මේධා අනගි සමගින් නගරයේ වීදි දිග ඇවිද්දා ය. එය කලබල නැති නිස්කාන්සු ගමනකි. ඒ වීදි කෙතරම් පැරණි ඒවා වී ද ඇය ඒවායේ ඇවිද යන්නේ බෝ කාලයකට පසු ය. සිය යෞවනයේ දී රාජිත හමු වන්නට රැඳී සිටි තැන් ද ඔහු සමගින් ආ ගිය තැන් ද ඇය දුටුවා ය. උවමනාවෙන් ම ඒ තැන් වල නතර වී මඳක් අතීතයට වී සිටියා ය. කාලයක් තිස්සේ ම ඇය සිටියේ මේ අතීතයෙන් වසැංගීගෙනයි . මේ මග වල අවශ්‍යතා වලට ඉඳහිට ගිය ද ඒ හිත තද කොට වසාගෙනයි. අතීතය හදවතේ එක කුටියකට කොට අගුළු ලාගෙනයි. ඒ ගමන් ඉතා වේගවත් හා කලබලකාරී විය. ඒ නිසා ම ඇය අතීතය නොදුටුවා ය.
අද ඇය ඇවිද ගියේ අතීතය මතිනි. ඇගේ දෙතොල් අතරෙහි මඳ සිනහව රේඛාවක් රැඳී තිබේ. හදවත තුළ වන්නේ ගිනියම් ලෝහ බරුවක් සේ බරැති රිදුමක් බව ඇත්ත ය. නමුත් ඒ රිදුමටත් ආදරය කළ හැකි බැව් දැන් ඇය දනී. රාජිත ඈ මුලා කළ බැව් සැබවි. නමුත් ඇය තවමත් ඔහු ගැන ප්‍රේමයෙනි. ඒ ප්‍රේමය සදාකල් ආතුළාන්තයෙහි සුරක්ෂිත ය. ඒ ඉසව්ව සංරක්ෂිත කලාපයක් බඳු වේ. කිසිවෙකුට ඊට පිවිසිය නො හැකි ය. අත තැබිය නො හැකි ය. ඒ ඇගේ ප්‍රථම ප්‍රේමයයි. ආත්මයේ ගැඹුරු ම පත්ලත් ස්පර්ශ කළ ප්‍රේමයයි ඔහු ඇයට පෙම් කළා ද නැති ද කියා ඈ දන්නේ නැත. ළඟ සිටියදී නම් ඈ විඳගත්තේ ප්‍රේමයයි. ඒ නැත ද ඈ ඔහු ට පෙම් කළේ මුළු හදවතිනි. ඒ නිර්ව්‍යාජ වූ ආදරය නිකැළැල් ව තවමත් එතැන ම තිබේ. ඊට පස්සේ කිසිවෙකුට පෙම් කරන්නට නො හැකි වූ හින්දා පෞරාණික වස්තුවක් සේ ආරක්ෂිතව හද නිධානයෙහි වේ. මේ ගන්නා හුස්මෙහිදීත් ඇය ඔහු ට පෙම් කරයි.
නමුත් ඉනික්බිති කිසි දාක ඔහු ට කතා කරන්නට ඇයට ඕනෑ වූයේ නැත. ඔහු හමු වීමේ ආශාවක් දැනුණේ නැත. දැන් හදිසියේ යළි ඔහු හමු වී නම්… පරණ ප්‍රේමයෙන් ම ඔහු ට ලං වෙන්නට තමන් සූදානම් දැයි මේධා ඇයගෙන් ම ඇසුවා ය. ඇගේ මුවග මැවුණු මඳහස තේරුම් ගන්නට ඇයට පිළිවන. දැන් මෙතැන ඔහු පහළ වේ නම් ඇගේ හද ගැස්ම උත්සන්න වී ඈ මෙතැන මෙහෙම ම මිය යන්නට වුව පිළිවන. ඒ ප්‍රේමය එපමණට ම උන්මාදයකි. අදටත් ඒ ප්‍රේමය තිබුණැන හදවතේ එහෙම ම ය. නමුත් යළි කිසි දාක ඇයට ඔහු ඕනෑ නැත. මේ භවයේ දී පමණකුදු නොව සසරේ කිසි දාක යළිත් ඔහු ඕනෑ නැත.
සිය යෞවනය ගෙවී ගිය නගරයෙහි, මැදි වියේ ගැහැනියක ලෙස ඈ ඇවිද ගියේ ද යොවුන් හදවතකිනි. ප්‍රේමයෙන් පිරි හදවතකිනි. ඈ පෙම් කළේ උතුරා හැලෙන තාරුණ්‍යයෙන් යුත් තරුණයෙකුටයි. නමුත් ඔහුට දාව උපන් විසල් සිය ප්‍රේමය පුදදෙන්නට විවාහක ස්ත්‍රියක තෝරාගෙන තිබේ. ඒ ස්ත්‍රියගේ හදවතෙහි යළිත් තව පිරිමියෙකු වෙනුවෙන් පුද දෙන්නට ඉඩක් වේ දැයි මේධා ට සිතාගත නො හැකි ය. සේනක ඇගේ නීත්‍යානුකූල සැමියා වුවත් ඇගේ හදවතට ගොඩ වෙන දොරක් විවර කරනට කිසි දා ඔහු ට හැකි වූයේ නැත. ඇතැම් විට ඇයට ඔහු පව් කියා ද සිතී තිබේ. ඔහු ඊට වැඩිය විසල් කෙරෙහි මෘදු මොළොක් වී නම් තත්වය ඊට වැඩිය වෙනස් වන්නට තිබිණි ද? ඇයට නිශ්චිත පිළිතුරක් දිය නො හැකි ය. සේනක හා විවාහ වීම නිසා තමන්ට සේ ම ඔහු ට ද අසාධාරණයක් වූ බව පමණක් ඇය දනී. ඇතැම් විට මුළුමනින් ඔහු ට සිය ආත්මය පිදිය නො හැකි වූයේ විසල් නිසා බව පිළිගන්නට මේධා ට සිදු වේ. සේනක විසල් ට ඔහු ගේ ලෝකයෙහි ඉඩක් නො දුන් නිසා ද, විසල් තනි වේ යයි, ඔහු දුක් වේ යයි දෙගිඩියාවක් ඈ තුළ වූ නිසා ද ඈ සේනක වෙතින් හැකි තාක් දුරස් වී ඉන්නට බැලුවා ය. එනයින් ඒ විවාහ බන්ධනය ඔවුන් දෙදෙනාට ම පලක් නොවන්නට ඇත. විසල්ටත් එහෙම විය යුතු ද කියා මේධා තුළ සාධාරණ බියක් උපදී. පිළුණු වූ ජීවිත කතාවක් ඇතුළේ නැවුම් සුවඳක් නො දැනෙන ප්‍රේමයක අග ඔහුත් හතර ගාතෙන් වැටිය යුතු ද?
නමුත් මේ නිදහස් වීදි සංචාරයේ දී මේධා ගේ හදවත සැහැල්ලුවට පත් වී තිබිණ. ඇයව ප්‍රේමයේ මුලාවෙන් රැකගන්නට ඇගේ මව් පියන්නට හැකි වූයේ නැත. විසල්ගේ ඉරණමත් අයිති ඔහුට ම නොවේ ද? ඇගේ අම්මා කෙතරම් තැත් කළත් මේධා ගේ ඉරණම වෙනස් කරනට ඔවුන් සමත් නො වූවා නොවේ ද?
මේධා අනගි සමගින් ගෙදර යන විට විසල් ඇඳ බදා වැතිර සිටියේ ය. නමුත් ඔහු ට නින්ද ගියා නම් නොවේ. සිතිවිලි සේනා හතර අතින් ඔහු වට කොට ප්‍රහාර දියත් කරමින් සිටියේ ය.
ඇඳුම් මාරු කරන්නේ හෝ නැතිව මේධා විසල් ට තේ එකක් තනා දුන්නී ය. දැන් ඔහු වැඩිපුර කතාකරන්නේ නැත. වාඩියට බත් පිසූ අන්තිම දවස් වල වාගේ තොරතෝංචියක් නැතිව කියවන්නේ නැත. රැකියාවට ගිය මුල් දිනවල වාගේ එහි වතගොත පවසන්නේ නැත. නො වරදවා ම ඇගේ අතට මුදල් දුන්නත් ඔහු හුඟක් දුරයි වාගේ ඇයට දැන්‍ෙ. ඒ පරතරය ආයේ කිසි දා ලං කළ හැකි එකක් නොවේද කියා ඈ සිතන්නේ හද වේදනාවෙනි. නමුත් ඔහු ට කුරුල්ලෙකු ලෙස පියාඹන්නට ඕනේ නම් අත්තටු කපා දමන්නට ඇයට නො හැකි ය. අත්තටු රිදී විඩාපත් වී ආ දාක රිදුණ තටු පිරිමදිනු මිස, රත්තරනින් තැනූ කූඩුවකවත් ඔහු සිරගත කළ නො හැකි ය.
‘අම්මල කොහෙද ගියේ…’
තේ බොන ගමන් ඔහු විමසුවේ ය. මේධා ඈතට වී පුතු දෙස බලා සිටියා ය.
‘නිකං ඇවිදින්න ගියා. මං ඉස්කෝලෙ යන කාලෙ ආ ගිය පාරවල් වල නිකමට ඇවිද්ද. නංගිත් එක්ක ඒ කාලෙ දේවල් කිය කියා…’
‘අම්ම මාත් එක්ක තරහෙන්ද ඉන්නෙ…’
‘අනේ පැටියො… ඔයා එක්ක තරහ වෙන්න පුළුවන්ද මට… මං දෙයක් කිව්වනං… මට තේරෙන මට්ටමෙන් ඒ ඔයාගෙ හොඳට. දැන් ඔයා මට වැඩිය දැනුම් තේරුම් තියන ළමයෙක්. නිශ්ශබ්ද වෙනව කියන්නෙ තරහ වෙනව කියන එකට නෙවෙයි පුතා. ඊට වැඩිය දෙයක් කරන්න විදිහක් නෑ කියල දැනුණහම අපිට නිශ්ශබ්ද වෙන්න වෙනව.සමහර වෙලාවට ඒ නිශ්ශබ්දව ඉන්න කාලය අපිට නිශ්ශබ්දවම ගොඩක් දේවල් කියල දෙනව. මොනව කළත් ඔයාට හොඳක්ම වෙන්න කියල අම්ම ප්‍රාර්ථනා කරනව’
‘ජාන්විගෙ ගෙදර අය මාත් එක්ක කතාකළා. සමහර විට අපිට ඉක්මනට බඳින්න වෙයි. සමහර විට මට රට යන්න වෙයි. බිස්නස් වලට. ඒ චාන්ස් එක මිස් කරගන්න ඕන්නෑ’
විසල් ඉක්මනින් කියාගෙන ගියේ ය. ඔහු ගේ දෑස් මත අනාගතය ගැන අහස උසට බලාපොරොත්තු පොදි බැඳී තිබෙනු මේධා දුටුවා ය.
‘ඔයාට හොඳයි කියල හිතෙන තීරණයක් ගන්න’
‘ඒ කියන්නෙ අම්ම අකමැති නෑනෙ’
මේධා ඇයට පුරුදු මන්දස්මිතය හෙළුවා විතර ය. ‘මගෙ අකමැත්තෙන් ඔයාට වැඩක් වෙන්නෙත් නෑනෙ’ යයි ඒ සිනහව නො කියා කීවේ ය. නමුත් එය දකින්නට හෝ හැඳිනගන්නට තරම් වෙලාවක් විසල් අම්මා දෙස බලාසිටියේ නැත.
*****
ජාන්වී ට සිය මුල් විවාහයේ නීත්‍යානුකූල වෙන්වීම නිල වශයෙන් ම ලැබිණ. හිතේ වන්නේ කවර හැඟීමක්දැයි විශ්ලේෂණය කරන්නට ඇය සමත් වූයේ නැත. ඒ මිශ්‍ර හැඟීමකැයි සිතන්නට ඇය කැමති වූවා ය. නැතහොත් ඒ හිස් හැඟීමක් වන්නට පිළිවන.
‘මෙහෙම දවසක් එයි කියල මං කවදාවත් හිතුවෙ නෑ. එයාල එහෙම තීරණයක් ගත්තට පස්සෙ වුණත් මං ඔහේ හිටියෙ ඒකයි’
එදා හැන්දෑවේ, ආලින්ද පුටුවක හිඳ ඕ විසල් ට ඇසෙන සේ මිමිණුවා ය.
‘ඔයා පසුතැවෙනවද මෙහෙම වුණ එක ගැන…’
පපුවට කිඳා බසිනා සංකීර්ණ හැඟුමන් පොදියක් දෙස ඇය නිස්කාංසුවේ බලා සිටින්නට වූවා ය.
‘මන්දා. පපුව මැද්දෙ තුවාලයක් තියනව කියන එක පිළිගන්න වෙනව. මේ දික්කසාදෙ මට පුතාගෙ තාත්ත ගැන අයිතියක් නැති වීම විතරක් නෙවෙයි… මගෙ යාළුව වෙලා කාලයක් ළඟින් හිටිය කෙනාත් තවදුරටත් මගෙ ජීවිතේට අයිති නෑ කියල මතක් කරනව. නීතියෙන් එහෙම සීමා දැම්මට… පපුව ඇතුළෙ හැම තැනම අතීත මතක වල නටඹුන් විසිරිල තියෙනවනෙ විසල්. මං දවසක මේ ජීවිතේ කෙළවර කරනකල්ම ඒ මතක මාත් එක්ක ඉන්නවනෙ…’
ඇය මඳහසක් පෑවා ය. විසල් තිගැස්සී ගියේ ය. ඒ මඳහස අම්මා ගේ මුවග රැඳෙනු දැක ඇති මඳහසමයි කියා ඔහු ට වහා සිහි විය. ඇගේ හදවත තුළත් ජාන්වී මේ කියනා තුවාලය ම තිබෙනවා ද? ඇයත් ඒ රිදුම් වල සඳුන් තෙල් ගල්වන්නේ ඔය මන්දස්මිතයෙන් ම ද?
‘දැන් ඉතින් අපිට තවත් නතරවෙලා ඉන්න බෑ. එහෙම ඉන්න ඕනත් නෑ. අපි ඉස්සරහට යන්න ඕනෙ’
විසල් ජාන්වී අභියස සම්මුඛ වී ඇගේ දෑස් විල් තුළ කිමිදෙමින් කීවේ ය.
දවස් ඉක්මනින් ගෙවෙමින් තිබිණ. මේධා තව තවත් සන්සුන් වෙමින් ද නිහඬ වෙමින් ද සිටියා ය. එසේ ම ඇය සේනක වෙනුවෙන් වෙනදාට වැඩිය කැප වූවා ය. කොතැනක දී හෝ කවර හේතුවක් මත හෝ ඔහු වෙනුවෙන් ඈතින් ඉටු විය යුතු ව තිබූ යුතුකම් කොටසක් මගහැරී ගිය බව ඇගේ ම යටි හිත විසින් මතක් කරනු ලබමින් තිබිණ. දැන් ඔහු වයස්ගත වෙමින් හිඳී. ශරීරය ඉස්සරටත් වැඩිය තරබාරු ය. උදරය තරුණ කාලේදීටත් වැඩිය ඉදිරියට නෙරා විත් තිබේ. විවාහ වූ අලුත හා අනගි බිහි වූ අලුත ඔහු හා ඇය අතරේ වයස් පරතරය හා පෙනුමේ පරතරය ගැන හිතට ලැජ්ජා දැනුණු අවස්ථා ඇයට තිබේ. ඔහු පෙන්වා ‘තාත්තද’ කියා විමසූ අය ද සිටිති. ඒ කාලේත්, හතළිස් ගණන් වලදීත් ඔහු ට ඊට වැඩිය වයස පෙනෙනා පරිනත පෙනුමක් විය. ඊට පස්සේ කාලය ගෙවුණේ හෙමින් විය යුතු ය. ඔහු ගේ පෙනුම වෙනස් වූයේත් හෙමිනි. පෙනුම කෙසේ වී ද දැන් ඔහු නිතර අසනීප හා කැක්කුම් ගැන පැමිණිලි කරයි. රියදුරෙකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කරන නිසාදෝ ශරීරය ස්ථුල ය. දණහිස් වේදනා හා කොන්දේ කැක්කුම් බහුල ය. කොලෙස්ටරෝල් වලට හැම රැයක ම බෙහෙත් පෙත්තක් ගනී. වේදනා වලට තෙල් ගල්වයි. මේ බෙහෙත් තෙල් ගඳ පවා නො රිස්සුම දනවන අවස්ථා මේධා ට නොවූවා නොවේ. නමුත් සම සිතින් ඒවා ඉවසා වදාල යුතු යයි අනුකම්පා හැඟීමක් දැන් ඇය තුළ ලියලයි. පෙරදා නො සතුටින් ඔහු ගේ සිරුරේ ගැල්වූ බෙහෙත් තෙල්, දැන් ඇගේ උවමනාවෙන් ම ගල්වයි. එසේ බෙහෙත් ගැල්වීමක් අවසානයේ, ‘ඉක්මනට සනීප වෙන්නෝනෙ දෙයියනේ’ කියා ඇගේ හිත කියයි.
ජීවිතය කියන්නේ අප කැමති හෝ අප බලාපොරොත්තු වෙන දේ නොව අපට ලැබෙන දේ යයි සිතන්නට තරම් දැන් ඇගේ හිත සන්සුන් ය.


