චරක විහඟිගේ හිස පිරිමදිමින් උන්නේ , රෝහල් සයනය අසලම වූ අසුනක හිඳගනිමිනි. මූලික වෛද්‍ය ප්‍රතිකාර වලට පසුව විහඟි සාමාන්‍ය අතට හැරෙමින් උන්නාය. රෝහල් කාමරයේ වූ එක් අසුනක චරකගේ දෙමාපියන් හිඳ උන් හ. චායා උන්නේ විහඟි පේන මානෙයේ සිටගෙනය. සස්මිත රෝහල් කාමරයෙන් පිටත වූ අසුනක හිඳ උන්නේය.
” පුතේ ……”
චරකගේ මව විහඟි වෙත විත් ඇගේ හිස පිරිමදිමින් කතා කරද්දී, විහඟි ඕ දෙස හැරී බැලුවාය. ඇගේ නෙත් කඳුලින් පිරී තිබුණි.
” ඔයාලට මාව ලැජ්ජාවක්ද අම්මේ ?…”
විහඟි එලෙසින් විමසද්දී චායා පපුව මිරිකා ගත්තාය. චරකගේ මව සහ චරක එකිනෙකා දෙස බැලුවේ කිසිත් වටහා ගන්නට නොහැකිවය. චරකගේ පියාද අසුනෙන් නැගිට, අම්මා අසලට ආවේය.
” මොනවාද රත්තරන් පුතේ මේ අහන්නේ ?… ඔයා ඒ කොහෙන් හිතාගත්ත කතාවක්ද ?… මෙච්චර අවුරුදු ගානකට පස්සේ, ඇයි රත්තරන් පුතේ අම්මාගෙන් එහෙම අහන්නේ ?…. “
” මට පාලුයි … අම්මේ ….”
” අනේ මැණිකේ … ඇයි එහෙම කියන්නේ?.. අයියා හින්දාද ?.. ම්ම් … මම ඔයාව බලාගන්නේ නැද්ද ?…”
චරක අම්මාට ඉස්සර වෙමින් විමසද්දී, විහඟි හිස හරවා ඔහු දෙස බැලුවාය. චරකගේ දෙනෙත් කඳුලින් පිරෙන්නට පෙර විහගි ඔහුගේ කොපුලක් පිරිමැද්දාය.
” ඔහොම අහන්නෙපා අයියේ… ඔයා නැත්නම් මෙලහකට මැරිලානේ …”
විහඟි බුරුල්වූ නාසය ඉහලට අදිමින්, චරකගේ කොපුල පිරිමදිමින්ම කීවාය.
” එහෙනම් මොනවද මේ කියන කතා … මේ වැඩ හින්දා එහෙ මෙහෙ දුවනවා මිසක්කා, මම පාර්ටි එකකටවත් නොගිහින් ඔයා ලඟටනේ එන්නේ … මං දන්නව.. එහෙම ළඟ හිටියට සමහර වෙලාවට.. හැමදේම හරියන්නේ නෑ .. ඒත් … එහෙම දෙයක් හිතෙනව නම් අපට කතා කරන්න පුලුවන් නේ .. මම ඕනි වෙලාවක අහගෙන ඉන්නවනේ ..”
විහඟි එය හා එකඟ වෙමින් හිස සැලුවාය.
” මට ප්‍රෙශර් ඇවිල්ලද අයියේ ?..”
චරක හිස සැලුවේය.
” මට ප්‍රෙශර් එනවා තව පොඩ්ඩෙන් … අන්න අර සමයම ගෙදෙට්ට ඇඳන් ආව ඇඳුම පිටින් වාහනේට ණැගලා, ඒ මදිවට එහෙමම හොස්පිට්ල් එකටත් ගොඩ බැහැලා.. මෙතන උන්න කොල්ලන්ට නම් ෆ්‍රි ශෝ එක වගේ තියෙන්න ඇති .. අර සස්මිතයා වාහනේ තිබුන කමිසයක් ගෙනල්ලා දෙනකල් මට ඒක වගක්වත් උනේ නෑ….”
” ඒ දරුවා හින්දා කල්පනා කරලා බලලා එහෙම කලා, එහෙම නොවෙන්න මෙයාටමයි ලැජ්ජාව….”
අම්මා එලෙස පවසමින් චායා දෙස බැලුවාය. චායා දෙදෙනා වෙතම හිස් බැල්මක් හෙලා බලා උන්නාය.
” මෙහෙට එනවා.. මොකෝ ඔය ඈතට වෙලා ඉන්නේ ?.. දැන් අවුලක් නෑනේ නංගී … මෙහෙ එනවා…”
චායා හිස සලා බිත්තියටම ඇලී උන්නාය. චරක ඇය වෙත ඇවිද ගොස් චායාව විහඟි සමීපයට කැටුව ආවාය. චායා විහඟි දෙස නොබලාම ඉන්නට උත්සාහ කලාය. විහඟි අසනීප වුනේ තමා නිසාම බව චායා දනී. එහෙත් ඕ ඒ බව සඟවා අනෙකක් පවසා සිටින බවද පෙනෙයි. අයියා සිදුවූයේ කුමක්දැයි දැනගතහොත් තමා හා වන අමනාපය කෙතරම් දුරක් ඇදේවිදැයි සිතා ගත නොහැකි බවද , චායාට වැටහෙයි. එලෙස තිබියදී අයියා ඒ කිසිවක් නොදැන තමා මෙලෙසින් වැලඳ සිටීමේ මරණීය බව චායා විඳියි.
” මොකෝ ඕයි වෙලා තියෙන්නේ ?… තමුසේ එවෙලේ රූම් එකට එබෙන්නේ නැති වෙන්න, විහඟිට අමාරු වෙනකල්ම කවුරුත්ම දැනගන්නේ නෑ .. ඉතින් ඔහොම ගිල්ටි මූනක් හදාගෙන ඉන්නෝන් නෑ…. තමුසේ ට විහඟිව ඉස්සරට වඩා මිස් වෙනවා ඇති නංගි .. මෙයාටත් එහෙමයි .. කැම්පස් එකෙන් පස්සේ, මිනිස්ට්‍රි එකෙත් ඉදිකට්ටයි නූලයි ගානට නේ උන්නේ… දැන් මේ මාසේ දෙකේ ඉඳන් නේ දෙන්නා දෙපැත්තේ ඉන්නේ… එහෙම තමයි ඉතින් .. දැන් තමුසේ මැරි කරලා ගියහම, දෙන්නට පූට්ටු වෙවී ඉන්න වෙන්නේ නැහැනේ… ඒ නිසා ඒවා හිතන්නෙපා .. මං මගේ නෝනා ගැන මිට වඩා සැලකිලිමත් වෙන්නම් ….. ඩොක්ටර් කිව්වෙත්, ප්‍රි ප්‍රෙග්නන්සි වගේම පෝස්ට් ප්‍රෙග්නන්සි කියන්නේත් පවුලේ හැමෝගෙම සපෝර්ට් එක ලැබෙන්නෝනා කාලයක් කියලා… ඒකෙන් වඩා වැඩි වගකීම තියෙන්නේ හස්බන්ඩ්ට කියලා …. “
චායා හිස සැලුවාය. එහෙත් ඕ විහඟි දෙස බැලුවේ නැත.
” අම්මලා ආව වාහනේ ඔහොමම මට තියලා, සස්මිත එක්කල තුන්දෙනා එක්කල ගෙදර යන්න .. ඩොක්ටර් කිව්වා හෙට උදේ වෙනකල් ඉඳලාම ඩිස්චාර්ජ් කරමු කියලා… අන්ඩර් ඉන්ස්පෙක්ෂන් පැය කිහිපයක් ඉන්නෙක හොඳයි නේ ….”
” අපි දෙන්නත් මෙහෙමම ඉන්නම් පුතේ …”
” නෑ නෑ… අම්මලා යන්නකෝ… දැන් මට අමාරුවක් නෑනේ… අයියා ඉන්නවානේ … චායාටත් මෙහෙම ඉන්න අමාරුයි නේ…”
විහඟි කීවේ චායා දෙස නොබලා අම්මා දෙසම පමණක් බලමිනි.
” ඔව් ඔව් … අපි දෙන්නාට දෙයියනේ කියලා පාඩුවේ ඉන්න දීලා කට්ටිය ගෙවල් වලට ගියානම් තමා හොඳ ..”
චරක එලෙසින් කීවේ චායාව පසෙකට තල්ලු කරමිනි. චායා හිනැහී අසලින් හිඳගත්තාය.
” කන්න මෙහෙන් ඕර්ඩර් කරගන්නවද පුතේ ?.. සස්ම්ත අතේ එවන්නද ?..”
” ඕන් නෑ අම්මේ.. මෙහෙන් ඕර්ඩර් කරගන්නම් .. ඌත් මහන්සියෙන් නේ ඇත්තේ… නිදාගත්ත දෙන් … දැන් යන්නකෝ ..”
චායා විහඟි දෙස නොබලාම කාමරයෙන් පිටතට ගියාය. සස්මිත ඕ දකිද්දීම අසුනෙන් නැගිට්ටේය. චරකගේ හඬ ඇසුණු නිසා ඕ දෙස නොබලා අවධානය චරක වෙත දුන්නේය.
” අම්මලාව එක්ක යන්න සස්මිත ඔහොමම .. මට හෙට දොළහට විතර අවිස්සාවෙල්ලට යන්නෝනා .. උදේ ලීව් එක ගන්න .. මම උදේට එන්නම් ..”
” එහෙම අවුලක් නෑ සර් .. මම සර්ලව අරගෙන ගෙදරට දාලා, ආයේ බස් එකෙන් ඇවිල්ලා කාර් එක ගෙනියන්නම් ..”
” පිස්සුද බං ..උඹ රෙස්ට් එකක් ගනින් .. දොළහට රෙඩි වෙයං …”
” හරි සර් . මිස්ට දැන් කොහොමද සර් ?..”
” දැන් ශේප් … ලොකු දෙයක් නෙවෙයි .ඕනිවට වඩා හිතලා, අඬලා නිසා…. අද මෙහෙමම ඉන්නවා.. අම්මලව එක්ක යන්න ..”
” හොඳයි සර් …”
සස්මිත චරකගේ දෙමාපියන්ට ඉස්සර වන්නට දී, චායාද ඉස්සර කර පිටුපසින් වැටුණාය. චායා තමා දෙස හෝ නොබලාම ගමන් කිරීම සස්මිතව යම් නොසන්සුන් කමකට ඇද දමා තිබුණි
පිරිස නිවසට ගිය වහාම, සස්මිත චායාට ඇමතුමක් ගත්තේය. එහෙත් ජංගම දුරකතනය විසන්ධි කර දමා තිබුණි.
සස්මිත නොසන්සුන්ව අඹ ගස යටට ගොස් චායාගේ කාමරය දෙස බැලුවාය. එහි විදුලි බල්බය නිවා දමා තිබුණි.
” මොකක්ද මේ කෙල්ලට වුනේ? විහඟි අසනීප වුනේ චායා එක්ක රණ්ඩු කරගෙනවත්ද ?.. ඒත් එහෙම රණ්ඩු කරගන්න තරම් උවමනාවක් තිබ්බේ නෑනේ.. අනෙක කෙල්ල උන්නේ සතුටින් නේ …”


