හදේ කොතැනක හෝ හිඳී – 37

0
5188

සව්මිය මිදුලේ බයිසිකල් පැද්දේ ය. විසල් හා ජාන්වී ජැකරැන්ඩ ගස යට බංකුවෙහි හිඳ ඔහු ගේ සුරතල් සෙල්ලම් දෙස බලා සිටියහ. දැන් විසල් මේ ගෙදරට එන්නේ කිසිදු සැක සංකාවකින් නොවේ. ඔහු ජාන්වී ගේ අනාගත සහකරු බව ඇගේ පවුලේ අය දනිති. සේවරි සිම්ෆනි හි සේවක පිරිස ද ඇතැම් අසල්වැසියෙක් ද දනිති.

‘වෙඩින් ඕන නෑ නේද… අපි සිම්පල් ෆන්ක්ශන් එකක් අරං මැරි කරනව කියල ඔයාගෙ අම්මලට කියන්න’

විසල් කල්පනාබරව කීවේ ය. ජාන්වී අඩැසින් ඔහු දෙස බැලුවා ය.

‘ඇයි… ඔයාට ආයෙ ලොකු වෙඩින් එකක් ඕනෙද…’

ඔහු ගේ මුවග පොපියන සිනහවක් විය.

‘නෑහ්. ඒත් ඔයාට වෙඩින් එකක් ඕනෙ. මං එක සැරයක් මනමාලියක් විදිහට ඇඳපු කෙනෙක්. ඒ වුණාට ඔයාගෙ පළවෙනි අත්දැකීම මේක නිසා…’

‘අනේ බොරු වැඩ. අනවශ්‍ය විදිහට සල්ලි නාස්ති කරන්න ඕන්නෑ’

‘ඔයාගෙ අම්මට ඉන්න එකම පුතා ඔයා. දවසක නංගිගෙ වෙඩින් එකක් ගන්නවනෙ කියලවත් බලාපොරොත්තුවක් නෑනෙ විසල් එයාට. අඩුම ගානෙ අම්මටවත් දවසක එයාගෙ ලස්සන වෙඩින් එකක් ගන්න බැරි වෙන්න ඇතිනෙ’

‘හරි ඉතිං පොඩියට කට්ටිය එකතු වෙලා ඕක කරල දාමු. වෙඩින් එක කොච්චර ලොකු වෙන්නෝනෙද කියන එක නෙවෙයි මටනං වැදගත්. අපි ඉක්මනට ඩේට් එකක් ෆික්ස් කරගෙන ඔයාගෙ ගෙදරට කියමු’

‘ඉක්මනට… ඇයි හදස්සි…’

විසල් ජාන්වී ගේ මුහුණ දෙස බැලුවේ විශ්මයෙන් වාගේ ය.

‘හදිස්සි…ඇයි ඔයාට… මේක ඉවරයක් කරන්න ඕන නැද්ද…’

‘අනේ එහෙම නෙවෙයි විසල්. ගෑනියෙක් විදිහට මාත් ආසයි මටම කියල ආදරයක් තියනවට. මාත් ආසයි ආදරේකරන්න වගේම ආදරේ ලබන්නත්. ඒත්… ඒ හැම දේකටම කලින්… මේ ගැන ඔයාගෙ අම්ම එක්කත් කතාකරන්න ඕනෙ නේද…’

‘අම්මට මං කියලනෙ තියෙන්නෙ. මං කැමති දෙයක් කරගන්නවට අම්ම අකමැති නෑ කියල කිව්වනෙ. ඉතින් දවසක් දාගෙන ඒක අම්මට කියන්නයි තියෙන්නෙ’

‘ඒත්… අනේ මන්දා… තාම අම්ම මාව දැකල කතාකරලවත් නෑනෙ’

එවර නම් විසල් සැහැල්ලුවට සිනහ වී ජාන්වී ගේ උරහිස වටා අතක් දමාගත්තේ ය.

‘ඔයා අම්මව දකින්න ඕනයැ… මාව දැකලනෙ තියෙන්නෙ’

නමුත් ජාන්වී ගේ හද තුළ යම් කිසිවක් විය. අම්මා කියන්නේ ඇයට එහෙම මගැර යා නො හැකි වස්තුවකි. විශේෂයෙන් ම විසල් ගේ අම්මා ගැන, ඔහු සිය අතීත සිදුවීම් පවසන අවස්ථා වලදී ජාන්වී ගේ හිතේ කිසියම් සිතුවමක් මැවී තිබේ. ඇගේ හදවතත් එවැනි මව්වත් හදවතකි. ඒ හදෙහිත් මේධා වාගේ ම අම්මා කෙනෙකු හුස්ම ගනී. දවසක සව්මිය ලොකු පුතෙකු වී විසල් වාගේ ආදරණීයයෙකු වෙනවා දකින්නට ජාන්වී ආශා වූවා ය. ඒ විසල් ම ඔහු ගේ අනාගතය ගැන තීරණාත්මක සිදුවීමේ දී අම්මා ගේ කැමැත්තට මුල් තැන දෙන්නට උත්සාහ කරන්නේ නැත. සව්මිය ද දිනෙක එහෙම කළොත් අම්මා වශයෙන් ජාන්වී ට කොහොම දැනෙනු ඇති ද?

මේධා යළි විවාහයක් කරගත්තේ ඇයට තනිව විසල් හදා ගැනීමේ අසීරුතාවයක් වූ බැවින් විය හැක. ජාන්වී ට එහෙම නැත. ඇයට සව්මිය ඇති දැඩි කරගැනීමේ හැකියාව තිබේ. පවුලේ අයත් ඇය සමගින් සිටිති. නැවතත් පිරිමියෙකු ට සමීප වීමේ හැඟීමක්වත් ඇයට වූයේ නැත. නමුත් තාත්තෙකු ගේ ආදරයක් උවමනා වූයේ සව්මියටයි.

විසල් හා සව්මිය අතරෙහි ඇති වූ බන්ධනය දෙස ජාන්වී බලා සිටියේ අදහාගත නො හැකිව ය. අනුන්ගේ දරුවෙකුට ආදරය කරන්නට පිරිමියෙකුට එහෙමත් පුළුවන් ද කියා ඈ විටෙක සිතුවා ය. විසල් කෙරෙහි මුල දී කිසිදු විශේෂ හැඟීමක් නොවූ බව ජාන්වී ට දිව්රා කිව හැක. ඔහු හෙමි හෙමිහිට ඇගේ හදවත අතික්‍රමණය කළේ සව්මිය ට පෑ ආදරයේ මහිමයෙනි. සව්මිය ආදරය කරනා ඕනෑ ම කෙනෙකුට ළෙංගතු වීමේ හැකියාවක් ජාන්වීට විය. නමුත් විසල් සිය පුතු ට දුන්නේ තාත්තා කෙනෙකු ගේ ආදරයකි!

ටික ටික ඇගේ උදරයෙහි සමනල චලන ඇති වූ බව ඇත්ත ය. නමුත් විසල් වන් යෞවනයෙකු සිය ජීවිතයට ඈඳා ගන්නට ඇය සිහිනයෙන් හෝ නො සිතුවා ය. එතැන දී ඈ තීරණ ගත්තේ තමා සම්මතයෙහි පිහිටා ය. සව්මිය වැඩිහිටි වූ දාක විවාහක ස්ත්‍රියක සමග පැටලීමක් ඇති කරගත හොත් ඇයට කුමක් දැනෙනු ඇත්දැයි සිතා ය. චමුපති ගිය දා ඉඳන් සව්මිය මෙපමණට හෝ ලොකු කරගන්නට ඈ විඳි වෙහෙස ගැන සිතතොත්, විසල්ව මේ තත්වයට ගෙන එන්නට ඔහු ගේ මව් කොපමණ දුකක් විඳගන්නට ඇති ද කියා නො සිතා ඉන්නට ඇයට හැකි වූයේ නැත. ඊටත් වැඩිය පියෙකු නැති සව්මිය ද පියෙකු නැතිකමින් දුක් විඳි විසල් ද ගැන සමාන වූ මාතෘ හැඟීමකින් ඇගේ හදවත ආතුර ව තිබිණි.

නමුත් විසල් හෙමි හෙමිහිට හදවතට ගොඩ වෙමින් සිටියේ ය. ඕනෑ ම ගැහැනියකට සේ ඇයට ද ආදරය කියනා දේ අත්‍යවශ්‍ය බව මඳින් මඳ ඈ අවබෝධ කරගනිමින් සිටියා ය. පිරිමි ආදරයක් හා රැකවරණයක් ඇතිව ජීවත් වීමේ අයිතියක් ඇයට ද වන බව සිතන්නට කැමති වූවා ය. නමුත් පිරිමින් ගැන බියක් ද හදවතේ එක් කොනක නො වූවා නොවේ. වතාවක් චමුදිත ජීවිතය මත කස්තිරම් ගසා අඩව් අල්ලා එය හැඩි කොටදමා නික්ම ගොස් තිබූ බැවිනි. නමුත් සව්මිය ට විසල් උවමනා නම්, කොන්දේසි විරහිතව සිය පුතු ට පියෙකු වන්නට විසල් ඉත සිතින් සූදානම් නම්, තවත් වතාවක් සිතන්නට අවැසි නොවිණි. සව්මිය වෙනුවෙන් කළ නො හැකි දෙයක් ඇයට නොවනා බැවිනි. එසේ ම විසල් ආදරයේ අලුත් වර්ණයක් ඇගේ දෑස් ඉදිරියේ සිත්තම් කරමින් සිටියේ ය.

ජාන්වී අග සිට මුලටත් මුල සිට අගටත් සිතුවා ය. බොන්සායි බෝ පැළයක් ගෙන ඒ ගෙදරට මුලින් ම පැමිණි අහිංසක පෙනුමක් ඇති යෞවනයාට වැඩිය අද සිටිනා විසල් සිඳුරංග අනාගතය ගැන ඉලක්ක ඇත්තෙකි. සේවරි සිම්ෆනි දැන් ඔහු ගේ මුළු අවධානය ම පැහැරගෙන තිබේ. සව්මිය සමග සෙල්ලම් කරමින් හිඳිනට වුව දැන් ඔහු ට පෙර දී තරම් වෙලාවක් නැත.

‘තාත්ති යන්නෙපා ඉන්න’

කියමින් සව්මිය ඇවිටිලි කරත්දී ඔහු සිඟිත්තා වඩාගෙන සැනසිලි බස් කියයි.

‘තාත්ති ඉඳල බෑනෙ මැණික. බබා අම්මි එක්ක සෙල්ලං කරන්න හොඳේ. තාත්ති හවසට ආවහම අපි සෙල්ලං කරමු’

‘බයික් එක පදින්නෝනෙ බබාට’

‘හරි අපි හවසට බයික් එක පදිමුකො. හවසට අපි කොහෙහරි යං හොඳේ. අම්මිගෙන් අහල කොහෙද යන්නෙ කියල ලෑස්ති වෙලා ඉන්නකො’

ඔහු ගේ ආදරණීය බව ඒ පිරිමි හද තුළ වන බව ජාන්වී ට දැනේ. නමුත් ඉස්සර වාගේ සව්මියව බයිසිකලයේ තබාගෙන පාරේ වට කිහිපයක් රස්තියාදු වෙන්නට බැරි තරම් දැන් කාලය ඔහු ට වැදගත් ය. ඔහු ගේ බලාපොරොත්තුව, විවාහය සිදු වූ ගමන් සේවරි සිම්ෆනි තවත් ශාඛාවක් අරඹන්නට යි. මේ දින වල ඔහු ඊට සුදුසු ස්ථානයක් සොයමින් හිඳී.

විසල් නික්ම ගියේ සව්මිය ගේ හිත නො සතුටට පත් කරමිනි. ඔහු ටික වෙලාවක් අම්මා ගේ ගෙල බදාගෙන ඇගේ උකුළට වී සිටියේ ය.

‘අපි යන්ද ගමනක්…’

ක්ෂණික තීරණයක් ගෙන ජාන්වී පුතු විචාලා ය.

‘නං’

යන්නේ කොහේද කම් නැත. සව්මිය ට ඕනෑ වී තිබුණේ සිය පුංචි සිතට වෙනසකි. ගමනක් කියන්නේ ඔහු කැමති අත්දැකීමකි. සව්මිය සූදානම් කරගෙන ජාන්වී රියට නැගුණා ය. මේ ගමන හදිසියේ හිතට නැගුණක් ම නොවේ. ඇය දින කිහිපයක සිට මෙවන් සිතිවිල්ලක සිටියා ය. මේ ගමන නොයා ජීවිතයේ දිග ම ගමන යන්නට පිය තැබිය නො හැකි ය. විසල් ට මේ ගැන පැවසිය නො හැකි විය. ඈ එවන් කතාවකට එළඹෙන්නට උත්සාහ කළ හැම විටෙක ම ඔහු සරල ලෙස ඒ මාතෘකාවෙන් නික්මුණේ ය. නමුත් ඇයට මේ ගමන නොයා සිටිත නො හැකි ය.

ගේ දොරකඩ රිය නතරවෙත්දී මේධා සිටියේ විසල් ගේ සේදූ ඇඳුම් වැලේ වනමිනි. ජාන්වී පැමිණියේ සේවරි සිම්ෆනි හි වන විසල් ගේ පෞද්ගලික ලිපි ගොනුවෙහි සඳහන් ව තිබූ ලිපිනය සොයාගෙන ය. නො දන්නා ලිපිනයක් සොයා යනවා කියන්නේ අවිනිශ්චිත ගමනකි. ඒ ඔහු ගේ ගෙදර බව ප්‍රත්‍යක්ෂ වූයේ වැලෙහි වනා ඇති ඇඳුම්  හැඳිනගන්නට ඇය සමත් වූ බැවිනි.

මෝටර් රථයකින් බැස ගෙමිදුල දෙසට එන මව් හා පුතු දෙස මේධා බලා සිටියේ නො හැඳිනුම් දෑසකිනි. නමුත් ඇගේ මුවග සුපුදුරු මන්දහාසය විය. ඇයට දැනුණේ සිය යොවුන් වියෙහි උන් ඈ පුංචි විසල් සමග ඇය අභියසට ම පැමිණෙමින් සිටින්නා සේ ය.  ඒ කවුරුන්දැයි ඇගේ හිතට අනුමාන වූයේ ම නැත. විසල් ජාන්වී කෙනෙකු හා සව්මිය කෙනෙකු ගැන පවසා තිබුණාට මේ ඔවුන් යයි සිතිවිලි මාත්‍රයක්වත් මේධා ගේ සිත්හි උපන්නේ නැත.

ඒ මේධා බව ජාන්වී නම් එක බැල්මකින් ම හැඳින්නා ය. විසල්ට තිබෙනුයේ ඇගේ ම මුහුණුවරයි. ඒ බැල්ම, ඒ මඳහස, ඇගේ ම ය.

‘අම්ම’

මේධා අභියස නතර වී ඒ තනි වචනය පවසත්දී ම ජාන්වී අභ්‍යන්තරයෙන් දියවන්නට පටන් ගෙන තිබිණ.

‘මං ජාන්වී අම්ම’

හිස ඇතුළේ මොකක්දෝ වෙනු මේධාට දැනිණ. මෙතුවක් වේලා ඒ ගැන හාංකවිසියක් හෝ ඇයට නො දැනුණේ ඇයි?

‘මට අම්මව බලල අම්ම එක්ක ටිකක් කතාකරන්න ඕන කියල හිතුණ’

කවුරුන් ඉස්සර වූවා ද කියා කිව නො හැක. ඊළඟ නිමේශයේ ඔවුන් දෙදෙන උනුන් වැළඳගෙන සිටියහ. දෙදෙනා ගේ ම ඇස් වලින් හදිසි කඳුළක් ගිළිහී යමින් තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here