මල් පිපුණිද හිම කැළයේ – 2

0
2467

කලුගල් බැම්මට එහා පසින් ඇත්තේ කුඩා allotment එකකි.මිදුල් ඉඩකඩ සීමා සහිත පුද්ගලයන් වගාකරන්නට බද්දට ගන්නා වගා බිම් කොටස් මෙහි ඇත.මේ පෙබරවාරියේ ඔවුන් පස පෙරළා වගාවට සකස් කරමින් ඇත.අතීතයේ අත්තම්මාගේ ගමේ ගෙදර එළවලු කොරටුව නිලංගාට සිහිවිය.අත්තම්මාගේ එළවලු කොරටුව ,ගමේ නිවස සිහිවීමම සිතට සුවයක් ගෙනාවද එතනින් එහා සිතුවිලි අප්‍රසන්න කටුක හැඟීම් හෙයින් නිලංගා ඒ සියලු සිතුවිලි උපන්ගෙයිම මරාදැම්මාය. වසර ගණනක් ගතව ගියද අමතක කරදමන්නට නොහැකි වේදනාවන් සියල්ල උපන් රටේ වලදමා ආවද විටින් විට ඒවා මතුවෙමින් හදවත පාරන ආකාරය නිලංගාහට සුපුරුදු අත්දැකීමකි.

රථගාලට ඇතුළු වූ සුදුපැහැ මෝටර් රථයේ මගී ආසනයේ දොර විවෘත ව යුවතිය පිටතට පැන්නාය.ගල්බැම්ම මත ඉඳගෙන උන් නිලංගා නැගී උන්නේ ඒ සමගමය.ඇය වෙතට දිව ආ මාලිකා සිරිනන්ද ඇය දෝතින්ම වැළඳ ගත්තාය.නිලංගා ඇයගේ අත පසුම්බිය තැබුවේ…please check everything ..කියමිනි.

“අනේ එහෙම ඕනනෑ අනේ ඔයාට අනේ thank you so much ..”මාලිකා යළි යළිත් ස්තුති කරන්නට වූවාය.නිලංගා මේ සුන්දර යුවතියගේ ස්තුතිය සිනහවකින් පිළිගත්තාය.ඇයගේ පෙම්වතාද ඔවුන් දෙදෙනා දෙස  රිය තුළ සිටම සිනාමුසුව බලා උන්නේය.නමුත් රියදුරු අසුනේ උන්  තරුණයා රැවුමකින් ඉවත බලා ගත්තේය.

“අනේ ඔයා srilankan නේ….හරි සතුටක් හම්බ වීම.අනේ ඒ උනාට මට ලංකාවේ කෙනෙක් හම්බෙන්නෙම මේ වගේ incidents එක්කමයි.කලින් වතාවක් කපල් එකක් හම්බ උනා එදා මම ලිස්සලා වැටිලා එයාලා දෙන්නා තමා හෙල්ප් කලේ….”
කිංකිණි ස්වරයකින් සිනා සලන්නිය පැවසුවාය.

“ඔයාත් යන ගමන්නේ…එන්න අපි ඔයාව ඩ්‍රොප් කරන්නම් …”
මාලිකා සිරිනන්ද නිලංගාගේ අතින් අල්ලාගනිමින් පැවසුවාය.

“නෑ නෑ මාලිකා…මම ඉන්නේ මේ කිට්ටුව…walking distance …මට යන්න පුළුවන් ….” නිලංගා පැවසුවාය.

“Are you sure….අනේ එහෙනම් මේ මගේ කාඩ් එක…මට ඔයා හෙට කෝල් එකක් දෙනවද…අපි හම්බෙමු ඔයාට ෆ්‍රී වෙලාවක…මම එන්නම් ඔයාව ගන්න…”
මාලිකා සිරිනන්ද ඇයගේ නම්වරය රැඳි කාඩ්පතක් නිලංගා අත තැබුවාය. මෝටර් රථයේ විදුලි පහන් දැල්වී නිවී ගියේය. ඉන්පසු එක්වරක් රිය නලාවද නාදවිය.

“නෙලී…අපි දුර යන්න ඕනෙ..ස්ටීව්ට දැනටමත් ලේට්…අර ඇහෙනවනෙ හෝන් එකත් ගහනවා…එහෙනම් අපි යන්නම්ද…ශුවර් නේ ඔයාව ඩ්‍රොප් කරන්න ඕන නෑමද ..”
මාලිකා නිලංගා වෙතින් සමුගත්තාය.

වචන දහයකට දෙවරක්වත් අනේ කියනා මේ හුරුබුහුටි යුවතිය නිලංගාගේ සිතට එක්කලේ පහන් හැගීමකි.ඔවුන් නික්ම ගියාට පසු නිලංගා සිය නවාතැන වෙත යන මාවතේ ඉදිරියට හෙමි හෙමින් පියමැන්නාය.

නිලංගා මේසය මත ඇති කියවීමට පමණක් භාවිත කරන විදුලි පහන දල්වා කාමරයේ සෙසු විදුලි බල්බ නිවා දැම්මාය.රාත්‍රී නවය පමණ වීද කුසගින්නක් හෝ නොදැනේ.සිතේ පවතින පීඩනය සියල්ලටම වඩා වැඩිය.මේ ගැටලුකාරී බව හේතුවෙන් තමා හරිහමන් ආකාරයකට ආහාරයක් ගත්තේ එහෙමත් දිනක බව ඇයට සිහිවිය. මනසින් මෙන්ම ශරීරයෙන්ද රෝගී වුව හොත් තමා ගැන වදවෙන්නට රැකබලාගන්නට කිසිවෙක් මේ ලෝකයේ නැත.තමන්හට තමන් මිස අන් කවරෙක්දැයි ඇය යළිත්  සිතුවාය.

කාලයකින් එබිකම් නොකළ මුහුණු පොත දෙස එබිකම් කර බලන්නට නිලංගා පෙළඹුණේ මාලිකා සිරිනන්ද ගැන සොයා බලන්නටය.ඇය පෙනුමෙන් ,හැසිරීමෙන් හොඳ ගැහැණු දැරුවියක බව පෙනුනද…ඇය අමතන්නට හෝ හමුවන්නට එකවරම සිත ඉඩක් නොදේ.කාලයක සිට සියල්ලන් දෙසම මෙසේ බලන්නට හිත හුරුව ඇත්තේ ලද අත්දැකීම්වල කටුක බව හේතුවෙනි.

මාලිකා සිරිනන්දගේ මුහුණු පොත් ගිණුමේ ඇය සම්බන්ධ තොරතුරු නිලංගා විමසා බැලුවාය. වයස විසිපහක් පමණ වන මාලිකා පෞද්ගලික ආයතනයක විධායක මට්ටමේ තනතුරකට පත්ව ඇත්තේ මෑතකදීය. ඇය ශ්‍රීලාංකික වුව විදෙස් ගත වීම හේතුවෙන් ඉතා අඩුවයසකින් සුදුසුකම් සපුරා ඉහළ රැකියාවක්ද ලබා ඇත. මේ වන විට තිස් වියැති තමන්හට පශ්චාත් උපාධිය පවා සම්පූර්ණ කරගන්නට බොහෝ කාලයක් බලා සිටින්නට සිදුවිය.

මාලිකා සිරිනන්දගේ නම්වරය රැගත් කාඩ්පත අතට ගත් නිලංගා එය කියවා ආපසු තැබුවාය. අනායාසයෙන් මුහුණු පොතේ වෙනත් ගිණුමක තතු ඇය අතඟිලි අතර සෙවුමට ලක්විය.

චරිත ගලප්පත්ති ….මුහුණුපොතේ රුව අලුත්කොට ඇත්තේ විවාහ දිනයේ ගත් සේයාරුවකිනි.මේ ඔවුන්ගේ දෙවනි විවාහ සංවත්සරය විය යුතුය.එහි ඔහු සිය මනාලියෙගේ නළලත දෙතොල් තබා සිටී.මනාලියගේ දෑස් පියවගොස් ඇත. ඇයගේ මුව මත ඇත්තේ සොඳුරු සිනහවකි..ඇයගේ දෑතින් ඔහු දෑත අල්ලාගෙන ඇත.
එම ඡායාරූපය එක්වගත් ගී පදයක් රැගත් සටහන නිලංගා කියවූවේ අනායාසයෙන් දෑස කඳුලින් පිරී යද්දීය.

“නවාතැන් පොළ ඔබයි ඔබගේ සිනහවයි…
ජීවිතේ දිගු වන්දනා ගමනේ …”

මේ ගී පද රැඳි ගීයම චරිත තමා වෙනුවෙන් ගැයූ කාලයක් තිබිණ.මේ ගීය පමණක් නොව ඔහු බොහෝ ගී ඇයට ආදේශ කොට ගැයුවේය.ඉඳහිටක කේන්ති ගස්වන්නට සරදම් කොට ඇතැම් ගීද ගැයුවේය.

“ආයෙත් මොනවත් කියන්නෙ නෑ නුඹ වෙනුවෙන්…”
ඇතැම් විට තමා කේන්තිගස්වමින් ගැයූ ගී අවසන් වූයේ ඊට වන්දි ලෙස නිලංගා කැමති ගී හතරක් පහක් ගයා යළි ඇය අමනාපයෙන් මුදවාගනිමිනි.

ඒ සියල්ල නිමවී වසර තුනකට ආසන්නය.චරිතට වරදක් කියන්නට දොසක් නගන්නට අදටත් හිත පෙළඹෙන්නේ නැති තරම් ය.

“කෙලින් තීරණයක් ගන්න නිලූ…අම්මයි තාත්තායි නංගියි ඔයාට මොනවද මේ වෙනකල් කලේ නොකලේ කියනෙක ඔයත් මාත් දෙන්නම දන්නවා.නංගි බන්දලා දෙන්න අම්මලාට තියන ඕනකම ඔයා වෙනුවෙන් නෑ කියලත් ඔයා දන්නවා…ඉතින් මෙහෙම කල් ගන්නෙ මොකටද..?”
සම්බන්ධතාවයේ අවසන් කාර්තුවේදී චරිත ඇසූ අන්දම නිලංගාට යළිත් සිහිවේ.

“ඔක්කොටම එහා මගුල් විසේ නෙ දැන් ඔලුවට ගහලා තියෙන්නේ මේකිගෙ..තමන්ගෙ සහෝදරී ගෙ වැඩ කටයුතු ගැන හොයන්න කිසි උනන්දුවක් නෑ…අම්මලා තාත්තලා ගැන කිසි ගානක් නෑ ..කසාදෙ තමා මුලට…අපිත් හැදුවනෙ මෙහෙම ළමයි…”
විවාහය සම්බන්ධව අම්මාත් තාත්තාත් සමග කතාකළ දා අම්මා තමා වෙත කඩාපැන්න ආකාරය නිලංගාට සිහිවිය.වතාවක් දෙවතාවක් නොව කිහිපවරක්ම ඒ ගැන කතාකලද අම්මා හෝ තාත්තා කිසිදු ධනාත්මක ප්‍රතිචාරයක් දුන්නේම නැති තරම් ය. අවසානයේ දෙමවුපියන්ගේත් නැගණියගේත් බලපෑම් හමුවේ විවාහය කල් දැමෙත්දී චරිත ගේ බලා උන් කාලය සහ ඉවසීම නිමාවිය.

“නිලූ…අපි තීරණයක් ගන්න ඕනෙ.අවුරුදු පහක් යාලුවෙලා ඉඳලා මේ විදියට ඔයාව මගදාලා යන්න මට කිසිම ඕනකමක් තිබ්බෙ නෑ.නමුත් මමත් මනුස්සයෙක්.මටත් මගේම කියලා පවුලක් වෙනුවෙන් හීන ගොඩක් තියනවා. ඔයා වෙනුවෙන් නොබලන, කිසිම දෙයක් ඔයා වෙනුවෙන් නොකරන දෙමවුපියන් වෙනුවෙන් ඔයා මෙහෙම ඔයාගේ අනාගතයම උකස් කරනවා නම් අපි මේ සම්බන්ධය මෙතනින් නවත්වමු…”
චරිත අවසන් හමුවීම දවසේ ස්ථිරසාර හඬින් පැවසීය. නිලංගා නිර්වින්දනය වූවක සේ නිරුත්‍තරව බලාඋන්නාය.ඉතින් පස් වසරක ප්‍රේමයට නැවතුම තබා චරිත ගලප්පත්ති ඇයගෙන් සමුගෙන යන්නට ගියේය.

චරිතගේ සමුගැනීම ට වඩා නිලංගාගේ සිත රිදවාලූයේ ඉන් මාස තුනක් ගතවන්නටත් පෙර චරිත ගලප්පත්ති විවාහ ගිවිස ගැනීමය.සබඳතාවය නවතා දමා එතරම්ම කෙටිකාලයකින් ඔහු ජීවිතය අලුතින් අරඹන්නට තරම් තමා හා ඔහු අතර වූ බැඳීම කෙතරම් අස්ථාවර එකක් වෙමින් තිබී ඇත්දැයි නිලංගා වටහා ගත්තේ එදිනය.

“චරිතයා ඔහොම කරයි කියලා මම හිතුවේ නෑ…නිලූ…”
චරිතගේ සහ තමන්ගේ සබ්දතවයට කවදත් උදව් කල පසන් පැවසුවේ…ඒ ආසන්න දිනයක අහම්බයකින් නිලංගා අතරමගක හමුවූ විටය.

“චරිතට දොස් කියන්න එපා පසන් අයියෙ.එයා මං වෙනුවෙන් බලන් උන්නා..මටනෙ තීරණයක් ගන්න බැරිඋනේ…”
එදාද නිලංගා චරිත වෙනුවෙන් හඬ අවදිකලාය.

මං කියන්නේ ඒ ගැන නෙවෙයි නංගී…ඔය එෆයාර් එක නවතින්න කලින් ඉඳන්ම චරිතයා ඔය ගෑණු ළමයා ගැන කැමැත්තෙන් ඉඳලා තියෙනවා.ඕක ගෙදරින් ගෙනාව  ප්‍රපෝසල් එකක්නේ.ඌ ඕකට කැමැත්ත ඇතුව ඉඳලා තියෙන්නෙ.නැත්නම් මේ අර එකක් නැවතිලා මාස තුනක් යනකොට  වෙන කෙනෙක් එක්ක රෙජිස්ට්‍රේෂන් එකක් ගන්න තරම් ජීවිත instant වෙන්න විදිහක් නැහැනේ…”
පසන් පැවසුවේ  චරිත ගේ දෙබිඩි ජීවිතය ගැන අප්‍රසාදයෙනි.

නිලංගා චරිත ගලප්පත්ති සම්බන්ධයෙන් බිඳී ගියේ එතැන් පටන්ය.එහෙත් ඔහු සම්බන්ධයෙන් හිතේ කිසිවිටෙක වෛරී හැඟීමක් ඇයට ඇතිවූයේ නැති තරම් ය.සබඳතාවය පැවති කාලයේදීද චරිත තමාගේ ගරුත්වය රැකෙන අන්දමින් තමන්ව රැකබලා ගත්තේය.ආදරය දුන්නේය.රැකියාව,ඉගනීම සමබර කරගන්නට සහයක්ම වූවේය.ඉතින් කිසිදාක ඔහු හා අමනාපයක් තබාගන්නට සිතට අවශ්‍ය නොවනු ඇත.

නිලංගා කල්පනාවෙන් මිදී මුහුණු පොතින් ඈත්ව දුරකතනය පසෙකට දැම්මාය.මේසය උඩ පොත් කිහිපයකි.එකකවත් අඩක් හෝ කියවා නැත.ජීවිතයේ ආසා කළ බොහෝ දේ එකින් එක ගිලිහෙන්නට පටන් ගෙනය.නිලංගා විදුලි පහන නිවා දැම්මාය.උණුසුම්පොරෝණය තුළට තව තවත් ගුළි වෙමින් ශරීරය පුරා පතිර යන කටුක සීතලෙන් මිදීයනු වස් දෑස් පියාගත්තාය.

අවාසනාව ජීවිතයේ අස්කොන් සිසාරා පැතිර ඇත්තේ උපන්දා සිටම බව නිලංගා වටහාගත්තේ මේ සියලුම කාරණා සිදුව යන අතරවාරයේය. දැනුම් තේරුම් ඇති කාලයේ සිටම ජීවිතයට ආ වෙනස්කම් සියල්ල විඳදරාගන්නට තමාට තිබූ ශක්තිය ගැන නිලංගා සතුටු වූවාය.

එහෙත් ඒ සියල්ල අභිබවා දැන් තමා අබියස ඇති අභියෝගයට මුහුණ දිය යුතුය.ජීවිතේ මතක ඇති කාලයක සිට ආ දුක් දොම්නස් ඇදවැටීම් ,බිඳ වැටීම් වලට වඩා මේ තත්වය අසීරුය. හෙට දවස යනු තවත් අවිනිශ්චිත දවසක ආරම්භය වීම වලක්වා ගත යුතුව ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here