‘කොහොම කොහොම හරි හේතු හැදිල මට දීපිකාව බඳින්න වුණා. මං ඒ ගැන ඔයාට තේරුං කරල කියන්න හිටියෙ. කාව බැන්දත් මං ආදරේ කළේ ඔයාට කියල… හිතුවෙ නෑ මට නොකියම ඔයා අතුරුදහන් වෙයි කියල…’
දීර්ඝ වූ විස්තර කථනයකට පසු රාජිත ඒ පසුවදන කීවේ ය. මේධා ගේ මුවට නැගී තිබුණේ කාලයක් තිස්සේ ඇය විසින් පුරුදු පුහුණු කරනා ලද මන්දස්මිතයයි. කොහොමටත් ඔහු ළඟ ලස්සන වචන තිබෙනා බව ඇය දනී. කෙළි වයසේ දී ඈ මෝහනය වූයේත් ඒ වචන වල තිබි ලස්සනට යි. වචන වලින් ඈ දිය කරන්නට වුව පුළුවන්කම ඔහු ට තිබිණි. ඔහු ඒ බව දැනගෙන ද සිටියේ ය. දැනුත් එය එසේමැයි කියා සිතනවා ඇත. නමුත් රාජිත විසින් කියනා ලද සියල්ල ගඟට කැපූ ඉණි සේ අපතේ ම ගිය බවක් මේධා ගේ නිස්කලංක මඳහස මොනවට කියාපෑවේ ය.
මුලදී හුම්මානය සේ කැළඹී ඉහළ නැගුණු හැඟීම්, හෙමි හෙමිහිට සන්සුන් වී පෑදෙන හැටි මේධා බලා සිටියා ය. ජීවිතය කියන්නේ හුදු හැඟීම් මාත්‍රයක් පමණක් නොවන බව ජීවිත අත්දැකීම් ඇයට පසක් කොට දී තිබේ. වචන වලට හෝ හැඟීම් වලට වටිනාකමක් ලැබෙනුයේ ඒවා ක්‍රියාවක් බවට පත් වී ක්‍රියාත්මක වූ විට පමණකි. රාජිත කියන්නේ ඔහු ගේ වචන වලට කිසි දා ප්‍රායෝගික වටිනාකමක් නො දුන් මිනිසෙකි.
‘ජානාගෙ ගෙදර අයගෙං මං දැනගත්ත… විසල් කියන්නෙ ඔයාගෙ දැං ඉන්න හස්බන්ගෙ ළමයෙක් නෙවෙයි කියල. ඒ කියන්නෙ… ඔයාට ඊට කලින් මැරේජ් එකක් තිබුණද…’
තෙරක් නැති අගාධයකට ඈ ගිලා බසින්නා සේ මේධා ට දැනෙන්නට ගති. නමුත් පිදුරු ගසක හෝ එල්ලී ඒ ගිලා බැසීමෙන් මරණීය තුවාල නො ලබා සුරැකෙන්නට ඇයට දැඩි ලෙස ඕනා විය. මේ තීරණාත්මක මොහොතේ පියවි සිහිය රඳවාගෙන ඇයගේත් විසල්ගේත් ආත්ම අභිමානය වෙනුවෙන් සටන් කරන්නට ඕ සූදානම් වූවා ය.
‘ඔව්’
‘ඉතිං එ්කට මොකද වුණේ…’
‘එයා මැරුණ’
ඇය වේගයෙන් හුස්ම ගන්නට වූවා ය. ඇස් දෙක තද කොට පියා යන්තම් මුහුණ ඉහළට හරවාගෙන හිතට ශක්තිය එකතු කළා ය.
‘මේධා… නංගි…’
නිහඬව ගෙවුණු තත්පර ගණනාවක අග රාජිත සුසුමකින් කතා කළේ ය.
‘මට ඇත්ත කියන්න… විසල්… එයා… අපේ පුතෙක්ද… ‘
මේධා ට දැනුණේ අර කළු කුහරය තුළ අගාධ අඳුරෙහි අසීමිත වේගයකින් ඈ පහළට කඩා වැටෙන්නා මෙනි.
‘විසල් දිහා බලං ඉන්නකොට… මන්දා… මට එයා ගැන අමුත්තක් දැනෙනව. හරියට… එයා මගෙම කොටසක් වගේ… මංම තව තැනක තව ශරීරයක් ඇතුළෙ ඉන්නව වගේ… මං ම හිනාවෙනව වගේ… මං ම කතා කරනව මං ම ඇවිදිනව වගේ…’
මේධා ගේ දෑස් ඉවුරු පිපිරී කඳුළු ගං දිය පිටාර ගලන්නට විය. නමුත් ඕ ඉකියක් හෝ නො ලන්නට වගබලා ගත්තා ය. තමන් සමගින් ම බරපතල ද්වන්ධ සටනක නියුක්ත වූවා ය. ඇය වසර විසි පහක් තිස්සේ ඔහු ගේ පුතු හදා වඩා ගත්තා ය. ඔහු කුස යහනට වැඩි බවක්වත් රාජිත දැන සිටියේ නැත. මේ දක්වා එක මොහොතකට හෝ ඔහු ට තමන්ගේ පුතෙකු ඈ ළඟ වැඩෙනා බවක් දැනුණේ නැත. ඔහු ට පෙම් කොට මුළු ආත්මය ම ඒ ප්‍රේමයේ නාමයෙන් ඔහු ට පාවා දුන් ඈ ගැන වගක් හෝ නැතිව ඔහු විවාපත් වූයේ ය. ඊට පස්සේ ඇය ජීවත් වෙනවා ද කියා හෝ සොයා බලන්නට නො වෙහෙසුණේ ය. ඇතැම් විට ඇගේ නිහඬ වීම ඔහු ට සහනයක් වන්නටත් ඇත. දැන් ඔහු හදිසියේ ම අලුතෙන් ඉපදී තිබේ. පුතෙකු ගැන විමසන්නට සිහිපත් වී තිබේ. එහෙම පියෙකු විසල් ට කුමට ද? එහෙම පියෙකු කිසිදු දරුවෙකුට කුමට ද? ආදරයක් නොමැතිව හෝ ඔහු ව ජීවත් කරගන්නට අවස්ථාවක් ලබා දුන් සේනක ඊට වැඩිය අංශුවක් හෝ වටිනා මිනිසෙකි.
‘පිස්සුද ඔයාට…’
අන්තිමට මුළු ශරීරයේත් මනසේත් වූ සියල් ශක්තිය එක්කාසු කොට මේධා කෑගැසුවා ය. රාජිත ට දැනුණේ ඔහු ගේ කන හරහා ඇය විසින් අතුල් පහරක් එල්ල කරනු ලැබුවා සේ ය.
‘මොනාද ඔය කියවන්නෙ… ඔය වගේ දෙයක් මගෙන් අහන්න ඔයාට කොහෙන්ද හයියක්… දෙයියංගෙ නාමෙට මට ආයෙ කතා කරන්නෙපා. ඒ කාලෙ අපි අතරෙ මොනාහරි තිබුණනං ඉවර වුණෙත් ඒ කාලෙමයි. ඊට පස්සෙ කවදාවත් මට ඔයාව මතක් වුණෙත් නැති තරමයි. ඔයාගෙ විතරක් නෙවෙයි මගෙත් ජීවිතේ එතනිං එහාට ඉස්සරහට ගිහිල්ලයි තියෙන්නෙ. හේතුවකට හරි අහේතුවකට හරි මගෙ කොල්ලත් ඔයා බැඳිච්ච පවුලටම බැඳුණ. හැබැයි මේ පරණ කුණු ගොඩවල් අවුස්සල ඒ ළමයට ප්‍රශ්නයක් වුණොත් එහෙම… මං මුළු ලෝකෙටම ගිනි තියයි රාජිතයිය. අන්න ඒක මතක තියාගන්න’
මේධා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. ඈ සිටියේ වෙව්ලමිනි. දුකත් කෝපයත් සම අනුපාත වලින් එකට කැළතී තිබිණි. හැඬෙනා එක නවතා ගන්නට ඇයට කිසි සේත් හැකි වූයේ නැත. ඕ මී දෙනක සේ හඬන්නට වූවා ය.
ඊළඟ දුරකතන ඇමතුම එන විටත් මේධා සිටියේ වරින් වර හැලෙනා කඳුළු පිසිමින් නාසය උඩට අදිමිනි. ඈ දුරකතන තිරය දෙස හොඳින් බැලුවේ නැවත වතාවක් රාජිත කතා කරනවා ඇතැයි සැකයෙනි. නමුත් තිරය මත සනිටුහන් ව තිබුණේ සේනක ගේ නමයි.
‘මං මේ සේනක වැඩ කරන තැන එක්කෙනෙක් කතාකරන්නෙ. සේනකට ටිකක් අසනීපයි වගේනෙ’
දෙපා වලින් ඇවිළුණු ගින්නක් ඉහළට නැගෙන සැටි මේධා අත්වින්දා ය.
‘අනේ… මොකද්ද වෙලා තියෙන්නෙ…’
‘එයාට නිකං… කලන්තයක් වගේ ඇවිත්… අත පය පණ නැතුව ගිහින් වගේ’
‘අනේහ්’
මේධා එහෙම ම විසල් ඇමතුවා ය. ඒ හැරෙන්නට කිසිවක් තීරණය කරන්නට තබා සිතාගන්නටවත් වාරුවක් ඇගේ සිත්හි වූයේ නැත. අනියත බියක් ඈ යට කරගෙන තිබිණ. මුළු සිරුර ම අප්‍රාණික ව ඇති බව පමණක් ඇයට දැනිණ.
විසල් ගේ මැදිහත් වීම මත සේනකව පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනා ලදී. එහිදී වහ වහා ප්‍රතිකාර ඇරඹිණි ද ඒ වන විටත් තරමක පමාවක් තිබිණි. රුධිර පීඩනය ඉහළ යාම මත ඔහු ආඝාත තත්වයකට පත් වී තිබූ අතර, අප්‍රාණික ව ගිය ශරීරයේ අංශය යළි ප්‍රාණවත් වීමට යම් කිසි කාලයක් ගත වනු ඇති බව වෛද්‍ය මතය වූයේ ය.
සේනක ට දින කිහිපයක් රෝහල්ගත ව ප්‍රතිකාර ලබන්නට සිදු විය. නමුත් තව දුරටත් ඔහු සම්පූර්ණයෙන් පෙර සිටි සේනක ගේ තත්වයට පත් වූයේ නැත. අංශභාග තත්වයට පත් ව දිවි රැකගත් රෝගියෙකු සේ ඔහු ව යළි නිවසට කැටිව එන්නට සිදු විය. විසල් ඔහු වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කළේ ය. රජයේ රෝහලක බෙහෙත් පෝලිමේ දුක් විඳින්නට ඉඩ නො තබා පෞද්ගලික මට්ටමෙන් සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ ය. සේනක කියන්නේ එකල ඔහු ගෙනැවිත් තිබූ කෙසෙල් ගෙඩියක් කෑවාට උරණ වූ මිනිසා බව අමතක කොට ඔහු ට අවශ්‍ය සියල්ල නො මසුරුව සැපයුවේ ය.
‘අනේ ඔයාට පින් සිද්ද වෙනව පුතේ. ඔයා මෙහෙම නොකළනං… මේ මනුස්සයව මං කොහොම…’
මේධා ට කතා කිරීම පවා පහසු නො විණි. විසල් අම්මාව සිය සිරුරට ලං කොටගත්තේ ය.
‘අම්මෙ… මගෙ තාත්ත නොවුණට අම්මට මාව හදාගන්න අංකල්ගෙන් උදව්වක් නොලැබුණා කියන්න බෑනෙ. ඉතිං මටත් එයා ගැන වගකීමක් තියනව. ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට යවන්නැතුව ඕගොල්ලොන්ට පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් තරමට ආර්ථික හයියක් හදාගන්න එක තමයි කොහොමත් දැන් මගෙ ලොකුම ඕනකම. දැං අංකල්ට ප්‍රශ්නයක් නෑනෙ. අපි අර වෙද මහත්තය ළඟට අරං ගිහිං ඉතුරු ටිකත් සනීප කරගමු’
රෝහලේ සිට ගෙදර ගෙන ඒමෙන් පසු මේධා සේනක ව බලා ගත්තේ පොඩි දරුවෙකු සේ ය. යහනට සීමා වී සිටි ඔහු ගේ හැම ආවතේවයක් ම පළපුරුදු හෙදියක සේ ඉටු කළා ය. ලුණු රහිතව සේනක වෙනුවෙන් කෑම පිසුවා ය. කැව්වා ය. පෙව්වා ය. ඇඳුම් මාරු කරවූවා ය. ඇයට වැඩ වැඩි වූයෙන් ජාන්වී මේධා හා අනගි වෙනුවෙන් කෑම සකසාගෙන ආවා ය. ඒ ඇවිත් මේධා ගේ වැඩ වලට අත් උදව් ද දුන්නා ය.
‘අනේ ඔයාට බෑ පුතේ’
කියා එවන් අවස්ථා වල මේධා කියයි.
‘ඇයි බැරි… මටත් ඕනෙ අම්ම වගේ කෙනෙක් වෙන්න’
‘අනේ… මට වෙච්ච දේවල්නං හීනෙකිංවත් ඔයාට වෙන්නෙපා’
‘මං කිව්වෙ… අම්ම වගේ හිතන්න පුළුවන් කෙනෙක් වෙන්න. මෙච්චර කාලෙකට මගෙ ජීවිතේ මං දැකපු හීරොයින් අම්ම. වෙන කවුරුවත් මට වීරවරියො නෙවෙයි’
‘ජීවිතේ අපිට දෙන හැම දේම බාරගන්න වෙනවනෙ. එපා කියල දාල යන්නද… එහෙම පුළුවං මිනිස්සුත් ඇති. ඒත් මනුස්සකම කියන්නෙ පරිස්සං කරගන්න ඕන දෙයක්. මහා දිග ජීවිතයක් මිනිස්සුන්ට ලැබිල නෑනෙ. අවුරුදු දෙතුන් සීයක්වත් තියනව කියලයැ… ඉතින් තියන පොඩි කාලෙ මනුස්සකං පරිස්සං කරගෙන ජීවත් වෙන්න තමයි තියෙන්නෙ’
මේධා එලෙස ඔහු වෙනුවෙන් ඇප කැප වෙත්දී, විසල් ඔහු ගේ මුදල් වියහියදම් කොට සිය ජීවිතයට තවත් අවස්ථාවක් ලබා දෙත්දී, සේනක ට තමන් ගැන ම ලැජ්ජාවක් නො දැනුණා නොවේ. අතීතය ඔහු ගේ බොටුව හිර නො කළා නොවේ. ජීවිතය වූ කලී තමන්ට තමන් ගැන ලැජ්ජාවක් නො දැනෙන සෙයින් ගත කළ යුත්තක් කියා ඔහු ට පසක් වන්නේ දැන් ය. ලෙඩ ඇඳකට වැටුණාට පස්සේ ය. දෛවය කියන්නේ කෙතරම් සැලසුම් සහගත වූවක් ද? කුඩා කල ඔහු විසින් ඒ තරම් වෙනස්කම් කරන ලද විසල් ගේ පිහිටෙන් දිවි රැකගන්නට අද ඔහු ට සිදුව තිබේ. නමුත් එදා ඔහු ක්‍රියා කළේ කිසි දාක නො මියෙන මිනිසෙකු ලෙස නොවේ ද? පළිගන්නට වෛර බඳින්නට ද්වේශ කරන්නට තරම් මෙදිවිය දිගු වූවක් ද? නැත!


