හදේ කොතැනක හෝ හිඳී – 28

0
11375

දෙහදෙහි ම කිසියම් බරක් විය. නමුත් එක පැත්තකින් සැහැල්ලුවක් ද වූයේ ය. ඒ මිශ්‍ර වූ සංවේදනාව නො සන්සුන්කමක් නො දැනවූවා නොවේ. නමුත් ඉන් මිදෙන්නට දෙදෙනා ම උත්සාහ කළේ නැත. එක අතකට ඒ නො සන්සුන්කම චමත්කාරයක් ද වූයේ ය. එදා රාත්‍රියෙහි ගෙදර ගොස් විසල් ‘ගෙදර ආව’ කියා පණිවිඩයක් තැබුවා මිස ඇමතුමක් ගත්තේ නැත. බලාපොරොත්තුවෙන් ම සිටි බැවින් ඒ පණිවිඩය වහා ඈ දුටුවා ය. ඈ දුටු බව ඔහුත් දුටුවේ ය.

‘කෑම කාලද ඉන්නෙ…’

කියා ඈ ලීවා ය. එසැනෙන් පිළිතුරු ලැබිණි.

‘ඔව්’

‘එහෙනං සනීපෙට නිදියන්න. හිත රිද්දන දේවල් හිතන්නෙපා. බුදු සරණයි. ගුඩ් නයිට්!’

ආදරෙයි කියා නො කීවා ට ඒ වචන අතරේ ඕනවටත් වැඩිය ආදරේ තැවරී තිබිණ. ඔහු ඒ අන්තිම පණිවිඩයට හදවත් සලකුණක් තැබුවේ ය.

උදේ විසල් සමන් මාවතට පැමිණියේ කිසිත් නො වුණ ලෙසයි. ඔහු පැමිණෙන විට ජාන්වී පිච්ච මල් කඩමින් සිටියා ය. රාත්‍රිය පුරාවට කල්පනා කරමින් නිදි වැරුවා වී ද ඇගේ වත මත වූයේ නිවුණු සැනසුණු ශාන්තිදායක බවකි. විසල් මඳකට නතර වී ඒ සුපුන් සඳ උවන දෙස මොහොතක් බලා සිටියේ ය. ජාන්වී ඒ බැල්ම මගහැර කතා කළා ය.

‘සව්මිය තාම දොයි. ඔයා රූම් එකට යන්න. ඔයා ආව කියල දැනගත්තහම නැගිටියි’

‘තේකක් ඕනෙ’

කියමින් ඔහු ගෙතුළට ගියේ ය. ජාන්වී තේ එකත් ගෙන මතු මහලේ කාමරයට යන විට විසල් සව්මිය තුරුලු කරගෙන යහනේ වැතිරී සිටියේ ය.  හදවත පිරෙනා බරැති හැඟීමකින් යුතුව ජාන්වී ඔවුන් දෙස මොහොතක් බලා සිටියා ය.

‘නැගිට්ටෙ නැද්ද…’

‘නෑ’

විසල් නැගිට යහනෙහි හිඳගත්තේ ය.

‘පව් මහන්සි ඇති. තාම ගමන් වෙහෙස. ඔහොම නිදාගත්තදෙන්’

තේ මග් එක විසල් අතට දී ජාන්වී ඔහු පසෙකින් හිඳගත්තා ය. පෙර දා රාත්‍රිය පුරාවට නැවත නැවතත් සිතූ එක ම දේ වචන වලට පරිවර්තනය කරගන්නා සැටියක් සොයාගන්නට ඇයට උවමනා විය.

‘ඔයාගෙ අම්මගෙ පපුව පැළෙයි විසල්’

අන්තිමට එය කිව හැකි කෙටි ම වචන ටික ඇයට හමු විය. විසල් සිය දණ මඬල මත දෙවැලමිට බර කොට හිස පහළට හරවාගෙන මඳක් කල්පනා කළේ ය. ඊලඟට ඒ ඉරියව්වෙන් ම හිස හරවා ඇගේ වත දෙස බැලුවේ ය. ජාන්වී යන්තමින් ඉදිරියට නැඹුරු වී ඔහු ගේ උරහිසට පහළින් අත් බාහුව මත නළල හොවාගත්තා ය. ඔහු ඒ අත ඇගේ බඳ වටා යවමින් ම කොපුලක් තදින් සිපගත්තේ ය. මුලින් ම දැනුණේ කොපුල් මත ඒ රැවුල් කොට ඇනෙනා මිහිරි රිදුමයි. ඈ ඇස් පියන් පත් වසාගත්තා ය.

‘ඔයා අම්ම තරම්ම වටින ගෑනු ළමයෙක්. ඒක අම්ම තේරුං ගනී’

‘මාත් පුතෙක්ගෙ අම්ම කෙනෙක් නිසා මට දැනෙනව එයා…’

‘මට ඒ ගැන මොනාත් දැනගෙන වැඩක් නෑ’

‘මුරණ්ඩු වෙන්නෙපා. එයා හැම දුකක්ම විඳගත්තෙ…’

‘දවසක මං සතුටෙන් ඉන්නව බලන්නනෙ. මගෙ සතුට තියෙන්නෙ ඔය දෙන්න ළඟ කියල අම්ම තේරුංගනී’

ජාන්වී ඔහු දෙස ම බලා සිටියා ය. විසල් යළිත් නිහඬව තේ උගුරු කිහිපයක් තොල ගාන්නට වූයේ ය. දහස් ගණනක් ගැවසෙන සමාජ මාධ්‍ය අවකාශයක එදා ඇයට ඒ බෝ පැළය ම අවැසි වූයේ මන්දැයි ඔහු දෙස බලාගෙන ඇය සිතුවා ය. විශ්වයෙහි සැරිසැරා ඔහු සොයාගත්තේ ඇය ම නේද? නමුත් ඔහු ට ඈ අතැර දා යන්නට නො හැකි වූයේ ඇයි?

‘ඔයා කුමාරයෙක් වගේ කොල්ලෙක් විසල්. ලස්සන පොඩි කෙල්ලෙක් හොයාගෙන ලස්සන අනාගතයක් හදාගන්න පුළුවං කොල්ලෙක්. ඇත්තට ම මට ලෝබයි… මෙහෙම අපි මත්තෙ නැහෙන්නෙ ඇයි…’

ඔහු නැවත ද හිස හරවා ඒ අඩ බැල්ම හෙළුවේ ය. ඒ බැල්මෙහි ඈ හැමදාමත් අතරමං වූ අයුරු ඇයට මතක ය.

‘මං ආදරේ කරන එක ම ගෑනි මත්තෙ නැහෙන්න මට පුළුවං නිසා. මට තාත්ති කියල කතාකරන හුරතල් පැටියෙක්ට එයාගෙ තාත්තිව නැතිකරන්න මට ඕන්නැති නිසා’

හිස් මග් එක බෙඩ් සයිඩ් කබඩ් එක මතින් තැබූ ඔහු නැගිටගත්තේ ය.

‘කෑම ලෑස්තිකරල තියෙන්නෙ. කාල යන්න. ඔයාට දවල්ට එන්න වෙයි… මෙයා නැගිටල එන්න කියයි’

විසල් නැවත ද සව්මිය වෙත නැඹුරු වී ඔහු සිපගත්තේ ය. ඊලඟට ජාන්වී දෙස බැලූයේ තවත් විසඳාගන්නට ගැටළු තිබෙන්නේ ද වැනි ප්‍රශ්නයක් ඇඳි අඩ සිනහ වතකිනි. ඕ කාන්දමක් වාගේ ඔහු වෙතට ඇදුණා ය. දෑතින් දැඩිව ඔහු ගේ බඳ වැළඳගනිමින් කම්මුලක් ඒ පපුතුර තද කරගත්තා ය. ඔහු ගේ දෑත් ඈ වටා වෙළිණ.

ජාන්වී ඇස් පියාගෙන සිටියා ය. කොයිතරම් වෙලාවක් එහෙම සිටියා ද කියා ඈ දන්නේ නැත. එහෙව් උණුහුමක් සංසාරයක් කල් සොයමින් සිටියා සේ ඔහු ගෙන් නො මිදී සිටියා ය. ඒ වැළඳගැනීම තුළ ඔවුන් දෙදෙනා ම අපමණ සැහැල්ලුවකට පත් වූහ. ජාන්වී ගේ හිස මත සිය නිකට තියාගෙන විසල් ප්‍රේමයේ පරමානන්දය කුමක්දැයි අත්විඳිමින් සිටියේ ය.

‘අම්…මි…’

සව්මිය අවදි වී යහන මත හිඳ සිටියේ ය. ඔහු ගේ මුහුණ මත නැගි හුරතල් සිනහවට හේතුව විසල් දැකීමයි.

‘තාත්…ති…’

ජාන්වී සිය මුහුණෙහි ඇඳුණු සිනහව විසල් දෙස බලමින් සඟවාගත්තා ය. ඔහු සව්මිය වෙතට පැන සිඟිති වත සිපගත්තේ ය.

‘ඔයා දෝගත්තෙ බබා ළඟද…’

විසල් ගේ මුහුණේ ලස්සන සිනහවක් අඳිණි. ඔහු පංචි සව්මිය වඩාගත්තේ ය.

‘මං ආව ඉතිං ඔයාව බලන්න’

‘ඔයානං ඔඳම ඔඳ තාත්තියෙක්’

‘ඇඳුං පොඩි වෙයි විසල්’

විසල් එක් අතකින් සව්මිය වඩාගෙන අනිත් අතින් ජාන්වීව ද ඔහු ට ලං කොට ගත්තේ ය. ඒ දුටු සව්මිය ද සිය අතකින් අම්මා ව ළඟට ගත්තේ ය.

‘ආදෙයි’

‘බබා වොශ් දාමු. තාත්ති බ්‍රෙක්ෆස්ට් ගන්නත් ඕනෙ’

ජාන්වී ඉක්මනින් පුතු සේදුවා ය. ඔවුන් එන තෙක් විසල් පහළ මහළේ බලන් සිටියේ ය. අමිතා ඉඳිආප්ප තම්බා තිබිණි. ජාන්වී අල කිරි හොද්දකුත් පොල් මැල්ලුමකුත් තැනුවා ය. පෙර දා රැයෙහි සාදන ලද කුකුළු මස් කරියෙහි ඉතිරිය අමිතා රත් කොට තිබිණ.

සව්මියට කවන ගමන් ම ජාන්වී විසල් ගේ අඩුපාඩු බැලුවා ය. ඉඳිආප්පයක් දෙකක් ද හොදි ටිකක් ද බෙදුවා ය.

‘ඇති’

‘කන්න. ඔයා ඊයෙ රෑටත් කාල නැතුව ඇති’

‘තාත්තිගෙ එකෙං කතක් කවන්න’

‘තාත්තිගෙ එකේ දයිය බබා’

‘ඉන්න දැවිල්ල නැතුව චුට්ටක් කවන්න’

අමිතා පසෙකට වී බලා සිටියේ පිරුණු හිතකිනි. අම්මා කෙනෙකු ගේ හදවතක සිය දරුවන් ගේ ප්‍රීතිමත් දර පවුල් දැක ඇති වන්නා වූ සතුටකි එය. මොන තරම් මුදල් හදල් තිබුණ ද ජාන්වී ගේ පවුල කැඩී ගිය එක ගැන ඈ පසුවූයේ ශෝකයෙනි. සව්මිය බබා ගැන ඇයට දැනුණු දුක ඊටත් වැඩිය වැඩි ය. විසල් ආවාට පස්සේ මෙහි ලස්සන කුරුලු කූඩුවක් තැනෙමින් ඇති සැටි ඇය ආශාවෙන් බලා හිඳී.

විසල් ගේ යතුරු පැදිය වෙත යන තෙක් සව්මිය ට ඔහු වඩාගෙන යා යුතු ය. ඊලඟට බයිසිකලයෙහි වටයක් දෙකක් පාරේ උඩ පහළ යා යුතු වෙයි. ඔහු යළි අම්මා වෙත එන්නේ විසල් යන එක ගැන හිත රිදුවාගෙනයි. අද ඔහු නික්ම යත්දී ජාන්වීටත් අමුතු පාළු හැඟීමක් දැනිණ. මීට පෙර එවැන්නක් මතු වෙන්නට නොදී ඈ එය හිතේ යටපත් කරගෙන සිටියා විය යුතු ය. මඳ දුරක් ගිය විසල් බයිසිකලය නවතාගෙන ජාන්වී ට වට්සැප් පණිවිඩයක් තැබුවේ ය.

‘ආදරෙයි ගොඩක්’

ඒ දකිත්දී හදවත තුළ කෝටි ගණනක් සමනල චලන දැනෙනු ජාන්වී අත්වින්දා ය. ඇගේ තදවුණු රතදර අතරෙහි සිනහවක් පොපියෑවේ ය. දෑස් වල කාන්තියක් විය.

අමිතා එපා කියත්දීත් ජාන්වී තනිව දවල් කෑම පිසුවා ය. විනාඩියෙන් විනාඩියට ඔරලෝසුව දෙස බැලුවා ය. අද වෙලාව යන්නේ නැති දැයි නෙක වර ඇයට සිතිණි.

හදිසියේ ම ජීවිතය වෙනස් වී ඇති බවක් ඇයට දැනේ. ආත්මය ම පිරී ගොස් ඇති සැටියක් දැනේ. විසල් පරිනත පිරිමියෙකු සේ හැසිරෙමින් සිටියේ ය.  පළපුරුදු තාත්තා කෙනෙකු සේ ආදරය වගා කරමින් සිටියේ ය.

ඔහු දවල් කෑමට පැමිණි වෙලාවේ සව්මිය දුවන්නට ගොස් ගෙතුළ වැටී හඬන්නට පටන් ගත්තේ ය. ජාන්වී හැරෙනා විටත් විසල් එතැනට දිව ගොස් සව්මිය වඩාගෙන ය.

‘ළමයව බලන්නකො අනේ’

ඔහු සැරවූයේ ඇයටයි. ඒ පුංචි සීරීම සව්මිය කෙතෙක් ලොකුවට ගත්තේ ද යත් එදා රාත්‍රියෙහි විසල් ට කියා නිදි කරවාගන්නට ඔහු ට ඕනෑ විය. විසල් සව්මිය වඩාගෙන කාමරයෙහි ඒ මේ අත ඇවිද්දේ ය. සව්මිය ඔහු ගේ උරයෙහි හිස හොවාගෙන ‘තින්දුවක් කියන්න. අම්මිනං කීනව’ යි කීවේ ය. සව්මිය මුලින් දුටු දා පටන් සිය ආත්මය තුළ හැමදාමත් දෝංකාර දුන් ගීතය, විසල් සිය සන්සුන් පිරිමි හඬින් ගැයුවේ ය.

‘මාගෙ පුතුට මල් යහන සදන්නේ… දෑසෙ සිහින වැල් පාවී යන්නේ… රෝස කැලේකින් හමු වූ වැන්නේ… මට මේ කුමරුන් කවුදෝ දුන්නේ…’

ජාන්වී ඔහු පසුපසින් ගොස් විසල් බදාගත්තා ය. ඔහු ගේ පිට මත කම්මුලක් තද කරගෙන ඔහේ සිටියා ය. යෞවනයේ දී ම ඈ පෙමින් බැඳී විවාහ වූ චමුපති ඈ හැර ගියේ මේ වෙනුවෙන් ද?අසමසම ආදරයක් කරපින්නාගෙන විසල් ට මෙහි එන්නට අවකාශ තනා දෙනු පිණිස ද? විසල් කෙනෙකු ඒ වන විටත් ලෝකයට බිහි වී සිටියේ ඇයත් පුංචි සව්මියත් වෙනුවෙන් ම ද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here