වසාගෙන සිටියේ ය. සේවරි සිම්ෆනි වල සේවය කරන්නට පටන් ගැනීමෙන් පසු එක් මාසයක් තුළ, ඔහු අවන්හලේ ලාභය පසුගිය මාස වලට වැඩිය දෙතුන් ගුණයක් බැව් ඔප්පු කළේ ය. කිසියම් මට්ටමකින් ආදායම් ද ඉහළ නැගුණ බැව් සැබවි. නමුත් ඔහු ගේ පළමු පියවර වූයේ වංචනික ලෙස අවන්හලට අහිමි වන මුදල් ඒ තුළ රැකගැනීමයි. ඒ සඳහා ඔහු අනුගමනය කළ පිළිවෙත් කෙතරම් සාර්ථක වූයේ ද යත් ගිණුමේ ශේෂය සැලකිය යුතු අගයකින් ඉහළ ගියේ ය.

අද පැමිණි දුරකතන ඇමතුම, ඒ නිසා හිත රිදුණ අයෙකුගෙන් බව ඔහු දනී.

‘වැඩ කරනවනං තමුසෙ පාඩුවෙ ඔතනට වෙලා ඉන්නව. අනවශ්‍ය දේවල් කරන්න ඇවිත් රස්සාවත් නැති කරගන්නෙපා’

ඒ තර්ජනය විසල් ගේ මුවට මඳහසක් නැංවී ය.

‘මිස් ජාන්වී මට බාර දීල තියෙන්නෙ සේවරි සිම්ෆනි එක සම්පූර්ණයෙන්. ඒක නිකං මැනේජර් කමක් නෙවෙයි. සේවරි සිම්ෆනි පාඩු පිට දුවන රෙස්ටොරන්ට් එකක් නෙවෙයි මෙච්චර දවස් හොරකං කරල ඒකට පාඩු කරල කියලයි මං ඔප්පු කරල පෙන්නල තියෙන්නෙ. අනිත් එක පිණට පඩි අරං ඩියුටි එක හරියට නොකර ඉන්න කෙනෙක් නෙවෙයි මං. හොරකං කරන්න බැරි වුණාම හුඟක් අයට රිදෙයි කියල කොහොමත් දැනගෙනයි මං මේකට අත තිබ්බෙ’

විසල් කතා කළේ හිතේ කිසිදු බියකින්, පසුතැවීමකින් තොරව වුව ද ඒ තරුණ ආවේගයෙන් ද නොවේ. ජීවත් වෙන තැනට වංචා කිරීමත්, වංචා දූෂණ සිදු වෙනු දැක ඉවත බලාගැනීමත් යන දෙක ම ඔහු ට නම් එක හා සමාන වැරදි ය. එසේ ම එහෙම වරදක් දැන දැන කරමින් හෘද සාක්ෂියක් ඇති මිනිසෙකු ලෙස ඔහු ට ඒ රැකියාව කළ නො හැකි ය.

‘මං දන්නව විසල් කවුද ඔය කෝල් එක දෙන්න ඇත්තෙ කියල’

තැඹිලි වීදුරුවක් ද සමගින් විසල් වෙත ට පැමිණි ජාන්වී, එතෙක් ඇය ඒ ගැන කල්පනා කිරීමෙන් පසු එළඹි නිගමනය හිතෙන් දරා සිටියා ය. විසල් වහා නැගිට කවිච්චිය මත හිඳගත්තේ ය.

‘ඒ කව්ද… වැඩ කරන කෙනෙක්ද එතන…’

‘ම්හු’

ජාන්වී පුටුවක දාරයෙහි අසුන්ගත්තා ය. ඇගේ මුව මත වන මඳහස කුමක් දැයි විසල්ට වටහා ගත හැකි වූයේ නැත.

‘චමුපති. බබාගෙ තාත්ත’

ඇගේ පපුවෙහි සීරුම් රිදුමක් වේ. චමුපති යන්න ගියේ ය. ඔහු ගෙන් ලැබුණු පුත් කුමරාව ද අතැර යන්න ගියේ ය. ඇගේ සමීපතම යෙහෙළිය ද ගෙන යන්න ගියේ ය. ඒ සියල්ල අහිමි වූ කල ඇයට ඉතිරි වූයේ සව්මිය විතර ය. ජීවත් වෙන්නට ඇගේ පියාගෙන් ලැබුණු සේවරි සිම්ෆනි විතර ය. යහපත් ආර්ථික තත්වයක් වන්නේ නම් පිරිමියෙකු නොමැතිව තනි වූ ගැහැනියකට වුව සිය දරුවා ලස්සනට හදාගෙන ගෞරවනීය ලෙස ජීවත් විය හැකි යයි ඇය තදින් සිතාගත්තා ය. එය ඇගේ ජීවන දර්ශනය විය. අධිෂ්ඨානය ද විය. පරමාදර්ශී මවක වශයෙන්, ආත්ම ගරුත්වයෙන් අනූන ගැහැනියක වශයෙන් ජීවිතයේ ඉතිරි කාලය ගෙවා දමන්නට ඇය සිතා සිටියා ය. නමුත් චමුපති පිටතින් සිට හෝ සේවරි සිම්ෆනි මෙහෙයවූයේ ය. ඒ අවන්හල තුළ සිටිනා ඔහු ගේ මිනිසුන් යොදාගෙනයි. ජාන්වී ඒ බව සැක කළා ය. නමුත් ඇයට ඒ ඇඟිල්ල දිගු කොට පෙන්විය හැකි සේ ඔප්පු කරගත හැකි වූයේ නැත.

ශුද්ධ භූමි තුළ ප්‍රේත ආත්ම වලට රැඳිය නො හැකි යයි කතාවක් තිබේ. දැන් සිදු ව ඇත්තේ එබඳු තත්වයකි. විසල් නිසා සේවරි සිම්ෆනි තුළ තව දුරටත් මුදල් වංචා සිදු විය නො හැකි වීම චමුපති ට දැනෙන සේ බලපාන්නට ඇත. අනියම් ලෙස ඔහු ගේ අතට පැමිණි සේවරි සිම්ෆනි වලට අයත් මුදල් තව දුරටත් ඒ මාර්ග ඔස්සේ නො පැමිණෙත්දී, භූමිතෙල් වැදුණු සර්පයෙකු සේ චමුපති කලබල වී ඇති බැව් ජාන්වී ට අනුමාන කළ හැකි ය.

‘එයා අපිව අතෑරියට සේවරි සිම්ෆනි එකේ ආදායම අතෑරල ඉඳල නෑ වගේ’

‘මෙහෙම ප්‍රශ්නයක් ඇතිවෙයි කියල මං හිතුවෙ නෑ. වර්කර්ස්ලගෙං වංචාවක් වෙනවනං ඒක නවත්තන්නයි…’

‘ඔයා ඒ ගැන වොරි වෙන්න ඕන නෑ විසල්. ඔයා ඔයා කරන විදිහටම කරං යන්න. ඔයාට කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ’

‘මට මං ගැන කිසි බයක් නෑ’

විසල් එවර ජාන්වී ආමන්ත්‍රණය කළේ අවධාරයෙනි.

‘එහෙම නෙවෙයි… ඒත් මේක පවුල ඇතුළෙ දෙයක්නං…’

‘පවුල ඇතුළෙ වෙන්නෙ කොහොමද විසල්… එයා පවුලක් අතෑරල ගිය කෙනෙක්. කොහොමද විසල් මිනිස්සු මෙහෙම වෙන්නෙ… ආ… හරි අතෑරිය කියමු. අතෑරියනං අතෑරිය වෙන්න ඕනෙ. මොකද්ද මේ වැඩේ… එතකොට සල්ලි අතෑරල නෑ. හොර පාරවල් වලින් හරි සල්ලි ගෙන්නගෙන. මගෙ දරුවව අසරණ කරල… මගෙ යාළුව කියාගෙන අවුරුදු ගාණක් ළඟ හිටපු කෙනත් එක්කම මාව රවට්ටල ගියාට මගෙ සල්ලි අතෑරල නෑ. ඒවගෙන්නෙ එහෙනං මේ ජීවත් වෙලා තියෙන්නෙ. ඇත්තටම මිනිස්සු මෙච්චර පහළට වැටෙන්නෙ කොහොමද කියල මට හිතාගන්න බෑ’

ජාන්වී වෙත වූයේ ශෝකයක් නොවේ. එය කෝපයකි. ඒ කෝපය වැඩිකමට ඈ තුළ වෙව්ලීමක් විය. ඇගේ ඇස් වලට කඳුළු උණමින් තිබිණ. කේන්ති වැඩිකමට ඒ කඳුළු ඇස් මත ම වාශ්ප වෙමින් ද තිබිණ.

‘හිත රිදෝගන්න එපා. සමහර මිනිස්සු එහෙම තමයි’

‘හිත රිදෙනව නෙවෙයි විසල්. මට කේන්තියි. ඔයා ඇතුළෙ වැඩ ටික ඔය විදිහටම කරං යන්න. කිසිම වෙනසක් කරන්නෙපා. කිසිම බුරුලක් දෙන්නත් එපා. මං අද හෙටම මීටින් එකක් කෝල් කරන්නං’

ජාන්වී ගේ කම්මුල් රතු වී තිබිණි. විසල් ට මේ  තත්වය නුහුරු වූවක් නොවේ. අමුතු හෝ අරුම යමක් ද නොවේ. ස්ත්‍රියගේ මේ විලාශයන් ඔහු අම්මා වෙතින් දැක තිබේ. සත් පත්තිණි ද කාලි ද එක ම ගැහැනියක තුළ ජීවත් වන බව විසල් අත්දැකීමෙන් දන්නේ ය. ඉතා දුර්වල සේ පෙනෙන සියුමැලි ස්ත්‍රිය තුළ ජීවත් වන්නා වූ ශක්තිමත් ආත්මය පුරුෂයින් දහසක ගේ කාය ශක්තියට වඩා වැඩි විය හැකි ය.

‘සමහර විට මට චමුපතිටත් කතාකරන්න වෙයි වගේ’

ජාන්වී එසේ කීවේ හිස කෙළින් කරගෙන ය. ඇගේ දෑස් දිළිසෙමින් තිබිණ. මීට පෙර ඒවායේ දැක නො මැති ගින්දරක් විසල් ට එහි දැකගත හැකි විය.

‘කලබල වෙලා ප්‍රශ්න ඇති කරගන්න එපා. මට කරන්න පුළුවන් දෙයක් තියනවද…’

ජාන්වී මඳහසකින් හිස යන්තමින් ඉහළ පහළ සැළුවා ය.

‘ඔයා මෙහෙම හිටියොත් ඇති විසල්’

වචනාර්ථය ඔහු ට පැහැදිලි කරගත හැකි වූයේ නැති ද ඇය හෙලූ සුසුම ඔහු සසලා හමා ගියේ ය. එදා හැකි පමණ වේලා විසල් ජාන්වී ගේ ගෙදරට වී සිටියේ ය. ඒ ඇගේ හද ගින්න නිවෙනා තුරු ය. එහෙම හිඳ හුරු පුරුද්දක් ඔහු ට තිබේ. ඉස්සර මේධා සේනක සමගින් බහින්බස් වීමක් වී හිත රිදුවාගත් දාකත් ඔහු අම්මා අස එහෙම දැවටී හිඳී. බහින් බස් කියා කීවා ට මේධා කතා කරන්නේ බැරි ම තැන වචනයකි. එමෙන් සිය දහස් වාරයක් ඇය සියල්ල හදවතේ හිර කරගෙන විඳවයි. එහෙම කෝපත් වෙලාවට අම්මා ගේ මුහුණත් දැන් මේ ජාන්වී ගේ වාගේ ම ලේ පුරා රතු වන බව විසල් ට මතක ය. එවැනි මොහොතක වචනයක් හෝ නො කීවත් ඔහු අම්මා ට පේන මානයක, ඇයට දැනෙන මානයක හිඳී. ඇය තනි වී නැතැයි විසල් හයියක් එතකොට මේධා ට දැනේ. සවිමිය සමග සෙල්ලම් කරමින් මේ අවස්ථාවේත් විසල් ජාන්වී සිටින මානයේ සිටියේ ය. සෙල්ලම් කළා කීවාට වෙනදා වාගේ මුළු හදවතින් සව්මිය ගේ වයසට වැටී සෙල්ලම් කළා නොවේ. ඔහු ගේ ළය මත බරක් පැටවී තිබිණ. එය මීට පෙර දැනී පුරුදු එකක් නොවේ!

ජාන්වී පසු දා ම සේවරි සිම්ෆනි සේවකයන් වෙනුවෙන් හමුවක් කැඳවූවා ය. එහිදී ඇය ඉල්ලා සිටි එක් දෙයක් තිබිණි.

‘සේවරි සිම්ෆනි එකට ඇත්තටම අවංක වෙලා වැඩ කරන්න බැරි හේතුවක් තියන කෙනෙක් ඉන්නවනං ප්ලීස් එයා හරි ඒ අය හරි කැමැත්තෙන් ම අයින් වෙලා යන්න. මොකද මං කැමති නෑ ඉන්ක්වයරීස් තියල වැරදිකාරයො හොයල අයින් කරල දාන්න’

සේවක පිරිස මීයට පිම්බා සේ නිහඬ වී හිඳ තැන් තැන් වල කුටු කුටු ගාන්නට පටන් ගත්තේ ජාන්වී නික්ම ගිය පසු යි.

ගෙදර ඇවිත්, වසර කිහිපයක් තිස්සේ පස්සට දමමින් සිටි දුරකතන ඇමතුම ගන්නට ඇය හිත සවිමත් කරගත්තා ය. නමුත් හදවත ගැස්ම හොඳට ම වැඩි වී තිබිණි.

‘මං ඩිවෝස් කේස් එක ෆයිල් කරනව කියන්න කතාකළේ. ලෝයර් ඔයාට කතාකරයි’

‘ඕ හෝ… එහෙනං මට ආරංචි වෙච්ච දේවල් හරි නේ…’

ඔහු ගේ ජාගර සිනහව ඇගේ සිරුර කෝපයෙන් වෙව්ළුවන්නට හේතු වූයේ ය.

‘මොනාද ආරංචි වුණ දේවල් කිව්වෙ…’

‘නෑ මේ අලුත් මනමාලයෙක් හොයාගෙන කියල… දැනටමත් මිනහ හැම දේම බලාගන්නවලු නේ…’

‘බ ලු වැඩ කළා මදිවට තව බ ලු කතා කියන්නත් එපා මනුස්සයො. අනිත් එක මං මිනිස්සු දහයක් හොයාගත්තත් ඒ ගැන කතා කරන්න තමුංට කිසිම අයිතියක් නෑ’

ජාන්වී හැදුවේ එසේ පවසා දුරකතන සම්බන්ධය බිඳ දමන්නටයි. නමුත් චමුපති එක දශමයකින් ඉස්සර විය.

‘හරි තමුන්ට ඩිවෝස් එක ලැබෙයි. හැබැයි එහෙම වුණොත් මගෙ ළමයව ලැබෙන්නෑ’

ජාන්වී ට දැනුණේ දෙපා ළඟ ම බෝම්බයක් පුපුරා ගියා සේ ය.

‘ම්… මොකද්ද කියන්නෙ…’

‘කිව්වෙ ඇහුණ දේ තමයි. ඩිවෝස් වෙලා අර ගේ අස්සෙ දාං ඉන්න එකාගෙ කරේ එල්ලෙන්නනං තමුන්ට ඕනෙ… මං නඩු කියල ළමයව මගෙ ළඟට ගන්නව’

ජාන්වී වහා දුරකතන සම්බන්ධය බිඳ දමා පුටුවක් මතට වැටුණා ය. ඇගේ සිරුරේ හැම සෛලයක් ම වෙව්ලනවා සේ ඇයට දැනේ. හුස්ම ගන්නට පවා බැරි අප්‍රාණිකත්වයක් ඇයට දැනේ. අඳුරු අගාධයක ගැඹුරේ ඈ ගිලී යන බවක් දැනී ඕ නෙතු පියවාගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here