අංගාර – 51

0
1657

සස්මිත මෙන්ම චායාද ගෙවුවේ නිදි වර්ජිත රැයකි. චායා තමකෙරෙහිම වු කෝපය දරාගත නොහැකි නිසා අඳුරේම කාමරයේ බිම ගුලිව උන්නාය. සස්මිත තමා අමතන බව අනිවාර්‍යෙන්ම සිදුවන නිසා ඕ කාමරයට ආ විගසම කලේ ජංගම දුරකතනය නිවා දැමීමය. ඉන් පසුව විදුලි බල්බ නිවා දමා බිම හිඳ ගත්තාය.

” සස්මිත දැනගත්තාම මම විහඟිට කිව්වේ මොනවාද කියලා, එයා ට මාව පිළිකුල් හිතේවි .. සහෝදරියක් වගේ මාව විශ්වාස කරලා එයාගේ ජීවිතේ හැමදේම බෙදාගත්ත විහඟිට මම එහෙම කිව්වා කියනෙක එක ලේසියෙන් පිළිඅරගෙන මගේ හිත හදන්න සස්මිත ඉස්සර වෙන එකක් නැහැ.. මේ වෙද්දී වුනත්, හැමදේම දැනගෙන, මාවයි සස්මිතවයි කවර් කරගෙන, අයියාගේ ඉස්සරහ , අයියට බොරුවක් කර කර ඉන්නෙක ලේසි දෙයක් නෙවෙයි.. එයා අයියා ඉස්සරහ මගේ මේ ප්‍රශ්නේ හින්දාම කොයි තරම් නම් පිච්චෙනවා ඇතිද ?… දෙයියනේ, විහඟි එවෙලෙ ඇහුවේත් මට තරහ ගන්න තරම් දෙයක් නෙවෙයිනේ.. ඇයි මම ඒක එච්චර ලොකු දෙයක් කරගෙන කෑ ගැහුවේ…”

චරක විහඟිගේ හිස පිරිමදිමින් උන්නේය.

” …………… හිතට අවුලක් ප්‍රශ්නයක් දැනෙන ඕනිම වෙලාවක මට කතා  කරන්න ඕනි විහඟි .. තේරුනාද ඔයාට… මම ලඟකට එන්න  බැරි  දුරක නම් ඉන්නේ , නංගි, අම්මා, තාත්තා .. මේ කා එක්ක වුනත් ඕන්ම දෙයක් කතා කරන්න පුලුවන් ඔයාට .. තේරුනාද කෙල්ල ..? අපිට ඔයාව මහ ගොඩක් වටිනවා …. ඒ නින්දම කිසිම වෙලාවක තනි වෙන්න නම් උත්සාහ කරන්නවත් එපා.. ඩොක්ටර් කිව්ව එව්වා ඇහුනානේ …?”

” ආයේ මෙහෙම වෙන්නේ නෑ අයියේ .. මේක මම මගේ ඔලුවෙන් හදාගත්ත දෙයක් …”

” ඒක තමා දරුවෝ කියන්නේ.. මේ කාලෙට ඒ එ වගේ මෙන්ටැලිටි වෙනස් වීම් ඇති වෙන්වෙන්න පුලුවන් …එතකොට එව්වා මත්තේම නැහෙන්නේ නැතුව, ඒ ගැන කතා බස් කරන්න කියන එකයි මම මේ කියන්නේ…”

” ඔයා දැන් මේක ඔලුවට ලොකු බරක් කරගන්නෙපා අයියේ … මම එහෙම ඕවර්තින්කින් නෙවෙයි කියලා ඔයා දන්නවානේ .. මම කෝකටත් කවුන්සලින් සෙෂන් දෙක තුනකටත් යන්නම් …”

” ම්ම්.. බලමු ….”

දෙදෙනා සුව නින්දට වැටෙන්නට සූදානම් වූවද, විහඟිගේ සිතෙහි වූ විචිකිඡාවමය හැඟීම් දුරැලුනේ නැත. චායා දිගින් දිගටම තමා හා ඇසුර සදහා තෝරාගන්නේ එවන් මාවතක් නම් තම ජීවිතය තුළ ඉතිරිවන හිඩැසේ වේදනාව තමාට දරා  ගත නොහැකි වනු ඇතැයි ඕ සිතුවාය.

විහඟිගේ තත්වය පරික්ෂාකිරිමෙන් පසුව ඇයව රෝහලෙන් නිදහස් කෙරුණි. චරක ඇයව කැටුව නිවසට ආවේය. අම්මා ඇගේ ආහාර පිළිබඳව වඩා උනන්දු වෙමින් උන්නාය. චායා ඒ වෙද්දීත් උන්නේ කාමරය අඟුලු දමාගෙන උන් ඉරියව්වෙන්ම ,  බිම වැතිරී නින්දේය. සස්මිත නින්දෙන් ඇහැරි චායා ගැන යම් ඉඟියක් බලාපොරොත්තුවෙන් ඔහුට නිදහස තිබූ සීමාවේ කරක් ගසමින් උන්නේය.

එහෙත්, දහවල් චරක සමගින් පිටත්ව යනතුරුම ඔහුට චායා පිළිබඳව කිසිදු සේයාවක්වත් දකින්නට ලැබුනේ නැත. ඒ නිසාම ඔහු පිටව යන්නට පෙර විහඟිට කෙටි පණිව්ඩයක් තැබුවෙය.

” හොස්පිට් ඉඳලා ඊයේ රෑ ආව වෙලාවේ ඉඳන්ම චායාගේ ෆෝන් එක ඕෆ් විහඟි … උදේ ත් එලියටවත් බැස්සේ නෑ …. මේ වෙනකනුත් ෆෝන් එක ඔන් කලේ නෑ .. මොකක්ද වුනේ කියලා මම ඔයාගෙන් අහන්නේ නෑ … ඒත්, පොඩ්ඩක් එයාව බලනවාද ?.. අද අපි එනකොට රෑ වේවි …”

විහඟි චරකලා පිටව යන තුරු කාමරයට වී විවේක ගන්නා බව පෙන්වූවාය. ඉන් පසුව පහල මුලුතැන්ගෙයට ගියාය.

” මොනාද ඕනි පුතේ ?..”
” මුකුත් නෑ අම්මා.. චායා  තවම ඇහැරුනේ නැද්ද ?..”
” නෑ පුතේ … නිදන්න ඕනි කිව්වලු . මහන්සි කියලා .. දැන් මේගොල්ලෝ දෙපාරක් විතර උඩට ගිහිල්ලා ආවේ..”

විහඟි නිහඬවම පිටතට ඇවිද ගියාය.  සස්මිතද පිටව ගොසිනි. ඕ යලි කල්පනා කර හෙමින් උඩු මහලට නැග්ගාය. චායාගේ කාමරයේ දොර අසලට ගොස් දෙතුන් වතාවක් දොරට තට්ටු කලාය.  දෙවතාවක් චායායැයි කියා ඇමතුවාය.

ඇය බලාපොරොත්තු නොවූවද, එක්වරම දොර විවෘත වුණි. එහෙත් චායා විහඟිට මුහුණ නොදී පසෙකට ඇවිද ගියාය. විහඟි කාමරය තුළට ඇවිද ගියාය. යහනේ හිඳගන්නට පෙර වසා තිබූ ජනේල දෙකම විවෘත කලාය. චායා නාන කාමරය තුලට වැදුණාය. විහඟි යහනේ හිඳගත්තාය.

චායා ගත දොවාගෙන තුවාය ගත දවටාගෙන කාමරයට ආවාය.  යහනේ විහඟිට පිටුපා හිඳගත්තාය.

” මං මැරිලා ගියානම් හැමෝටම සැනසීමෙන් ඉන්න තිබුණා නේද කියලත් හිතෙනවා මට ….”

චායා එක්වරම එලෙස පැවසුවාය. විහඟි ඉන් පුදුමයට පත් වූයේ නැත. චායා ගේ ජීවිතය තුළ සිදුවන වෙනස්කම් සියල්ල තුළ ඕ යම් පීඩනයක සිටින බව විහඟි පැහැදිලිවම වටහාගෙන උන්නාය.

” එදා රෑ සෑහෙන්න දිග වෙන්න ඇති නේද ?…”

විහඟිගේ ස්වරයෙහි ඇති ප්‍රහර්ෂය සහ උත්කර්ෂවත් බව දැනුණු වහාම, චායා ආපස්සට හැරුණාය.

” මොකක්ද අහන්නේ ?.”

” අර කොල්ලට මැසේජ් එකක් දාලා හිටහං ෆෝන් එක ඔන් කරලා චායා .. සයිලන්ට් ට්‍රීට්මන්ට් කියන්නේ එච්චර හොඳ පුරුද්දක් නෙවෙයි … ඒක මම අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ..”

” හ්ම්ම් … “

” අයියා එක්ක එලියට ගියා … මැසේජ් එකක් දාලා තියන්න එතකොට, අයියා එහෙට මෙහෙට වෙනකල් ඉඳලා කෝල් එකක් ගනී ..”

චායා එයට පිළිතුරු නොදී, ජගම දුරකතනය අතට ගත්තාය.

” කල්පනාවෙන් ගමන ගිහිල්ලා එන්න .. මම හොඳින් ..”

එලෙසින් වට්සැප් පණිවිඩයක් තැබුවාය. වාහනය ගෙන යන අතරවාරයේ, සස්මිත ජංගම දුරකතනය භාවිතා නොකරන බව දන්නා නිසාම, ඇය පිළිතුරු බලාපොරොත්තු නොවී ජංගම දුරකතනය පසෙක තැබුවාය.

” පහලට ගිහින් කාලා එන්න මොනවා හරි , ඇඳුමක් දාගෙන ..”

” බඩගිනි නැහැ … හවස් වෙලා කන්නම් මම …”

” කාගෙන් පළිගන්නද නොකා නොබී ඉන්නේ?… කෝකටත් අපි දෙන්නා එක්කම කවුන්සලර් කෙනෙක් මුන ගැහෙමු චායා.. මටත් වඩා ඔයා … අවුරුදු ගානක් පීඩනෙන් වැඩ කරලා කරලා, බැඳීම් කියනෙක එච්චර ගානකට නොගෙන ඉඳලා, දැන් සස්මිත හින්දා ඔයාගේ ජීවිතේ හොඳටම පෙරලිලා තියෙන්නේ චායා … ඔයා බැක් ටු රිදම් එන්නෝනා… අපට බොරුවට හිත් රවට්ටගන්න බෑ ….උඹේ අවුලක් තියෙනවා.. මෙ ලැබිලා තියෙන නිදහස, සතුට උඹට ඕවර්ඩෝස් .. ඒක පිළිවෙල කරගන්න ඕනි .. “

චායා විහඟි දෙස බැලුවාය. වසර දොළහක් තිස්සේ, ජීවිතය කඩාගෙන වැටුණු හැමදිනෙකම ඕ මෙවන් ලෙසින් තමා සමඟ උන්නාය.  ජීවිතය අල්ලා දුන්නාය. කොටින්ම අම්මලා පවා නොදන්නා තම ජීවිතයේ වූ කලු කුහරයෙන් පිටතට එන්නට තමාට සවිය දුන්නේ ඇයය.

චායා විහඟිව වැළඳගෙන හැඬුවාය.

” සස්මිතවත් එක්කගෙනම යමු ඕනිනම් … ඒක වඩා හොඳ වෙයි…:”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here