5th Avenue – 47

0
239

අශේන් විමසූ දෙයට පිළිතුරක් දීමට නොනැවතුණු ශෙනෝලි දෑත් සෝදාගෙන අවසන් කර ඔහුව මග හැරගෙන නැවත ශාලාව වෙතට පැමිණියාය. ඒ මොහොතේ ඇය ඉදිරියට පැමිණි ඉශිනි ඇයව නතර කළේ මඳ සිනහවකිනි.

” ශෙනෝලි, ඔයාට ගොඩක් thank you. ඇත්තටම මං හිතුවට වඩා මේ වැඩේ හොඳටම සක්සස් වුණා. ඔයා මේකේ හැම දෙයක්ම හොඳට coordinate කරලා දුන්නා. ඉස්සරහටත් අපි මේ වගේ වැඩ තව කරමු. මට හිතෙනවා ඔයාලා මට ඒකටත් support කරයි කියලා “

ඉශිනි එසේ පැවසූ විට ශෙනෝලිගේ මුහුණේද වූයේ අවංක වූ සතුටකි.

” අනිවාර්යෙන්ම ඉශිනි. අපිට පුළුවන් උපරිම support එක මේ වගේ වැඩකට හැම වෙලාවෙම දෙන්නම්. මේ වගේ වැඩවලට අපිත් කැමතියි ඇත්තටම. තමන්ගෙම කියන අය නැතුව මේ ලෝකෙ තනිවෙච්ච මිනිස්සු වෙනුවෙන් ඕගොල්ලෝ අද ඇත්තටම කරේ ගොඩක් හොද දෙයක් “

අවසාන වාක්‍ය ශෙනෝලි වෙතින් පිටවූයේ යම්කිසි ගැඹුරු අර්ථයක් ඇතිව යැයි ඉශිනි හට සිතුනේ රිහාන් විසින් පෙර දිනයකදී ශෙනෝලි හට දෙමව්පියන් අහිමි වීම පිළිබඳව පැවසූ කාරණාව සිහිවීමෙනි. ශෙනෝලි පිළිබඳව සියුම් කම්පාවක් ඉශිනි ගේ හදවත තුළ පැන නැගුනෙන් ඇය කිසිවක් නොකියා මඳ සිනහවක් පාමින් ශෙනෝලි ගේ දකුණත අත ගෑවාය.

එම වැඩසටහනෙන් පසුව ගෙවී ගිය සති කිහිපය සියලු දෙනාටම වෙනදාටත් වඩා කාර්යබහුල වූයේ ඉදිරි සතියක පැවැත්වීමට නියමිත තවත් ප්‍රසංගයක් වෙනුවෙන් 5th  Avenue කණ්ඩායමට සූදානම් වීමට සිදුව තිබූ බැවිනි. පුහුණුවීම්, ගීත තෝරා ගැනීම් සහ ප්‍රසංගයට අදාළ අනෙකුත් කටයුතු අතර දින ගෙවී ගියේ එකිනෙකාට විවේකයක් ලබා ගැනීමටවත් නොහැකි තරම් කාර්යබහුල කමකින් යුතුවය.

ශෙනෝලිද වෙනදා මෙන්ම තම රාජකාරි කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින් කණ්ඩායමේ සියලු කටයුතු පිළිබඳව සොයා බැලූ අතර, මේඝද වැඩසටහනේ අවසන් සැලසුම් සමඟ කාර්යබහුල වී උන්නේය. රිහාන් සහ අශේන්ද අනෙකුත් කණ්ඩායම් සාමාජිකයන් සමඟ තමන්ගේ පුහුණු වීම් වලට වැඩි අවධානයක් යොමු කළ අතර,  අවසානයේ ඔවුන් බලා සිටි ප්‍රසංග දිනයද උදා වූයේ ඒ කාර්යබහුල දින කිහිපය අවසන් කරමිනි.

වෙනදා මෙන්ම උදෑසනම 5th Avenue කණ්ඩායම ප්‍රසංගය පැවැත්වෙන ස්ථානයට පැමිණියේ අවසාන පෙර පුහුණුවීම සඳහාය. ඒ වන විටත් ප්‍රේක්ෂකාගාරය සහ වේදිකාව සූදානම් වෙමින් තිබූ අතර කණ්ඩායමේ සියලු දෙනාම තම තමන්ගේ කටයුතු අවසන් කරමින් සිටියහ. බලාපොරොත්තු වූ පරිදිම සවස් වන විට ප්‍රේක්ෂකාගාරය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය පසුව  ප්‍රසංගය ආරම්භ වූ අතර, වේදිකාව ඉදිරිපසින් වෙන්කර තිබූ VIP ප්‍රදේශයේ ඉශිනි ඇය රැකියාවේ නියැලෙන මාධ්‍ය ආයතනයේ මිතුරියන් කිහිප දෙනෙකු සමඟ අසුන් ගෙන උන්නේ ප්‍රසංගය ආරම්භ වන තුරු නොඉවසිල්ලෙනි. 

වේදිකාව මත ගීත ගායනා කරමින් සිටි අශේන් සහ අනතුරුව පැමිණි තරුණ පරපුරේ ගායක ගායිකාවන් කිහිපදෙනා දෙසත්, ගිටාරය වාදනය කරමින් සිටි රිහාන් දෙසත් ප්‍රේක්ෂකයන්ගේ අවධානය සුපුරුදු පරිදි නොඅඩුවම යොමුව තිබූ අතර, ප්‍රසංගය අවසාන වීමට පැය භාගයක් පමණ තිබියදී ඉශිනි අසුන් ගෙන හුන් මේසයට යාබද මේසයක සිටි තරුණියක් රිහාන්ගේ නම කියමින් උද්යෝගයෙන් ඔහුට ප්‍රතිචාර දක්වන්නට වූවාය. එය කිහිප වතාවක්ම සිදුවන විට ඉශිනිගේ මුහුණේ තිබූ සැහැල්ලුව මඳින් මඳ වෙනස් වූයේය.

” රිහාන්න්න් “

තරුණිය නැවතත් උද්යෝගයෙන් කෑගැසූ මොහොතේ ඉශිනි හට තවත් එය නොසලකා හැර සිටීමට නොහැකි වූ අතර ඇය අසුනින් නැගිට එම තරුණිය අසලට ගොස් නතර වූයේ ඇගේ මිතුරියන් කිහිප දෙනෙකුද පුදුමයෙන් ඇය දෙස බලා සිටියදීය.

” ඔයාට පුළුවන්ද ඔය විදිහට කෑගහන එක නවත්තන්න? Rihan මගේ boyfriend. ඒ නිසා ඔයා ඔය විදිහට behave කරන එකට මං පොඩ්ඩක් වත් කැමති නෑ”

ඉශිනි තරමක් දැඩි හඬකින් පැවසූ අතර එම අනපේක්ෂිත සිදුවීමෙන් තරුණිය මොහොතකට කිසිවක් නොකියා ඇය දෙස බැලුවද, එම අවස්ථාවේ ඇති වූ නොසන්සුන් බව වේදිකාවේ සිටි රිහාන්ගේ නෙත ගැටුණේය. ඔහුට සිදුවන්නේ කුමක්දැයි පැහැදිලිව නොපෙනුණත්, එහි යම් ගැටලුවක් සිදුවෙමින්  ඇති බව ඔහුට වැටහුනේ ඉශිනි එහි සිටින ආකාරයටය . එහෙත් ප්‍රසංගය අතරතුර ඒ පිළිබඳව කිසිවක් කිරීමට නොහැකි වූ බැවින් ඔහු තම අවධානය නැවතත් අවසන් අඩ හෝරාව වෙත යොමු කළේය. කෝපයට පත්ව සිටි ඉශිනි ගේ මිතුරියක පැමිණ ඇයව නැවත වහාම ඔවුන් සිටි මේසය වෙත කැටුව ගියේ සිදුවෙමින් පවතින යමක් දිග යාම වළක්වා ගනු පිණිසය.

ප්‍රසංගය අවසන් වන විට මධ්‍යම රාත්‍රිය එළඹෙමින් තිබුණු අතර කණ්ඩායමේ සාමාජිකයන් වේදිකාවෙන් ඉවත්ව තම තමන්ගේ උපකරණ සහ අනෙකුත් බඩුබාහිරාදිය නැවත ගෙන යාම සඳහා  සූදානම් කරමින් සිටියහ.රිහාන්, ගෙනයාම සඳහා සූදානම් කරගත් බේස් ගිටාරය අතැතිව වේදිකාවෙන් පහළට පැමිණි අතර අශේන් එම ස්ථානයට මදක් නුදුරින් කිහිප දෙනෙකු සමග ඡායාරූප ගනිමින් උන්නේය. එම ස්ථානයෙන් ඉවතට යාමට සූදානමින් සිටියදී කොහේදෝ සිට පැමිණි තරුණියක් රිහාන් අසලට විත් නතර වූවාය.

” Sorry Rihan, මං ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්. ඒත් මට මේක ඔයාට කියන්න ඕනෙ.  ඔයාගේ girlfriend විදිහට represent කරන කෙනෙක් ඔයාව හැමෝම ඉස්සරහ අර වගේ embarrass කරනවා නම්, ඒක ඔයාට ගැළපෙන්නේ නෑ. මොකද එහෙම කෙනෙක් නිසා ඔයාගේ career එක මෙතනින්ම ඉවර වෙන්න පුළුවන්. ඔයාට ඉන්නෙ එහෙම පාට්නර් කෙනෙක් නම් ඔයා මේ තරම් මහන්සි වෙලා හදාගත්ත dignity එකත් එයා නිසා නැති වෙන්න පුළුවන්. ඔයා වගේ කෙනෙක්ට ගෑනු ළමයි attract වෙන එක, එකකට ඇවිල්ල චියර් කරන එක තේරුම් ගන්න බැරි කෙනෙක් ඔයාට නරකක් මිසක් හොඳක් නම් කවදාවත් කරන්නෑ “

තරුණිය පැවසුවේ කනගාටුවක් සහ කලකිරීමක් මුසු වූ හඬකිනි.රිහාන් මොහොතක් නිහඬව සිටියේ  සිදුවීමේ සම්පූර්ණ තොරතුරු ඔහු නොදැන සිටියා වුවද ඒ තරුණියට තවදුරටත් අපහසුතාවයක් ඇති කිරීමට ඔහුට අවශ්‍ය නොවූ බැවිනි. එම නිසා ඔහු ඇය දෙස බැලුවේ සන්සුන් වන්නට උත්සාහ කරමිනි.

” උනේ මොකක්ද කියලා මං තාම හරියටම දන්නේ නැහැ. ඔයාට එහෙම situation එකකට මූණ දෙන්න වුණා නම් ඒ ගැන මං ඇත්තටම ඔයාට apologize කරනවා ” 

” ඇත්තටම ඉතින් ඔයාට ඒ වගේ වෙලාවකදි කරන්න දේකුත් නෑ රිහාන්. ඒත් ඉතින් ඔයාගේ ප්‍රොෆෙෂන් එක මොකක්ද කියලා පොඩ්ඩක් වත් තේරුම් ගත්තේ නැති කෙනෙක් ඔයා තෝර ගෙන ඉන්න එකම පුදුමයක්. අපිට ඔයාගේ පර්සනල් දේවල් වැඩක් නැහැ, ඒත් ඉතිං ඒ පර්සනල් දේවල් මේ වගේ තැනකට එනවා කියන්නේ ඒක හොඳ නැත්තේ ඔයාටම තමයි”

රිහාන් ගොලු වී බලා හිඳි අතර අනතුරුව මද සිනහවක් පෑ එම තරුණිය ඉවත්ව යන විට ඉශිනිද රිහාන් අසලට පැමිණියාය. තරුණිය ඉවත්ව යන දෙස තවත් වරක් හැරී බැලූ රිහාන් නැවත ඉශිනි දෙස බැලුවේ වෙනදා වූ සැහැල්ලු බවින් තොරවය. 

” ඉශිනි, අපි මේ ගැන කලින් දවසකත් කතා කළා නේද? “

රිහාන් සන්සුන්ව පැවසූ විට ඇය මොහොතක් නිහඬව උන්නාය. පොදු ස්ථානයකදී තමා ඉවසිය යුතුව තිබුණා යැයි ඇය හට සිතමින් තිබුණත් ආදරය පරයා නැගෙමින් තිබුණු ආත්මාර්ථකාමීත්වයක් ඇයට දැනෙමින් තිබුණි.

” මට එයා එක්ක තරහා ගියා රිහාන්. එයා ඕනවට වැඩියි. ඔයාට එහෙම කෑගහන එක මට බලන් ඉන්න බැරි වුණා ඒ වෙලාවේ. මං ගොඩක් වෙලාවක් තිස්සේ බලන් හිටියේ එයා කෑගහපු කෑගැහිල්ල “

ඉශිනි තමන්ගේ හැසිරීම සහ තමා අතින් සියල්ලන් ඉදිරියේ සිදුවූ වරද සාධාරණීකරණය කරන්නට තවදුරටත් උත්සාහ කළාය. රිහාන් ඇයට කිසිවක් පැවසීමට පෙරම මේඝ ඔවුන් අසලට පැමිණ ඔවුන් දෙදෙනාගේ මුහුණු දෙස මාරුවෙන් මාරුවට බැලුවේය.

” මොකක් හරි අවුලක්ද? “

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here