හදේ කොතැනක හෝ හිඳී – 38

0
2933

උනුන් වැලඳ සිටි මේධා ගේ ත් ජාන්වී ගේ ත් හදවත් තුළ වූයේ එක ම ප්‍රස්තූතයකි. ඒ වූ කලී විසල් ය. ස්ත්‍රීන් දෙදෙනා වෙත ම වූයේ එක ම අරමුණකි. පොදු ප්‍රාර්ථනයකි. ඒ වූ කලී විසල් ට යහපතක් විය යුතු ය යන්නයි. ඔවුන් දෙදෙනා ම හුස්ම ගත්තේ විසල් කෙරෙහි වන ස්නේහයෙනි.

එබැවින් ඔවුන් දෙදෙනා ගේ ම චිත්ත තරංග වල වූයේ එක ම සංඛ්‍යාතයකි. හදවත් තුළ වූයේ සමාන සිතිවිලි මාත්‍රාවකි. ඒ වැළඳගැනීම ඒ තරම් පහසු වූයේ එනිසාවෙන් විය යුතු ය.

‘යමු ගෙට’

උනුන්ගේ ග්‍රහණයන් ලිහිල් වූ ගමන් මේධා ආරාධනා කළා ය. ඈ පහත් වී සව්මිය වඩාගත්තේ, ජීවිතයේ එක යුගයක් නැවතත් සජීවී ලෙස ස්මරණය කරමිනි.

‘අපේ ගෙවල්නං ඉතිං සැප පහසු ඒව නෙවෙයි. ඔයා ඒ ගැන නොදන්නව වෙන්න බෑනෙ’

‘අනේ අම්ම හිතට සැප පහසු දැනෙන්න ඕන මිනිස්සු ළඟදි. අම්ම ළඟ මට ඒ හැඟීම මේ එක මොහොතට හොඳටම දැනුණ’

‘යං’

මේධා ජාන්වී ගේ බඳ පිටුපසින් අත තබමින් ඉස්සර වූවා ය. ආලින්දයේ පුටුවකට වී අනගි කොණ්ඩය පීරමින් සිටියා ය. මීට ටික වෙලාවකට පෙර මේධා ඇය සෝදා ඇඳුම් මාරු කරවා තිබිණ. මූණේ වැඩිපුර පව්ඩර් දමාගෙන සිටි, ලැජ්ජාශීලී නො සන්සුන්බවක් පෙන්වූ අනගි, ජාන්වී තුළ ඇති කළේ සව්මිය කෙරෙහි වාගේ ම දාරක ස්නේහයකි.

‘කොහොමද පැටියො…’

ඇය දැරිය සිපගත්තා ය. අනගි ලැජ්ජාවෙන් ඇඹරුණා ය.

‘හොඳින් ඉන්නව කියන්න අක්කට’

මේධා ඇයට මග පෙන්වූවා ය. අනගි වැඩිපුර අමුත්තන්ට මුහුණ දෙන්නට කැමති නැත. ඇයට හුරු පුරුදු පවුලේ සාමාජිකයන් තිදෙනා හැරුණුකොට අන් සියල්ලන් අතරෙහිදී කිසියම් අපහසුවක් ප්‍රදර්ශනය කිරීම කුඩා කල පටන් ඇගේ ස්වභාවයකි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ දී පුරුදු පුහුණු කිරීම නිසා ද මේධා ඇගේ උපරිමයෙන් අනගිව සමාජානුයෝජනය කිරීමට පොලඹවන නිසා ද අද වන විට ඇය මේ තත්වයෙහි හෝ හිඳී.

ජාන්වී අසුනක හිඳගත්තා ය. පරණ වී ගිය ගෙයක් වී ද මේධා එය තබාගත හැකි උපරිම පිරිසිඳුකමෙන් ද පිළිවෙළින් ද යුතුව තබාගෙන ඇති බවක් එක බැල්මෙන් ඈ හැඳින්නා ය. මානසිකව සැනසිල්ලක් නොවූ නිසා ශරීරයෙහි කෘෂ බවක් වී ද මේධා කියන්නේ ලස්සන ගැහැනියකි. තවමත්    තාරුණ්‍යය ඇගෙන් ගිලිහී ගොස් නැත. එසේ ම ඈ අතැර නො යන  ඒ මුව මඳහස ඇගේ රුව තීව්‍ර කරයි. ඈ විසල් ගේ අම්මා නොව ඔහු ගේ අක්කා කිව හැකි යයි ජාන්වී සිතුවා ය.

‘මං හිතුවට වැඩිය අම්ම ලස්සනයි තරුණයි…’

ඇදෙස බලා සිටියා වැඩි යයි සිතී දැනුණු ලැජ්ජාශීලී බව නිසා දෝ ජාන්වී ඇත්ත ම කීවා ය. මේධා සැහැල්ලු ලෙස සිනහ වූවා ය. ඇගේ කොපුල් රත් පැහැ ගැන්විණ. රාජිත සිය ජීවිතයෙන් නික්මුණාට පස්සේ ලස්සන කියන දේ ගැන ඇයට සිහි වූයේවත් නැත. තාරුණ්‍යය ඇය සමග ඉන්නා බව හෝ ඈ අතැර ගොස් ඇති බව හෝ මේධා නො දැන සිටියා ය. දශක දෙකහමාරක් වූ ගෙවී ගිය කාලය පුරා ම ඇගේ සිත්හි වූයේ එක ම එක දෙයකි. ඒ විසල් ය. ගිර් දුර්ග වන දුර්ග ජල දුර්ග වලින් ගහන වූ ඔහු ගේ ජීවිතය වඩා හොඳ පහසු නිම්නයක් වෙතට අවතීර්ණ වී, අනාගතය වාසනාවන්ත වනු දැකීම ඇගේ ජීවන ප්‍රාර්ථනාව වී තිබිණ. මොහොතකටවත් ඇය තමන්ව දුටුවේ නැත. ඇයට ඈ කියා කෙනෙකු සිහිපත් වූයේ නැත.

‘දැන් ඉතින් මගෙ මොන ලස්සනක්ද… අපි තේ ටිකක් බීල ඉමු’

මේධා වහ වහා තේ සූදානම් කළා ය. කහට වැඩියෙන් දමා මෝල්ටඩ් මිල්ක් මුසු කොට ඈ තනනා කිරි තේ එක කාලයකට අමතක නො වෙනා රසයකින් යුතු ය. එක තේ උගුරකින් ජාන්වී ඒ රසයෙන් රස නහර පබුදාගත්තා ය.

‘මං දන්නව අම්ම මට කැමති නෑ කියන එක’

ඉක්මනට මාතෘකාවට ගොඩවන්නට ජාන්වී ට ඕනෑ වී තිබිණ.

‘අනේ’

මේධාට සිය අදහස පවසන්නට අවස්ථාවක් ලැබුණේ නැත.

‘ඒක ගැන මට කිසිම පුදුමයක්වත් තරහක්වත් දුකක්වත් නෑ අම්ම. මොකද අම්ම හිටපු තත්වෙ… විසල්ව මෙතනට ගේන්න අම්ම විඳපු දුක… ඒ ඔක්කොම මට අමුතු දේවල් නෙවෙයි. මං දන්න දේවල්. මාත් මගෙ දරුවත් එක්ක අවුරුදු දෙකක් තිස්සෙ ඔට්ටු වෙන්නෙ එහෙම ජීවිතයක් එක්ක. මගෙ පුතා දවසක මේ විදිහෙ සම්බන්ධෙක පැටලුණොත් මාත් කලබල වෙයි. ඒක නිසා අම්මගෙ තත්වෙ මට හොඳට තේරෙනව. ඒක හරිම සාමාන්‍යයි. මං වුණත් එහෙම වෙයි. මං විසල්ව රවට්ටගත්ත කියලනං හිතන්නෙපා අම්ම. මට අන්න ඒ ඉල්ලීමයි අම්මගෙන් කරන්න ඕනකම තිබුණෙ’

මේධා සිටියේ අපහසුවට පත්වෙමිනි. මේ වගේ පෞරුෂවත් ගැහැනියක ඉදිරියේ ඇයට ඇය කුරුකුහුඹු ආත්මයක් සේ දැනීයමින් තිබිණ.

‘ඒක කවුරුවත් ගැන තරහකින් අකමැත්තකින් කියපු දෙයක් නෙවෙයි. හැම අම්ම කෙනෙක්ට වගේම මටත් ඕනවුණේ මගෙ පුතා එයා වින්ද දුක වගේ දහස් ගුණයක සතුටක් සැපතක් විඳින ජීවිතයක් හදාගන්නවට. මමත් දරුවෙක් එක්ක කසාදයක් කරගත්ත ගෑනියෙක් විදිහට එහෙම කසාදයක් ඕනම නෑ කියල කියන්න ඕනතරං අත්දැකීම් තියනව පුතේ. මං විතරක් නෙවෙයි මාව බැඳපු මනුස්සය වුණත් මේ ජීවිතේ ඇතුළෙ සතුටෙන් හිටියෙ නෑ. අපි කාගෙවත් ජීවිත වල සම්පූර්ණකමක් තිබුණෙ නෑ. හැම වෙලාවකම ජීවත් වුණේ අසම්පූර්ණ ගතියක්… හිස්කමක් එක්ක. එහෙම ජීවිතයක් මගෙ කොලු පැටියටත් ලැබෙන්න ඕන නෑ කියන එක විතරයි මගෙ හිතේ තිබුණෙ. කොහොමත් එයාට කවදාවත් ලස්සන පවුලක් ඇතුළෙ සතුටෙන් ඉන්න ලැබිල නෑ. ඒක උපරිමෙන්ම එයා විඳින්නෝනෙ කියන දේ විතරයි මගෙ පපුවෙ වැඩ කළේ’

‘අම්ම කියන එක ඇත්ත වෙන්න ඇති. ඒත් විසල් සව්මිය ළඟ හරි සතුටෙන් ඉන්නව. ඇත්තම තාත්තෙක් වෙලා එයා මෙයාට ආදරේ කරනව. ඒක මෙයාටත් දැනෙන නිසා වෙන්නැති මෙයාටත් එයාවම ඕනවෙන්නෙ. විසල් මාව ලංකරගත්තෙ ඒ දෙන්නගෙ ආදරේ සම්පූර්ණ වෙන්නෝන නිසා වෙන්නත් ඇති’

‘මං දන්නව මං කොච්චර දැඟළුවත් එයාගෙ හිත වෙනස් කරන්න බෑ කියල. එයත් මගෙම පුතානෙ. ඔයාට දැනෙනවනං ඔයාල අතරෙ මං කියපු හිස්කම ඇතිවෙන එකක් නෑ කියල… එහෙනං එච්චරයි. ඔයා දරුවෙක් ඉන්න අම්මෙක් නිසා මං අවතක්සේරු කළා නෙවෙයි. මේ ජීවිතේ හරි පුදුම එකක් පුතේ. වෙන මොනා නැතත් කමක්නෑ අපිට සතුටෙන් ජීවත් වෙලා මැරිල යන්න පුළුවන්නං. දැන් ඉතිං ඔයා එයාගෙ ජීවිතේට ලං වුණ කෙනා. ඔයා මගෙ කොලු පැටියව මං වගේම බලාගන්නවනං… මගෙ රාජකාරිය ඇත්තටම ඉවරයි’

මේධා ගේ පපුවේ වාවාගත නො හැකි රිදුමක් විය. නමුත් ඇය හැඬුවේ නැත. බැඳීම් කියන්නේ ලිහිල් කොට සැහැල්ලුවෙන් සිටිත යුතු දේ බැව් දැන් ඇයට වැටහේ. එතකොට සංසාර ගමන ද සැහැල්ලුවෙන් යත හැකි වේ.

‘අම්ම’

කියාගෙන අසුනෙන් නැගිට ජාන්වී මේධා වෙතට පැමිණියා ය.

‘එහෙම වෙන්නෙ කොහොමද… ඒ රාජකාරි කවදාවත් ඉවරවෙන්න විදිහක් නෑ අම්ම. එයා දුර ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නෙ. සමහර විට එයා ඒ ගමන යද්දි මට හුඟක් දේවල් දරාගන්න වෙයි. හුඟක් කැපකිරීම් කරන්න වෙයි. අම්මගෙ හයිය එයාට වගේම මටත් ඕනවෙයි. එයාව අල්ලගෙන ඉන්න දැන් දෙන්නෙක්ම ඉන්න නිසා බය නැතුව එයා එයාගෙ අහසෙ පියාඹයි. අම්ම මාව තනි කරන්නෙ නෑ නේද…’

මේධා ට තවත් නම් දරාන සිටිය නො හැකි විය. බිත්තියට හිස බර කොටගත් ඕ තොමෝ ඇස් දෙක තද කොට පියාගෙන කඳුළු සොරොව් විවර කළා ය. බෝ වෙලාවක් ගත වෙන තෙක් ඇය ඉකි බිඳිමින් හඬන්නට වූවා ය. ජාන්වී ඇගේ හිස පිරිමදිමින් සිටියා ය. සව්මිය වැලි මිදුලේ අනගි සමගින් සෙල්ලම් කළේ ය.

‘මට නොලැබුණ ජීවිතේ ඔයාට ලැබෙනව කියල හිතෙනකොට මට සතුටුයි. ගෑනු කියන්නෙ හැමදාම අඬ අඬා ඉන්නම උපන් ජාතියක් වෙන්න ඕනෙ නෑ. හිස්තැන් නැති ජීවිතයක් ඔය දෙන්නට ගත කරන්න පුළුවන්නං… එච්චරයි’

ඒ හැන්දෑව ගෑනුකමට ගැහැනු ඇස් වලින් විටින් විට කඳුළු හැළුණ එකක් බව ඇත්ත ය. නමුත් ඒ හැන්දෑවේ, හදවතට සමීප ව හිඳ අතුරුදන් වූ මිතුරියක යළි හමු වූවා වන් සන්තෝෂයක් ඔවුන් දෙදෙනා ම වින්දනය කළහ. තවත් ගැහැනියක ඉදිරියේ පමණක් විවර කළ හැකි, තවත් ගැහැනියකට පමණක් පිරිමැදිය හැකි තුවාල දෙදෙනා ගේ ම හදවත් වල තිබිණි. නමුත් ඒ තරම් රහසිගත ඉසව්වකට වද්දාගත හැකි යයි හැඟෙනා ගැහැනු ආත්මයක් ඔවුන් දෙදෙනා ට ම මීට පෙර හමු වී තිබුණේ නැත. හමු වුණායි දැනුණ මේ අවස්ථාවේ, ඔවුහු ඉන් උපරිම ප්‍රයෝජන ලබන්නට වග බලාගත්හ.

‘අම්මලට අපිත් එක්ක අපේ ගෙදර ඉන්න පුළුවං. මං දන්නව විසල්ට අම්මවත් අම්මට විසලුත් නැතුව ඉන්න බෑ කියල’

දෙවන තේ එකත් බොන ගමන්, මිදුලේ ප්ලාස්ටික් පුටු දෙකක් තබා හිඳ ජාන්වී කීවා ය. හමා ආ සීතල පවනැල්ලට මේධා මඳහසක් තිළිණ කළා ය.

‘අනේ මෙහෙම හොඳයි. කොහොමත් අංකල් එහෙම කැමති වෙන්නෙ නෑ. එයාගෙ ජීවිතේ ඉතුරු ටිකත් එයා කැමති විදිහට ඔහේ නිදහසේ ගෙවපුදෙන්. මටත් දැන් ඉතින් මේ හොඳයි. මේ කෙල්ලවත් බලාගෙන ඒ මනුස්සයට යුතුකං ඉෂ්ට කරගෙන ඉන්නකොට ජීවිතේ ඉතුරු ටිකත් ගෙවිල තියෙයි’

‘අම්මව අපිටත් ඕනෙ ඉතිං…. විසල්ට විතරක් නෙවේ මටත් ඕනෙ’

‘මං ඉතිං ඉන්නවනෙ මෙහෙම’

ජාන්වී සමුගෙන ගියාට පස්සේ අමුතු පාළුවක් මේධාට දැනෙන්නට විය. හොඳම යාළුවෙකු ඇවිත් ගියා සේ ය. නමුත් හදවතෙහි තෘප්තිමත් පිරුණු බවක් විය. ඇය උනන්දුවෙන් රෑ කෑම පිසුවා ය. උදයට සේනක ට කැඳක් හදා දෙන්නට කරපිංචා ඉති කිහිපයක් ද කඩා තැබුවා ය. කොලෙස්ටරෝල් අඩු කරගන්නට සිය මිතුරන් කරපිංචා කැඳ හදවාගෙන බොන බැව් කිහිප දිනක් ම ඔහු ඇයට ඇසෙන සේ පවසා තිබිණ!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here