සස්මිත කැබ් රිය පන ගන්වා ගනිද්දී , චායා අයියා ගොඩ නොවන්නේ මන්දැයි බලන්නට උත්සුක වූවාය. ඕ එබෙමින් අයියා කොහිදැයි බැලුවාය.
” අයියා කෝ ?…”
ඇගේ හඬ කෙතරම් හැඬුම්බර වූවාද කිවහොත්, සස්මිත යළි කැබ් රිය නැවැත්වූවේය.
” එලියට ගිහින් එයාට කතා කරන්න මැණිකේ .. මිනිහෙක් තමන්ගේ ඇතුලෙන් පසුතැවෙන කාරණාවකට උල්පන්දම් දෙන සාක්කි වටේ ඉන්න, තමන් වැඩියෙන්ම ආදරේ කරන මිනිස්සුන්ගේ ඇස් වලින් පෙන්නලා දෙනකොට අර මුල් මිනිහා මැරෙනවා .. සර් දැන් ඉන්නේ එහෙම මරණීය ගැට්ටක .. මට මේකට අත ගහන්න පුලුවන් සීමාව පටුයි … එහෙම කතා කරන්න යන එකෙන් නරකක් වෙනවා… බහින්න .”
චායා කිසිවක් නොපවසා බැස්සාය. ඉදිරියට ඇවිද යන චරක පසු පසින් අඩි දෙක තුනක් දිව ගොස් පිටුපසින් ඔහු වැළැඳගත්තාය.
” මාව මරලා දාන්න මගේ අයියේ … ඔහොම යනවානම් මාව මරලා දාලා යන්න …”
චරක ආපසු හැරී චායාව තම පපුව මත හිස හොවාගන්නට පහසු වන සේ උන්නේය. චායා ඉන්නේ කොහිදැයි නොසිතාම මහ හඬින් හඬා වැටුණාය. චරකගේ කුස වටා යැවූ දෑත කිටි කිටියේ තදින් අල්ලා ගනිමින්, හඬා වැටුනේ චරකට කිසිවක් සිතාගන්නට හෝ ඉඩ නොදෙමිනි.
” අනේ මට බැරි වෙයි අයියේ … මට මේ සැහැල්ලුව දරාගන්න බැරි වෙයි .. පේනවානේ මම .. මම මිට කලින් කවදාවත් මෙහෙම වෙලා තියෙනවාද අයියේ ?.. ඔයා එකක් කිව්වොත් ,… දහයක් කිව්වා මිසක් … මම මෙහෙම නාඩගම් නටලා තියෙනවාද ?.. බෑ අයියේ .. මට මේක හරියන්නේ නෑ .. මට අර බිසි ජීවිතේ ඕනි .. ඒ ජීවිතේ වැඩ කර, හිත හිත, ප්ලෑන් හද හද, ….. එහෙමයි මට සෙට් වෙන්නේ … මට සමාවෙන්න මගේ අයියේ …. මට සමාවෙන්න .. ඔයා මගේ අයියා .. මං නැතුව, කවුරු ඔයාව බලන්නද අයියේ ?…”
සස්මිත කැබ් රියෙන් බිමට බහිද්දීම චායාගේ උස් හැඬිල්ල සමග කියවිල්ල ඇසුණි. යතුරු පැදි කිහිපයක් විමසිල්ලෙන් බලමින් යන බවද ඔහු දුටුවාය.
” ඇතුලට යමු සර් … දෙන්නම .. යමු ..”
සස්මිත කැබ් රියේ ඉදිරියෙන් ඇවිද එමින්, පිටුපස අසුනට පිවිසෙන්නට දොර විවෘත කරමින් කීවේය. එහෙත් චායාට එවැන්නක් ඇසුනේවත් නැත.
” ආයේ මට පෝස්ට් එකක් දෙන්න අයියේ … දෙනවාද ?.. මට .. මට …”
චායා හැඬුම් තුළ ගිලුනාය.
සස්මිත චායාව තමා වෙත නතු කරගන්නට නොහැකිව දෑත් මිටමොලවා ගත්තේය. ඕ යළි දේශපාලනයට පිවිසීම කිසිලෙසකින්වත් සිදු විය යුත්තක් නොවේය. එවන් ආතතියක ඇය ජීවිතය දිය කරගත යුතු නොවේය. ඇගේ සිහින වල පැහැය එලෙසින් වෙනස් විය යුතු නොවේය.
” ගෙදර ගිහින් කතා කරමූ නංගී .. යමු ..”
චරක චායාව හරවාගන්නට උත්සාහ කරමින් කීවේ, මදක් පියවි සිහියට එලැඹෙමිනි. එහෙත් චායා බිඳකුදු නොසෙලවීම උන්නාය.
” බෑ .. බෑ.. විහඟි මාත් එක්ක තරහ වෙයි … අයියේ විහඟි මට කිව්වා.. ඔයාට ආයේ වචනෙකින්වත් දුකක් දුන්නොත්, එයා මාව ගැන බලාගන්නවා කියලා… එයා ඔයාට කොච්චරක් ආදරෙයිද අයියේ .. මම .. මම ඔයාට කොච්චර දුක් දෙනවාද ?…”
චායාගේ හැඬිල්ල සස්මිතගේ සිතුවිලි වෙනමම ඉමකට ඇද දමමින් තිබුණි. තමා තම සොයුරිය ගේ ජීවිතය වෙනුවෙන් ගත් තීරණය ඇගේ ජීවිතය වඩා සුරක්ෂිත ඉමකට ඇද දැම්මේය. තම පවුලේ අනාගතය සුරක්ෂිත විය. එහෙත්, තමා චායා අතැර දමා අතුරුදන් වීමෙන් පසුව ඇගේ ජීවිතයට වී ඇත්තේ කුමක්ද.. ? සිහිනෙකින්වත් ලඟා කරගන්නට බලාපොරොත්තු නොවූ ඉමක ඕ හිනිපෙත්තටම නැග ඇත. එපමණක් නොව, චරකවද ඒ ඉමෙහි මුදුනෙහිම හිඳුවනු වස් වෙහෙසී ඇත.
තමාගෙන් මිදුණු ලෝකයේ, තමා සමග දුටු සිහින ජීවත් කරවීම ඇයට මරණීය වන්නට ඇත. ඒ සඳහා සිත දිරි වඩා ගන්නට නොහැකි වෙන්නට ඇත. තමා ට ඕ පෙම් කලේ කෙලෙසින්දැයි සස්මිත දනී. එහෙව් ප්‍රේමයකට අරාකාර හදිසි බෝම්මබයක් වැදුණු විට ඇයටද මරණයම තෝරාගන්නට සිතෙන්නට ඇත.
එහෙත්, තමා වෙනුවෙන් , තමා යළි පැමිණීමේ විශ්වාසය ජීවත් කිරීම වෙනුවෙන් ඕ දහසකුත් එකක් මාර්ගයන් උත්සාහ කරන්න ඇත. අවසානයේ ඕ වඩාත් පිළිකෙව් කල දේශපාලන ගමන් මඟෙහි පිය නැගීම තෝරාගන්නට ඇත.
ඒ තෝරාගැනීම ඇගේ ජීවිතය කිනම් ආගාධයකට හෙලා ඇතිදැයි සස්මිතට ඇස් පනාපිටම පෙනෙමින් ඇත. තමා නිසා ඕ ආගාධය තුළ සිරවී ඇත්තේ කෙලෙසින්දයි පෙනෙන්නේය. ඇයට ඇගේ ජීවිතය සුව පහසුවෙන් තබා ගැනීමම අරගලයක් වී ඇත.
” විහඟිට කවුද කියන්නේ මෙව්වා.. ඒක ඉවරයි … යං..”
” බෑ අයියේ … අනේ බෑ .. සස්මිත … ගෙදර යන්න බෑ මට …”
චායා එක්වරම එලෙස පවසමින් තමා වෙතටද හැරෙද්දී සස්මිත ඇය පියවි සිහියට ගෙන එන්නට කල යුත්තේ කුමක්දැයි ක්ෂණිකව සිතුවේය.
” උඹ කැබ් එක ගනින් … සස්මිත ..”
චරක එලෙස පවසන පමාවෙන් සස්මිත කැබ් රියට නැග්ගේය. චරක චායා බලෙන්ම ඔස්වාගෙන, වාහනයට නැග්ගේය. චායා ගේ හැඬුම් නැවතුනේම නැත.
” නංගී … තමුසේට රට ගිහින් , බාප්පි එක්ක ඉඳලා එන්න ඕනිද ටිකක් ?…”
සස්මිත අතින් වේගය වැඩි වූයේය. චරක ඔහුට කෑ ගැසුවේය.
” හදිසියක් නෑ බං .. හෙමින් යමං .. පේන දුරට ඇවිල්ලා පාගන්නේ …”
” සොරි සර් ..”
සස්මිත චායාගේ පිළිතුර කුමක් වේදැයි විමසිල්ලෙන් අසා උන්නේය.
” ඕන් නෑ .. මට තනියෙන් කොහෙවත් යන්න ඕනි නෑ .. මට ටිකක් රිකැල්සේෂන් ප්‍රැක්ටිස් කරන්න ඕනි ..”
” ආයේ අලුතින් ප්‍රැක්ටිස් කරන්න දෙයක් නැහැනේ .. ඔය අද කරන්න ගත්ත වැඩේ යනකොට, ඔයාට ඉබේම රිලැක්සේෂන් හැදෙනවා නංගී … මෝඩියෙක් වගේ, වචන වල එල්ලිලා රිද්ද ගන්න එපා… තමුසේට නොදෙන මොනවද මං ළග තියෙන්නේ … මම මිනිස්ට්‍රි එකෙන් ඩ්‍රයිවර් කෙනෙක් දාගන්නම් පර්මනන්ට්ම එහෙනම් … සස්මිත මිස් ගේ වැඩ ටිකට උදව් කරන්න …”
චායා එම යෝජනාව හිතේ සැනසීමෙන් පිළිගන්නට හැකි වූයේ නැත.
” එපා එපා .. මට එහෙම ඕනි වුනොත් මම කියන්නම් .. මෙවෙලේ අයියට ට්‍රස්ට් කෙනෙක් ඕනි .. මීටරෙන් වැඩ කරන්න පුලුවන් කෙනෙකුත් ඕනි … අසේල එනකල් … කිසි දෙයක් අවුල් වෙන්න බෑ .. සස්මිත සේෆ් ඩ්‍රයිවින් …”
” හරි හරි .. ඒක මම බලාගන්නම් ..”
” මට එපා කිව්වනේ … මං ඕනි වුනොත් කියන්නම් …”
චරක එයට පිළිතුරු නොදී උන්නේය.


