” මනූ…! “
ඈ ඉතිරිය ගලපා ගැනීමට නොහැකිව අසරණව ඔහු දෙස බැලුවාය. ඇගේ උවන සහ එහි වූ හැඟීම් සියල්ල ඔහුට සිදුව ඇති දේ මනාවට තේරුම් කර පෙන්වූයේය.
” ගැහුවද ?”
එවර ඔහුගේ හඬ බොහෝ පහත්ය. ඔහු තදින් ඇගේ අතක් අල්ලා ගත් අතර ඈ එය ප්‍රතික්ශේප නොකළ නමුත් පිළිතුරක්ද නොදී නිහඬව සිටියාය.
” ඌ ඔයාට ගැහුවද ?”
ඔහුගේ වචන නොසන්සුන්ය. ඔහුගේ හදවත නොසන්සුන්ය. වේගයෙන් ඉහල පහල යමින් හුස්ම ගනිමින් සිටින පපුව ඔහුගේ කලබලය හොඳින් කියා පෑවේය .
සෙමින් සෙමින් හිස සලා ඔහු ඇසූ පැනයට ඔව් යැයි අඟවමින් හිස බිමට බර කර ගත් ඈ යටි තොළ සපමින් දෑසට උනන කඳුළු නවත්වා ගැනීමේ නිශ්ඵල උත්සාහයක නියැලුණාය .
” එච්චර පොඩි දේකට ? දවස් දෙක තුනක් යනකන් මාර්ක්ස් හිටින්න ? “
මනුහස් නැවතත් වේගයෙන් හුස්ම ඉහල පහල දැම්මේය . ඔහු වහා හිඳ සිටි පොළොව මතින් නැඟිට සිට ගත්තේය. නෙත්‍යාද හිඳ උන් තැනින් නැඟිට පසු පස හරවා ගෙන සිටින ඔහු දෙස බියෙන් මෙන් බලා සිටියාය.
” මිනිහා හැමතිස්සෙම ඔහොමද ?”
” හැමදාම වගේ..”
ඇගේ හඬ කෙඳිරිල්ලක් බඳු විය. වේගයෙන් ඉහල පහල යන උරහිස දෙස ඔහුගේ පසු පස සිට බලා සිටි නෙත්‍යා නැවතත් කොපුල් මතින් ගලන කඳුළු පිස දැමුවාය. එක් වරම ඈ තිගැස්සී ගියේ මනුහස් අත මිට මොළවා බිත්තියට එල්ල කළ පහරේ හඬටය.
” මනූ… !”
ඈ වහා ඉදිරියට පැන ඔහු නවතාලන්නට උත්සාහ දැරුවද ඔහු දිගින් දිගටම මිට මෙළවූ අතින් බිත්තියට පහර දුන්නේය.
” අනේ මනූ එපා …! අනේ එපා..! “
ඈ ඔහුගේ අතෙහි එල්ලී හඬා වැටුණාය . ඇගේ හඬා වැටීම ඉදිරියේ නිශ්චල වූ දේහදාරියා යළිත් කඳුළු පිරුණු දෑසින් ඈ දෙස බලා සිටියේය.
නෙත්‍යා අහම්බයෙන් මෙන් තමාගේ දෑතට මැදි වූ ඔහුගේ අත දුටුවාය. අත පුරාම කුඩා ලේ බිඳිති කිහිපයක් දැක ඈ තවත් බිය වූවාය.
” මනූ.. ඔයාගෙ අතින් ලේ එනවා.. !”
ඔහු වහා ඇගේ දෑතින් මුදවා ගත් තම අත ගෙන කිහිප වරක් ගසා දැමුවේය.
” මගෙයි වරද.. මගෙයි වරද…”
” මනූ.. ! මොනාවද …. මොනවද මේ කියන්නේ ?”
” ගියා ගියා කියලා ඔයාටම බැන බැන හිටියා ඇරෙන්න ඇයි ඔයා ගියේ කියන කාරණේ මං හෙව්වේ නෑ. එදා මොනවත්ම කරගන්න බැරි උනත් , අඩුම දෙයක් කරගන්න පුලුවන් කාලෙවත් මං ඔයා ගැන බැලුවේ නෑ.. “
” අනේ.. මනූ… ”
” ඔක්කොටම වැරදි මං. එදත් ඔයා යනකන් මං බයගුල්ලෙක් වගේ මුකුත්ම නොකර බලන් හිටියා. අදටත් එහෙමයි “
ඔහු දෑතින්ම තම හිස් කෙස් ඇද ගත්තේය.
” අනේ.. මනූ එපා.. මං නිසා රිද්ද ගත්ත තරං හොඳටම ඇති. ආයේ ආයේ ඔහොම තමන්ටම රිද්දගන්න එපා..”
නැවත වතාවක් ඔහුගේ දෑස කඳුළින් පිරී තිබුණේය. දේහදාරියාගේ දෙනෙතින් කඩා හැළෙන කඳුළු වැල් වලින් ඇගේ හදවත අප්‍රමාණ පසුතැවිල්ලකින් පිරුණේය.
” මෙහෙ එන්න. .. වාඩි වෙන්න මෙතනින්..”
හැකි පමණින් හිතුවක්කාරයාව සන්සුන් කිරීමට උත්සාහ කළ ඈ ඔහුගේ දෑතින්ම අල්ලා ගෙන යළි යහනේ වාඩි කරවූවාය. ඉන් පසුව ඔහු ඉදිරියේ සිට ගෙන සෙමින් ඔහුගේ හිස් කෙස් අතරින් දෑඟිලි යවමින් හිස පිරි මදින්නට පටන් ගත්තාය .
” මං හින්දා විඳවන්න එපා මනූ. මං ඒ තරම් වටින ගෑනියෙක් නෙමෙයි. “
” කවුද එහෙම කියන්නේ ? අර පිස්සු හු#$&* පුතා මයන්ද ?”
” අනේ.. මනූ.. !”
” ඔයා මං ගැන දන්නවා සුදු බෝලේ.. ඔයා මං ගැන මටත් වඩා හොඳට දන්නවා. “
” මං ඉන්නේ ආයේ හැරෙන්න පුලුවන් තැනක නෙමෙයි මනූ. මාව අතාරින්න. ඔයාට ඔයාගේ කියලා ජීවිතයක් තියනවා. අනේ මං වඳින්නං “
නැවත වතාවක් ඈ ඔහු ඉදිරියේ දෑත එකතු කර ගත්තාය. වහා ඇගේ ගෙල පසුපසින් අතක් යවා දැඩිව අල්ලා ගත් මනුහස් ඈව ඇද තම මුහුණ මතට ළං කර ගනිමින් ඇගේ නළල තම නළල මත තබා ගත්‍තේය.
” මොකටද ..? ආ.. ? මොකටද ? ඇයි මට අතාරින්න කියන්නේ ? අර බල්ලා ආයේ ආපු දවසක ආපහු ඌත් එක්කම යන්නද ? “
” මනූ… !”
නෙත්‍යා වහා තිගැස්සී පසුපසට අඩියක් තැබුවාය.
” ඔයා .. ඔයා කොහොමද ඒක දන්නේ ?”
” මයන් මැරුන්නෑ . මයන් ඉන්නවා. මං හරි නේද සුදු නෝනා ?”
” අනේ.. මනූ…!”
නෙත්‍යා දෑතින්ම මුව වසා යළි හඬන්නට පටන් ගත්තාය. මනුහස් හිමින් සීරුවේ ඉදිරියට විත් ඇගේ අතකින් අල්ලා යළිත් ඈ තමා අසලට ළං කර ගත්තේය .
” මයන් ඉන්න බව දන්නේ කවුද නෙත්‍යා ? මයන්ගේ අම්මාත් දන්නවද ?”
නෙත්‍යා නැත යන්න ඇඟවීමට හිස දෙපසට සැලුවාය.
” එහෙනං , කවුද මේක ගැන තව දන්නේ ? “
” මං දන්නෑ මනූ.. මං දන්නෑ.. “
” ඔයා කොහොමද ඒක ගැන දන්නේ ?”
” මට හිතුණා මනූ.. නිකමට හිතුණා. අවුරුදු දහයකට වැඩිය ඒ මනුස්සයත් එක්ක ඉඳලම කවදාවත් මයන් කියන්නේ මොනම හේතුවක් උඩ වත් තමන්ගේ ජීවිතේ නැති කරගන්න කෙනෙක් නෙමෙයි කියලා මට හිතුණා. ඔයා එක එක්කෙනා එක්ක මේ ගැන කතා කරන්න යද්දී අම්මා කියපු සැණින් ඒ හැම වතාවකට මං නෑ බෑ නොකියා එකතු වුණේ ඒකයි. මට හිතුණා ඔයා මේ කේස් එක හැඩ්ල් කරන විදිහට මයන් කොහෙ හිටියත් ඔයා මයන්ව හොයාගනී කියලා. මේ ගමන උනත් නෑ බෑ නොකියා මං ආවේ ඒකයි. “
” මෙහෙ එන්න. “
මනුහස් නෙත්‍යාගේ අතින් අල්ලාගෙන ඈව තමා අසලින්ම යහනේ පසෙකින් වාඩි කරවා ගත්තේය .
” මයන් කියන්නේ කිසිම වෙලාවක තමන්ට හානියක් වෙන දෙයක් කරගන්න මනුස්සයෙක් නෙමෙයි මනූ.. , කොයිම වෙලාවකවත් තමන්ට අලාභයක් වෙන දෙයක් කරගන්න මනුස්සයෙක් නෙමෙයි. උමායා අක්කා , ටැමී , එතකොට මෙහෙ අය මේ හැමෝම මයන්ව ලොකුවට ඔලුව උඩ තියන් හිටියට මයන් ඒ අයට උනත් උදව් කරන්න ඇත්තේ යාලුකම නිසාම නෙමෙයි. ඒ මනුස්සයා කවදාවත් තමන්ට වාසියක් නැත්තං එක රුපියලක්වත් වියදං කරන කෙනෙක් නෙමෙයි. මයන් ලඟ හැමදේටම මිම්මක් තියනවා , වටිනාකමක් තියනවා. යාලුවෝ යාලුවෝ කිව්වට එයාලා ලඟ මයන්ට ඕන කරන මොනාහරිම තියෙන්න ඇති. නැත්තන් එයා ඒ කාවවත් ආස්‍රය කරන්නෑ. කොටින්ම මේ මාත් එහෙමයි මනූ…”
මනුහස් නැවත වතාවක් නෙත්‍යා දෙස බලා ඇගේ මුහුණට වැටී තිබූ කෙස් රොදක් කන පසුපසින් රැඳෙව්වේය.
” ඔයා අන්තිමට කියපු දේ මට තේරුන්නෑ..”
” මයන් මාව බැන්ඳේ මට තියන ආදරේකට නෙමෙයි. එයාට ඕන උනේ හොඳ හවුස් වයිෆ් කෙනෙක්. එයා කියන දේ විතරක් අහන , එයා කියන දේ විතරක් කරන , එයා පෙන්නන දේ විතරක් බලන කෙනෙක්. ලෝකෙට පේන්න ලස්සනට ඉන්න , පිළිවෙළට ඉන්න වයිෆ් කෙනෙක්. මයන්ට තිබ්බා රටේ හොඳම සල්ලිකාරයෙක්ගේ දුවෙක්ව බඳින්න. ඇයි එයා එහෙම නොකළේ ? හැමදේම නැති වෙලා පාරට වැටෙන්න ඔන්න මෙන්න හිටපු අපේ පවුලේ මාවම එයාට ඕන උනේ ඇයි ? නැත්තටම නැති වෙලා හිටපු අපේ පවුල ආයේ ගොඩ ආවේ එයා නිසා. ඒ වෙලාවේ අපේ අප්පච්චිට එයා දෙවියෙක් වගේ උනා. එයා ඇරෙන්න වෙන උදව් කරන්න කෙනෙක් අපිට නෑ කියන එක එයා අපේ අප්පච්චිට පෙන්නුවා. එයා නිසා ගොඩ ආව අපි කවදාවත් එයාට විරුද්ධ වෙන්නෑ කියන එක එයා දැනගෙන හිටියා. කොච්චර පිටස්තර ලෝකෙට හොඳ මිනිහෙක් වගේ පෙන්නන් හිටියත් මයන් කියන්නේ මානසික ලෙඩෙක්. එයා සල්ලි තියන හොඳ පවුලකින් කසාදයක් කර ගත්තනං ඒ හැමදේම ඉක්මනට එළි වෙනවා. හැබැයි මට මොන දේ උනත් අපේ පවුලෙ කිසි කෙනෙක් කටක් අරින්නෑ කියලා දැනන් හිටියා.
මුළු ලෝකෙටම පේන්න එයා මාව රැජිනක් වගේ තිබ්බා. මට ඕන තැනක යන්න එන්න , යාලුවෝ ආස්‍රේ කරන්න , ඕන තරමක් වියදම් කරන්න ඒ හැමදේටම නිදහස දුන්නා. ඒ හැමදේම එයා කළේ රටේ ලෝකේ මිනිස්සුන්ට එයා තරං හොඳ හස්බන්ඩ් කෙනෙක් නෑ කියලා පෙන්නන්න .”
ඈ විසල් හුස්මක් පිට කළාය. බොහෝ කාලයක් පුරාවට විඳවමින් සිටි බොහෝ කාරණා ඈ එකින් එක ඔහු හමුවේ දිග හරිමින් සිටියාය.
” මං ඔයාට නොකියපු කාරණයක් තියනවා මනූ… අර සුයිසයිඩ් කරගන්න අයට එයාලගෙ ඉස්කෝලේ මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා මට කලින් ඉඳන්ම තේරුණා. “
මනුහස් කිසිවිටකත් හදිසිවීමක් හෝ කලබලවීමක් සිදු කළේ නැත. ඔහු ඈට රිසි පරිදි කතා කිරීමට ඉඩ හැරියේය.


