හදේ කොතැනක හෝ හිඳී – 31

0
9459

විසල් ගේ අතක් මේධා සිය හිස මත තබාගෙන සිටියා ය. ඇගේ දෑස් හි වන ඉල්ලීම බරපතල ය. ජාන්වී හා සව්මිය අත්හැර දමනා බවට පොරොන්දු වෙන ලෙස ඇය බල කොට සිටී. යළි කිසි දාක ඔහු ට එසේ කළ නො හැකි බැව් විසල් ගේ හදවත ඉඳුරා දැන සිටියේ ය. ඔහු දැනටමත් ජාන්වී වෙනුවෙන් පොරොන්දුවක් දී තිබේ. ඒ කිසි සේත් ඈ බලාපොරොත්තු වූ හෝ ඉල්ලා සිටි පොරොන්දුවක් නොවේ. ආපසු ඒ පොරොන්දුව ඉල්ලා සිටියත් ඇය මුණිවතින් බිම බලාගන්නා බව ඔහු දනී. අම්මා කියන්නේ ඔහු මේ තැනට පිවිසෙන තෙක් හයියෙන් අල්වාගෙන සිටි අපරිමිත ස්ත්‍රියයි  ඇය වෙනුවෙන් හෝ ජාන්වී ට දුන් පොරොන්දුව යළි ඉල්ලාගන්නට විසල් සූදානම් නැත. ඔහු ජාන්වී ගැන තීරණයකට ආවේ අඳ ගොළු බිහිරි මිනිසෙකු ලෙස නොවේ. අනාගතයේ දී මුහුණ දෙන්නට සිදු විය හැකි අපමණ අභියෝග පිළිබඳ එළැඹුණු සිහියෙන් යුක්තවයි. අම්මා හැඟුම්බර වූ පමණින් නො දරුවෙකු සේ ජීවිතයේ සියල් පරමාදර්ශ අමතක කොට අත්හැර දමන්නට ඔහු ට උවමනා නැත. නමුත් මේ ජීවිත කාලයක් ඔහු වෙනුවෙන් අපමණ පිරිපත ඉසිලූ අම්මා ය. පසුව හමු වූ ස්ත්‍රියක කෙරේ ලොබින් ඒ අම්මා රිදවන්නට ද ඔහු ට හැකියාවක් නැත.

‘අම්මෙ. අම්ම දැං හුඟක් කලබල වෙලා ඉන්නෙ. අම්ම දැන් හොඳට නිදාගන්න. අපි හෙට උදේට මේ ගැන කතාකරමු’

විසල් ඉවසීමෙන් කතා කළේ ය. මේධා ගේ හැඬුම අලුත් විය. ඒ කඳුළු, පුතු ඇයට ඈ ඉල්ලා සිටි පොරොන්දුව නො දුන් නිසාවෙනි.

‘බත් බෙදනව කන්න’

සේනක මුළුතැන්ගෙට එබී නො රිස්සුමෙන් වාගේ කීවේ ඒ වෙලාවේ ම ය. ඒ අවසරයෙන් විසල් නැගී සිටියේ ය. මේධා කම්මුල් වල කඳුළු පිසිමින් සේනක ගේ පිඟාන අතට ගත්තා ය. ඇගේ හැඬුම ද නාසය උඩට ඇදීම ද නතර වී තිබුණේ නැත. කාමරයට ගිය විසල් ඇඳුම් පිටින් ම ඇඳෙහි වැතිරුණේ ය. ජාන්වී ගෙන් ඇමතුම් කිහිපයක් ම තිබේ. ඔහු ගැන දැන් ඈ බිය වී ඉන්නවා විය හැක. නමුත් මේ වෙලාවේ ඇමතුමක් ගත නො හැකි ය. අම්මා සිටින කැළඹීමේ හැටියට ඒ ඇමතුම කොයි අතකට පෙරළේවි ද කියා නිශ්චිත නැති බැවිනි. විසල් ජාන්වී ට වට්සැප් පණිවිඩයක් තැබුවේ ය.

‘මං ගෙදර. ඔයා දැන් නිදියන්න. මං උදේට එන්නං’

එකෙනෙහි ඈ එය දුටු බව සනිටුහන් විය. කිසියම් වෙනසක් ජාන්වී ට දැනිණ. නමුත් කවරක් සිදු වී ද ඇගේ හදවත එක ම එක සැනසුමක් අත්වින්දේ ය. ඒ ඔහු කරදරයක් නැතිව සිටිනා බව දැනගැනීමේ සැනසුමයි.

මේධා ගේ පපුව මැද ම ලේ ගලන තුවාලයක් විය. විසල් ඒ පොරොන්දුව ඇයට නො දුන්නේ ය. දැන් ඔහු ට අම්මා නො තරම් වී තිබේ. කොහේවත් ඉන්නා කපටි ගැහැනියක ඔහු රවටාගෙන තිබේ. ඇය සිතුවේ එහෙම ය. ඇයට සිතන්නට ඕනා වූයේ එහෙම ය.

ඒ රාත්‍රියේ මේධා ට සේ ම විසල් ට ද නින්දක් වූයේ නැත. ඔහු හින්දා අම්මා මේ විදිහට හඬනා එක දරාගන්නට බැරි තරම් ය. විසල් කිසි දා ක අම්මාට ගින්දරක් දුන් පුතෙකු නොවේ. ඔහු ගේ සම වයස් මිතුරන්, කුතුහලය හින්දා ම කළ ඇතැම් නොහොබිනාකම් හෙතෙම කිසි දා අත්හදා බලන්නට ගියේ නැත. ස්ත්‍රී ඇසුරට වැටුණේ නැත. විවිධාකාර මත් ද්‍රව්‍ය වල රස බැලුවේ නැත. එහෙම නරක ඇසුරකට පෙළඹීමක් සිදු වෙන හැම වතාවක ම හදවතේ උඩ ම මළුවෙහි ඔහු අම්මා වඩා හිඳුවාගත්තේ ය. නමුත් ජාන්වී පුන පුනා කියත්දීත් අම්මා නිසාවෙන් ඇය හදවතින් පිටමං කරන්නට ඔහු ට හැකි වූයේ නැත. අම්මාත් ජාන්වීත් දෙදෙනා ම දැන් සිටිනුයේ එක ම ආත්මීය පුදසුනක යි. තරාදියක දෙපස ඔවුන් තැබුවහොත් ඒ බර සමාන ය. ඔහු අද සිටිනා විසල් සිඳුරංග බවට පත් කරන්නට ඔවුන් දෙදෙනාගෙන් ම ලැබුණ සහයෝගය නො සලකා හැරිය හැකි නොවේ. එබැවින් අම්මා වෙනුවෙන් ජාන්වී අත්හැරීම කියන්නේ ඔහු ට කිසි සේත් නො කළ හැකි දෙයකි.

වෙනස් වූ යමක් සිදු වී ඇති බව ජාන්වී ට ඉවෙන් මෙන් දැනෙමින් තිබිණ. නින්දේදීත් ඇගේ හදෙහි නො සන්සුන් බවක් විය. උදේ විසල් ගේ මුහුණ දකිනා තුරා ඈ සිටියේ ගින්දරකයි. ඔහු දුටු ප්‍රථම නිමේශයේ දී ඒ ගින්න හද දවාලූ බව ඇයට දැනිණ.

විසල් පැමිණියේ වෙනදා වාගේ කාර්යාලීය ඇඳුමෙන් නොවේ. ටී කමිසයක් උඩින් දමාගෙනයි. ඔහු ගේ දෑස් හි උමතු වෙන්නට ආසන්න වියවුල් බවක් විය. රැය පුරා නින්දක් නො ලැබූ ඔහු, උදේ ගෙදරින් පිටත් වීමට පෙර මේධා ගේ දෙපා අල්වා වැන්දේ ය.

‘අම්මෙ. ජාන්වි මං වගේ එකෙක්ට කැමති වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. එයාට ගෙදරින් ලොකු බිස්නස්මන් කෙනෙක්ව ප්‍රපෝස් කරල තියෙන්නෙ’

මේධා ගස්සා ඉවත බැලුවා ය.

‘මට කාගෙවත් වරුණාව අහන්න ඕන්නෑ’

‘අම්මෙ එයා මුල ඉඳන්ම කිව්ව අම්මගෙ හිත රිදෙයි කියල. ඒත් එතන ඉන්නෙ ඉස්සර හිටිය මං වගේම අහිංසක කොලු පැටියෙක්. මං තාත්ත කෙනෙක්ගෙ ආදරයක් නැතුව හැදුණ එකෙක් අම්මෙ. අම්ම දන්නව තාත්ත කෙනෙක් නැති නිසා මට විඳගන්න වුණ දේවල්. අම්මත් මාත් එක්කම ඒ දුක් උහුලපු නිසා… මට තේරෙනව අම්මට මං ගැන තියන හීන. ඒ එක හීනයක්වත් ජාන්වීයි සව්මියයි නිසා මැරිල යන්නෑ අම්මෙ. වෙලාවකට එයත් මට අම්ම වගේ සලකන්නෙ. ඒ පොඩි එකාට මං හරි ආදරෙයි. මං එයාගෙන් දකින්නෙ ඉස්සර හිටිය මාව. වෙන පිරිමියෙක් නිසා එයාට වෙනස්කං සිද්ද වෙන්න අරින්න බෑ මට. මං විඳගත්ත දේවල් එයාට විඳින්න නොදෙන්නයි මට ඕනෙ. මේක තේරුං ගන්න අම්මෙ’

‘ඔයාව රවට්ටගෙන’

මේධා ගේ කොපුල් තලා දිග ඒ වෙලාවේත් කඳුළු ගලා යමින් තිබිණ. විසල් නො සන්සුන් ලෙස හිස කේ පිටුපසට ඇදගත්තේ ය.

‘අම්ම හිතං ඉන්න විදිහ වැරදියි. එයත් අම්ම වගේ අහිංසක ආඩම්බර ගෑනියෙක්. වෙන පිරිමියෙක් නැතුව දරුව හදං ඉන්න තීරණේ කරං හිටපු… ආර්ථික හයියක් තියන ගෑනියෙක්. අපි අතරෙ රැවටීමක්වත් වංචාවක්වත් නෑ. අනේ තේරුං ගන්න අම්මෙ’

‘මට තේරුං ගන්න පුළුවං. ඔයාට ඔයාගෙ අම්මට වැඩිය පිට ගෑනියෙක් ලොකු වුණා. ඒකත් කමන්නෑ හරිහමං ගෑනියෙක්නං’

‘ජාන්වී ගැන ඔය විදිහට හිතන්නවත් කියන්නවත් එපා අම්මෙ’

විසල් ඒ අන්තිම ටික කීවේ තරමක් තදින් වාගේ ය. ඔවුන් දෙදෙනා – අම්මාත් ජාන්වීත් ඔහු ට සිය දෑස මෙනි. ඉන් කෙනෙකු අතින් අනිත් කෙනාට අවමානයක් සිදු වෙනවා දකින්නට ඔහු ට ඕනෑ නැත. ඉක්මන්කොට ගොස් ඔහු යතරුපැදියට නැගගත්තේ ය.

‘මොකක් හරි හිත රිදෙන දෙයක් වුණාද…’

ජාන්වී ඇසුවේ කිරි තේ මග් එක විසල් අතට දෙමින් ඔහු අසලින් සෝෆාවේ අසුන් ගනිමිනි. ඇතුළාන්තයෙහි කවර ගින්දරක් වී ද ඕ සිහිල් පවනැල්ලක් බඳු සව්මිය හැඟීමක් දනවමින් ඔහු ගේ හදවත වෙත එබීමේ උත්සාහයක් ගත්තා ය.

‘අපි කානිවල් එකේ ඉන්නව අංකල් දැකල. මං ගෙදර යනකොට අම්ම දැනගෙන’

විසල් මඳහසක් පෑවේ ය. නමුත් එය වඩාත් සමීප වූයේ ඉකි බිඳුමකට බව ජාන්වී ට හඳුනාගත නො හැකි වූයේ නැත. හදවත තුළ වූ ගිනි දැල් බුර බුරා ඉහළ නැගුණේ ය. නමුත් ඇයට එක වචනයක් හෝ පවසාගන්නට සිහි වූයේ නැත. ඉබේට සිදු නො වෙන්නක් වී නම් හුස්ම ගන්නට පවා අමතක වෙන්නට තිබිණ.

‘ඔයා ඒ ගැන හිතන්නෙපා’

විසල් උගුර යටින් කියාගත්තේ ය.

‘අම්ම ඇඬුවද… එයා ඔයාට බැන්නද… කෑගැහුවද… අනේ ඉතිං එයා වෙන මොනා කරන්නද… ඒ තමයි අම්ම විසල්’

අන්තිමට සිහි එළවාගත් ඕ සිහිනයකින් සේ මුමුණන්නට වූවා ය.

‘මං හෙමිහිට එයාගෙ හිත හදන්නං’

‘ඊට කලින් ඔයාට ඔයාගෙ හිත හදං ඉන්න වෙනව. මේ පැය කීපෙට ඔයා ඇදිල ගිහිං’

ජාන්වී විසල් ගේ හිස කේ අතරෙහි අතැඟිලි යවා ඔහු ගේ හිස පිරිමදින්නට වූයේ මව්වත් හැඟීමකිනි. විසල් සෝෆාවට හිස බර කොටගත්තේ ය. ජාන්වී දිගට ම ඔහු ගේ හිස පිරිමැද්දා ය.

‘අද රෙස්ටොරන්ට් එකට ගියෙ නැති වුණාට කමක්නෑ. ඔයා ගෙදර ගිහිං අම්මත් එක්ක ඉන්න. එයා දරාගන්න බැරි වේදනාවක ඇත්තෙ’

‘අම්ම චුට්ටක්වත් ෆ්ලෙක්සිබල් නෑ මේ වෙලාවෙ. මට හිතාගන්න බෑ’

විසල් ගේ දෑස් මතට තෙතමනයක් කාන්දු වෙමින් තිබිණ.

‘ඉතිං එයා කොහොම හිත හදාගන්නද… එයාගෙ ඔටුන්න ඔයා. මුල ඉඳලම මං මේක දැනං හිටිය විසල්’

‘අම්ම පහු වෙලා හරි තේරුං ගනී’

‘අපි ගැන වද වෙන්නෙපා විසල්. අම්මගෙ හිත සතුටුවෙන තීරණයක් ගන්න වුණත්… මං ඔයා එක්කවත් අම්ම එක්කවත් තරහ නෑ. ගෑනු ඕනතරං හොයාගන්න පුළුවං විසල්. ඒත් එක අම්මයි ඉන්නෙ. පහුගිය කාලෙ සව්මිය එක්ක කොහොම ජීවිතයක්ද ගෙව්වෙ කියල මං දන්නව. ඔයාගෙ අම්ම ඊට වැඩිය දහස් ගුණයක් දුක් විඳින්න ඇති. අම්මගෙ හිත රිද්දල ඔයාට කවදාවත් සැනසීමෙං ජීවත් වෙන්න බැරි වෙයි. අපි ළඟ හිටියත් ඔයාට සතුටෙන් ඉන්න බැරි වෙයි. ඒක නිසා දෙපාරක් හිතන්නැතුව මාව අත්අරින්න විසල්. අම්ම කැමති වෙන විදිහෙ ගෑනු ළමයෙක් හොයාගන්න ඔයාට බැරිකමක් නෑනෙ’

ඇගේ උගුර රිදෙමින් තිබිණ. නමුත් නො හඬා ඉන්නට ඇයට ඕනෑ විය. හිස හරවාගෙන ඇදෙස බලා උන් විසල්, ජාන්වී ගේ අතක් තදින් අල්වාගත්තේ ය. එතෙක් ඔහු ගේ දෑස් කෙවෙනි තුළ පොරබදමින් තිබි කඳුළු ගුලි දෙක ඉහිරී ගියේ ය.

‘ඔයාව අතෑරල දුවල ගිහිං අම්ම අස්සෙ හැංගෙන්න තරං බයගුල්ලෙක් නෙවෙයි මං. මේකට මං ෆේස් කරන්නං’

ඒ වෙලාවේ ඈ දුටු ඔහු ගේ දෑස් හි සංවෙගයක් සේ ම තියුණු බවක් ද විය. නිදි වැරීම නිසා යන්තමින් බොර පැහැ වී තිබූ ඇස් වල අධිෂ්ඨානයක දීප්තිය ද වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here