සේනක ට සිංහල බෙහෙත් කරන්නට ගැනීම නිසා මේධා ට තරමක් වැඩ වැඩි විය. තෙල් බෙහෙත් සාත්තුව ඉතා හොඳින් සිදු කොට සේනක ගේ අප්‍රාණික වූ ශරීරයට යළි පණ ලබා දීම ඇගේ එක ම අරමුණ වූ බැවිනි. ඇගේ මුළු හදවතේ ම වූ පැතුම ඔහු යළි යථා තත්වයට පත් වේවා යන්නයි. ඒ වෙනුවෙන් දැඩි අධිෂ්ඨානයකින් යුතුව ඕ ඇප කැප වී උවටැන් කළා ය.
ඔහු සවිමත් මිනිසෙකු ව සිටියේ ය. ඔහු නිසා ඇය ඕනෑ තරම් හිත රිදුවාගෙන තිබේ. ඔහු විසල් ට කරනා වෙනස්කම් නිසා ළය පැළී මියේවියි සිතෙනා තරමට දුක් උහුලාගෙන තිබේ. සද්දන්ත පුරුෂයෙකු වූ සේනක මේ විදිහට ඇඳට වැටුණු හැටි තවමත් ඇයට අදහා ගත නො හැකි තරම ය. ජීවිතය කියන්නේ කෙතරම් විශ්මයක් ද? ඒ මත බොහෝ විට සිදුවන්නේ නො සිතූ දේ ම ය. සේනක පමණකුදු නොව මේධා වුව ඔහු ව මෙලෙස දකින්නට සිදු වෙතැයි කිසි දාක සිතුවේ නැත.
සේනක ව වෛද්‍යවරයා වෙත හෝ වෙද මහතා වෙත ගෙන යන්නට තිබෙනා වෙලාවට විසල් නැති වුවහොත් ජාන්වී මෝටර් රථය ගෙන පැමිණෙයි. සේනක ගේ ප්‍රතිකාර සඳහා ජාන්වී හැකි උපරිමයෙන් මේධා ට උදව් කරන්නී ය. ලේලිය හෝ දියණිය ලෙස නොව සොයුරියක හෝ මිතුරියක ලෙස ඇය මේධා ට ශක්තියක් වී ළඟ රැඳෙයි.
‘කොල්ල පරණ දේවල් මතක තියාගෙන ඉඳල පළි ගන්නෙ නැති නිසා හොඳයි. වෙන දරුවෙක්නං මෙයා ගැන මෙහෙම බලන්නෑ’
මේධා ජාන්වී ට රහසින් වාගේ පවසයි. එහෙම හිතත්දීත් මේධා ගේ ඇස් කඳුළින් තෙමෙනා එක වැළකිය නො හැකි ය.
සේනක අතින් කවර වැරදි සිදු වී තිබුණත් මේධා දැන් ඒවා ඔහු ට සිහිපත් කරන්නට යන්නේ නැත. අනගි ව වාගේ ම සිය යුතුකමක් සේ සලකා ඔහුව රැක බලාගනී. වතුර මුට්ටියක් උණු කොට ඔහු ව නහවයි. ව්‍යායාම කරවයි.
‘මේ වතුර උතුරවන එක අම්මට හරි කරදරයක් නේද…’
දිනක් ඒ දෙස බලා සිටි ජාන්වී විමසුවා ය. මේධා ගේ මුහුණෙහි සුපුරුදු සිනහව ඇඳිණි.
‘ජීවිතේ කරදරයක් කියල මගඇරල යන්න බෑනෙ පුතේ’
නමුත් එදා ම හැන්දෑවේ විසල් ගේ මැදිහත්වීම මත ගෙට සම්බන්ධ කොට අලුත් නාන කාමරයක් තැනවීම ආරම්භ විය. කඩිනමින් එහි කටයුතු නිමා වූ අතර, සේනක නැහැවීම වෙනුවෙන් වතුර උණුකිරීමට මේධා තවදුරටත් කරදර විය යුතු නො විණ.
‘මට සමාවෙනව මේධා’
ඒ සියල්ල දෙස ටික දවසක් බලා හිඳීමෙන් අනතුරුව සේනක එසේ පැවසූයේ කඳුළු පිරි දෑසකිනි. මේධා මඳහසකින් ඒ දෑස් මගහැරියා ය.
‘ඒ මොකටද සමාව ඉල්ලන්නෙ…’
‘තමුසෙටයි කොල්ලටයි දෙන්නටම මගෙන් වැරදි වුණා’
‘වැරදි වෙන්නෙ ඉතිං මිනිස්සු අතින්නෙ. ඒව වැරදි කියල තේරුං අරගෙන පස්සෙ හරි නිවැරදි වුණානං ඇති’
‘ඒ වුණාට… මට ඒ කාලෙ හිතන්න තිබුණ. දවසක මගෙ මිණිය හරි උස්සන්න ඉන්නෙ ඒ කොල්ලයි කියල’
‘පුතා ඔය පරණ දේවල් මතක තියාගන්නෑ’
‘නෑ ඕයි. මතක නෑ වගේ ඉන්නව. ඒකම තමයි මගෙ පපුවට පිහියෙන් අනින්නෙ’
‘ඔය මනස්ගාත හිතන්න යන්න ඕන්නෑ. දැන් ඔයාට තියෙන්නෙ හිත හොඳින් කියාගෙන හරියට බෙහෙත් ටික කරල ඉක්මනට සනීප වෙන්න’
‘කොයි ජගතටත් අන්තිමට ඉතුරු වෙන්නෙ ගෙදර ගෑනි තමයි කියල මං හොඳට ඉගෙනගත්ත මේධා. තමුසෙගෙ කොල්ල මනුස්සයෙක් නෙවෙයි දෙයියෙක්’
ජීවිතය වූ කලී තක්සලාවකි. අපට ජීවිතය පිළිබඳව වඩා හොඳින් ඉගෙනගත හැක්කේක් අත්දැකීම් ලැබිය හැක්කේත් එතැන දී ම ය. එසේ ම සදෙව් ලොව හා අපාය යන දෙක ම ද මේ ජීවිතය මත්තෙහි ම වන්නේ ය. අප ඒ බව පසක් කරගනුයේ අපට ඒවා සම්මුඛ වන අවස්ථා වලයි. ඒ අවස්ථා කවර මොහොතක උදා වනු ඇති ද කියා පුරෝකථනය කළ නො හැකි වීම ම ඉරණම නම් වෙයි.
මේධා සේනක ව නහවා පිරිසිඳු කොට, තෙල් බෙහෙත් ගල්වා, ව්‍යායාම කරවා, කවා පොවා, රූපවාහිනිය දමා ඔහු ව ඒ ඉදිරියෙහි හිඳුවත්දී ය ඒ පුවත ඇගේ සවන් වැකුණේ.
‘ප්‍රවීණ මාධ්‍යවේදී, නාලිකා ප්‍රධානී රාජිත සරත්චන්ද්‍ර මහතා මීට මඳ වේලාවකට පෙර හදිසි රිය අනතුරකට ලක් වී තිබෙනවා’
මේධා ට ඇසුණේ එපමණකි. ඇය බලා සිටියේ පාෂාණිභූතවයි. මඳ වේලාවක් යනතුරු සිහි එලවාගන්නට පවා ඇය අපොහොසත් වූවා ය. සිහි එළඹවා ගත් ගමන් ඈ කළේ දුරකතනය ගෙන මිදුලට බසිනා එකයි.
‘අම්ම… කියන්න අම්ම’
ජාන්වී ගේ හඬ ඇසෙනා විටත් මේධා ගේ කොපුල් තලා දිග කඳුළු දෙපෙළක් ඉහිර යමින් තිබිණ.
‘ඔයාට පුළුවන්ද දැන් එන්න… දැන්ම…’
‘අ… ඇයි අම්ම… මුකුත් කරදරයක්ද…’
‘කරදරයක්නං තමයි. ඒත් පුතාට මුකුත් කියන්නෙපා. මට ඕනෙ ඔයාට විතරක් කියන්න’
‘හරි මං එන්නං අම්ම’
මේධා අතට හසු වූ ඇඳුමක් ඇඳගත්තා ය.
‘ජාන්වී එක්ක පොඩ්ඩක් එළියට ගිහින් එන්නං. අනගි ගෙදර ඉඳී’
ඒ අතරේ ම ඇය සේනක ට අවශ්‍ය සියල්ල ලං කොට තැබුවා ය. ජාන්වී ගේ රියට නැගෙනා විටත් මේධා ගේ දෑස් වලින් කඳුළු කඩාහැලෙමින් තිබිණ.
‘ඇයි අම්ම… මොකද වුණේ…’
‘අපි යං. හොස්පිට්ල් එකට’
‘හොස්පිට්ල් එකට… ඇයි…’
‘ආරංචි වුන්නැද්ද මුකුත්…’
‘ආරංචි… අම්… ‘
ජාන්වී මේධා දෙස බලාගෙන ම මොහොතක් කල්පනා කළා ය. ඇගේ මේ විලාශය ජාන්වී ට තේරුම් ගත නො හැකි ය.
‘අපේ රාජිත බාප්ප ඇක්සිඩන්ට් වුණා කියලනං ආරංචි වුණා. වෙන මුකුත්නං…’
‘රාජිතයිය තමයි. මං දැන් දැක්කෙ ටීවී එකේ’
‘අද පාන්දර වෙලා තියෙන්නෙ. ඔපරේශන් එකත් කළා කියල පුංචි කිව්ව. විසල් එක්ක මං යන්න ඉන්නෙ’
ජාන්වී කතා කළේ ම ප්‍රශ්නාර්ථයෙනි. රාජිත ගේ අනතුර ගැන මේධා මේ විදිහට හඬා වැටෙන්නට හේතුවක් ඇයට සිතාගත නො හැකි ය. ඔවුන් පැරණි හිතවතුන් බව දන්නා නමුත් මේ විදිහට හඬන්නට එය හේතුවක් වූයේ කෙසේ ද?
‘අනේ එයාට කොහොමද පුතේ… හුඟක් අමාරුද…’
‘ටිකක් අමාරුනං තමයිලු. ඒත්…’
‘මට එක ම එක සැරයක් එයාව බලන්නෝනෙ. එක ම එක දෙයක් තියනව එයාට කියන්න’
‘ඒ මොකද්ද අම්ම…’
ජාන්වී සිටියේ ද තැතිගෙනයි.
‘මං මැරෙනකල්ම මේක මේක මගෙ පපුවෙ විතරක් තිබුණහම ඇති කියලයි මං හිතං හිටියෙ. එදා ඔයාගෙන් නම්බර් එක ඉල්ලං කතා කරල රාජිතයිය මගෙන් ඇහුව. ඒත් මං නෑමයි කිව්වෙ…’
ඒ වෙලාවේ ඒ තරම් කඳුළු ගලා යතැයි මේධා වුව බලාපොරොත්තු වූයේ නැත.
‘අනේ මොකක් ගැනද අම්ම ඔය කියන්නෙ…’
ස්ටියරින් වීල් එක අල්වාගෙන රිය පදවන ජාන්වී ගේ දෑත්හි මඳ වෙව්ලීමක් පවා විය.
‘අනේ මට මහ අමුත්තක් දැනෙනව. මට මේක එයාට කියන්නෝනෙ පුතේ’
‘මොකද්ද අම්ම. අනේ මට හරියට කියන්නකො. මොකද්ද ඔය දෙන්නගෙ මේ ඇඳුනුංකම…’
‘එයා එදා ඇහුව ප්‍රශ්නෙට නෑ කියල මං බොරු කිව්වෙ. විසල් කියන්නෙ රාජිත අයියගෙ පුතා තමයි ජානු’
‘ඕහ් ගෝඩ්…’
ජාන්වී කෙතරම් කලබල වූයේ ද යත් මග අයිනට කොට වහා රිය නතර කළා ය. මේධා දෑතින් මුව වසාගෙන තදින් හඬමින් සිටියා ය. ඈ කියන්නේ ඇත්ත ද කියා අසන්නට උවමනාවක් ජාන්වී ට නැත. මේ කොහොම හමුවීමක් ද? දෛවය සියල්ල සැලසුම් කරන ලද්දේ අතීතයත් වර්තමානයත් අනාගතයත් මැනවින් දැන හැඳින ද?


