විසල් සිඳුරංග රාත්‍රියේ කෝපි කෝප්පය තොල ගාමින් සඳලුතලයට වී පිටත බලා සිටියේ ය. රාත්‍රිය මෝරා වැඩී තිබේ. පිටත අවකාශය මෙතැන සිට බලත්දී පෙනෙන්නේ, පහළ සිට බලත්දීට වඩා වෙනස් හැඩයකිනි. වෙනස් කෝණයකිනි. ජීවිතයත් එසේමයි නොවේ ද? ඔහු පහළ ම තැන සිට ජීවිතය දුටු කෙනෙකි. ජීවිතයේ පහළ ම තැන සිටි කෙනෙකි. මුදල් කියන්නේ ජීවිතයක අගය ඉහළ පහළ දමනා ප්‍රධාන සාධකයක් බව ඔහු වටහා ගත්තේ ඒ කාලයේදීයි. මුදල් අඟහිඟ නිසා ජීවිතයේ ඇතැම් විශේෂිත තැන් පවා ඔහු ට අහිමි වී තිබේ. මිතුරන්ට මෙන් ආහාර පාණ, ඇඳුම් පැලඳුම් පමණකුදු නොව බොහෝ අවස්ථා වල මිතුරන් එක්ව ගිය විනෝද ගමනක් පවා ඔහු ට අහිමි වූයේ හිත තදින් රිදවමිනි. එතකොට ඔහු ට ඕනෑ වූයේ ම ඉක්මනින් මුදල් හරිහම්බ කරන්නෙකු බවට පත්වෙන්නටයි. නමුත් උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාල සිහිනය පෙනි පෙනී අහිමි වී, තවත් වසර කිහිපයක් ම හරිහැටි වැටුපක් ලබනා රැකියාවක් ද නො ලැබ සිටියදී, මුදල් යනු කෙතරම් වටිනා දෙයක් ද යන සදාතන සත්‍යය තව තවත් හදවතේ ගැඹුරට කිඳාබසිනා ලදී. සේවරි සිම්ෆනි තුළ සිය ගමන යන්නට අවස්ථාව ලැබුණ ගමන් ඔහු එය තදින් බදා ගත්තේ එබැවිනි. ජාන්වී වූ කලී ඉහළට නැගෙන්නට දෛවය විසින් ඔහු ඉදිරියෙහි පහළ කරනා ලද හිණි මගක් බව ඉතා ඉක්මනින් විසල් විසින් පසක් කරගන්නා ලදී. එතැනදී ඔහු ජාන්වී ව තෝරා ගත්තේ මුදල් වෙනුවෙන් පමණක් ම නොවේ. ඈ වූ කලී ජීවිතයෙහි ඔහු ට හමු වූ ආදරය ද විය. නමුත් ඇය නිසා ඔහු ගේ ගමන හා අරමුණ පහසු වන බව සක් සුදක් සේ ඔහු දැන සිටියේ ය. මේධා ගේ විරෝධය පවා යම් දිනෙක සමනය වනු ඇතැයි හැඟීමෙන් ඔහු එය නො සලකා හැරියේ එබැවිනි. විසි පස් වසරක් තිස්සේ ජීවිත පිරිපත නිසා හෙම්බත් වූ මේධා ගේ ජීවිතයේ ඉතිරි අඩ වඩා සුවපහසු එකක් බවට පත් කිරීම විසල් ගේ ප්‍රධාන අරමුණක් වූයේ ය. ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට සේවරි සිම්ෆනි තරම් හොඳ මගක් යළි හමු නොවනු ඇතැයි සිතන්නට ඔහු කැමති විය.
ඔහු මුදල් හඹා යන බවට සැකයක් ජාන්වී තුළ වන බව ද විසල් දනී. මුදල් කියන්නේ ඇවට විශේෂිත හැඟීමක් දනවන්නක් නොවේ. මුදල් කියන්නේ ඇයට වටිනා යමක් ද නොවේ. එසේ වන්නේ මුදල් යනු උපයන්නට අසීරු යමක් බවට අදහසක් උපන් දා සිට ම ඇයට දැනී නැති බැවිනි. උපදින විටත් සියල්ල ඇය වෙනුවෙන් ඉපයී සැපයී තිබූ බැවිනි. අවශ්‍ය තැන දී අවශ්‍ය ලෙස විය හියදම් කරන්නට මුදල් නොමැති වීම නිසා මිනිසෙකුට දැනිය හැකි අසරණ හැඟීම කෙබඳු දැයි හිතා ගන්නටවත් ඇයට නුපුළුවන. ඉතින් ඇය එහෙම ම ඉන්නා එක හොඳ ය. ඇය එහෙම ම සිටියදී ආර්ථික වශයෙන් තමන් සවිබල ගන්වා ගැනීම විසල් සිය ප්‍රධාන ම ඉලක්කය බවට පත් කරගෙන සිටී.
‘මොනාද ඔච්චර කල්පනා කරන්නෙ…’
පිටුපසින් ඇසුණු හඬත්, ඒ ස්පර්ශයත් ජාන්වී ගේ ය. විසල් එක අතකින් ඈ සිය තුරුලට ගත්තේ ය.
‘කොච්චර දේවල් තියනවද කල්පනා කරන්න… අංකල්ගෙ ට්‍රීට්මන්ට්ස් වලට ඕන තරමට මගෙ ළඟ සල්ලි ටිකක් තිබුණ එක කොච්චර දෙයක්ද කියල ඔයා දන්නවද… එහෙම නොවුණනං… අදත් මෙතන ඉන්නෙ මීට අවුරුද්දකට කලින් හිටිය අතේ සතේ නැති විසල් ම වුණානං… අංකල්ව ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙක නතර කරන්න වෙයි. ඒක කමක් නෑ කියමුකො. අම්මට තුන් වේලම බලන්න ඉස්පිරිතාලෙ දුවන්න වෙයි. ගෙදර ඇවිත් ආයෙ මොනාහරි උයාගෙන දුවං යන්න වෙයි. රෑ වෙලා බස් වල තෙරපීගෙන ගෙදර ඇවිත් තේ කහට එකක් හදං බොන්න වෙයි. සමහර විට බස් එකේ යන්න කීයක්හරි නැතුව හිතෙං තැවෙන්නත් වෙයි. ෆාමසි එකෙන් ගන්න වෙන බෙහෙතක් ගන්න විදිහක් ගැන හිත හිත හූල්ලන්න වෙයි. ඒ අසරණකං අපිට හොඳට පුරුදුයි ජානු. ඒත් ඒව පුදුම විදිහට හිත රිද්දනව. එහෙම රිදුණ ඉස්සර දවස්වල මං හිතල තියනව ලොකු වෙලා කොහොමහරි සල්ලි තියන මිනිහෙක් වෙනව කියල. අම්මව සැපෙන් තියනව කියල. අදටත් මං ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි තමයි. ඒත් අංකල්ගෙ අසනීපෙ වෙලාවෙ එයාවයි අම්මවයි දෙන්නවම පහසුවෙන් තියන්න මට පුළුවං වෙච්ච එක ගැන චූටි ආඩම්බරයක් තියනව’
‘ඔයා හරි හොඳයි විසල්. ඔයාගෙ ඔය මනුස්ස ගති ජීවිතේ පුරාම පරිස්සං වෙන්න ඕනෙ’
‘ඕගොල්ලො ඔක්කොම දැං මගෙ වගකීමක්. ඕගොල්ලො කාටවත් නැතිබැරිකමක් අසරණකමක් දැනුණොත් ඒක මගෙ දුර්වලකමක්. ඒ වෙනුවෙන් මං මහන්සි වෙනව. මං සල්ලි මත්තෙ මැරෙන්න යන මිනිහෙක් කියල ඔයා හිතුවොත් මං ඒත් ෆේල්. මට මේ ඔක්කොම බැලන්ස් කරගන්න ඔයා මං ළඟම ඉන්න ඕනෙ’
‘මට ඔයාව තේරෙනව. ඒත් සව්මිය අදත් ඔයා එනකල් කියල බලං ඉන්න අතරෙ නින්ද ගියා’
‘හෙට උදේට මං ටිකක් එයා එක්ක ඉඳල යන්නං’
‘සේවරි සිම්ෆනි එක නිසා වුණත් ඔයා ඕනවට වැඩිය මහන්සි වෙනකොට…’
‘මේ ජීවිතේ වැඩිය දිග නෑ ජානු. එහෙ බලල මෙහෙ බලනකොට අපේ මැදි වයසත් පහුවෙලා තියෙයි. මට ඒක හොඳටම දැනෙන්නෙ අංකල් ගැන හිතද්දි. මීට අවුරුදු විස්සකට කලින් එයා මොනතරං සද්දන්ත මනුස්සයෙක්ද… යෝධයෙක් වගේ ශක්තිය තිබුණ මනුස්සයෙක්. ඒත් අද අංශබාගෙ හැදිල ලෙඩ ඇඳට වැටිල ඉන්න හැටි…කොයි දේත් කරන්න අත පය හයිය තියෙන්නෙ ටික කාලයයි. ඒ කාලෙ අපතේ යවාගන්න එක තමයි මනුස්සයෙක් කරන ලොකුම මෝඩකම. මැදි වයසෙදි ජීවිතේ පටං ගන්න හිතනකොට ලෙඩ වෙලා ඉවරයි. මේ කාලෙදි මං ටිකක් මහන්සි වුණාට කමක් නෑ ජානු. අපිට තව ඉස්සරහට විවේක ගන්න පුළුවන් එතකොට. දැන් විවේක සුව විඳින්න ඕන කියල හිතුවොත්… ඉස්සරහට හුඟක් මහන්සි වෙන්න වෙයි. එතකොට මහන්සි වෙන්න හයියකුත් නැති වෙන්න පුළුවන්. ඔයාට තේරෙනවද මං කියන දේ…’
ජාන්වී හිස සළමින් දෑත ම ඔහු ගේ බඳ වටා යැව්වා ය.
*
එදා සිට ම රාජිත සරත්චන්ද්‍ර ගේ හිතට නිවනක් නැත. ජාන්වී ගේ විවාහ උත්සවය දවසේ පටන් මේ නො සන්සුන්කම තවමත් එහෙම ම ය. මේධා ට කතා කිරීමෙන් එය සන්සිඳෙනු ඇතැයි සිතුවේ වී ද කිසිවක් වෙනස් නොවූ බැව් ඔහු ගේ ආත්මයට ම දැනේ. එක අතකට කවරක් වෙනස් වන්න ද කියාත් ඔහු ට නො හිතෙනවා නොවේ. මේධා ස්ථිර වශයෙන් යම් ප්‍රකාශයක් කළා ය. ඇගේ ජීවිතයෙහි දැන් අංශු මාත්‍රික ඉඩක් ඔහු ට නැත. ඇය හැසිරෙන්නේ එහෙම ඉඩක් තිබුණේත් නැති ගාණට ය. විසල් ගැන අබ මල් රේණුවක හෝ අයිතියක් ඔහු ට නැති ලෙස ඇය කතාකරයි. නමුත් එහෙනම් මේ තරම් හුරු පුරුදු බවක් ඔහු ට විසල් වෙතින් දැනෙන්නේ ඇයි?
දීපිකා දෙවරක් ගැබ් ගත්තා ය. නමුත් කළලයට මාස තුනක් පිරීමටත් පෙර ඒ දෙවතාවේ ම ගබ් සා වූයේ ය. ආයේ ගැබ් ගැනීමක් ගැන ඔවුන් දෙදෙනා තුළ ම බලාපොරොත්තුවක් විය. නමුත් එවැන්නක් සිදු වූයේ නැත. පමා වී හෝ එසේ සිදු වනු ඇතැයි අපේක්ෂාවෙන් ඔවුහු බලා සිටියහ. අවසන දරුවෙකු ලද හැකි වූයේ වෛද්‍ය ආධාර හා අධීක්ෂණය යටතේ ය. එද දීපිකා ගේ බලවත් අවශ්‍යතාවය මතයි. රාජිත නම් සිය ප්‍රතිරූපයට වන කැළලක් ලෙස සලකා හැකිතාක් මේ තත්වය වැළැක්වීමට උත්සාහ කළේ ය.
කෙසේ වෙතත් ඔවුන් ලැබූයේ දියණියකි. පුතෙකු පිළිබඳ ආශා හා ප්‍රාර්ථනා උපන් ගෙයි ම මිය ගොස් තිබිණ. කාලය බොහෝ ප්‍රශ්න යටපත් කරයි. සිත් වේදනා තුනී කරයි. ඇතැම් ප්‍රාර්ථනා ද කාලයේ වැලි තලා යට මිහිදන් කර අමතක කොට දමයි. පුතෙකු පිළිබඳ ආශාව ද එසේ ය. යළිත් එය හුම්මානයක් සේ ඉහළ නැගී ආවේ විසල් දැකීමෙනි. ඔහු වූ කලී කොතක් වගේ බබලන, ලස්සන, කඩවසම් පුතෙකි. ඔහු ට තිබෙන්නේ මේධා ගේ රුවයි. ඒ පියකරු බවයි. එනමුදු මුළු මහත් විසල් පුරාවට රාජිත ට තමන් හමු වේ. විසල් වූ කලී ඔහු ගේ අවතාරයක් සේ දැනේ. විසල් ගෙන් ගම්‍ය වනුයේ රාජිත පුතෙකු ගේ තාත්තෙකු බව ද? ලෝකයේ කොතැනක හෝ ඔහු ට දාව පුතෙකු බිහි වී ඇති බව ද?
මේධා ඒ යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කළා ය. නමුත් මොහොතින් මොහොතට ඒ සිතිවිල්ලෙන් රාජිත පිස්සු වැටේ. උන්මාදයට පත් වේ. ඔහු ගේ රාජකාරී කටයුතු වියවුල් වෙන බවක් දැනෙන්නට ගති. මහත් නො සන්සුන්කමක් ආත්මය හැඩි කරමින් තිබිණ. ඔහු ගේ ඇතුළාන්තයෙහි වූ එක ම සිතිවිල්ල විසල් ය. ඔහු සිය පුතෙකු විය නො හැකි ද? නො වෙන්නට බැරි කමක් නැති බැව් වෙන කාටත් වැඩියෙන් ඔහු දනී. නමුත් එවැනි සිතිවිල්ලක් මීට පෙර නූපන්නේ ඇයි? දීපිකා හා විවාහ වීමේ අවසාන මොහොත දක්වා ම ඔහු ට එසේ සිතුණේ නැත්තේ ඇයි? නිවැරදි කළ නො හැකි තරමට ම වරද ඔඩුදුවනා තෙක් වැඩෙන්නට හැරීම ඉරණමේ තීරණය විණි ද? මේ විදිහට ඔහු ව මානසිකව පීඩාවට පත් කොට ආත්මීය ව දඬුවම් පැමිණවීම කර්ම ශක්තිය වී පැමිණී ද?
සැබවින් රාජිත දඬුවම් විඳිමින් සිටියේ ය. මේ ආත්ම භවයෙහි ම මානසික වශයෙන් ලද හැකි ඉහළ ම දඬුවම ඔහු ට ලැබෙමින් තිබිණි. විසල් කෙනෙකු ලෝකයට බිහි වී ද නොවී ද ඔහු මේධා ට සිදු කළේ බලවත් අපරාධයක් බව හෘද සාක්ෂිය නො දන්නවා නොවේ. මෙතෙක් කාලයක් ඔහු හෘද සාක්ෂියෙන් ගැලවීගෙන සිටියේ ඒ රහස දන්නා මේධා යළිත් ඔහු ගේ දෑස් ඉදිරියට නො පැමිණි නිසා ය. මේ තරම් සාර්ථක ගමනාන්තයක ඔහු දැන් ඉන්නේ ඇය ලෝකය ඉදිරියට ගොස් ඔහු ට විරුද්ධව කට නෑරි නිසා ය. නමුත් ඔහු ඇයට කළේ මොන තරම් වරදක් ද? මොන තරම් අපරාධයක් ද?ඇගේ ප්‍රේමය නින්දිත ලෙස පරාජය කරන්නට තරම් ඔහු පාපතරයෙකු වූයේ ය. ඇගේ ප්‍රේමයත් ශරීරයත් යන දෙකෙහි ම නිර්මලත්වය විඳ පසුව හපයක් සේ ඈ ඉවතට කොට වෙනත් විවාහයක් කරගත්තේ ය. නමුත් අද ඇය ඉන්නේ කොතැන ද? අද ඔහු ඉන්නේ කොතැන ද?
තමන්ගේ ම මනසෙහි සිටිනා යක්ෂයා අවදි වී රාජිත ට පීඩා කරන්නට වූයේ ය. ඔහු ට දිගු නින්දක් ලබන්නට හැකි වූයේ ම නැත. කුස ගින්නක් දැනෙන්නේ ම නැති තරමට හිත් ගින්න තීව්‍ර විය. ඔහු පියවි සිහියෙන් ගිනි ගොඩක් මැද දැවෙමින් සිටියේ ය.


