චරකට විහඟිගෙන් සිදුවීම සඟවන්නට ඉඩක් ලැබුනේ නැත. ඕ ක්‍රම ක්‍රමයෙන් කොටසින් කොටස සියල්ල අසා ගත්තාය. චරකගේ ඉල්ලීමට බිඳක්වත් ඉඩ නොදී චායා සොයා ගියාය.
” උඹ හදන්නේ අර අහිංසකයා මරාගන්නද බං ?.. උඹ උඹේ ඇරියස් වලට තීරණ අරගෙන වැඩ කරලා, ඒකට වැරද්ද තියන්නේ අයියා පිටින්ද චායා ?.. අයියා උඹෙන් ඉල්ලුවාද මොන උදව්වක්වත් ? උඹනේද තීරණය කලේ? මතකද මට කිව්වා, උඹට ඕනි උඹ විනාස නොවී උඹෙන් පලිගන්න කියලා.. අනෙක් හැමෝම උඹ ගැන සතුටු වෙනවා වගේ පෙනෙද්දී, උඹට උඹේ ජීව්තේ ගැන වෛරයක් දැනෙන්න කියලා… යකෝ .. අරූ උඹව දාලා ගියා…උඹ මෙතන උඹට ඕනි විදියට ජීවත් වුනා.. අපි ඔක්කොමලා උඹට ඕනි විදියෙන් නටන්න දීලා උන්නා.. දැන් ඌ ඇවිල්ලා .. දැන් උඹ අපෙ ඔලුව කනවා …”
චායා විහඟිගේ හැම වචනයක් ගානේම එකඟ වන බව පෙන්වමින් හිස සැලුවාය. කිසිවක් නොපවසා දැඩි බව පෙන්වමින් උන්නාය.
” අර මනුස්සයා අඬනවා යකෝ .. ඒ මනුස්සයා පසුතැවෙනවා.. හූල්ලනවා…”
චායා හිස සලමින්, විහඟිගේ ඇණුම් බැණුම් තමා මතම පවරා ගත්තාය. චරක කාමරය තුලට පිවිසියේ ඒත් සම්ඟය. ඔහු විහඟිව නැගිටුවාගෙන , යන්නට උත්සාහ කලාය. එහෙත් ඕ එකඟ නොවූ තැන චරකද අසලින් හිඳ ගත්තාය.
” අනේ මැණිකේ … මගේ කටින් ඔක්කොම අහගෙන … මෙහෙම කෑ ගහන්නෙපා . මේ අපේ නංගිනේ…”
චරක චායාට තමා අසලට එන්නට සන් කරමින් කීවේය. චායා නැගිට්ටේ නැත.
” ඔව් ඔව් … අපේ නංගි තමා… ඔයා එහෙම හිතුවට එයා එහෙම හිතන්නේ නෑනේ…
” යං යං .. මගේ නෝනාට මෙහෙම කෝප ගන්න හොඳ නෑ.. මෙයා යක්ස පැටියෙක් වෙය් …”
චරක සිදුවීම තුල සරල බව පෙන්වන්නට උත්සාහ කරමින් උන්නාය. චායා උන්නේ ගල් ගැසුණු බවක් පෙන්වමින් ය.
” ඔයා හුරුතල් කරන්නෙපා මෙයාව.. බබෙක් නෙවෙයිනේ…”
විහඟි එලෙසද කීවාය.
” යමු කෝ ..කෝ..”
චායා එක්වරම නැගිටවිත්, විහඟිව වැළැඳගත්තාය. චායාගේ හිත තුළ වූ සිතුව්ලි ගලපාගන්නවත් ඇයට හැකි වූයේ නැත.
” මම .. අම්මා, තාත්තාගේ ඉඳන් .. මගේ හැමදේම .. මගේ අයියාව… ඔක්කොම උඹ එක්කල බෙදාගත්තානේ … ඒක හිතලාවත්, මේ මට පිස්සු හැදෙන්න යන්නේ හිතලාවත්, මට සමාව දෙනවාද විහඟි ….? ඔයාගේ අයියාගේ හිත රිදෙව්වාට .. ම්ම්ම් ? ..ඔයාලා දෙන්නා, මාව තනි නොකර අල්ලන් ඉන්න පුලුවන් නේද? ..”
විහඟි හඬන්නට ගත්තේ චායා ඉක්මවමින් ය.
” අඬන්නෙපා උඹ විහඟි … උඹ මොකටද අඬන්නේ? .. මගේ අයියාට ඔයා කොච්චරක් වටිනවාද ?… මගේ අයියාගේ ජීවිතේට ඔයා කොච්චර වාසනාවක්ද ?.. අයියාට මුලු ලෝකෙම නැතිව ගියත් , මේ මාවත් නැති වෙලා ගියත්, ඔයා ඉන්නවානේ?.. අයියා වෙනුවෙන් ඔයා මාත් එක්ක ගේම ඉල්ලන ලස්සන බලන්නකෝ විහඟි …”
විහඟිගේ හැඬුම් චරකගේ උරිස්ස මතින් දියවී යමින් තිබුණි. චරක බලෙන්ම චායා තමා අසලින් හිඳුවා ගත්තේය.
” ඇයි බං තොපි දෙන්නම මේ කොයි වෙලෙත්, හොටු පෙරාගෙනම කෙහෙවලු පටලවාගන්නේ?.. වලියක් දාගන්නවා නම්, ඒක ඒ විදියෙන් කරනවකෝ …”
චරක විහඟි පිළිබඳව වන සෙනෙහස මහා බරක් ලෙසින් යලි යලි හදවතට වැටෙන්නට දුන්නේය. තමා ඇය කුස දැරූ දරුවා අවශ්‍ය නොවන බව පැවසූ මොහොතේ පවා, තමාට ඉඩදී තම ජීවිතයෙන් ආපස්සට හැරී ගිය බව ඔහුගේ දෑස් ඉදිරියේ මැවී ගියේය. චායා සහ විහඟි දෙදෙනාම උන්නේ චරකව මැදි වන සේ හිඳගෙනය. චරක දෙදෙනාව ඉතා සෙනෙහෙන් තමා වෙත නතු කරගෙන උන්නේය. ඇතැම් විට ජීවිතය කිසිදා නොවුන තරමින් අපහසු බව දැනෙන්නේය.
සස්මිත චායාගේ ඇමතුම එන තෙක් කිහිපවතාවක්ම බැල්කනිය දෙස බලා හිඳ යළි කාමරයට ආවේය. ඇමතුම ඇසෙද්දී ඔහු උන්නේ අඩ නින්දකට වැටෙමින් ය,
” කොහේද කෙල්ල හිටියේ…?”
චායා නාසය ඉහලට අදින හඬ පමණක් ඇසෙන්නට හැර උන්නාය. සස්මිත විමසිල්ලෙන් එය අසා උන්නේය. ඇය හැඬූ වග අඟවන්නට හැර සිටින්නේද ?.
” කෙල්ල ..”
” ම්ම්ම්…”
” ඇයි කතා කරන්නේ නැත්තේ ?…”
” නිකන් .. ඔයා නිදාගෙනද හිටියේ ?…”
” නැහැ… ඇහැ පියවුනා..”
” අයියා පවු සස්මිත .. විහඟිත් පවු … ඒකිත් ඇඬුවා හොඳටම ..”
” ඉතින් , මගේ කෙල්ලත් අඬලානේ ඔය ..”
” මං හින්දානේ සස්මිත ඒ දෙන්නම ඇඬුවේ?… මට චුට්ටක් ඉවසන්න බැරි ඇයිද මන්දා සස්මිත … අයියා ඒක කිව්වේ විහිලුවටම බව දැන් තේරෙනවා.. එවෙලේ මට ඒ බවක් නොතෙරී, මහා තරහක් ආවානේ… අයියාට පපුවේ අමාරුවක්වත් හැදේවි කියලා බය හිතුනා අද ..”
” පිස්සු හිතන්නෙපා කෙල්ල ..මොකද මේ..”
සස්මිත චායාට යම් යම් කාරනා පැහැදිළි කිරීම ඇරඹුවේය. ඉවසීම දෙදෙනාට සේම, වටේ සිටින අයවලුන්ටද, කෙතරමින් වැදගත් වන්නේදැයි පැහැදිලි කලේය. තමා චරකගේ රියැදුරාව සිටිමින්, චායාගේ ප්‍රේමය හෙළිදරවු කලහොත් අනිවාර්‍ය්නෙම චරක තමා මරා දමනු ඇතැයි ඔහු යම් අවධාරනය සහ අවධානම සහිත හඬකින් පවසද්දී, චායාගේ හදවතද හීන් හිරියකින් රිදී ගියේය.
” ඒ හින්දා.. මට මේක ටිකක් විසඳගන්න පාරක් හදාගන්න දෙන්න මැණිකේ…. ඒකට ඔයා මම නැතුව උන්න කාලේ වගේ ඉන්නෝනා.. ඒ හයියෙන්ම නෙවෙයි, ඕනි තරම් කඩාගෙන වැටෙන්න .. මගේ උරිස්ස තියෙනව.. මම කියන්නේ අද හවස කරා වගේ දේවල් වෙන්න දෙන්නෙපා…”
” හ්ම්ම්..”
දෙදෙනා නින්දට ගියේ තවත් පැයකට පසුවය. විජේසිරි සස්මිතට ඇමතුම් දෙකක් ගත්තේය. සස්මිතට පිළිතුරු දෙන්නට ලැබුනේ තෙවැනි ඇමතුමටය.
” විජේසිරි මහත්තයා…”
” ඔය මහත්තයා කෑල්ල කියන්නෝනි නෑ කියලා කොච්චරවත් කිව්වට අහන්නේ නෑනේ කොල්ලෝ…”
” ඒක එහෙම හිතලා කියනවා නෙවෙයිනේ විජේසිරි මහත්තයා…”
” හා හා .. උඹේ කැමැත්තක්…”
” කෝල් දෙකක්ම අරගෙන තිබුණා..”
” උඹේ විස්තරයක් හරියට අහන්නත් බැරි වුනානේ.. මම ඩුබායි ගිහින් ආවේ.. ඒකෙන් මට මඟ ඇරුණා..”
” අනේ ආයේ ඉතින් මගෙන් මොන විස්තර අහන්නද විජේසිරි මහත්තයා.. මම දෙයියනේ කියලා ඉන්නවා… චායා ඇස් පනාපිට ඉන්නෙකම ඇති මට ..”
” හ්ම්ම් .. චරක පුතා කොහොමද ?..”
” සර්ගෙන් වචනෙක ප්‍රශ්නයක් නෑ දැනට .. ඒත් ඉතින් …”
” හරි හරි .. එව්වා පසුවට නේ.. ඔය කතා කරගත්ත විදියෙන් ඉඳලා බලන්නකෝ .. මම හෙමි හෙමින් ඔය දේවල් බලන්නම් ..”
” මට තේරෙන්නේ නෑ විජේසිරි මහත්තයා මේ නය මම කොහොම ගෙවන්නද කියලා..”
” උබ අපට නෙවෙය් බං .. අපි උබටයි ණය ..”
සස්මිතගේ සිතුවිලි වසර ගණනාවක් ඈතට විසිව ගියේය.


